
රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනරයක් මිලදී ගැනීමට යැයි කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පරිත්‍යාගයක් ලෙස ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය ගිණුමට බැරකරවාගෙන සාපරාධි පරිහරණය කළ බවට චෝදනා ලැබ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ යන අය ලබන 13දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය පසුගිය (7) වැනිදා නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ බවට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් එවක ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයාව සිටි ප්‍රදීප් කාරියවසම් යන අය ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යස්මදා ලොකුනාරංගොඩ මහත්මිය මෙසේ පැවසුවාය.
“2015 වසරේදී අල්ලස් කොමිසම වෙත ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.
විමර්ශනය ආරම්භ වූයේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ‘සිරිලිය සවිය, කාල්ටන් බංගලාව, තංගල්ල‘ නමින් පවත්වාගෙන ගිය ගිණුමක් සම්බන්ධවයි.
දූෂණ විරෝධි පනතේ 61 වැනි වගන්තිය ප්‍රකාරව 2026 පෙබරවාරි මාසයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඒකාබද්ධව මෙම විමර්ශනය කළා. එහිදී කළ විමර්ශනවලට අනුව ජාතික ඉතිරි කිරීම් බැංකුව (NSB) මඟින් මෙම සිරිලිය සවිය ගිණුමට රුපියල් මිලියන 10ක මුදලක් බැර කර ඇති බවට කරුණු අනාවරණය වුණා.
එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් මෙම සිදුවීමේ දෙවැනි සැකකරු වන ප්‍රදීප් කාරියවසම් යන අය ඉඳලා තියනවා.
2010 වසරේ දෙවැනි සැකකාරිය විසින් එවකට NSB සභාපති ප්‍රදීප් කාරියවසම් වෙත ලිපියක් මඟින් ඉල්ලීමක් කර තිබුණා. එම ලිපියෙහි සඳහන් වී ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ඉල්ලීමක් මත රුපියල් මිලියන 141ක වටිනාකමකින් යුත් CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට මුදල් සොයන බවයි.
ඒ අනුව 2011 වසරේ NSB බැංකුව මඟින් මිලියන 10ක මුදල සිරිලිය ගිණුමට බැර කරනු ලබනවා.
NSB බැංකුව එවැනි මුදලක් යම්කිසි කටයුත්තක් සඳහා බැර කිරීමේ කාර්ය සිදු වූවායින් පසු තමයි එම මුදල බැර කරන්නේ.
එහෙත් මෙම සිදුවීමට අනුව අදාළ මුදල 2011 වසරේදී කාර්ය කිරීමට පෙර ගිණුමට බැර කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබෙනවා. එහිදී මෙම මුදල නිසි ක්‍රමවේදයකින් තොරව සිරිලිය ගිණුමට බැර වී ඇති බව තහවුරු වී තිබෙනවා. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව පළමු සැකකරුට චෝදනා ගොනුු කරනවා.
එම චෝදනාවට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් දෙවැනි සැකකාරියට චෝදනා ගොනු කරනවා. සාක්ෂි මඟින් අනාවරණය වන කරුණු අනුව පළමු සැකකරු පෙලඹවීම මඟින් මෙම මුදල් ගිණුමට බැර කරගෙන තිබෙනවා.
මිලියන 10ට මුදලට අමතරව පෞද්ගලික ආයතන මෙන්ම රජයේ ආයතන මඟින් මෙම සිරිලිය සවිය ගිණුමට මුදල් බැර වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙනවා.
NSB බැංකුව මඟින් ලබාගත් මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් දෙවැනි සැකකාරියට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරනවා. තවද ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරනවා.“
එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඉදිරිපත් කර ඇති සහතිකය අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.
“මෙම සිරිලිය සවිය ගිණුමට විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් රුපියල් ලක්ෂ 88ක මුදලක් බැර වී තිබෙනවා. තවත් පෞද්ගලික ආයතනයක් මඟින් රුපියල් මිලියන 22ක මුදලක් මෙම ගිණුමට බැර වී තිබෙනවා.
NSB බැංකුව රජයේ දේපළක්. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව පනතෙහි වගන්ති ප්‍රකාරව මෙම ගිණුමට අදාළව ලබාගත් දේපළ සම්බන්ධය තහනම් නියෝග සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවෙසක් මෙම මුදල් මඟින් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා. දෙවැනි සැකකාරිය මඟින් පළමු සැකකරු හට ලබා දුන් ලිපියේ රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් කරන ලද හදිසි ඉල්ලීමකට අනුව මිලියන 140ක වටිනාකමින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කරන බවත් එම යන්ත්‍රය ලබා ගැනීම සඳහා මුදල් සොයමින් සිටින බවත් එහිදී NSB බැංකුවේ CSR යටතේ මුදල් දායකත්වයක් ලබාදීමට හැකියාවක් පවතින බවත් සඳහන් වී තිබුණා.
පළමු සැකකරු එවකට NSB බැංකුවේ සාමාන්‍ය අධිකාරි වෙත උපදෙස් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ යන අය හා සම්බන්ධ වෙමින් සොයා බැලීම් කළ බවත් එහි වටිනාකම ලක්ෂ 140ක් නොව ලක්ෂ පනහක් වන බවත්ය. මේ සඳහා අවශ්‍ය අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
සිරිලිය ගිණුමෙන් කාල්ටන් පෙරපාසල අලුත්වැඩියා කටයුතු කිරීම සහ වෙනත් වැඩ කටයුතු සඳහා කිහිප වරක්ම මුදල් ගැනීම් සහ බැරවීම් සිදු වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.“
CSR ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබාදීමේදී අනුගමනය කළ යුතු අලෙවිකරණ උපායමාර්ග, බැංකුවට ලැබෙන ප්‍රතිලාභය හෝ සැබෑ ලෙසම භාණ්ඩය මිලදී ගන්නේද යන්න පිළිබඳ කිසිදු සොයා බැලීමක් කර නොමැත. එකල පැවති දේශපාලන තත්ත්වය නිසා විරුද්ධ වීමට නොහැකි වූ බවත්, සභාපතිවරයාගේ ප්‍රකාශය මත පමණක් පදනම්ව අනුමැතිය ලබා දුන් බවත් අධ්යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කර ඇත. අදාළ මූලික අනුමැතිය ලබාගෙන ඇත්තේ ‘කාල්ටන් සුවදාන ව්‍යාපෘතිය‘ සඳහා වන අතර, එහිදී සිරිලිය සවිය සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් කර නොතිබිණි.
අනුමැතිය ලැබුණද මාස කිහිපයක් යනතුරු චෙක්පතක් නිකුත් වී නොතිබිණි. 2011 මැයි 04 වැනිදා සභාපති ප්‍රදීප් කාරියවසම්, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි වෙත ලිපියක් යොමු කරමින් ශිරන්ති රාජපක්ෂ තමන් අමතා ‘කාල්ටන් සුවදාන‘ වෙනුවට ‘සිරිලිය සවිය‘ ගිණුමට මුදල් තැන්පත් කරන ලෙස දැන්වූ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව කාල්ටන් සුවදාන නමට ලියා තිබූ චෙක්පත අවලංගු කර, සිරිලිය සවිය නමට රුපියල් මිලියන 10ක චෙක්පතක් නිකුත් කර තිබේ. මෙම මුදල 2011දී බැංකුගත කිරීමෙන් පසුව, ප්‍රතිලාභියාගේ නම වෙනස් කළ බව අධ්යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇත.
පළමු සැකකරු වන ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මෙලෙස පවසා සිටියේය.
“ගරු ස්වාමීනි, පැමිණිල්ල විසින් ඔබතුමියගේ ගරු අධිකරණයට මගේ සේවාදායකයාට විරුද්ධව දූෂණ විරෝධි පැරණි පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය කිරීමේ චෝදනාවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මගේ උගත් මිතුරිය කරුණු ඉදිරිපත් කිරීමේදී පොදු දේපළ පනත යටතේ කරුණු ප්‍රකාශ කරන නිසා, සැක හැර ගැනීමේ කාර්ය සඳහා මම දක්වා සිටින්නේ පළමු සැකකරු සම්බන්ධයෙන් එම තත්ත්වය එසේ නොවන බවයි. එම නිසා ඔබතුමියගේ ගරු අධිකරණයට ඇප දීමේ බලතල පවතිනවා. මෙම අධිකරණය නිරන්තරයෙන්ම දූෂණ පනත යටතේ සිටින පුද්ගලයන්ට නොතීසි මත පෙනී සිටින විට ඇප ප්රදානය කරනු ලබනවා. දැන් මෙම නඩුවට අදාළ වරද සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ 2015 අවුරුද්දේ. අද වන විට ඊට අවුරුදු 11ක් ගත වී තිබෙනවා. එම නිසා මම කියන්නේ ඔබතුමියගේ ගරු අධිකරණයට මෙම සැකකරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඇප පනතේ 14 වැනි වගන්තිය තමයි අදාළ වන්නේ.
පොදු දේපළ පනත යටතේ සහතික ඉදිරිපත් කර තිබුණද, පොදු දේපළ පනත මෙයට අදාළ වන්නේ නෑ. මීට අදාළ වන්නේ ඇප පනතේ 14 වන වගන්තියයි. ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබාදීමේ කාරණය සම්බන්ධයෙන් නිර්ණායකයන් හතරක් තිබෙනවා ස්වාමීනි. පළමු එක තමයි, ඔහු පරීක්ෂණයට හෝ නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත නොපැමිණිය හැකි බවට අධිකරණයට මතයකට පැමිණිය හැකිද කියන කාරණය. දෙවැනි කරුණ නම්, විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධා පැමිණවිය හැකි බවට අධිකරණයට මතයකට පැමිණිය හැකිද කියන කාරණය. තුන්වැනි කාරණය තමයි, ඇප මත සිටින විට තවත් වරදක් කළ හැකි බවට යම් මතයකට අධිකරණයකට පැමිණීමේ හැකියාවක් තිබෙනවාද කියන කාරණය. හතරවැනි කරුණ නම්, කර ඇති වරදේ බරපතළකම නිසා මහජන ප්‍රතිචාරය මත මහජන කැලඹීමක් ඇතිවෙන්න පුළුවන්ද කියන කාරණය.
දැන් මෙම නඩුව සම්බන්ධයෙන් 2015 වසරේදී අල්ලස් කොමිසමට තොරතුරු ලැබී, අද තමයි මෙම විමර්ශනය අවසානයේදී පළමු සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ. දැන් මෙම අවුරුදු 11ක කාලය තුළදී සැකකරු විසින් සාක්ෂිකරුවන්ට හෝ සාක්ෂිවලට අහිතකර බලපෑමක් කළාය කියන කාරණය සම්බන්ධයෙන් ඔබතුමියගේ ගරු අධිකරණයට නිගමනයකට පැමිණීමට හේතුවන කිසිදු කාරණයක් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් කර නෑ. එවැනි කරුණක් මගේ උගත් මිතුරිගේ දේශනයේදී කියවුණෙත් නෑ.
දැන් ඇප පනතේ 14 වැනි වගන්තිය යටතේ කරුණු හතරක් තිබෙනවා. එම කරුණුවලින් එක කරුණක් ගැනවත් මගේ උගත් මිතුරිය මට විරුද්ධව ගෙනාවේ නෑ. මම අධිකරණයට ගෙන්නා ගන්න බැරිවෙයි කියන කාරණය කිව්වේ නෑ. සාක්ෂිවලට බලපෑම් කළාය කියන කාරණය කිව්වේ නෑ. සාක්ෂි වෙනස් කිරීමට උත්සාහ කළාය කියන කාරණය කිව්වේ නෑ. ඇප මත සිටින විට තවත් වරදක් කරනු ඇතැයි කියා කිව්වේ නෑ. එසේත් නැත්නම් අද වන විට මහජන කැලඹීමක් ඇප ලබාදීමෙන් සිදුවේ යැයි කියා කිව්වේ නෑ. මහජන කැලඹීමක් ඇතිවෙනවා නම් වෙන්න තිබුණේ 2015 වසරේදී.
මෙම තැනැත්තා අවුරුදු 64ක පමණ වයස්ගත පුද්ගලයෙක්. ඔහු Sleep Apnea (ස්ලීප් ඇප්නියා) රෝගයෙන් පෙළෙන තැනැත්තෙක්. මෙම රෝගය සම්බන්ධයෙන් 2023 සිට ඔහු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහු මෙම රෝගී තත්ත්වයෙන් පසුවන නිසා ශ්වසන යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැතුව නිදාගැනීමට නොහැකියි. Sleep test එකක් කළ පසු පැය දෙකක් තුළ 17 වරක් ඇහැරුණු බව පැවසෙනවා. ඔහු එසේ ඇහැරුණේ නැත්නම් මියයනවා, හුස්ම ගැනීම නතර වෙනවා.
එම නිසා ඔහු නිදාගැනීමට එම යන්ත්‍රය පාවිච්චි කළ යුතුය. එමෙන්ම ඔහුගේ හිසෙහි ගෙඩි 3ක් පවතින බව සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් 2025 වසරේ වෛද්‍යවරයා හමුවී ලබාගත් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා. ඔහුට ලබාදෙන ඖෂධ වර්ග රාශියක් පවතින අතර, ඔහුට එම ඖෂධ තනියම ලබාගැනීමට නොහැකි නිසා ඔහුගේ භාර්යාව විසින් ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙන්නේ.
මෙම පනතේ ඉහත සඳහන් විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුවද, ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වරදක් කිරීම සම්බන්ධයෙන් සැක ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තකු නිසි අධිකරණය වෙත ඉදිරිපත් වූ විට, අධිකරණය විසින් එම තැනැත්තා ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම හෝ පොලිස් නිලධාරියකු විසින් කරනු ලබන ඉල්ලීමක් මත ඇප මත මුදාහැරීම සඳහා බලපාන කරුණු සැලකිල්ලට ගත යුතුය. මෙහිදී ඔහුට ඇප දීමට විරුද්ධ විය යුතුයි කියන කාරණය පැමිණිල්ල විසින් කියා සිටියේ නෑ. ඇප නොදී සිටීමට කිසිදු හේතුවක් නෑ. ඇප දීම තමයි සාමාන්‍ය රීතිය. ඇප නොදීමට නම් යම් විශේෂ හේතුවක් තිබිය යුතුයි.
ඔබතුමිය ඇප ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ සඳහා නිශ්චිත හේතුවක් සඳහන් කළ යුතුයි. එම නිසා ඉතාම ගෞරවයෙන් සහ බැගෑපත්ව ඉල්ලා සිටින්නේ, මෙම තීරණය අධ්යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් මත සිදුවූවක් බවය. සාක්ෂිකරුවන්ට බාධා කිරීමක් නෑ. ඇප මත සිටියහොත් අධිකරණයට ගෙන්නාගන්න බැරි කතාවක් නෑ. එම නිසා මෙම කරුණු සලකා බලා, ඇප පනතේ විධිවිධාන තුළ සුදුසු ඇපයක් ලබාදී මුදාහරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉතාම ගෞරවයෙන් සහ බැගෑපත්ව සැකකරු වෙනුවෙන් ඉල්ලා සිටිනවා.“
ඉන් අනතුරුව දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පවසා සිටියේය.
“ගරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසන්නේ, ‘සිරිලිය සවිය’ යනු ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන යටතේ නීත්‍යනුකූලව ලියාපදිංචි වූ සංවිධානයක්. මෙම සංවිධානය දීර්ඝ කාලයක සිට විවිධ සමාජ සත්කාර කටයුතුවල නිරත වෙමින්, රෝහල් සඳහා වෛද්‍ය උපකරණ සහ රෝගීන්ට පහසුකම් සපයා තිබෙනවා. එම සංවිධානයේ භාණ්ඩාගාරිකවරිය දෙවැනි සැකකාරිය නෙවෙයි.
ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 160ක් පමණ වටිනා CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට මෙම සංවිධානය කටයුතු කළා. ඒ සඳහා ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ ප්‍රජා සත්කාර අරමුදලින් රුපියල් මිලියන 10 ක් ඇතුළුව දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලැබුණා. 2014 අවසානය වන විට රුපියල් මිලියන 48ක මුදලක් එකතු වී තිබූ අතර, එම මුදල් සියල්ල සුදුවැල්ල ශාඛාවේ පවතින නිල බැංකු ගිණුමේ කිසිදු අයථා පරිහරණයකින් තොරව අදටත් සුරක්ෂිතව පවතිනවා.
යන්ත්‍රයට අවශ්‍ය මිලියන 160ක මුදල එකතු වෙමින් පවතිද්දී, 2015 වසරේ සිදු වූ රජයේ වෙනස් වීමත් සමග දූෂණ විරෝධි ව්‍යාපාරයෙන් කළ පැමිණිල්ලකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකින් මෙම ගිණුම තහනම් කරනු ලැබුවා. ඒ නිසා යන්ත්‍රය මිලදී ගැනීමට තිබූ අවස්ථාව ඇනහිටියා මිස මෙහි කිසිදු සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු වී නැහැ. එකතු වූ මුදල් සතයක්වත් පෞද්ගලිකව ලබාගෙන නැති අතර, එම මුදල් අදටත් බැංකුවේ සුරක්ෂිතව පවතිනවා.
මෙතැනදී පොදු දේපළ පනත යටතේ වරදක් කර නොමැති බැවින්, සාමාන්‍ය ඇප පනතේ ප්‍රතිපාදන යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අවුරුදු 73ක් වයසැති දෙවැනි සැකකාරිය වෙනුවෙන් සුවිශේෂී සෞඛ්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කරනවා.
ඇය මෑතකදී නවලෝක රෝහලෙන් ඇසේ ශල්‍යකර්මයකට භාජන වී ඇති අතර, බන්ධනාගාර පරිසරයේ ඇති දූවිලි හා අශුද්ධතා නිසා පූර්ණ අන්ධභාවයට පත්වීමේ දැඩි අවදානමක් පවතිනවා. ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා සහ හෘදයාබාධ ඇතිවීමේ දැඩි අවදානමක් පවතින අතර, ප්‍රධාන රුධිර වාහිනී තුනෙහිම කොලෙස්ටරෝල් තැන්පත් වීමේ රෝගී තත්ත්වයක් පවතිනවා.
2021 MRI ස්කෑන් පරීක්ෂණයට අනුව මොළය ආශ්රිත රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා. කොඳු ඇට පෙළේ ආශ්‍රිතව ස්නායු තෙරපීමේ රෝගී තත්ත්වයක් පවතිනවා. හිස කැරකැවී ඇදවැටීමේ රෝගී තත්ත්වයක් පවතිනවා.
මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා ඇයට ඇප නියම කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය පළමු සැකකරු ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට නියෝග කළ අතර විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය. තවද දෙවැනි සැකකාරිය ඇප මත මුදා හැරීමට තරම් සාක්ෂි නොමැති බැවින් ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. දෙවැනි සැකකාරිය (08) වැනිදා දිනයේදී නවලෝක රෝහලේ අක්ෂි සායනය වෙත පෙ.ව.12.30 ට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේගම මහතා සඳහන් කළේ, අද දින බන්ධනාගාර රෝහලේදී විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් රාජපක්ෂ මහත්මියව පරීක්ෂාවට ලක් කර ඇති බවයි.එම වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, වැඩිදුර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව (09) වැනිදා දින කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එසේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


