අමෙරිකානු වෙරළ තීරයට ඔබ්බෙන් අතුරුදන් වූ කැනේඩියානු ගිලන් ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි – පුද්ගලයින් 6 දෙනෙකුගේ ඉරණම අභිරහසක

ඇමෙරිකාවේ නැන්ටකට් (Nantucket) වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, පුද්ගලයින් 6 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ කැනේඩියානු ‘ලැටිටියුඩ් ගිලන් සේවයට’ (Latitude Air Ambulance) අයත් ‘ගල්ෆ්ස්ට්‍රීම් ජී-100’ (Gulfstream G-100) වර්ගයේ වෛද්‍ය ප්‍රවාහන ගුවන් යානය අතුරුදන් වීමෙන් පසු, එහි සුන්බුන් මේ වන විට සොයාගෙන තිබේ. එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකාය (U.S. Coast Guard) සහ අදාළ බලධාරීන් මේ බව තහවුරු කර ඇත.

බර්මියුඩාවේ එල්.එෆ්. වේඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (L.F. Wade International Airport) ගුවන්ගත වූ මෙම යානය, මැසචුසෙට්ස් හි බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Boston Logan International Airport) වෙත ළඟා වීමට නියමිතව තිබුණි.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට (FAA) අනුව, අලුයම 1:20 පමණ වන විට මෙම යානය සම්බන්ධයෙන් සෙවීමේ සහ ගලවා ගැනීමේ අනතුරු ඇඟවීමක් (Search and Rescue Alert) නිකුත් කරන ලදී. ගුවන් ගමන් දත්ත පෙන්වා දෙන ආකාරයට, අඩි 24,000 ක උන්නතාංශයකින් ස්ථාවරව ගමන් කරමින් තිබූ යානය, හදිසියේම අඩි 11,000 දක්වා ඉතා වේගයෙන් පහළට ඇදී ගොස් ඇති අතර ඉන් අනතුරුව ගුවන් පාලන මධ්‍යස්ථාන සමඟ තිබූ සියලු සම්බන්ධතා සම්පූර්ණයෙන් ගිලිහී ගොස් ඇත.

ගුවන් ගමන් පාලන දත්ත පෙන්වා දෙන්නේ සබඳතා ඇනහිටීමට මොහොතකට පෙර යානයේ හදිසි විදුලි කාර්මික දෝෂයක් හටගෙන ඇති බවත්, නියමුවා විසින් හදිසි අවස්ථාවක් (Emergency) ප්‍රකාශයට පත් කර ඇති බවත්ය. එස්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු පරීක්ෂක ජෙනරාල් මේරි ෂියාවෝ සඳහන් කළේ, ප්‍රදේශය හරහා ගමන් කළ දරුණු කුණාටුවක් මෙම හදිසි තත්ත්වයට සහ පාලනය ගිලිහී යාමට හේතු වන්නට ඇති බවයි.


කැනඩාවේ ඔන්ටාරියෝ හි හැමිල්ටන් පදනම් කරගත් ‘ලැටිටියුඩ් ගිලන් සේවයට’ අයත් මෙම යානයේ මුළු පුද්ගලයින් 6 දෙනෙක් ගමන් කර ඇත.


කැනේඩියානු ජාතික නියමුවන් දෙදෙනෙක්

වෛද්‍ය කාර්ය මණ්ඩලය දෙදෙනෙක්

රෝගියෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෙක් (බර්මියුඩියානු ජාතිකයින් දෙදෙනෙක්)

ඒ අනුව මෙම අනතුරින් අතුරුදන්ව ඇත්තේ කැනේඩියානු ජාතිකයින් 4 දෙනෙකු සහ බර්මියුඩා ජාතිකයින් 2 දෙනෙකි. මෙම ගුවන් යානය ක්‍රියාත්මක කළ ‘ලැටිටියුඩ්’ සමාගම මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, තම දිගුකාලීන ගුවන් ගමන් ඉතිහාසය තුළ මෙවැනි ඛේදනීය සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.


නැන්ටකට් දූපත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිබී අදාළ ගුවන් යානයේ සුන්බුන් මේ වන විට සොයාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, යානයේ සිටි පුද්ගලයින් හයදෙනාගේ වත්මන් තත්ත්වය හෝ ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නැත.

එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකාය විසින් ගුවන් සහ නාවික යාත්‍රා විශාල ප්‍රමාණයක් යොදවමින්, අතුරුදන් වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (Search and Rescue Operations) අඛණ්ඩව සහ දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. අතුරුදහන් වූවන්ගේ ළඟම ඥාතීන්ට සහ පවුල්වල සාමාජිකයින්ට බලධාරීන් විසින් මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …