ජනහිතකාමී ගමනකට සැරසෙන ටොරොන්ටෝවේ පළමු කොන්සල් ජනරාල් වරිය මේධාවී පීරිස් සමඟ කතාබහක් 

කැනේඩියානු කාන්තාවන් අද භුක්ති විඳිනා ගෞරවය සහ සමානාත්මතාවයට ලඟා වීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ට තව බොහෝ කල් ගත වන බව අපට ප්‍රත්‍යක්ෂ වුවත්, ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස අපිට ආඩම්බර විය හැකි බොහෝ කරුණු කාරනා තියෙනවා. ලෝකයේ මුල්ම අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පළමු කාන්තාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බිහි උනේ අපේ ශ්‍රී ලංකාවෙන්. එමෙන්ම, අද ලාංකික රජයේ අගමැති පුටුව හොබවන්නෙත් ලොව පුරා ප්‍රසාදයට පත්වූ කාන්තාවක් වන හරිනි අමරසුරිය මෙනෙවිය. අද අප චරිතාපදානයේ සම්පත් දායිකාව වන්නේත් එවැනිම විශේෂිත කාන්තාවක්. 

වසර 2 ½ කට වැඩි කාලයක් මා “Srilancan” පුවත්පතට ලිපි සැපයීම කලත් , මුල්ම වරට මුහුණට මුහුණ හමුවී සාකච්ඡාව පැවැත්වූවේ අද අපේ ලිපියට ප්‍රස්තුතය වන මේ කතා නායිකාව සමඟයි. අප දෙදෙනා ජීවත් වුයේ ඉතා විශාල දුර ප්‍රමාණයකින් වුවත්, මේ සාකච්ඡාවට මට සමීප ස්ථානයකට පැමිණීමට එකඟවීම, ඇයගේ නිහතමානීකම පිළිබිඹු කිරීමක් ලෙසයි මා දකින්නේ. 2026 මාර්තු මස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කොන්සල් ජනරාල්වරිය ලෙස පත්ව ආ මෙතුමිය නමින් මේධාවී පීරිස්. මෙම තනතුරට පත්වූ ලාබාලතම නිලධාරිනියද ඇය විය හැකියි.  

ඉතා කාර්ය බහුල නිලධාරිනියක් වුවත්, අප පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට එකඟවීම පිළිබඳව මම ඔබට කෘතඥශීලී වෙනවා. ලංකාවේ ඔබ හැදුනු වැඩුනු පරිසරය සහ පවුලේ තොරතුරු අප පාඨකයින් සමඟ බෙදා ගෙනම අපේ සාකච්චාව ආරම්භ කරමු නේද?

“ලෝකයේ කොහේ ජීවත් උනත් මට අමතක කල නොහැකි, මම ආදරය කරන ඉතාමත් සුන්දර මෙන්ම නිදහස් පරිසරයක් තිබෙනා ගමක තමයි මම ඉපදුනේ. හඳපාන්ගොඩ නම්වූ මගේ ගම අයිති වෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ බල ප්‍රදේශයට. මගේ අම්මා තාත්තා ඇරුනහම මට ඉන්නවා මල්ලි කෙනෙක්. මම විවාහකයි, සරසවි බිමේ මුල් වසරේදීම මට මුණ ගැසුණු පෙම්වතා තමයි අද මගේ සැමියා. ඒ වගේම මට අවුරුදු හතක චුටි දුවක් ඉන්නවා”. 

ඔබගේ අධ්‍යාපන පසුබිම කුමක්ද? 

“මම පාසලේදී උසස්පෙළ සඳහා විද්‍යා අංශයට ඇතුල් වුවත් මාස 4ක පමණ කෙටි කාලයකදී එම අදහස වෙනස් කරමින් කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවා. අධ්‍යාපන කටයුතු වලට අමතරව වොලිබෝල් සහ නැටුම් වැනි බාහිර ක්‍රියාකාරකම්වලට මගේ වැඩි නැඹුරුවක් තිබූණෙ. මගේ දෙමවුපියන්ගේ සහයත් ගුරුවරුන්ගේ මග පෙන්වීමෙනුත් උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමේ වරම මට ලැබුනා. 2009 වසරේ විශේෂ උපාධියක් සහිතව විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූවත් විශ්ව විද්‍යාලයට ඇතුලත්  වනවිට මගේ සිහිනයක්ව තිබු විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වීමේ සිහිනයට ලගාවීමට මට අවස්ථාව ලැබුනේ නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව සෑම කලා උපාධිධාරියෙකුටම තිබෙන උපාධියට සරිලන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතාවයට මටත් මුහුණ දෙන්න සිදුඋනා”.

පසුගිය දශකයන්හි තානාපති සේවයට නිලධාරීන් පත්කර ගැනීමේදී සිදුවූ සමහර දේශපාලන අක්‍රමිකතා හේතුවෙන් මම ඇයගේ සුදුසුකම් ප්‍රශ්න කළා, “ඹබ තමයි කැනඩාවේ කොන්සල් ජනරාල්වරිය, එයට පසුබිම් වූ ඔබගේ විශේෂිත අධ්‍යාපනය සහ පළපුරුද්ද සම්බන්ධව අප පාඨකයින්ට කෙටියෙන් කියන්න පුලුවන්ද?

ඇය සීරුවෙන් නැවතත් කථාව පටන් ගත්තා, “ඔව්, සරසවියේ සිව් වසරේදී, මගේ ප්‍රධාන විෂය වුයේ දේශපාලන විද්‍යාව. නමුත්, මුල් වසර තුනේම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ භූගෝල විද්‍යාවත් ඊට සමගාමීව අධ්‍යයනය කළා. දේශපාලන විද්‍යාව කියන්නෙ අන්තර් ජාතික සබඳතාහි මව් විෂය. මේ විෂයන් හැදෑරීම හේතුවෙන් මා එදා ලැබූ න්‍යායාත්මක දැනුම, අද මගේ ප්‍රායෝගික රාජකාරී කටයුතුවලට විතක්ෂනශීලීව යොදා ගැනීමට මට විශාල පිටුවහලක් වෙනවා. 2009 දී විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වීමේ දොරටුව වැසුනු පසු, පරිපාලන නිලධාරිනියක් වීමේ ප්‍රබල ආශාවක් මසිත පිලිසිදුනා. ඒ සඳහා පරිපාලන සේවා විභාගයට මුහුණ දුන්නත් පළමුවර එම විභාගයෙන් සමත්වීමේ හැකියාව මට ලැබුනේ නෑ. එදා මට දැනුනේ හරිම පසුගාමී හැගීමක්. ඊලග වසරේ පරිපාලන සේවා විභාගය සදහා වැඩි උනන්දුවකින් පෙනී සිටියා. ඊට සමගාමීව පැවතුනු විදේශ සේවා විභාගය සඳහාද පෙනී සිටිනු ලැබුවා. 2011 වසරේදී එම විභාග දෙකෙන්ම සමත්ව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගීව ඒවායෙන්ද සමත්වුවා. මෙම තනතුරු දෙක සඳහාම පත්වීම් භාර ගැනීමට යෙදී තිබුනේ එකම දිනය වීම මා ජීවිතයේ සිදූවූ අපුර්වතම සිදුවීමක්. තනතුරු දෙකෙන් කුමන තනතුරක් බාරගන්නේද පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට මට අපහසු උනා. පත්වීම් බාරගන්න අම්මත් එක්ක දුම්රියෙන් ගියේ ලියුම් දෙකම අතේ තියාගෙන. විදේශ සේවයට යාමට නම් කොළඹ කොටුවෙන් බහින්න ඕනි. පරිපාලන සේවයේ වැඩ භාර ගැනීමට නම් නාරාහේන්පිටින් බහින්න ඕනි. ඉතිං 2012 ජනවාරියේදී, කෝච්චියෙන් කොටුවෙන් බැහලා ගිය ආරම්භක ගමනේ ප්‍රථිපලයක් ලෙසයි මම අද මෙතන ඉන්නෙ”, ඇය පැවසුවේ සිනහවකුත් සමඟ. 

2012 දී, විදේශ සේවා නිලාධාරිනියක් ලෙස පත්වීම භාරගත් මේධාවි පීරිස්ට මාස කිහිපයක් විවිධ අංශවල පුහුණුවීම් ලබාගැනීමේ අවස්ථාව ලැබුනා. ඉන්පසුව 2013 දී, මාස 7 කට රුසියාවට යෑමට සිදුවන්නේ විදේශ භාෂාවක් හැදෑරීම ඇයගේ රැකියාවේ කොන්දේසියක් වූ නිසයි. රුසියාවෙන් පැමිණි පසුව, 2014 දී, මේධාවි පීරිස්ගේ මුල්ම විදේශ පත්වීම ලෙස තුන්වන ලේකම් තනතුර ලැබෙන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම්වලට. එහි තෙවසරක් ගතකල ඇය 2017 වසරේදී, නැවත විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයට අනුයුක්ත වෙන්නේ දේශපාලන අංශයක. 2019 දී, මේධාවි මාස 9 ක පමණ කාලයක නිවාඩුවක් ලබා ගත්තේ ඇය කුළුඳුල් දියණියගේ දරු ප්‍රසුතිය හේතුවෙන්.  2021 දී, නැවත අබුඩාබි එක්සත් එමීර් රාජධානියේ (UAE) උපදේශක තනතුරකට යාමට ඇයට සිදු වනවා. එහි තෙවසරක් ගත කල ඇය 2017 වසරේදී නැවත පැමිණ විදේශ කටයුතු අමත්‍යංශයේ සේවයට අනුයුක්ත වෙනවා. සිව් වසරකට පසුව, 2021දී අබුඩාබි එක්සත් එමීර් රාජධානියේ (UAE ) උපදේශක (Counsellor) තනතුරට ඇයව පත්කරනු ලබනවා.

විදේශ සේවා තනතුරු ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව අප පාඨකයින් දැනුවත් කිරීමට ඔබට පුලුවන්ද? 

“තුන්වැනි ලේකම් තනතුර තමයි ආරම්භය. ඉන්පසුව, දෙවැනි ලේකම්, පළමු ලේකම්, උපදේශක, අමාත්‍ය උපදේශක, අමාත්‍ය, කොන්සියුලර් ජෙනරල්, තානාපති තනතුර දක්වා උසස් වෙනවා”    

විශාල ඩයස්පෝරාවක් සිටිනා ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් තනතුර කියන්නෙ අභියෝගාත්මක තනතුරක්, විශේෂයෙන්ම කාන්තාවකට. අනිවාර්යයෙන්ම ඔබ ඉතා නිර්භීත කාන්තාවක් විය යුතුයි, ඇයි ඔබට මෙවැනි අභියෝගයකට අතගහන්න හිතුනෙ?

ඇය කථාව පටන් ගත්තෙ ස්ථීර හඬකින්, “ජීවිතයේ අපි හැමෝම ගන්නා තීරණ අභියෝගාත්මක තමයි. විදේශ සේවා නිලධාරිනියක් වීම එක්තරා විදියකට ගතනුගතික නොවනවා මෙන්ම, කාන්තාවක් ලෙස පවුලට තිබෙනා යුතුකම්, වගකීම් ඉෂ්ට කිරීමට බාධාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම, විශාල ඩයස්පෝරාවක් සිටින ටොරොන්ටෝහි කොන්සල් ජනරාල් තනතුර කාන්තාවකට වඩාත්ම අභියෝගාත්මකයි. කෙසේ වුවත් මම එයට මුහුණ දීමට මම තීරණය කළා”.

ඔබව මේ තනතුරට තෝරා ගැනීම පිළිබඳව ඔබේ ගෙදරින්, ඒ කියන්නෙ සැමියා, අම්මා සහ  තාත්තාගෙන් ලැබුනේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

“තීරණ ගැනීම සඳහා මා හට නිදහස් පරිසරයක් නිරන්තරයෙන් පවුල තුල තිබුනා. මගේ තීරණ වලට ඔවුන් කවදාවත් බලපෑම් කලේ නෑ. නමුත් එහි හොද නරක මා සමග සැමවිටම සාකච්චා කරනවා”.     

ඒත් එක්කම, සතියේ දින හතම, ඒ වගේම දවසේ දීර්ඝ කාලයක් කැපකළ යුතු රැකියාවක් ඔබ කරන්නෙ, එමනිසා ඔබ වෘත්තීය ජීවිතයත් පවුල් ජීවිතයත් සමබරව තබා ගන්නේ කෙසේද?

මේධාවිගේ ක්ෂණික පිළිතුර වුයේ, “ඇත්තම කියනවා නම් මම විදේශ සේවයේ යෙදුනු පසුගිය අවුරුදු 15 පුරාම, මගේ සැමියා, අම්මා තාත්තා තමයි මගේ පෞද්ගලික ජීවිතයේ වගකීම්, විශේෂයෙන්ම අවුරුදු 7ක් වයසැති මගේ සිඟිති දියණියගේ සියළුම වගකීම් දරන්නෙ. එයාලා නොහිටියා නම්, කීයටවත් මට මේ රැකියාව කරන්න ලැබෙන්නෙ නැහැ. මා දරනා අභියෝගාත්මක රැකියාවට, මගේ කැපවීම අත්‍යාවශ්‍යයි කියලා මම දන්නවා. ඒ වගේම මට හිතෙනවා, මගේ චුටි දුවටත් තේරෙනවා ඇති ඇයට ඉන්නේ සාම්ප්‍රදායික මවක් නොවන බව” ඇය පැවසුවේ තරමක මදහසකින්.

කැනඩාවේ මහා කොමසාරිස් කාර්යාලයේ සේවාවලට අමතරව, ටොරොන්ටෝ කොන්සල් ජෙනරල් කාර්යාලයට තිබෙනා කාර්ය භාර්යයන් සම්බන්ධව අපව දැනුවත් කරන්න ඔබට පුලුවන්ද? 

“කැනඩාවේ මහකොමසාරිස් කාර්යාලය පිහිට තිබෙන්නේ ඔටාවා නගරයේ. කොන්සල් ජෙනරල් කාර්යාලය පිහිට තිබෙන්නේ ටොරොන්ටෝ වල. විදේශ රටක තානාපති කාර්යාලයකට හෝ මහකොමසාරිස් කාර්යාලයකට අමතරව කොන්සල් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කරන්න විවිධ හේතු බලපානවා. ඒ අතරින් ස්වකීය ජන ප්‍රජාව ප්‍රධාන කාරණයක් වෙනවා. කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සිටින්නේ ටොරොන්ටෝ නගරයේ. එනිසාම මෙම ප්‍රජාවට අවශ්‍ය සේවය සැපයීමට පහසු කිරීමේ අරමුණින් ටොරොන්ටෝහි කොන්සල් ජෙනරාල් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. මෙම ජන ප්‍රජාව සමග සම්බන්ධවීම මෙන්ම ඔවූන්ට අවශ්‍ය සේවාවන් සැපයීම පහසු කිරීමයි අප කාර්යාලයේ මුලික අරමුණ. ඊට අමතරව වෙළඳ, විදේශ යෝජනා සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමත් පැවරී තිබෙනවා. ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමත් අප කාර්යාලයෙන් සිදුවන ප්‍රධානම කාර්යයක්”, ඇය එක හුස්මට කියාගෙන ගියා.

අද වනවිට ඔබ මාස 8 ක කාලයක් කැනඩාවේ කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කර තිබෙනවා, මේ කාලය තුල ඔබගේ අත්දැකීම් පිළිබඳව යමක් කිව හැකිද?

“මම මේ තනතුර බාර ගෙන කැනඩාවට එන අවධියේ, මා දන්නා කිසිම පෞද්ගලික ඥාතියෙක් හෝ මිතුරෙක් කැනඩාවේ සිටියේ නැහැ. නමුත් හැමෝම මාව හදවතින්ම පිළිගත්තා. ඇත්තටම මම කතා කරන්නෙ හැම ප්‍රජාවක්ම ගැන, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියල කිසිම වෙනසක් නැතුව ඔවුන් මා පිලිගනු ලැබුවා. ටොරොන්ටෝහි ජන සමාජය හදුනා ගන්න, අධ්‍යයනය  කරන්න, ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගන්න ටික කාලයක් ගත උනත් අද වනවිට අපි අරමුණක් සහිතව, වැඩ පිළිවෙලක් සහිතව ගමනක් යනවා”.

කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජය සම්බන්ධව ඔබගේ බලාපොරොත්තු/අරමුණු  මොනවාද?

“කොන්සල් ජනරාල් කාර්යාලයෙන් කැනඩාවේ ශ්‍රී ලංකික ප්‍රජාව සඳහා මුලිකවම ඉටුවියයුතු කර්තව්‍යය වන කොන්සුලර් කටයුතු ඉතා උසස් සේවාවකින් ලබාදීම මගේ මුලික අරමුණක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන යම් වැඩපිළිවෙලක් දැනට කරගෙන යනු ලබනවා. ඒ  වගේම කැනඩාවේ සිටින ශ්‍රී ලංකික සියලුම ජනවර්ගයන් එකට එකතු කිරීම තවත් මුලික අරමුණක්”. 

ඉහත සඳහන් බලාපොරොත්තු/අරමුණු ඉටුකර ගැනීමට ඔබ කරනු ලබනා කටයුතු මොනවාද?

“කොන්සුලර් සේවාව උසස් තත්වයකින් ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගයෙන් ‘online’ සේවාවන්  වැඩි කිරීමට පුළුවන් හැකි පියවරක්ම ගෙන අද වනවිට online appointments සේවාව ඇතිකර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය හා අනුගාමීව සංහිදියාව ඇතිකිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නගමින් තිබෙනවා. සියලුම ප්‍රජාවන් සමග සහයෝගෙන් මෙන්ම එම ප්‍රජාවන් අතර අන්තර් සම්බදතා ඇතිකීරීම සඳහා විවිධ වැඩ පිළිවෙලවල් ක්‍රියාවට නැගීමට නියමිතයි. එය අභියෝගාත්මක බව මම දන්නවා. ඒ සඳහා සියලුම වාර්ගික ප්‍රජාවන් මුණ ගැසී ඒ සංහිදියාව ඇති කිරීම සඳහා අවංක උත්සහයක් දරමින් සිටිනවා. මෙහිදී පන්සලක වේවා, දෙමළ කෝවිලක, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක වේවා ඔවුන් සමග සමීප සබදතාවයක් ඇතිකරගැනීමට මම උත්සාහ කරනවා. මෙය යම් කාලයක් ගත වන කර්තව්‍යක්. මේ දක්වා සිටි සියලුම කොන්සල් ජනරාල්වරු ඒ සඳහා කැපවී වැඩ කටයුතු කර ඇති බව මම සදහන් කලයුතුම කාරණයක්. මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතු කරනා කිහිපයක් තිබෙනවා. කොන්සල් ජනරාල් කාර්යාලයේ මුලිකත්වයෙන් සිංහල කතෝලික සංගමයත්, දෙමල කතෝලික සංගමයත්, බෞද්ධ හා මුස්ලිම් ප්‍රජාවත් එකතුව කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පවත්වන ප්‍රථම නත්තල් සැමරුම දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වීමට කටයුතු කරමින් පවතිනවා. කොන්සල් ජනරාල් කාර්යාලය මගින් ජනවාරි මස තෛපොංගල් උත්සවය සැමරීමට බලාපොරොත්තු වෙනවා” ඇයගේ දීර්ඝ පිළිතුරේ තිබුනේ තෘප්තිමත් හඬක්”.

සංහිඳියාවට සහ එදිනෙදා සේවාවන්ට අමතරව ඔබ කල කීදෑ සහ කිරීමට බලාපොරොත්තු වෙන්නේ  මොනවාද?

“පසුගිය මාසයේදී කොන්සල් ජනරාල් කාර්යාලයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය ප්‍රථම වතාවට කැනඩාවේ ටොරොන්ටෝවේ සහ මොන්ට්‍රියල් නගරවල ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රචාරක වැඩසටහන් කිපයක්ම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙවැනි සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කැනඩාවේ කරනු ලැබුවේ දශකයකටත් පසුව. එයට ලංකාවෙන් සංචාරක සමාගම් 10ක් පැමිණ සහභාගී උනා. අපි හැමදාම හිතන්නෙ කැනඩාව දුර වැඩි නිසා සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම අසීරු කාර්යයක් කියලා, නමුත් ඒක සත්‍යයක් නොවේ. එය කල හැකියි කියලා මට විශ්වාසයක් තියෙනවා. සාර්ථක ප්‍රචාරයකින් එතැනට ගෙන ඒමට අපට පුළුවන්. දුර කියන එක ප්‍රශ්නයක් තමයි, නමුත් එයට විසඳීමක් හැටියට අපිට පුළුවන් Emirates, Turkish වැනි අන්තර්ජාතික ගුවන් සේවා සමාගම් සමඟ සාකච්චා කරලා අතරමැද පැය කිහිපයක නැවතුම් හඳුන්වා දෙන්න. මෙවැනි කටයුතු දිගටම කරගෙන යාමට අප කාර්යාලය ක්‍රියාත්මක වෙමින් සිටිනවා. එය අපේ කාර්යාලයෙන් කල වැදගත් කටයුත්තක්. දෙසැම්බර් 03 වෙනිදා ටොරොන්ටෝ නගරයෙහි  “ශ්‍රී ලාංකික තේ” ප්‍රචාරණ ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා. අප්‍රේල් මාසයේදී, කැනඩාවෙන් නියෝජිතයින් පිරිසක් ලංකාවට යනවා. ඒ වගේම, ආයෝජන සඳහා ලංකාවේ පවත්වන ‘EXPO Summit’ එකට සහභාගිවීමට කැනඩාවෙන් කණ්ඩායමක් ලංකාවට යවනවා”, ඇයගේ අපේක්ෂාවන් ඉතාමත් ආකර්ශනීයව වචන බවට පෙරළුවා.

ඔබතුමිය තමයි, ටොරොන්ටෝවෙහි කොන්සල් ජනරාල්වරිය. ඔබගේ බල ප්‍රදේශය (Jurisdiction) පිළිබඳව අපිව දැනුවත් කරන්න පුලුවන්ද?

“අප කාර්යාලයේ බලප්‍රදේශය තමයි මහා ටොරොන්ටෝ ප්‍රදේශය (Greater Toronto Area), Kitchner සහ Windsor. ඒක ඉතා සුළුයි කියලයි මට හිතෙන්නෙ. ඊට වඩා විශාල බල ප්‍රදෙශයකට් උනත් සේවා සැපයීමේ ධාරිතාව අපට තිබෙනවා” ඇයගේ ප්‍රබල පෞරුෂය මම විමතියට පත් කළා.

ඔබගේ රැකියා කටයුතුවලදී, පවතින රජය සමඟ ගනුදෙනු කිරීමට සිදු වෙනවා. සමහර අවස්ථාවක, සමහර දේශපාලනික උපදෙස්වලට ඔබට හදවතින් එකඟ විය නොහැකි වෙන්න පුළුවන්. ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වැඩක් නේද? ඔබ එම දේශපාලනය ඇඟේ තවරා නොගෙන රාජකාරිය ඉටු කරන්නේ කෙසේද? 

“රාජ්‍ය නිලධාරීන් ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගරු කිරීම මෙන්ම ඒවා  ක්‍රියාත්මක කිරීමට අපි බැඳිලා ඉන්නවා. අපි සෑම කුඩා කටයුත්තකදීම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර නොඉල්ලුවත්, අපි ඉතාමත් පරිස්සම් වෙනවා අපේ කටයුතු රජයේ ප්‍රතිපත්ති සමග සමානරුපීව තබා ගන්න. ඇත්තටම, ඒක අපගේ යුතුකම සහ වගකීම. අපේ පෞද්ගලික දේශපාලන මතවාද, ප්‍රතිපත්ති  රැකියාවට අදාල නැහැ, ඒවා කාර්යාලයට පැමිණෙන විට දොර ළඟ තියලා එන්නෙ. ඒ නිසා ඒවායින් අපේ සේවයට බලපෑමක් හෝ ගැටුමක් ඇතිවෙන්නෙ නැහැ”. 

ලංකාවේ රජයේ සහ බැංකුවල සේවය කල බොහෝ දෙනෙක් විශ්‍රාම ගෙන කැනඩාවේ ජීවත් වෙනවා. නමුත් ඔවුනට එම විශ්‍රාමික මුදල් මෙරටට ගෙන්වා ගැනීමට බැංකු හරහා යා යුතුයි. එතැනදී, විශ්‍රාමිකයින්ට ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා. රජයේ බැංකු මගින් Online Banking පහසුකම ලබා දීමත් ප්‍රතික්ෂේප කරනවා. එම පුද්ගලයින් වෛද්‍යවරයාගේ සහතිකය(Life Certificate) කොන්සල් ජනරාල් කාර්යාලයට ඉදිරිපත් කිරීමට පෙර, ඔබ කාර්යාලය නිර්දේශ කරනා නීතිඥවරයෙකු සහ සර්විස් කැනඩා (Service Canada) ආයතනය විසින් සහතික කළ යුතු වෙනවා. ඔබ කාර්යාලය වෛද්‍යවරයාගේ සහතිකය සම්බන්ධව සෑහීමකට පත් නොවන්නේ ඇයි?

“ඇත්තටම, මෙම කථාවට එකඟ වෙන්න බැහැ. කොන්සල් කාර්යාලය මගින් කිසිම නීතීඥයෙක් නිර්දේශ කරන්නේ නැහැ. කැනඩාවේ ලියාපදිංචි ඕනෑම නීතීඥයකු ලවා ලිපි ලේඛන සහතික කරගත හැකියි. නමුත් එම නීතීඥයා සහතික කරනු ලබන ලේඛන සර්විස් කැනඩා (Service Canada)වේ නිර්දේශය ලබාගත යුත්තේ, වංචා වැලැක්වීම සඳහායි. අපේ website එකේ මේ සම්බන්ධව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි දැන් website එකේ භාෂාව සිංහල සහ දෙමල භාෂා වලිනුත් පවත්වා ගෙන යාමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම ලාංකික ජනතාවගේ පහසුව සඳහා අපි බොහෝ නගරවල ජංගම කොන්සල් සේවා ලබා දීමත් සිදු කරනවා. ඒවාට සහභාගි වන පුද්ගල ප්‍රමාණයෙන්, එම සේවාවේ වටිනාකම පෙන්නුම් කරනවා”.  

කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ට ඔබ කාර්යාලයේදී, බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ ප්‍රශ්න අතරින්, ෆොටෝ කොපි ගැසීම, ස්කෑන් කර ගැනීම වැනි ප්‍රශ්න සඳහා ඔවුනට බාහිර ස්ථානවලට යාමට සිදු වෙනවා. එම යන්ත්‍ර මිලට ගෙන එම මුදල් පැමිණෙන අයගෙන් අයකර ගැනීම පැමිණෙන අයට පහසු නේද?

“මෙවැනි සේවාවන් කිසිම තානාපති කාර්යාලයකින් සපයන්නෙ නැත්තේ කිසි විටකත් රිසිට් පතක් නොමැතිව මුදල් අය කිරීමට රජයේ ආයතනයක් වන අප කාර්යාලවලට තහනම් නිසයි. නමුත් යම් කෙනෙකුට එම කොපි ගැනීමට අපහසුතාවයක් ඇත්නම්, අපි ඒවා නොමිලේ ලබා දීමට කටයුතු කරනවා”.   

මේ ළඟදී පැමිණි සංචාරක උප ඇමති රුවන් රණසිංහ මැතිතුමාගේ සංචාරයේ ප්‍රගතිය ගැන ඔබට පුලුවන්ද කෙටියෙන් සඳහන් කරන්න.

“මුලින්ම මම ඉතාමත් සතුටු වෙනවා, වැඩ භාර ගෙන මාස 8 ක වැනි කෙටි කලකදී, කොන්සල් ජනරාල් කාර්යාලය මගින් අපට සංචාරක නියෝජ්‍ය ඇමතිවරයාගේ නිල සංචාරයක් සංවිධානය කිරීමට හැකිවීම සම්බන්ධව. එම සංචාරයෙන්, විශාල ප්‍රගතියක් සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අපට ලබා ගැනීමට අවස්ථාව ලැබුනා. කැනඩාවේ ශ්‍රී ලාංකික නොවන, මාධ්‍යකරුවන් අපි පැවැත්වූ සංචාරක ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධව, ඒ ගැන විශේෂ උනන්දුවකින් ලියන්න පටන් ගත්තා. ලංකාවට ගිහින් අපේ ලංකාවේ සුන්දරත්වය සම්බන්ධව ලියන්න කිහිප දෙනෙක් ඉදිරිපත් වෙලත් තියෙනවා. මීට අමතරව, සංචාරක අංශයේ ප්‍රවර්ධනය සම්බන්ධව ඉදිරි වසරේ තව වැඩ සටහන් කිහිපයක්ම කිරීමට නියමිතයි. ඒත් එක්කම, ආයෝජන සඳහාත් අපි ලබන අවුරුද්දට සැලසුම් කිහිපයක් කර තිබෙනවා, ඔබගේ ඊළඟ ලිපියේදී, මේ ගැන අපි වැඩි දුරටත් කතා කරමු”, ඉතාමත් ප්‍රබෝධයෙනුයි ඇය සඳහන් කලේ. 

ඔබගේ කාර්යාලය පිහිටා ඇත්තේ ඉතාමත් තදබදයක් ඇති කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ට ළඟාවීමට අපහසු ස්ථානයක. එමෙන්ම, වාහන නැවතීම සඳහා (parking) විශාල මුදලක්ද වැය කිරීමට සිදු වෙනවා. ඔබ කාර්යාලය පිහිටා ඇති ස්ථානය සලකා බැලීමේදී, එහි මාසික කුලියද අධික යැයි අපට උපකල්පනය කල හැකියි. මෙම කාර්‍යාලය වාහන තදබදය අඩු ස්ථානයකට ගෙන යාම ප්‍රායෝගිකයි කියා ඔබ සිතන්නේ නැද්ද? තදබදය අඩු ප්‍රදේශයක ගොඩනැගිල්ලක් මිලට ගෙන එහි සමහර කාමර ලාංකික ව්‍යාපාරවලට බදු දීමෙන් උකස් වාරිකය පියවා ගැනීමේ වාසියද ඉන් අත්වෙනවා නේද?

“ඔව් ඔබ සඳහන් කල කරුණු, විශේෂයෙන්ම පිහිටා ඇති ස්ථානයේ තදබදය, රථ ගාල් (parking) ප්‍රශ්නය සම්බන්ධව අපි ප්‍රබල ලෙස දැනුවත් වගේම මේ තත්වය වෙනස් විය යුතුයි කියලා මම පෞද්ගලිකවත්, කොන්සල් ජෙනරල් කාර්යාලය පොදුවේත් විශ්වාස කරනවා. නමුත් ඔබ සඳහන් කල විශාල ගොඩනැගිල්ලක් මිලට ගෙන සමහර කොටස් ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාවට බදු දීම වැනි කාර්යයන් රාජ්‍ය ආයතනයක් වන අපට කිසිසේත්ම කල නොහැකි බව අවධාරණය කරන්න ඕන. මේ ප්‍රශ්නවලට අදාල ඉදිරිය සම්බන්ධව අපි බලාපොරොත්තු සහගත වෙමු නේද?”. 

ඔබ කාර්යාලයේ ඇති ආගමික පරිසරය (religious statues) ඉවත්කර කාර්යාලයීය වාතාවරණයක් නිර්මාණය කිරීම සුදුසු යැයි බොහෝ අය පිලිගන්නවා, ඒ පිළිබඳව ඔබගේ අදහස්?

“මේ අවස්ථාව දෙස විවිධ අය විවිධ කෝණවලින් බලා විනිශ්චය කරන්න පුළුවන්. නමුත් අපි මේ දිහා පුළුල් දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත්, අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ආගම සහ සංස්කෘතිය සමඟ ප්‍රබලව බද්ධ වෙලා තියෙන්නෙ. එමනිසා, එම පසුබිම ඉවත් කිරීමට වඩා තිබීම ගෝචරයි කියලයි මම විශ්වාස කරන්නෙ”, ඇයගේ ස්ථාවරය ඉතා පැහැදිලිව සඳහන් කළා.   

කැනේඩියානු කාර්යාලවල මෙන් පැමිණෙන අයට ප්‍රියමනාපව සැලකීම මඳ බවයි ඔබ කාර්යාලයට යන එන අය පවසන්නේ. ඔබ ඒ පිළිබඳව දැනුවත්ද?

“මම දැනුවත්ව එවැනි දේ සිදුවන්නේ කලාතුරෙකින්. මට මේ ලඟදි එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුවා, පැමිණි කෙනෙක්, කාර්යාලය තුල කෑ ගසා තිබෙනවා. මම කාරනාව විසඳීමේදී, දෙපැත්තෙන්ම ලැබුනෙ පරස්පර විරෝධී තොරතුරු. මම ඔහුව මගේ කාමරයට කැඳවා ප්‍රශ්නය විසඳුවා. මෙවැනි ප්‍රශ්න දිහා අපි මානුෂික ඇසකින් බැලිය යුතුයි. පැමිණෙන සේවා දායකයින්ගේ සංඛ්‍යාවත්, කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාවත් සසඳා බැලුවොත්, අප කාර්ය්‍  මණ්ඩලය මත විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. එමනිසා ඔහු හෝ ඇය විඩාවට පත්ව සිටීමට පුළුවන්. සේවාදායකයා තමාගේ ගෙදර ප්‍රශ්න හෝ වෙනත් ප්‍රශ්න හේතුවෙන් තරමක් ආවේගශීලීව හැසිරෙන්න පුළුවන්. කොහොම නමුත්, අපේ කාර්ය මණ්ඩලයට නිරන්තර මතක් කරදෙනවා, කුමන වාතාවරනයකදී වුවත් ආචාරශීලී විය යුතු කියලා. කලාතුරෙකින් යම් සිද්ධියක් වුවත් පොදුවේ ගත්කල අපි ජනතාවට ප්‍රියමනාපව සලකන්න සෑම උත්සාහයක්ම ගන්නවා. අපේ කාර්යාල පරිසරය ගැන කතා කලොත්, සැම මොහොතකම කාර්යාලයේ කවුන්ටරයට ඇවිත් මට ඉන්න බැහැ. නමුත් අවශ්‍ය සෑම විටකම සේවා දායකයෙකුට ප්‍රශ්නයක් මා සමඟ කතා කිරීමට අවශ්‍ය නම්, එය ඉටු කිරීමට මම මේ මාස 7 ඇතුළත උත්සාහ කළා.  මම නොදැන කවුන්ටර් එකට ඇවිල්ල වැඩේ නොකර ගෙන ගිය ඕන තරම් ඇති. හැබැයි මම දැනුවත්ව එවැනි දේවල් සිදුවෙන්න මම ඉඩ තියලා නැහැ. ඒ වගේම සේවාදායකයාගේ භාෂාවට අනුව සේවය සැපයීමත් අපේ ප්‍රතිපත්තිය. කුමන හෝ ප්‍රශ්නයක් හෝ අපහසුතාවයක් ඇත්නම්, මා කාමරයේ දොරටුව ඔවුනට විවෘතයි. මම අභ්‍යන්තර හෝ බාහිර රැස්වීමක නොවේ නම් 9.00 සිට 4.45, බොහෝ විට 6.00, 6.30 දක්වා මම කාර්යාලයේ රැඳී සිටිනවා, පෙර දැන්වීමක් නැතිව මා හමුවිය හැකියි ”.

ලාංකීය කාර්යාලවල මෙන් කුමක් හෝ කියා ආපසු යැවීමට වඩා, එන පුද්ගලයාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීම වටිනවා නේද?

“අනිවාර්යයෙන්ම, එය තමයි අපේ අරමුණ. අපේ ජංගම සේවාවලදී, සේවා දායකයින්ගෙන් අපිට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙනවා. සාධාරණ හේතු මත, ඊළඟ ජංගම සේවා දිනයේදී, ඒවාට පිලිතුරුත් රැගෙන යාමට අපි 100% කම උත්සාහයක් ගන්නවා. කිසියම් කෙනෙකුට නොවිසඳූනාවූ ප්‍රශ්නයක් ඇත්නම්, කෙලින්ම මට ඇමතීම හෝ හමුවීම කල හැකියි”.

“ඔබට පුලුවන්ද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව මෙවර 2027 අයවැයෙන් සිදුකල වෙනස් කම් සම්බන්ධව අප පාඨකයින්ව දැනුවත් කරන්න?


“නව ගෝලීය උරුම පුරවැසිභාව වැඩසටහන යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයදුම්කරුවන්ගේ දරුවන්ට මෙන්ම තෙවන පරම්පරාවේ දරුවන්ටද ගාස්තු රහිත ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට තීරණය කර තිබෙනවා; ගාස්තුව(USD 2000) ගෙවිය යුත්තේ ප්‍රධාන අයදුම්කරුවා පමණයි. එමෙන්ම, බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන පුද්ගලයන් වෙනුවෙන් නව මාර්ගගත(Online) අයදුම් කිරීමේ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම ඔක්තෝබර් 1 වැනිදා සිට, ද්විත්ව පුරවැසිභාවය සඳහා වන අයදුම්පතකට යැපෙන්නන් ලෙස ඇතුළත් කිරීමට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 21ට අඩු දරුවන් පමනයි-මේ කාරනා මමත් දැක්කෙ 2027 අයවැය කතාවෙන්. අපිට තවම චක්‍ර ලේඛන නම් ලැබිලා නැහැ”.

මම කැමතියි සුළු මොහොතකට, ඔබගේ පෞද්ගලික ජීවිතය පැත්තට හැරෙන්න, ඔබට විනෝදය සඳහා කාලයක් ඇත්දැයි මම දන්නෙ නැහැ, ඇත්නම්, මොනවද ඔබේ විනෝදාංශ?

“මම ක්‍රීඩිකාවක්, නැටුම් කරපු කෙනෙක්. ඒවාට අද මට අවස්ථාවක් නැහැ. නමුත් මගේ සෞඛ්‍යය වෙනුවෙන් ඇවිදීමට යම් උත්සාහයක් ගන්නවා. දවසේ අවසානයේ, ගීතයක් ඇසීමට මම ප්‍රිය කරනවා. වාහනයේ ගමන් කරන බොහෝ විට මම 70 දශකයේ, ගීතවලට සවන් දෙනවා. අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ ගීත තමයි අදටත් මම අහන්නෙ. සුනිල් එදිරිසිංහ තමයි මගේ ප්‍රියතම ගායකයා. අවාසනාවකට, මෑත කාලයේ ගීත සම්බන්ධව මට කිසිම අවබෝධයක් නැහැ”. 

ඔබ යෞවනයේ තිබු බලාපොරොත්තුත්, අද ඔබ සිටිනා තැනත් බැලුවොත්, මෙතැනට ඒමට ඔබ ජීවිතයේ සිදුවූ හැරවුම් ලක්ෂය කුමක්ද?

“ඒකට මට දෙන්න තියෙන්නෙ ඉතාම කෙටි පිළිතුරක්. මගේ සම්මුඛ පරීක්ෂණය සඳහා නාරාහේන්පිට නොබැස, කොටුවෙ දුම්රිය ස්ථානයෙන් බැහැපු එක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය”, ඉතාමත් බරපතල පැනයට අප කොන්සල් ජනරාල්වරියට තිබුනේ ඉතාමත් සැහැල්ලු පිළිතුරක්. 

ඔබ කාන්තාවක් වීම ඔබේ රැකියාවට වාසියක්ද? අවාසියක්ද?

“මම හිතනවා කාන්තාවක් වීම මගේ රැකියාවට වාසියක් කියලා. කාන්තාවකට පුළුවන් කමක් තිබෙනවා සමාජය සමඟ බොහොම සුහදවීමට මෙන්ම ප්‍රශ්නයක ගැඹුරට ගොස් තේරුම් ගැනීමට. කාන්තාවක් වීම සමහර විට යම් බාධාවක් වෙන්න පුළුවන්, නමුත් සෘජුව තීරණ ගන්නේ  නම් සහ සානුකම්පිතව ප්‍රශ්න දිහා බලනවා නම් එහිදී ගැටළු පැන නැගීම අවම වෙනවා”.

මෙම රැකියාවෙන් ඔබ ලබන තෘප්තිය සම්බන්ධව යමක් කියන්න පුලුවන්ද?

“ඇත්තටම මම හරිම සංවේදී සහ සහකම්පනයෙන් පිරිපුන් කෙනෙක් කියලයි මට හිතෙන්නෙ, සමහර විට එයට හේතුව මම කාන්තාවක් වීම සහ අම්මාගෙන් ලැබූ ආභාෂය වෙන්න පුළුවන්. විදේශ සේවාව කියන්නෙ මට මහජන සේවාවක් එහෙමත් නැත්නම් සමාජ සත්කාරයක්. ලියුම් ලිවීම, වාර්තා කිරීම්වලට එහා ගොස් ජනතා සේවාවක් ලෙස මිනිසුන් සමඟ වැඩ කරන්නයි මම කැමති. ඇත්තටම, ඉන් ලැබෙන තෘප්තිය සහ අත්දැකීම, කාර්යාලයක් තුල සේවයේ යෙදෙනා කෙනෙකුට ලබා ගත නොහැකි විරල අත්දැකීමක්. අබුඩාබි නගරයේ මා සේවය කල සමය මට ඉතා විශේෂ කාල පරිච්චේදයක් මෙන්ම ඒ පිළිබඳව මට තියෙන්නෙ මිශ්‍ර හැගීමක්. ශ්‍රී ලාංකික ප්‍රජාව, විශේෂයෙන්ම කාන්තාවන් එම රටවලදී විඳින දුක් වචනයෙන් කියා නිම කරන්න බැහැ. හවස වැඩ ඇරලා ගෙදර යන්න ලේස්ති වෙලා එලියට බහින කොට, එතැන ඉන්නවා, බඩු මළු කිහිපයක් ළඟ තියාගෙන බිම වාඩිවෙලා අසරණව ඉන්නා අපේ මිනිසුන්, බොහෝ විට කාන්තාවන්. ඔවුන්ගේ සුභසාධනය සඳහා විශේෂිත අංශයක් තිබුනත්, එම කාර්යාලයේ දෙවෙනියා ලෙස මම නිතරම ඒවාට මැදිහත් උනා. ඔවුන් එම රටට ගෙන ආ ඒජන්සිය හරහා ලංකාවට යැවීමයි අපේ කාර්යාලයේ වගකීම. ඇත්තටම, ඒ අසරනයින්ගේ ප්‍රශ්න දිහා මම බැලුවේ රාජකාරියට එහා ගිය මානුෂික දැක්මකින්. ඒ අනුවේදනීය කථා විදේශ සේවයට නැඹුරු වීමට ප්‍රබල හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. අනික් අතට අබුඩාබි වල සේවය කල ප්‍රජාව සමඟ අපි විශාල සංස්කෘතික වැඩ කොටසක් කළා. අබුඩාබි යුගය අද වෙනතෙක් මගේ වෘත්තීය දිවියේ අනුවේදනීය මෙන්ම රසවත්ම සහ උද්යෝගවත්ම කාලය කිව්වොත් මම නිවැරදියි” දිගටම කියා ගෙන ගිය ඇය සුසුමක් සමඟම ආවේගය මුදා හැරියා. 

ඔබ ලබා ඇති ජයග්‍රහණ සම්බන්ධව ඔබ සැහීමකට පත්වෙනවද?

“ජයග්‍රහණ පසුපස හඹා යාමට වඩා, මගෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් ඉටුකිරීම තමයි මගේ අරමුණ. මගේ පෞද්ගලික යුතුකම්වලට වඩා ඒවා පොදු යුතුකම්. මගේ පවුලේ අයට මගේ අතින් ඉටුවිය යුතුකම්ද මට ඉතා වැදගත්. මම හිතනවා මට බොහෝදේ ලැබිලා තියෙනවා කියලා. ඔව්, මම ජීවත්වන්නෙ අම්මා, තාත්තා, මගේ ස්වාමියා සහ සිඟිති දියණිය සමඟ එක වහලක් යට සතුටින්. මේ නිසා මම තෘප්තිමත් මගේ ජීවිතය පිළිබඳව”.

ඔබට අද වෙනතුරු මග හරුනු සිහින එහෙම නැත්නම්, බලාපොරොත්තු බිඳ වැටුණු අවස්ථා තිබේද?

“ඇත්තටම නැහැ, මම පරිපාලනය සේවයට යාමේ ප්‍රබල කැමැත්තක් තිබුනත්, විදේශ සේවාව මා විසින්ම තෝරා ගත් මාර්ගයක්. අනික් අතින් බැලුවහම, මේ මංමාවත් දෙකේම අරමුණ මහජන සේවාව. නමුත් විදේශ සේවාවේදී, විදේශ රටවල විවිධ ජන කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මට කියන්න බැහැ පරිපාලන සේවාව මගේ මග හැරුණු සිහිනයක් කියලා”, තෘප්තිමත් බව මේධාවි පීරිස්ගේ හඬේ ගැබ්ව තිබුනා. 

මම කැමතියි ඔබගේ පෞද්ගලික සිහින ගැන දැනගන්න.

“මගේ අම්මාගේ සෙවනේ හැදුනු මමත් මගේ මල්ලිත් අපි ඉපදුනු රට ගැන හරිම සංවේදීයි. මගේ රැකියාව හේතුවෙන් මගේ සිඟිති දියණියට සිදුවෙලා තියෙනවා, විදේශයන්හි අතු රිකිලි දාන්න, නමුත් මම සෑම උත්සාහයක්ම ගන්නවා, ඇයගේ සිංහල භාෂාවේ සහ සංස්කෘතියේ ආභාෂය රැකගන්න. නිකමටවත් ගෙදරදී අපි ඉංග්‍රීසි භාෂාව කථා කරන්නෙ නැහැ. මගේ සිහිනය සහ ප්‍රාර්ථනාව හැටියට කියන්න පුළුවන්, මගේ දියණියත් මම වගේම තමාගේ මාතෘ භූමියට ආදරය කරන වගේම මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා කටයුතු කරන පුද්ගලයෙක් වීම කියලා”.

අවසාන වශයෙන්, ඔබේ ජීවිතය වෙනස් කළ හෝ ඔබේ ජීවිතයට විශාල බලපෑමක් කළ නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයින් ගැන සඳහන් කිරීමට ඔබ කැමති නම්, ඔබට ඒ සඳහා අවස්ථාවක් දෙන්න පුළුවන්

“මුලින්ම, සඳහන් කරන්න ඕන මා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල මගේ ආදරණීය දෙමාපියන්. ඔවුන් නිසයි මම අද මෙතැන ඉන්නෙ. ඊළඟට මා වෙනුවෙන් ඔහුගේ රැකියාව පවා කැපකළ, මගේ සෙවනැල්ල මෙන් මා ළඟ සිටිනා මගේ ස්වාමියා මට අත්වැලක්. මේ අයගේ ශක්තිය තමයි මා තුල කිඳා බැස තිබෙන්නෙ. දෙවනුව, මගේ පාසැල් දිවියේදීත්, පසුව සරසවියේදීත් දිසාපාමොක්වරුන් වැනි ඉතාමත් අගනා, ආදර්ශමත් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය මට හිමි උනා. ඉන්පසුව, විදේශ සේවාවේ 3 වන ලේකම්වරියකගෙන් ආරම්භව පියවරෙන් පියවර කොන්සල් ජෙනරල් දක්වා මා පැමිණි මේ දීර්ඝ මෙන්ම කටුක ගමනේදී, විදේශ අමාත්‍යංශයේ පටන් තානාපති කාර්යාල දක්වා මට වැඩ කිරීමට සිදුවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබූ පන්නරය තමයි මගේ මේ පරිනතභාවයට හේතුව. මම විශේෂයෙන්ම සඳහන් කලයුතු දෙයක් තමයි, ඔවුන් සෘජුව තීන්දු තීරණ ගත් මෙන්ම ප්‍රබල පෞරුෂයක් ඇති ඉතාමත් විධිවත් නිලධාරීන්. අදත් මම අනුගමනය කරන්නෙ ඒ ලැබූ අවවාද සහ උපදෙස්. අද ඔබ ඉදිරියේ සිටින කොන්සල් ජනරාල් මේධාවී පීරිස් කියන්නෙ ඉහත සඳහන් කල ආදරණීය මෙන්ම ගෞරවනීය පුද්ගලයින් සියල්ලන් අතින් නිමැවුණු නිර්මාණයක් කියලා මට නිහතමානීව සඳහන් කරන්න පුළුවන්”.   

පකිස්තානයේ ඉහළම සිවිල් සම්මානයකින් ගරු බුහුමන් ලැබූ, පකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය ගැහැණු දරුවන්ට අධ්‍යාපනය දීමේ පුරෝගාමියෙක් වූ Greg Mortenson වරක කියා තිබෙනවා “ඔබ පිරිමි ළමයෙකුට අධ්‍යාපනය දුන්නේ නම්, ඔබ පුද්ගලයෙකු දැනුවත් කරයි; නමුත් ඔබ ගැහැණු ළමයෙකුට අධ්‍යාපනය දුන්නේ නම්, ඔබ ප්‍රජාවක් දැනුවත් කරයි.” කියලා. ඒ කියමනට අර්ථකථනයක් දෙමින්, තම රටට, ජනතාවට සේවයක් කිරීමට තම අධ්‍යාපනය යොදා ගත්, කාරුණික මෙන්ම නිහතමානී මේධාවී පීරිස් නම් වූ අප කොන්සල් ජනරාල් වරියට ඇත්තේ ඉතාමත් ප්‍රබල පෞරුෂයක්. ඒ වගේම ඇය අධිෂ්ඨානශීලීයි. ඇයගේ සේවා කාලය තුල කැනේඩියානු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඇය තුල ඇති බලාපොරොත්තු ඉටුවීම මෙන්ම මතු යම් දිනක කැනේඩියානු ශ්‍රී ලාංකික තානාපතිනිය වීමේ වරප්‍රසාදයද හිමි වේවා යැයි අප විද්‍යුත් පුවත්පත “Srilancan” වෙනුවෙන් සුභ පතා මම ඇයගෙන් සමු ගත්තෙමි.   

සේයාරූ රැසක් සහිත මෙහි  මුල් ලිපිය ශ්‍රී ලංකැන් පුවත්පතේ  ඩිජිටල් අවකාශයෙන් කියැවිය හැකිය . https://srilancan.ca. මුහුණු පොතේ කැනේඩියානු නීති රීති යටතේ එහි දිගු පලකල නොහැකිය. 

සංවාද සටහන   – අසෝකා ජයලත්  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …