
කැනේඩියානු දේශසීමා සේවා නියෝජිතායතනයට (CBSA) අනුව, NEXUS සාමාජිකත්වය අලුත් කර ගැනීමට අපේක්ෂා කරන කැනේඩියානු ජනතාව සඳහා නව නීතිරීති කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, අවශ්‍ය වන සම්මුඛ පරීක්ෂණ (Interviews) සඳහා වෙන් කරවා ගත හැකි කාලසීමාවන් කෙටි කර ඇත.
2027 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, අයදුම්කරුවන්ට කොන්දේසි සහිත අනුමැතියක් (Conditional Approval) ලැබුණු පසු NEXUS බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් කාලසටහන්ගත කිරීම සඳහා උපරිම කාලය වසර දෙකක් වනු ඇත.
COVID-19 වසංගත සමයේ ඇති වූ බාධා හේතුවෙන් ක්‍රියාත්මක වූ තාවකාලික ක්‍රමයක් යටතේ, මීට පෙර අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් සඳහා වසර පහක් දක්වා කාලයක් ලබා දී තිබුණි. කෙසේ වෙතත්, වර්තමාන සම්මුඛ පරීක්ෂණ ධාරිතාව වැඩි දියුණු වී ඇති බැවින් මුල් නීතිය වූ වසර දෙකක සීමාව යළි බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.
2027 අප්‍රේල් 1 වන දිනට පෙර කොන්දේසි සහිත අනුමැතිය ලැබූ අයදුම්කරුවන් සඳහා වසර 5 ක කාල සීමාව තවදුරටත් පිළිගනු ලැබේ. එහෙත් එම කාල සීමාව තුළදී හෝ 2029 අප්‍රේල් 1 වන දිනට පෙර (කෙකින දිනයක් මුල් වන්නේද ඒ අනුව) සම්මුඛ පරීක්ෂණය සැලසුම් කළ යුතුය.
මෙය කැනේඩියානු දේශසීමා සේවා නියෝජිතායතනය (CBSA) සහ එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණය (USCBP) ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන වැඩසටහනකි. අඩු අවදානමක් සහිත සංචාරකයින්ට කැනඩාවට හෝ ඇමරිකාවට දේශසීමාව ඉක්මවා යාමේදී ප්‍රමුඛතා මංපෙත් භාවිතා කරමින් රැඳී සිටීමේ කාලය අඩු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සාමාජිකත්වයක් වසර පහක් සඳහා වලංගු වේ.
රේගු නීති උල්ලංඝනය කර නොමැති, සහ වැරදි වාර්තා නොමැති අඩු අවදානම් සහිත පුද්ගලයින්ට මෙමඟින් සාමාජිකත්වය ලබාගත හැක.වයස අවුරුදු 18 ට වැඩි සාමාජිකයින් සඳහා ඇමරිකානු ඩොලර් 120 ක ආපසු ගෙවනු නොලබන සැකසුම් ගාස්තුවක් (Processing fee) අය කෙරෙන අතර, අවුරුදු 18 ට අඩු අයට එය නොමිලේ.මෙම නව නීති යටතේ සම්මුඛ පරීක්ෂණය සඳහා බලා සිටින ඕනෑම අයෙකුට නියමිත කාලසීමාවන් ඉක්මවා යාමට පෙර හැකි ඉක්මනින් හමුවීමක් වෙන් කරවා ගන්නා ලෙස බලධාරීහු දැඩි ලෙස දැනුම් දෙති.


