

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයයි.
එමෙන්ම තවත් රටවල් 7ක් සඳහා අර්ධ සංචාරක සීමාවන්ට පනවා තිබෙනවා.
එම රටවල් වන්නේ, බුරුන්දි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.
ට්‍රම්ප් මෙලෙස සංචාරක තහනමක් පැනවූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඔහු සිය පළමු ධුර කාලයේදී, එනම් 2017 වසරේදී ද මෙවැනි තහනමක් පනවනු ලැබුවා.
මේ අතර අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා හුවමාරු වැඩසටහන්වලට එක්වීමට අපේක්‍ෂා කරන විදේශීය සිසුන්ට එරටට පැමිණීම අත්හිටුවීම සඳහා වන ප්‍රකාශනයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබෙනවා.
එම ප්‍රකාශනයේ සඳහන් නිර්ණායකවලට යටත් වන හාවඩ් විශ්ව විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ වීසා පහසුකම් ද අවලංගු කිරීම සලකා බැලීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව වෙත නියෝගයක් ලබාදි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය කාලයේදී හාවඩ් විශ්ව විද්‍යාලය තුළ අපරාධවල වැඩිවීමක් පෙන්නුම් කිරීම හමුවේ එය මැඩපැවැත්වීමේ පියවරක් ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව මෙම නියෝගය මාස හයක් සඳහා බලපැවැත්වෙනු ඇති.


