සාහිත්‍යය සඳහා සම්මාන පිට සම්මාන දිනූ කැනඩාවේ සහෝදර පුවත්පත් කලාවේදියා

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ඉතා විශාල ක්ෂේත්‍ර ගණනාවක තම නිර්මාණ වපසරිය විහිදුවා ලූ චරිතයක් එක්ක . අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු පුවත්පත් කලාවේදියා වගේම සාහිත්‍යධරයාත් ඔහුයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිත මේ වෙනුවෙන් එක් කරගන්නටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ.

1905 දී, රුසියාවේ පළමු විප්ලවය පරාජයෙන් පසු, මැක්සිම් ගෝර්කිගේ දේශපාලන න්‍යාය පත්‍රය වුයේ සිය කෘතිය Mother හරහා නිර්ධන පංති ව්‍යාපාරයේ ආත්මය ඔසවා තැබීමට. සරල  වචනයෙන් කියනවානම්, පරාජිත මනෝභාවයට එරෙහිව සටන් කිරීම සඳහා විප්ලවවාදීන් නැවත දිරි ගැන්වීමට ඔහු යොදවා ගත්තේ ඔහුගේ පෑන. ඒ නිසා මට හිතෙනවා ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම ලේඛන කලාව කියලා. එහිදී, යමෙකුට තෙලිතුඩ අවශ්‍ය පරිදි ඒ මේ අතට හරවා හැගීම් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙනවා වගේම ඒ තුලින් යහපත් සමාජයක් ගොඩ නැංවීමට විශාල මෙහෙවරක්ද කල හැකියි. කෙසේ වෙතත්, ඒ ගමන දුෂ්කර මෙන්ම සුවිශේෂී වේදනාකාරීද විය හැකියි. 

මම අද ඔබට හඳුන්වා දීමට යන්නෙත් සාම්ප්‍රදායික පවුලක උපත ලැබුවත් ගෝර්කි මෙන් දුක් විදිනා මිනිසුන්ගේ දුක වේදනාව උදෙසා තම තෙලිතුඩට පණ පෙවූ මිනිසෙක්. ඔහු පෑන ඉතා සුමට ආයුධයක් ලෙස කීකරු කරගත් සමාජයේ අසාධාරණයන් ලොවට හෙළිදරව් කරනා වටිනා ලේඛකයෙක්. පසුගිය දශක ගණනාවක ලාංකික දේශපාලන සන්ධර්භය තුල, සාමාන්‍ය ජනයාට දේශපාලන සබුද්ධිය උපයා ගැනීමට ඔහුගේ වාමාංශික ප්‍රගතිශීලී අදහස් අනුබලයක් උනා. ඒත් එක්කම, ඔහුගේ පාරම්පරික ආශ්චර්‍යය මත සම්මතය තහවුරු කර ගැනීමට ඔහුට කිසිසේත්ම උවමනා නොවුනු බව ඔහුගේ කෘතීන්ගෙන් මනාව පාඨකයාට පැහැදිලි කර දෙනවා. තමාගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කිසිදිනක ඔහුගේ ආත්මීය දෘෂ්ටිය නොයොදා ගැනීමෙන් ඔහුගේ හෘද සාක්ෂිය ගැනද පාඨකයාට මනාව පැහැදිලි කිරීමක් ඔහුගේ පොත් පිටු අතරට එබිකම් කිරීමෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම, අප සියල්ලන් දන්නා තරමින් ඔහුගේ පෑන ජීවිතය සරි කර ගැනීමට ඔහු පාරුවක් කර ගත්තෙත් නැහැ. ඒ  පිලිබදව ඔහුට සමාජය තුල ඇත්තේ ගෞරවයක්. 

මේ නිර්මාණ ශිල්පියා ලේඛන ගත කල විවිධ ක්ෂේත්‍රවල ලිපි ලේඛන, කෙටි කතා, ප්‍රවෘත්ති පත්‍ර පරිශීලනයෙන් පාඨකයාට සාක්ෂාත් කර ගත්තේ හැක්කේ ඔහු කවියෙක්, ප්‍රේමය ගැන පත්තිරු පිරවූ ප්‍රේමනීය සහ භාවාත්මක ලේඛකයෙක්, පෑනට පෙම් බැඳී රසවතෙක් වගේම නිර්මාණ කුසලතාවයන් සපිරි කලාකරුවෙක්, රාවය පුවත්පතට ලිපි ලිවූ කැරලිකාර දේශපාලන විචාරකයෙක් කියලා. ඒ සියල්ලටම වඩා මිනිස්කම උතුරා ගිය සැබෑ මනුෂ්‍යයෙක් ලෙසට. ඔහුගේ ලේඛන කලාවේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දිලිඳු ජන කොටස්වල ප්‍රශ්න වගේම ජාතිවාදයට එරෙහි ඔහුගේ පරිකල්පනයන්. මේ කරුණ ඔහුගේ වනසපුමල කෘතියෙන් ඉතා පැහැදිලිව කියාපානවා. 

අසුව දශකයේ සිටම තම පන්හිඳ හරහා බීජ වැපීරීම ආරම්භ කල ඔහුට අනුව දශකයේදී “මෙරු” නම්වූ කෘතියට සම්මාන දෙකක් හිමි කර ගැනීමෙන් ඒ වැපුරූ බීජවලට සාර්ථකව අස්වනු නෙලා ගැනීමට හැකි වුයේ 1991 වසරේ හොඳම පොත් කවරය සඳහා රාජ්‍ය සම්මානය සහ එම වසරේම හොඳම නවකතා තුනෙන් එකක් ලෙස රාජ්‍ය සම්මාන ලබා ගැනීමේ සංසිද්ධි දෙක හේතුවෙන්. එවන් ඔහුගේ නිර්මාන අගය කරන පොළොවක සිට වාරියෙන්(plane) සාහිත්‍යට හෝ කලාවට ගෙන්දගම් පොළොවක් නොවූ මේ කැනඩාවට පැමිණ එහි ගැඹුරට මුල් ඇද ඔහුගේ නිර්මාණයන්ගේ මල් ඵල නෙලා ගත්තේ කෙසේද යැයි අපිට ඇතිවන්නේ කුකුසක් නේද?

ඔහුගේ කෘතීන්ගෙන් අල්පයක් කියවීමෙන් මා කරන ලද මේ පුර්විකාව බන්ඩාරයන්ට කෙතරම් සාධාරණයක් ඉටු කලේ දැයි කීමට අපහසුයි. නමුත් මේ සියල්ල මගේ නිරීක්ෂණ පථයට ලක්වූ කරුණු කාරණායි. “චන්දරේ” නමින් මිතුරන් අතරේ ප්‍රචලිත ඔහු නමින් චන්ද්‍රරත්න බණ්ඩාර. එතුමා කවුරුත් දන්නා හදුනන අපගේ ප්‍රේමනීය “යාත්‍රා” පත්‍රයේ  සංස්කාරක.

https://yathranews.com/

2004 වසරේ කැනඩාවට පැමිණි බණ්ඩාරයන් උත්පත්තිය ලබුවේ මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ආසනයේ මාරස්සන නමැති සුන්දර ගම්මානයේ. තම දෙමාපියන් හැරුණ කොට බාල නැගණියන් දෙදෙනෙක් සිටිනා පවුලේ ඔහු වැඩිමහල් දරුවා. බෝලෑප කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ, ඉන්පසු මහනුවර  ධර්මරාජයෙන් ද්වීතියික අධ්‍යාපනය හදාරා, පසුව පේරාදෙණිය සරසවියෙන් කලා උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යාඥයා යටතේ පුරාවිද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත්(MA) ලබා ගැනීමට සමත්වීම ඔහුට මේ ක්ෂේත්‍ර සම්බන්ධව ඇති අභිලාෂය මනාව පෙන්නුම් කර දෙනවා. පසුකාලීනව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ඩිප්ලොමාවක්ද ලබා ගැනීමට ඔහු සමත් උනා. 2004 කැනඩා ආගමනයෙන් පසුව බණ්ඩාරයන් ප්‍රින්ස් එඩ්වර්ඩ් විශ්ව විද්‍යාලයේද බණ්ඩාර අධ්‍යාපනය ලැබුවා.

ටොරොන්ටෝ නගරයේ පවත්වන සංගීත සංදර්ශන, සිනමා දර්ශන, අවුරුදු සැණකෙළි, පන්සලේ පිංකම්  තමයි අපිට දහසකුත් ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසෙනා තෝතැනි. චන්ද්‍රරත්න බණ්ඩාරයන් මට මුලින්ම මුණ ගැසුනේත් ලාංකික සිනමා පටයක් බැලීමට ගිය අවස්ථාවේ. මගේ මිතුරා මට ඔහුව හඳුන්වා දුන්නේ “මේ තමයි බණ්ඩාර, යාත්‍රා පත්‍රයේ සංස්කාරක” කියලා. 2007 යාත්‍රා ප්‍රකාශනය පටන්ගත්  දා පටන්ම  මා එයට ඉතාමත්ම ඇල්මක් දැක්වුවත්, එහි සංස්කාරකගේ නම බණ්ඩාරයන් බව දැන සිටියත්, ඔහුගේ වත ගොත ගැන හෝ ඔහු කවුරුන්දැයි පුද්ගලයෙකු ලෙස මා දැන සිටියේ නැහැ. ලිවීමට ඉතා කැමැත්තක් දක්වන මට එතුමාගේ මුණ ගැසීම ඉතාමත් සතුටුදායක සංසිද්ධියක් උනා. බුද්ධියෙන්, ඥානයෙන්, තර්කානුකූල සහ ගැඹුරු දේශපාලන චින්තනයෙන් සපිරුණු ඔහුගේ අනතමානී ගුණය තමයි මා සිතට මුලින්ම දැනුනාවූ ගුණාංගය. මෑත කාලයේ ඔහුව බොහෝ ලඟින් අවබෝධ කර ගැනීමට ලැබුණු අවස්ථාවලින් මා දුටු ඔහුගේ මුදිතා ගුණය බොහෝ කලාකරුවන්ට පාරමී දම් පුරාවත් හිමිකර ගැනීමට දුෂ්කරවූ ගුණාංගයක්. තම සමකාලීන ලේඛකයින්ට මෙන්ම ලේඛන කලාවේ ඉතා අපහසුවෙන් පියවර එසවීමට ප්‍රයත්න දරනා ආධුනිකයින්ට ඔහු අතහිත දෙන්නේ ස්වේච්චාවෙන්.  

අපගේ පුවත්පතට “විශේෂාංග ලිපිය” ලිවීමට ඔහුව තෝරා ගත්තේ මීට මාස කිහිපයකට පෙර. නමුත් ඒ ඉල්ලීම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කලේ ඔහු ගැන කිහිප පොලකම ලියැවී ඇති නිසා අලුත් අයව හදුන්වා දීම වඩා උචිත බව සදහන් කරමින්. ඔහුගේ නිහතමානිත්වය මින් මනාව පැහැදිලි වෙනවා නේද? 

1996 සිට 2004 කැනඩා ආගමනය තෙක්, චන්ද්‍රරත්න බණ්ඩාරයන් මහවැලි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා. ඒ සේවය කරන වකවානුවේදීම, Marga ආයතනය මගින් ප්‍රකාශනය කරන ලද  Marga සඟරාවේ කර්තෘ ලෙසද, රාවය පුවත්පතේ මාධ්‍යවේදීයකු ලෙසද කටයුතු කිරීමට ඔහුට අවස්තාව ලැබුනා. 

චන්දරත්න බණ්ඩාරයන් කැනඩාවේදී තම සමාජ අනන්‍යතාවය තහවුරු කරගත්තේ යාත්‍රා නම් වූ සිංහල ප්‍රකාශනයට පණ පොවනා සංස්කාරක ලෙසට. කුමන අරමුණක් උදෙසා ඔහු කැනඩාවට පැමිණියත්, ඔහුගේ සංක්‍රමණයෙන් කැනේඩියානු ශ්‍රී ලාංකික පොදු සමාජයට සිදු වුයේ ඉමහත් සේවයක්. මව් රටේ වියෝවෙන්, ටොරොන්ටෝ නගර වාසී අප හදවත් තුල සැඟව තිබෙනා වේදනාත්මක හුදෙකලාව මඟ  හරවා ගැනීමට ඔහුගේ පන්හිදේ ජීවය ඔසුවක් ලෙසට අප හදවත් තුලට කාන්දු වුයේ අප සැමට මහගු මාණික්‍යයක් වූ  චන්ද්‍රරත්නයන්ගේ “යාත්‍රා” පත්ඉරු හරහා. පොත් පත් කියවීමට තරම් දුරක් නොයනා සාමාන්‍ය ජනතාවට “යාත්‍රා” ප්‍රකාශනය ඔවුනට අවශ්‍ය දැනුම ලබාදෙන පුස්තකාලයක් මෙන්ම රසය ගෙන දෙන මීවිතක්ද වුවා. 

නමුත් චන්ද්‍රරත්න බණ්ඩාර සහෘදයා ඊට එහා ගිය බහුශ්‍රුතයෙක්. සම්මාන කිහිපයකින්ම පුද ලද ලේඛකයෙක්. ඔහුගේ වාමාංශික විප්ලවකාරී ලේඛන ශෛලිය බොහෝ අයගේ විවේචනයන්ට භාජනය වුවත්, ඔහු බොහොමයකගේ රසිකයකුවීමට ප්‍රබලම පසුබිම මේ නිර්භය දේශපාලන අදහස් උදහස් කියලයි සමාජයේ හැගීම. ඔහුට අපේ ලාංකික සමාජය ගැන නිවැරදි කියවීමක් සහ අවබොධයක් තියෙනවා. එපමණක් නොවෙයි, බණ්ඩාරයන් යනු මව් රටේ අර්බුදයේ ගැඹුර සහ සමාජ වගකීම ඉතා ගැඹුරින් අවබෝධ කරගත් දේශප්‍රේමියෙක් යැයි කීවොත් එය සාවද්‍ය යැයි කීමට කිසිවකුට පුළුවන්කමක් තිබේද?

2023 වසරේ ආරම්භ කල ඔහුගේ වීඩියෝ නිර්මාණයන් ඇතුලත් ‘Sisara with චන්දරේ ’ YouTube නාලිකාව ඔහුගේ නවතම නිෂ්පාදනයක්. 

චන්ද්‍රරත්න බණ්ඩාරයන් සමග සාකච්චාව ආරම්භ කල විගස මට දැනගන්න ඕන උනා ඇයි ඔහුට දුක්විඳින මිනිසුන් ගැන මෙතරම් සානුකම්පිත හැඟීමක් ඇතිවීමට බලපෑ හේතුව. ඇත්තටම මොහොතක්වත් නොසිතා ක්ෂනයකින් ඔහු පිළිතුර දුන්නා, “වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන මගේ අප්පච්චි වාමාංශික අදහස් උදහස් දරන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. ඒ නිසා මම හැදුනෙ වැඩුනෙ දේශපාලන සංවාදවලින් පිරි නිවසක. ඒත් එක්කම මම සාමාන්‍ය පෙළ සිටියදීම සමසමාජ පක්ෂයට බැඳුනා. එවකට මම තමයි ඒ පක්ෂයේ සිටි ලාබාලම සාමාජිකයා. එදා ඒ පක්ෂයට බැඳෙන්න ඒ තරම් පහසු නැහැ. මුලින්ම තරුණ සමිතියට සම්බන්ධ වෙලා මාස හයකුත්, ඊට පසුව අපේක්ෂක සාමාජිකයෙක් වීමෙන් අනතුරුව දිවුරුමකින් පසුවයි පක්ෂයේ සාමාජිකත්වය ලැබෙන්නෙ. නමුත් අද ඒ බදවා ගැනීම් නීති රීති ඉතාමත් ලිහිල්. ඒත් එක්කම මම කැමතියි සමසමාජ දේශපාලන සංස්කෘතිය ගැන යමක් කියන්න. මම එතැනින් ඉගෙන ගත්තා තාර්කිකව යමක් සොයන විදිය. ඒ වගේම මිනිසුන් සෑම අතින්ම දැනුවත් විය යුතුයි, එහෙම නැත්නම් දැනුම කියනා දේ පොදු දෙයක් කියනා මතය තමයි ඒ අධ්‍යාපනයේ පදනම වුයේ. මම පෝෂණය උනේ ජීවිතය පිලිබදව, මිනිසුන්ගේ දුක්විදීම සහ ඒ දුක නැති කිරීමේ මඟ සම්බන්ධව සාකච්ඡා පරිසරක. මම ඉතාමත් කුඩා කල අකුරු කල බෝලෑප කනිටු විදුහලෙහි ඉතා දුගී දුප්පත් දරුවන් සිටියත් දෙවනුව මා ගිය ධර්මරාජ විදුහලේ එතරම් දුගී ශිෂ්‍යයින් සිටියේ නැහැ. ඒ නිසා ඒ හැටි දුප්පත් වටපිටාවක් මට තිබුනේ නැහැ. ඒ නිසා අප්පච්චිගේ දේශපාලන හෙවනත්, සමසමාජ පක්ෂය තුලින් මා ලැබූ දැනුමත් මා හට ඒ නැඹුරුවට හේතු පාදක වෙන්න ඇතියි කියලා මට හිතෙනවා”. 

ඔහු විසින් රචිත බොහෝ පොත්පත්, ප්‍රකාශන, සගරා තිබුනද, මේ ලිපියේ සැලකිල්ලට භාජනය කරනු ලබන්නේ විචාරකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය පාඨකයන්ගේ සැලකිය යුතු ප්‍රශංසාවට ලක් වූ කෘති දෙක තුනක් පමණයි. ඔහුගේ නවතම නිර්මාණය වන “පියාසර සමය” කෘතිය දැන් එලි දක්වා තිබෙනවා.

චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත සරසවි ප්‍රකාශනයක් වන “ප්‍රේමානිශංස”

2022 ‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන’ සහ ‘ස්වර්ණ පුස්තක සම්මාන’ ගොඩගේ සම්මාන යන දෙඅංශයෙන්ම හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වුවා. පසුකාලීනව, ඒ කෘතිය ගැඹුරින් අධ්‍යනය කිරීමට මට සිදු වුයේ එම ග්‍රන්ථය පිලිබදව මා කල වීඩියෝ සමාලෝචනය හේතුවෙන්.

“ප්‍රේමානිශංස”

“ප්‍රේමානිශංස” ග්‍රන්ථය සමාලෝචනය කිරීමට පෙලඹවූ ප්‍රධානම කාරනා ලෙස මා සලකන්නේ ඔහුට ස්ත්‍රීත්වය පිළිබඳ තිබෙනා මනුෂ්‍යත්වය, ගෞරවය සහ ඔහු ගරු කරනා ඒ ස්ත්‍රිය තුල තිබිය යුතු විප්ලවකාරී හැගුම් සමුදාය පිළිබඳව ඔහු තුල තිබු ආකල්පයි. ඔහු ස්ත්‍රීත්වය දෙස බැලු වෙනස් සහ විචිත්‍ර වූ මානය කාන්තාවන් වසඟ කර ගන්නා සුළුයි. මේ ප්‍රකාශනය හරහා ඔහු කිසිවිටකත් කාන්තාව පිළිබද අපේ සංස්කෘතික සමස්තය තහවුරු කර නොගැනීමට ගන්නා උත්සාහය ඉතාමත් ආකර්ශනීයයි. මීට අමතරව, ඔහු මේ කෘතිය විවරණය කිරීමට යොදා ගත් බස් වහරද මේ කෘතියට පෙම් බැදීමට කියවන්නන් පෙළඹවීමට ප්‍රධාන හේතුවක් වූවායයි සිතන්නට පුළුවන්. 

“ප්‍රේමානිශංස” කෘතියේ තවත් විශේෂ කරුණක් වන්නේ ප්‍රබල පෞරුෂයක් ඇති ගැහැනුන් ප්‍රේමය ගැන දරන්නේද ඉතාමත් ප්‍රබල හැගුමක් බව ඔහුගේ කතාවේ පසුබිමේ ලියවී තිබීම. ගැහැණියකගේ සුකොමලත්වයත්, ඇයගේ  ප්‍රබල පෞරුෂයත් ඉතාමත් ප්‍රබල ලෙස වැළඳ ගත් මේ කලාකරුවා කාන්තා පරපුර වෙනුවෙන් මේ කෘතිය හරහා ඉටු කරන්නේ මහඟු සේවයක්. 

ඔහුගේ මේ දක්වා වැඩිපුරම සාකච්ඡා වූ කෘතිය “වනසපුමල” කෘතිය එළිදැක්වුණේ 1992 දී. මෙම කෘතියට හොඳම නවකතාව සඳහා වන ඩී.ආර්.විජේවර්ධන අනුස්මරණ සම්මානය හිමි උනා. එය පාඨකයින්ගේ සිත් ඇද බැද ගත්තේ 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දේශපාලනික වශයෙන් ඉතා  අධිෂ්ඨානශීලී තරුණයෙකු මුහුණ දුන් සංකීර්ණ ගැටලු පිලිබදව කතුවරයා කල ගැඹුරු කතාබහ විය හැකියි. එමෙන්ම, ඔහු ජාති භේදය ඉතා තදින් පිටු දකිනා පුද්ගලයෙකු බව “වනසපුමල” කෘතිය මනාව අපිට පැහැදිලි කරදෙනවා. 

මේ ඔහුගේ නිර්මාණ කිහිපයක් .

ඔහුගේ නිර්මාණ වපසරිය පුළුල් නිසාවෙන්ම අපට මේ සටහන එක කලාපයකට සීමා කරන්නට බැහැ . මේ ලිපියේ ඉතිරි කොටස ලබන කලාපයෙන් ඔබට කියවන්නට පුළුවන් . චන්ද්‍රරත්න බණ්ඩාර මහතා ගැන වැඩිදුර විස්තර කියවන්න ලබන කලාපයෙන් එක්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *