හමුදා ප්‍රධානීන්ට එරෙහිසම්බාධක ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්.

එක්සත් රාජධානිය විසින් හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙම කමිටුව සඳහා පත් කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ එකී කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරියෙකුගේ/ විද්වතකුගේ සේවය ලබා ගැනීම සඳහා කමිටුව වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පසුගිය මාර්තු 24 නිවේදනය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *