ආණ්ඩුවේ රැලි හා විපක්ෂයේ රැලි.

ගෙවුණු සතියේ වඩාත්මක කතාබහට ලක් වුණේ දේශපාලන කාරණා කිහිපයක් හේතුවෙන්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයා බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත්. ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් රැස්වීමාලාවක් පැවැත්වීමත්. මෙලෙස දේශපාලන වේදිකාව උණුසුම් වීමට හේතු වුණා. මීට අමතරව අනුරාධපුරයේ පැවැති පොදු ජන පෙරමුණේ රැළිලියට මහින්ද රාජපක්ෂ මහතා එක්වීමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරාන්ති රාජපක්ෂ FCID කැඳවීමක් තිබියදී හදිසිව හදිසියේ විදේශගත වීමත් මෙලෙස දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූ තවත් මාතෘකා කිහිපයක්.

 ඒ අතරම රනිල්-සජිත් දෙදෙනාම එක වේදිකාවකට ආවේ JR ගෙ එකසිය විසි වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පැවති උත්සවයකදියි. තවත් පාර්ශව ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එක වේදිකාවකට එන්න උත්සාහ කළා. විපක්‍ෂයෙ දේශපාලන පක්ෂ ගණනාවක් මෙලෙස එක වේදිකාවකට‍ පැමිණ 22 වැනි සංශෝධනයට එරෙහිව සටන් වැදීමටයි තීරණය කර ඇත්තේ.

නැවත පදිංචි කිරීම ගැන ජනපතිට ප්‍රසාදය

ජනපති පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක් වුණා. මේක රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත ජලාශ ව්‍යාපෘතියක්. අවුරුදු දහයකට කලින් පටන් ගත්තත් විවිධ හේතුන් මත අතරමග නැවතිලා තිබුණා.

මේ නිරීක්ෂණ චාරිකාවට ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති හිමිත් වැඩම කර තිබුණා.

“ඔබතුමා වගේ මීට කලින් හිටපු නායකයොත් මේ ගැන හොයලා බැලුවා නම් මේ වෙන කොටත් ව්‍යාපෘතිය අවසන් වෙලා. අවතැන් වෙන ජනතාව නැවත පදිංචි කිරීම ගැන ඔබතුමාගේ අදහසටත් මං ගොඩාක් කැමැතියි. නියම නායකයෙක් කියන්නේ ඔබතුමා වගේ අයට තමයි.” විහාරාධිපති හිමියෝ තමන්ට දැනුණ දේ ජනාධිපතිටම කිවුවා.

“ඔබතුමා හැම තැනකදීම මිනිස්සුන්ට ගෙයක් දුන්නේත් හිත පිරෙන්න. ඒක හරිම වටිනවා ජනාධිපතිතුමා.” යැයි එතැනට වැඩම කොට සිටි තවත් හිමිනමක් ප්‍රකාශ කළා.

හැම කෙනාම කැමැති ඉඩකඩ ඇතිව ජීවත් වෙන්න. මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා නම් තමයි ඒ අයගේ දායකත්වය හොඳින්ම රටට එකතු වෙන්නේ. රටේ ආදායම කියන්නේ මේ මිනිස්සු මොනවා හරි ක්‍රමයකට ගෙවපු බදු මුදල්. ඉතිං ඒවායෙන් කොටසක් නැවත මේ මිනිස්සුන්ට දුන්නාට පාඩු වෙන්නේ නැහැ. අනික හාමුදුරුවනේ අපේ අරමුණ තියෙන්නේම මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් හදලා දෙන එක. දැන් ඉන්න තැනින් උඩට ගන්න එක. අපේ ආණ්ඩුව හිතන්නේ එහෙම තමයි.” ජනාධිපතිවරයා අවධාරණය කළා.


අනුරාධපුර පූජා නගරයේ වාහන තදබදය

පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදි කලාපයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පහුගිය දවසක පැවැත්වුණා. සාකච්ඡාව අවසන් වෙලා ජනාධිපතිවරයා වසන්ත සමරසිංහ, සුසිල් රණසිංහ ඇමැතිවරු කතාබහකට එක් වුණා.

“මේ වැඩේ ගැන හොඳට හොයලා බලන්න. මේ වැඩේ පරක්කු කරන්න දෙන්න එපා.”

“පූජා නගරයේ වඳින්න එන මිනිස්සුන්ට වගේම නරඹන්න එන සංචාරකයන්ටත් වැදගත් තැනක්. සංචාරක ආකර්ෂණය ගැන හොඳට හිතන්න ඕන.” වසන්ත ඇමැතිවරයා තමන්ගේ අදහස ප්‍රකාශ කළා.

“අටමස්ථානය වඳින්න, නරඹන්න යන අයට හරි වාහනය පාක් කරලා පයින් යන්න කැමති විදියට පරිසරය ආකර්ෂණීය විදියට හදන්න ඕනෑ පයින් යන්න බැරි අයට ප්‍රවාහන සේවාවක් ලබාදෙන්න පුළුවන්. වාහන නිතර එහා මෙහා යන, වාහන තදබදයක් තියෙන තැනක වන්දනාවකට මිනිස්සුන්ගේ හිත සන්සුන් නෑනේ.” ජනාධිපති පැහැදිලි කළා.

“අපේ රටේ තියෙන ආකර්ෂණීය ‌ඓතිහාසික තැන් පොඩි ප්‍රතිසංස්කරණයක් කරගෙන ගිහින් තියෙනවා මිසක ඒවා අරමුණුසහගත සංවර්ධනයකට ලක් කරලා නැහැ. ඇත්තටම මේවා සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන. සමහර විදේශිකයෝ පවා මේ වගේ නිදහස් පරිසරයක ඇවිත් භාවනා කරන්න කැමැතියි. ඒකට සුදුසු විදිහට අපි පරිසරය ගොඩනඟන්න ඕනෑ. සල්ලි උපයන්න පුළුවන් දේවල්, මිනිස්සුන්ට සතුටු වෙන්න තිබෙන අවස්ථා අමතක කරලා දාලා.” සුසිල් රණසිංහ ඇමැතිවරයා කියා සිටියා.


ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රීඩාවට කොළ එළියක්

සුනිල් ගමගේ ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාව නංවන්න විශාල උනන්දුවකින් කටයුතු කරනවා කියන කතාව හැම තැනින්ම ඇහෙන්න තියෙනවා; ඇහෙන්න විතරක් නෙවෙයි පහුගිය සතියේත් ඒක පේන්නම තියෙනවා කියලා පාසල් රග්බි ක්‍රීඩිකාවන්ගේ මවුපියන් කියනවා ඇහුණා. ඒ වසර 10කට පස්සේ 18න් පහළ ලාංකික කාන්තා රග්බි කණ්ඩායමක් පසුගිය 3 වැනිදා චීනය බලා පිටත් වුණු මොහොතේ.

“මේ වසර දහය පුරාවට 18න් පහළ බාලිකා රග්බි තරගාවලියක් පවත්වලා නෑ. හිටපු ජාතික පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අපට කීවේ ඇයි රගර් තෝරාගත්තේ තව පාසල් ක්‍රීඩා 31ක් තියෙද්දි කියලා. නමුත් නව ජාතික පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීමෙන් තරගාවලියක් තියලා ක්‍රීඩිකාවන් තෝරගත්තා. මේ ක්‍රීඩා සංචාරයට සඳහා රජයේ පූර්ණ සහාය තියෙනවා. මේ රජය නොතිබුණා නම් අපේ දරුවො අපේ රට නියෝජනය කරමින් විදෙස් රටකදී ක්‍රීඩා කරන්න ලැබෙන එක හීනයක්ම වෙන්න තිබුණා.”


පියංකර හිරේ ගිය එක පව් වැඩක්ද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු කරන සමයේ පැවති මැයි දින පෙළපාළියකට ආපු පාක්ෂිකයන්ට ආහාරපාන දෙන්න සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වියදම් කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ වරදට පියංකර ජයරත්න අවුරුදු හතකට හිරේ ගියේ ගිය සතියෙ. ‘රුපියල් ලක්ෂ තුන හමාරක් වගේ පොඩි මුදලකට හිරේ දැමීමා නම් පව් වැඩක්‘ කියලා ඇතැම් පිරිසක් සමාජ මාධ්‍යවල කියද්දි, තවත් පිරිසක් කීවේ ‘කීයක් හොරකම් කළත් හොරකම හොරකමමයි, ඒ නිසා යස වැඩේ!‘ කියලා.


මැති-ඇමැතිවරුන් ගිය අවමංගල්‍යය

පහුගිය කාලයේ දේශපාලන වේදිකාවේ හරි හරියට දැකපු ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකගේ සැමියා වූ ප්‍රියංකර පෙරේරා (ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍ර) පසුගියදා අභාවයට පත් වුණා.

ප්‍රියංකර අවුරුදු ගණනක් ලෙඩ ඇඳේ හිටියා කියලා හැමෝම වගේ දන්නවා. දිල්හානි ප්‍රියංකරව දරුවෙක්ව වගේ ඔහු වියෝවන තුරුම රැක බලාගත්තා කියල රටම මේ වෙලාවේ කතා වෙනවා.

කර්මාන්ත හා ව්‍යවසාය ඇමැති සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් ගිණුමේ මේ විදිහට ඒ ගැන ලියලා තිබුණා.

“දිල්හානි ඔයාට ගොඩාක් ආදරෙයි.. ආදරේ වෙනුවෙන් මොනතරම් කැප කිරීම් කරන්න පුළුවන්ද කියලා ඔයා ප්‍රායෝගිකව ඔප්පු කළා..!”

ප්‍රියංකරගේ අවමංගල්‍යය සඳහා ආණ්ඩුවේ දේශපාලනඥයෝ රැසක්ම සහභාගි වෙලා හිටියා. ජනාධිපතිවරයාත් ඇවිත් දේහයට අවසන් ගෞරව දක්වලා දිල්හානිටයි පුත් දිල්මිත්ටයි කනගාටුව පළ කළා.


රෙදි නැතුව කඩේ යන අය

පහුගිය දවසක චාමර සම්පත් ගාලු ගිහින් කරපු කතාවකදී විපක්ෂයේ කිහිප දෙනෙක් ගැන විවේචනයක් කළා. ඒ ඔවුන් ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා කියලා. එක්කෙනෙක් සරත් ෆොන්සේකා. ආණ්ඩුවෙන් මොනවා හරි දෙයක් ලැබෙනකම් ෆොන්සේකා බලා හිටියත් ආණ්ඩුව ඔහු මායිම් කළේ නැති නිසා දැන් අනිත් පැත්ත ගහලා විපක්ෂයට නායකත්වය දෙන්න කැමතියි කියනවා කියලයි චාමර කීවේ. එස්බී මේ දවස්වල හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවේ වාසියට කතා දාන්න පටන් අරන් කියලත් චාමර කීවා.

චාමර කිවුව හිරේ ඉන්න පක්ෂය

තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරය සැමරුවා. මේ අවස්ථාවට ජී.එල්, වජිර, චම්පික වගේ පක්ෂ නායකයනුත් පැමිණ සිටියා. වෘත්තියවේදීන් දෙන්නෙක් කතා කළා. චාමර සම්පත් මේ අවස්ථාවේදී කරපු කතාව වයිරල් වුණා.

“මම අද උදේ ගියා හිරගෙදරට පියංකර ජයරත්නට ඇඳුම් ටික දෙන්න. ඒ හිරගෙදර තුන්දෙනෙක් වාඩි වෙලා හිටියා. මං ඔවුන් තුන්දෙනාටම සර් කියලා කතා කරන්නේ. අද අපේ පක්ෂයේ 75 වැනි සංවත්සරය. 50 වැනි සංවත්සරයේදී ඒ තුන් දෙනාම ඇමැතිලා. පියංකර ජයරත්න ඇමැති, මහින්දානන්ද අලුත්ගමගේ ඇමැති, තවත් එක්කෙනෙක් හිටියා එයත් ඇමැති. ඒ වගේ දැවැන්ත පක්ෂයක් මේ පක්ෂය. එදා මහ ආණ්ඩුවක්. ජනාධිපති කෙනෙක්. අගමැති කෙනෙක්. මිනිස්සු බලෙන් එනවා ඒ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්වලට. අද පාර්ලිමේන්තුවේ එක්කෙනෙයි. ෆයිසරුත් එක්ක දෙන්නයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today