රට මැදට තද වැසි – පුද්ගල මරණ 08ක් දක්වා ඉහළට,ජලාශ රැසක් වාන් දමයි,කඩුගන්නාවෙන් නුවර පාර තාවකාලිකව වැසේ.

දිවයිනේ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන සහ දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම ජල කළමනාකරණ වාර්තාවට අනුව, පසුගිය 04 වැනිදා දහවල් 12.30 වන විට එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 73 හි සාමාන්‍ය ජල ධාරිතාව 39.3% ක් ලෙස සටහන් විය. මෙම ජලාශවල දැනට පවතින මුළු ජල ප්‍රමාණය අක්කර අඩි 1,310,756 ක් වන අතර එහි ක්‍රියාකාරී ජල ධාරිතාව අක්කර අඩි 1,168,139 කි.

දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ අතුරින් වාන් දමනුයේ ජලාශ දෙකක් පමණි. බදුල්ල දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි අඹේවෙල ජලාශය එක් වාන් කොටසකින් ද, බෝමුරුඇල්ල ජලාශය වාන් කොටස් තුනකින් ද වාන් දමමින් පවතින බව වාර්තා වේ. මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රෙගරි වැවෙහි ජල මට්ටම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් (04 වැනිදා) පස්වරුවේ එහි වාන් දොරටුවක් විවෘත කරන ලදී. ආරක්ෂක පියවරක් ලෙස ග්‍රෙගරි වැවේ බෝට්ටු ධාවනය ද තාවකාලිකව නතර කර ඇත.

වෙනත් ජලාශවල තත්ත්වය සලකා බැලීමේදී, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැන්යෝන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. විමලසුරේන්ද්‍ර ජලාශය ද දිගින් දිගටම වාන් දමමින් පවතින අතර මේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. මහවැලි අධිකාරිය සඳහන් කරන පරිදි කොත්මලේ ජලාශයට මිලිමීටර් 130 ක පමණ වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පසුගිය 03 වැනිදා පස්වරු 3.00 සිට එහි වාන් දොරටු ක්‍රමයෙන් විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ හදිසියේ ජලය මුදා හැරීමෙන් සිදුවිය හැකි අවදානම වැළැක්වීමටය. කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව පවතින්නේ 39% ක මට්ටමක බැවින් ඉන් පහළ ප්‍රදේශවලට දැනට විශාල අවදානමක් නොමැත.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පුද්ගල මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇත. ගිනිගත්හේන, මොරාහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අවුරුදු 47, 83 සහ 58 යන වයස්වල පසුවූ කාන්තාවන් තිදෙනෙකු සහ 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නාවලපිටිය, සෝලංකන්ද ජනඋදාන ගම්මානයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

මීට අමතරව, වටවල – ඥානන්දගම මාර්ගයේ පාලමක් මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී මියගොස් තිබේ. ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ ගංවතුරට හසුවී 45 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. සමස්තයක් ලෙස ආපදා හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන (අගෝස්තු 05) දින හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

මාර්ග ගමනාගමනය සම්බන්ධයෙන් ගත් කල, පස් කඳු කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ දැඩි අවදානම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් පසුගිය (03)වැනිදා පස්වරු 3.00 සිට තාවකාලිකව වසා දමා ඇත. රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එසේම, හැටන් – කොළඹ මාර්ගය දියගල ප්‍රදේශයෙන් වසා දමා ඇති අතර නෝටන් බ්‍රිජ් – මස්කෙළිය මාර්ගය එඩිට් සහ කිරිවැනෙළිය ප්‍රදේශවලින් අවහිර වී පවතී.

නුගලඑළිය – බදුල්ල, නුවරඑළිය – හැටන් සහ නුවරඑළිය – මහනුවර යන මාර්ගවල අධික මීදුම හේතුවෙන් දෘශ්‍යතාව අඩුවී ඇති බැවින් අවධානයෙන් රිය පදවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රදේශ කිහිපයකට රතු (මට්ටම 3) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:

  • මහනුවර දිස්ත්‍රික්කය -උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ.
  • කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව සහ නෝවුඩ්.

වාරිමාර්ගදෙපාර්තමේන්තුවට අනුව, ඉහළ මහවැලි ද්‍රෝණියේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල මෙන්ම ඉහළ කැලණි ද්‍රෝණියේ නෝවුඩ්, කිතුල්ගල සහ දෙහිඕවිට ප්‍රදේශවල මහා පරිමාණ ගංවතුර තත්ත්වයක් පවතී. රත්නපුර ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වේ. පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව ගංගාවල ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, බලධාරීන් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් රජය සහන සේවා ක්‍රියාත්මක කර ඇත. නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් 15ක් තාවකාලිකව ආරක්ෂිත කඳවුරු කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රකාශ කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැක. එසේම දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today