
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්විය.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ශතාව දැක්වීය.
මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කළේය.
එමෙන්ම තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් ට හිමි විය.
මේ අතර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩකයින් තරග වදින වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මලල ක්‍රීඩා තරගාවලිය ලබන 11 වනදා හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ද මෙම තරගාවලියේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස එක්වන අතර, හෙල්ල විසිකිරීමේ ඉසව්ව ලබන 13 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වර්තමානයේ ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස සැලකෙන රුමේෂ් තරංග සමඟ ජර්මනියේ ජුලියන් වෙබර්, ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර් සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි ක්‍රිෂෝන් වෝල්කට් ඇතුළු ලොව ප්‍රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙවර වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ ජයග්‍රාහකයින් අතර බෙදාදීම සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව හිමිකර ගන්නා ක්‍රීඩකයාට ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක්.
ඒ අනුව රුමේෂ් තරංගට ලොව ප්‍රමුඛතම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් සමඟ තරග වදිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කමක් දැක්වීමට මෙය තවත් වැදගත් අවස්ථාවක් වනු ඇති.


