
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇතිව තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රටේ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් යළි ඇති නොවන බවද ජනපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිදා එක් වෙමිනි.
මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපලයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
ගෝලීයව මතුවූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ රක්ෂණ ගාස්තුද සීඝයෙන් ඉහළ ගිය බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලය තුළ ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල මෙන්ම අපනයනය කරන භාණ්ඩවලට ඩොලර් මිල වෙනස් වූ බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන කරන භාණ්ඩවල ඩොලර් මිලට වඩා ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල ගණන් ඉහළ යාමද මෙරටට ප්‍රධාන වශයෙන් බලපෑ බවද සඳහන් කළේය.
තවද ගෝලිය වශයෙන් ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මෙන්ම ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඩොලර් සඳහා ඉල්ලුම වැඩිවී ඩොලරයට ආයෝජන විතැන්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත් මේ හේතුවෙන් අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය
මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ආරම්භවීමත් සමග විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය, ප්‍රගතිය සහ සියලුම දේ මනින එකම නිර්ණායකය ලෙස සාවද්‍ය තොරතුරු සමාජගතවීමත් සමග ඉන් ක්ෂේත්‍රයේ නිරතවී සිටින පාර්ශ්ව මෙන්ම සාමාන්‍ය ජනතාවද කලබලයට, බියට පත්වූ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඇතැම් පාර්ශ්ව වත්මන් තත්වය ආර්ථික අර්බුදය පැවැති 2022 වසරට සමාන කිරීමට උත්සාහ දැරූ බවත් එහිදී 2022 වසරේ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වර්තමානයේද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 දක්වා ඉහළ ගියපසු රට කඩා වැටෙනු ඇතැයි න්‍යායක් ගොඩනැගීමට එම පාර්ශ්ව උත්සාහ දැරූ බවත් ඔහු පැවැසුවේය.
නමුත් 2022 වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් වර්තමානයේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් අහසට පොළොව වැනි එකිනෙකට හාත් පසින්ම වෙනස් කාරණා දෙකක් බව ජයන්ත මහතා ප්‍රකාශ කළේය. අවස්ථා දෙකේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළේය .
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2022 වසරේදී රුපියල කඩා වැටුණේ රට බංකොළොත් වීම හේතුවෙන් බවත් නමුත් මෙවර රුපියල කඩා වැටීමට හේතුව වුයේ මැද පෙරදිග අර්බුදය ක්ෂණික ප්‍රතිඵල මත ඇතිවූ ගෝලීය තත්වයන් බවද ඔහු ප්‍රකාශ කළේය.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය බවත් තෙල් මිල ඉහළ ගිය විට තෙල් ආනයනය නතරකර දැමීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසුවේය.


