
ඉරානයට ලබා දුන් සටන් විරාමය, තවත් දීර්ඝ කිරිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ, ඇමෙරිකාව සමග එකගත්වයකට පැමිණීමට ඉරානයට අවස්ථාව දෙමිණි.
සටන් විරාමය පසුගිය (22) වැනිදා අවසන් වන අතර, තමන් සමග පැහැදිලි එකඟතාවයකට පත් නොවන්නේ නම්, ඉරානයේ යටිතල පහසුකම්, පාලම්, පිරිපහදු සහ බලාගාර ඉලක්ක කර ගනිමින් දිගට හරහට බෝම්බ හෙලීමට ඇමෙරිකන් හමුදා සීරුවෙන් තබා ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණේ සටන් විරාමය කිසිසේත් දීර්ඝ නොකරන බවත්, ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කරන බවයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර සාම වැඩපිළිවෙළක් ඇති කිරීමේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදාපති අසීෆ් මුනීර් යන දෙදෙනා ට්‍රම්ප්ට දුරකතන ඇමතුම් දී දිගින් දිගටම ඉල්ලා ඇත්තේ සටන් විරාමය තවත් දීර්ඝ කරන ලෙසය. ඒ අනුව, සටන් විරාමය දීර්ඝ කෙරුණු බව ට්‍රම්ප් පවසා ඇත.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත්තේ, ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, හෝමූස් හරහා සිදුවන ඇමෙරිකාවට හිතවත් රටවල නැව් ගමනාගමනය අඩපණ කරමිණි.
ට්‍රම්ප් මීට ප්‍රතිචාර දක්වමින්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම, ඇමෙරිකන් නාවික හමුදාව යොදවා අවහිර කර ඇත. ඒ, ඉරානයට අයත් කිසිදු නෞකාවකට හෝමූස් හරහා යෑමට හෝ ඒමට හෝ නොහැකි ලෙසිණි.
ඉරානයට අයත් චීනයේ සිට ආ අති දැවැන්ත ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ද පහර දී අල්ලා ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව පියවර ගෙන ඇත.
මේ නිසා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකා ඉරාන දෙවැනි වටයේ සාම කතා පාකිස්තානයේ පැවැත්වීමට නියමිත නමුත් ඊට සහභාගී නොවන බව ඉරානය තරයේ පවසා ඇත.
මේ අතර ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව, ඔවුන්ගේ ‘නාවික අවහිරතාව’ වහා ඉවත් කළ යුතු බවය. එසේ කරන්නේ නම් පමණක් තමන් සාකච්ඡා සඳහා යොමුවන බව ඉරානය තරයේ පවසා ඇත. ට්‍රම්ප් මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ පැහැදිලි එකඟතාවක් ඇති කර ගන්නා තුරු ‘නාවික අවහිරතාව’ ඉවත් කිරීමේ අදහසක් නැති බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජනවලට තමන් බියක් නොදක්වන බවත්, ට්‍රම්ප් සිය තර්ජන ගර්ජන ප්‍රතිපත්තිය නතර කරන්නේ නම්, ඵලදායී සාකච්ඡා සඳහා යොමුවිය හැකි බවත් ඉරාන රජය අවධාරණය කර ඇත.
තර්ජන ගර්ජනවලින් ඉරානය යටත් කර ගැනීමේ අදහසක් ට්‍රම්ප්ට ඇති බවත්, කිසිවිටෙක එය එසේ කළ නොහැකි බවත් ඉරාන රජය අවධාරණය කර ඇත.
ඇමෙරිකාව සමග යුද වැදීමට තමන් බියක් නොමැති බව, ට්‍රම්ප්ගේ සටන් විරාම කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා ඉරාන ඉස්ලාමීය රජයට සහාය දක්වමින් එරට ප්‍රධාන නගරවල වීදි බැස සිටින දහස් ගණනක් වැසියන් ද පවසා තිබේ.
මේ අතර ඇමෙරිකා නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේය.
හමුදා ලේකම් ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව, පෙන්ටගනය පවසා නැත. ජෝන් ෆීලන් වෙනුවට, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. හන්ග් කාඕ වසර 25 ක අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙකි.
ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව ද ඇමෙරිකන් ඉරාන යුද්ධය යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වෙන්නැයි ඇමෙරිකා යුද ලේකම් පීට් හෙග්සිත් බලකරන්න ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර, පීට් හෙග්සිත්ගෙන් එල්ල වුණු පීඩන හමුවේ ඇමෙරිකන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීප දෙනෙක් ද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූහ.


