දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක් – ලෝක ජල සමුළුවේදී ජනපති කියයි. Elon Musk හා ජනපති අතරත් හමුවක්

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මේ අතර ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන  ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුවක්  සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡාවේදී

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද තීරණය විය.

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි.

මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී සිදුවිණි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලංකාවේ  ස්ටාර්ලින්ක් (Starlink)සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියයි.

එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර ඡනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ඊලොන් මස්ක් මේ වසර අගදී ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් බව වාර්ථා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *