



‘එලිපන්ට් වෝක්’ චිත්‍රපටය ලාංකීය ප්‍රේක්ෂකයන්ට විශේෂිත වනුයේ එය ලංකාව පරිසරය අලලා නිර්මාණය වුනු චිත්‍රපටයක් නිසාත්, සති හතරක කාලයක් ලංකාවෙි රූ ගත කළ නිසාත්ය.
ඒ 1954 වර්ෂය විය. එවිට ලංකාව ‘සිලෝන්’ වී තිබුණු කාලයයි. මහ පරිමානව, කර්මාන්තශාලා තබාගෙන තේ වගා කරන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වටා ගෙතුනු කථාවක් නිසා, එහී රූ ගත කිරීම් ලංකාව තුලම සිදු කරන්නට විය. එහෙත් ඔවුන් මෙහී ගත කලේ සති 4ක් වූවද,ඉන්පසු සති 6 ක්ම රූ ගත කළේ ඇමරිකාවේ හොලිවුඩ් චිත්‍රාගාරයේය.
‘එලිපන්ට් වෝක්’ යනු 1948 දී බිහිවුනු නව කථාවකි. එය රචනා කළේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඩිග්බි ජෝර්ජ් ගෙරතිය. ඔහු නවකථා ලියා ප්‍රකාශ කෙරෙනුයේ අන්වර්ථ නාම වලිනි. වරෙක ඔහු රොබට් ස්ටැන්ඩිශ් යන නමින්ද, තවත් වරෙක ස්ටෙපන් ලිස්ටර් යන නමින්ද තමා ලියූ නවකථා ප්‍රසිද්ධ කරන්නට විය. ඔහුගේ මුල්ම නවකථාව වූයේ 1942 වසරේ බිහිවූ ‘ද ත්‍රී බැම්බූස්’ ය. එලෙසම අවසාන නව කථා පොත 1979 වසරේ ප්‍රකාශනයට පත්වූ අතර එය ‘ද ප්‍රින්ස් ඔෆ් ස්ටෝරිටෙලර්ස්’ ය. පොත් 39 ක් ලියා ඇති ඔහුගේ පොත් ගොන්නෙන් චිත්‍රපටයට නැංවූයේ එකම නවකථාවකි. ඒ 1948 දී බිහිවූ ‘එලිපන්ට් වෝක්’ය. ඔහු එම නවකථාව පල කළේ රොබට් ස්ටැන්ඩිශ් නමිනි.
‘එලිපන්ට් වෝක්’ නවකථාව මුලුමනින්ම පාහේ පසුබිම් කරගත්තේ එවකට සිලෝන් නම් වූ ලංකාවේ තේ කර්මාන්තය හා සම්බන්ධවය. ඔහු මතු කෙරූ කාල වකවානුවේ ලංකාව තිබුනේ බ්‍රිතාන්‍ය පාලනය යටතේය. ලංකාව හා සම්බන්ධව පසුතල වූ මෙම නවකථාව ලිවීමට කරුණු සොයා ගැන්මට ඔහු ලංකාවට පැමිණියාද යනු , ඔහුගේ චරිතය ගැන ලියු ලිපි වල සඳහන් වී තිබුණේ නැත. බොහෝ විට ඔහු ලංකාවට පැමිණෙන්නට ඇතැයි සිතෙන්නේ තේ වගාව ගැන ඔහු එම පොතේ විස්තර කර තිබූ අපූරුව ගැන සිතෙන විටය. ‘එලිපන්ට් වෝක්’ නවකථාව, ලෝකයේ බොහෝ රටවල ඒ ඒ අයගේ භාෂාවන් වලින් පරිවර්ථනය වී තිබූ අතර මෙය සිංහලට පරිවර්ථනය කළේ, ඉ.කොළොන්නෙගේ නැමැති ලේඛකයෙකු ව්සිනි. එය ‘සූරිය’ පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර, එම පොත හැඳින්වූයේ ‘අලි පාර’ නමිනි.
‘එලිපන්ට් වෝක්’ නවකථාව චිත්‍රපට ගත කිරීම සඳහා එහී අයිතිය මුලින්ම ගත්තේ, එකල නළුවෙකු, චිත්‍රපට නිශ්පාදකයෙකු හා අධ්‍යක්ෂක වරයෙකු වූ ‘ඩග්ලස් ෆෙයාබෑන්ක්’ ජූනියර් ය. ඔහු ඇලෙක්සැන්ඩර් මැක්ඩොනල්ඩ් සමඟ එක්වී ‘ඩග්ෆෙයා’ නමින් චිත්‍රපට නිශ්පාදන සමාගමක් පිහිටුවාගෙන තිබුණි. ඩග්ලස් ෆෙයාබෑන්ක්, ඩෙබෝරා කේර් මෙහී රඟපෑමට අදහස් කර ගෙන සිටි අතර යුනයිටඩ් ආර්ටිස් සමාගම චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු භාර ගෙන තිබුණි. ඒ සමයේ ලංකාව තුළ කාලගුණ තත්වය අයහපත් අතට හැරී තිබූ නිසා එහී පැමිණ චිත්‍රපටය රූ ගැන්වීමට අපහසු නිසා එය පසුවට කල් දැමීය.
ඉන් පසු ඔවුන් දෙදෙනා මෙහී අයිතිය පැරමවුන්ට් චිත්‍රපට සමාගමට පැවරීය. ඔවුන් එය නිශ්පාදනය කිරීමට එවකට ප්‍රකට, එලෙසම චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් නිශ්පාදන කෙරූ ‘අර්වින් ඇෂර්ට’ භාර දුනි. ඔහු එහී තිර රචනය ලිවීම සඳහා තෝරා ගත්තේ ජෝන් ලී මාහින්වය. එය අධ්‍යක්ෂණය කිරීමට ලැබුණේ විලියම් ඩිටර්ලේටය.
විලියම් ඩිටර්ලේ ජර්මනියේ ඉපදී ඇමරිකාවට සංක්‍රමණය වූවකි. ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වූයේ රංගන ශිල්පියෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් ලෙසටය. ඔහු ද චිත්‍රපට 50 කට කිට්ටු ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර තිබූ අතර ඔහු 1937 දී අධ්‍යක්ෂණය කළ ‘ද ලයිෆ් ඔෆ් එමිලෙ සෝලා’ චිත්‍රපටය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර්-ඇකඩමි සම්මානය ලබා ගත්තේය. 1936 දී ඔහු නිර්මාණය කළ ‘ද ස්ටොරි ඔෆ් ලුයිස් පැස්ටර්, 1939 දී ‘ද හන්ච්බෑක් ඔෆ් නොට්‍රෙ ඩේම්’, 1941 දී ‘ද ඩෙවිල් ඇන්ඩ් ඩැනියල් වෙබ්ස්ටර්’, යන චිත්‍රපට සුවිශේෂත්වයෙන් යුක්ත විය.
පැරමවුන්ට් චිත්‍රපට සමාගමට මෙහී ප්‍රධාන චරිතය වූ ජෝන් විලේට ‘ලෝරන්ස් ඔලිවර්’ගැනීමටත් රූත් විලේ ගේ චරිතය එවකට ‘ගෝන් විත් ද වින්ඩ්’ චිත්‍රපටයේ රඟපා ඉමහත් ජනප්‍රියට පත් වූ ‘විවියන් ලීග්’යන නිළියට භාර දීමටත් අදහස් කරගෙන සිටි අතර, ලෝරන්ස් ඔලිවර්ට තමා භාර ගෙන සිටි වේදිකා නාට්‍යයන් වල රඟපෑම නිසා මෙම චිත්‍රපටයේ රඟපෑමට කාල වේලාව සොයා ගැන්මට නොහැකි විය. එහෙත් විවියන් ලීග් මෙහි රඟපෑමට එකඟ විය.ලෝරන්ස් ඔලිවර් ගේ හිස් තැන පිරවූවේ බ්‍රිතාන්‍ය නළු ‘පීටර් ෆින්ච්’ ගෙනි.




පීටර් ෆින්ච් ගේ මුල් චිත්‍රපටය වූයේ 1935 දී තිරගත වූ ‘ද මැජික් ෂූස් ය. එය කෙටි චිත්‍රපටයකි. ඔහුගේ මුල් වෘත්තාන්ත චිත්‍රපටය වූයේ ‘ඩැඩ් ඇන්ඩ් ඩේව් කම් ටු ටවුන්’ ය. ඔහුව ‘එලිපන්ට් වෝක්’ චිත්‍රපටයේ රඟපෑමට තෝරා ගන්නා විට ඔහු චිත්‍රපට 21ක පමණ රඟපා තිබුණි. ඔහුට මෙම චිත්‍රපටයේ රඟපෑමට තිබුණේ විවියන් ලීග් සමඟ වුවද, ඔවුන් එක්ව මෙහී රඟපෑවේ දින දෙකක් පමණි. ඇයට ස්නායු පිළිබඳ රෝග ලක්ෂණ පහල වන්නට වූ අතර ඇය උන්මාද විශාදයට (Manic Depression) පත් වූ හෙයින් , නිශ්පාදන කණ්ඩායම ඇයව චිත්‍රපටයෙන් ඉවත් කෙරීය. ඉන් පසු එම චරිතයට තෝරා ගත්තේ බ්‍රිතාන්‍ය ,ඇමරිකානු නිළියක් වූ ‘එලිසබත් ටේලර්’වය. (පසුව ක්ලියෝපැට්රා හී ක්ලියෝපැට්රා ට තෝරා ගත්තේද ඇයවය).
එංගලන්තයේ සාප්පුවක වෙළඳ සහයිකාවක්, බ්‍රිතාන්‍යයේ ධනවත් තරුණයෙක් සමඟ පෙමින් බැඳ ඔහු හා විවාහ වී ලංකාවට යන්නේ ඔහු ලංකාවේද මහ පරිමානයේ තේ වගා ව්‍යාපාරයට සම්බන්ධ නිසාය. එතැන් සිට තමාට නුහුරු, ධනවත් පවුලක් සමඟ තම නව ජීවිතය ගෙවන්නට උත්සහ කරන ආකාරයේ රඟපෑමකි එලිසබෙත් ටේලර්ට රඟපාන්නට සිදුවූයේ.
‘එලිපන්ට් වෝර්ක්’ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතය වූයේ ‘ඩික් කාවර්’ය. ජෝන් විලේ ගේ රූමත් බිරිඳ වූ රූත් විලේට පෙම් කරන ජෝන් විලේගෙම තේ වගා බිමේ හා කර්මාන්තශාලාවේ කළමනාකරු ලෙස සේවය කරන ජෝන් විලේගේ චරිතයට සමගාමිව ප්‍රධාන පරාසයක් ඇති චරිතයකි ඩික් කාවර්. මෙම චරිතය රඟපෑවේ ඇමරිකානු නළුවෙකු වූ ‘ඩානා ඇන්ඩෘස්’ ය.
‘එලිපන්ට් වෝක්’ චිත්‍රපටයේ තවත් ප්‍රධානතම චරිතයකි ‘අප්පුහාමි’. එය ලංකාවේ ජෝන් විලේට අයත් විශාල බංගලාවේ ප්‍රධාන පාලකයා ලෙස දැක්වෙන චරිතයකි. කථාවට අනුව ඔහු ජෝන්ගේ පියා වූ මහ මුදලි ( The Governor) ටොම් විලේ ගේ ප්‍රධාන පාලකයාවී සිටි කෙනෙකි. ඔහු ඔහුගේ මුලු ජීවිතයම ටොම් විලේ වෙනුවෙන් ගත කරන, තරමක් අද්භූත පුද්ගලයෙක් විය. ටොම් විලේගේ සොහොන ඉදිකර තිබුනේ එම බංගලාවේම මිදුලේය. අප්පුහාමි හැම උදයකම එම සොහොන ලඟට ගොස් ආචාර කරමින් පෙර දින දවසේ සිදුවූ දේ හා අද දවසේ සිදුවන්නට යන දේ කියන්නට විය. මෙම ‘අප්පුහාමි’ චරිතය ලාංකීය සිංහල චරිතයක් විය. නමුත් එය රඟපෑවේ ‘ඒබ්‍රහම් සොෆර්’ නම් වූ බර්මාවල ඉපදුනු බ්‍රිතාන්‍ය නළුවෙකි. ඔහු තම රංගනය පටන් ගත්තේ 1931 දී තිරගත වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ‘ඩ්‍රේෆස්’ තුලිනි. ඔහු චිත්‍රපට 70 ක පමණ රඟපා තිබූ අතර, ‘එලිපන්ට් වෝක්’ ඔහුගේ 52 වෙනි චිත්‍රපටයය.ඔහු බ්‍රිතාන්‍යයේ රූපවාහිනි චිත්‍රපටවල වඩාත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් විය.
1955 ලංකා රූ රැජිණ වී, එම වසරේම ඇමරිකාවේ ‘මිස් යුනිවර්ස්’ ලෝ රූ රැජින තරගයට ලංකාව නියෝජනය කර එහී 3 වන ස්ථානය දිනාගත් ‘මොරින් හින්ගට්’, එලිපන්ට් වෝක් චිත්‍රපටයේ අපූරුවූ නැටුම් දර්ශනයකට එකතු විය. එය චිත්‍රපටය තුල ආකර්ෂණීය ම දර්ශනයක් විය. ඒ හැරෙන්නට ලංකීකයන් කියා සුළු වශයෙන් හෝ රඟපෑවේ සේවකයන් ලෙස රඟපෑ ජිවා රාජ් ඩි අල්විස්, හා වික්ටර් මිලාන් යන දෙදෙනා පමණි. ‘එලිපන්ට් වෝක්’ ලංකාවේ රූ ගත කළද, ලංකාවේ නළු නිළියන් එයට එකතු කර ගත්තේ නැත.
‘එලිපන්ට් වෝක්’ චිත්‍රපටය පටන් ගන්නේ සටහන් පොතක් දිගහැර ජෝන් විලේ විසින් එහි පිටුවක ලියා තිබූ සටහනක් කියවන දර්ශනයකිනි. ඉන් පසු රූප රාමුව ඡේදනය වනුයේ ලන්ඩන් නගරයේ ඇති රූත්ට අයත් කුඩා පොත් සාප්පුවකටය. ඒ හිරිපොද ඇද හැලෙන රාත්‍රියේ එම සාප්පුවට ඇතුල්වන්නේ ජෝන් විලේය. ඒ හමුවේදී අදහස් වන්නේ ඔවුන් දෙදෙනා කලක සිට පෙම්වතුන් බවය. ඔහු ඇයට ගුවන් ටිකට් පත් දෙකක් පෙන්වා කියන්නේ එළැඹෙන සතියේම ඔහු ඇයව විවාහ කරගන්නා බවත්, මධු සමයට ඔහු ඇයව පැරිසියට රැගෙන යන බවත් , එතැනින් ඔහු ඇයව ලංකාවට ගෙන ගොස් එහී ඔහුගේ බංගලාවේ පදිංචි වෙන බවත්ය.
ඒ කී ලෙසම ඔවුන් දෙදෙනා විවාහ වී පැරිසියට ගොස් එතැනින් ලංකාවට පැමිණි ඔවුනගේ ‘එලිපන්ට් වෝක්’ බංගලාවේ පදිංචි විය. ඔවුන් බංගලාවට ජීප් රියෙන් එන විට අලියෙක් මග හරස් කරන දර්ශනයක් දිස්වූ අතර, ඒ තුළින් කථාවේ මුල් හරය ඉදිරිපත් කරන්නට තිර රචකයා උත්සහ ගත්තේය.
ජෝන්ව විවාහ කරගන්නට පෙර,රූත් ගේ මව කීවේ රූත්ලගේ සාමාන්‍ය ජීවන රටාවට, ජෝන් විලේ වැනි පාරම්පරික අතී ධනවත් ,උසස් පැලැන්තියේ කෙනෙකු නොපැහෙන බවත්, ඒ උසස් සමාජයට රූත් වැනි කුඩා ප්‍රමණයේ පොත් සාප්පු අයිති කාරියක්ව කෙලෙසකවත් නොගැලපෙන බවත් ඇයට කිසිසේත් ඔවුන්ගෙ පැළැන්තිය සමඟ ජිවත් වීමට නොහැකි බවත් එයින් සිදුවෙන්නේ ඇය කොන් වී ජීවිතය සෝචනීය තත්වයට පත් වන බවක්ය. එහෙත් රූත් එය බැහැර කළේ ජෝන් ඇයට ආදරේ බවත් ඇය ඔහුට ආදරේ බවත් කියමිනි.
නමුත් තම මව කියූ දේ සත්‍ය බව රූත්ට බංගලාවට ගිය පළමු දිනයේම හා එදින රාත්‍රියේ ජෝන් තම උසස් පැලැන්තියේ යහළුවන්ට සංවිධානය කර තිබූ සාදයේදීම වැටහුනි. ඒ පැලැන්තියට තමා නොගැලපෙන බවත් ජෝන්ට තමා සමඟ රැය ගත කිරීමට වඩා තම පැලැන්තියේ මිතුරු කැල සමග මත් පැන් බොමින් බංගලාව තුලම වෙන් වූ තැනක බයිසිකල් වලින් යමින් හොකී වැනි සෙල්ලමක් කිරීම වඩාත් ප්‍රිය බවක් ඇය අවබෝධ කර ගත්තේ ඇයට ඒ රාත්‍රියම තනිවම යහනේ ගත කරන්නට සිදුවූ පසුවය.
එතැන් සිට සිදුවන බොහෝ දේ ඇයගේ සිත් තැලෙන දෑ මිස සිත සතුටු වන දේවල් නම් නොවීය. මෙම නිවස තුල කාමර ගනනාවක් තිබුනි. සංඛ්‍යාත්මකව 15-ක් හෝ 20ක් පමණ තිබුණි. එතරම් කාමර සංඛ්‍යාවක් කුමකටදැයි ඇය විමසන විට අප්පුහාමි කීවේ ඒවා ජෝන්ගේ යහළුවන්ට විවේක ගන්නට නොඑසේ නම් නැවති සිටින්නට තිබෙන කාමර කියාය. දිනක් ඇය මුළුතැන් ගෙට ගියාය. එතැන තිබෙන දර්ශනයෙන් ඇය විශ්මිත වී ගියේය. එය මුළුතැන් ගෙයක් නොව සුවිසල් මුළුතැන් බංගලාවක් විය. එහී අවම 50ක් පමණ වැඩ කරමින් සිටියහ. එහී අඩංගු කර ඇති වියලි ආහාර තරු පහේ හෝටලයක අඩංගු කර තිබෙනවාක් මෙනි. හරියට එක වරකට 200කට 300කට කෑම දෙනවාක් මෙනි ඔවුන් යුහු යුහළුව කෑම හදනුයේ . මෙතරම් කෑම කාටදැයි ඇය අප්පුහාමිගෙන් ඇසූ විට ඔහු කීවේ ජෝන්ගෙ යහළුවන්ට කියාය. එහෙත් එතැන ජෝන්ගේ යහළුවෝ කියා වැඩිම වුනොත් ඇත්තේ 20ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකි. එසේ නම් ඉතිරි කෑමට සිද්ධ වන්නේ කුමක්දැයි ඇසු විට ඔහු කීවේ සේවක සේවිකාවන්ට දී අනිත් සියල්ලම කුණු පෙට්ටියට දමනවා කියාය. මේ තරම් විශාල නාස්තියක් තව දුරටත් සිදුවීමට දි නොහැකි බවක් සිතූ ඇය මෙහී පාලනය තමා අතට ගත යුතු යැයි තීරණය කළාය. මේවා තමාගේ සැමියා ගෙ නිසා, දැන් ඒවා තමාටත් අයිති බවක් ඇය අප්පුහාමිට කීය.


ඇය වරද්ද ගත් තැන එතැන බවක් අප්පුහාමිට තේරුණු අතර, ඇය වැන්නෙක් මෙවන් නිවසකට, මෙවන් පැලැන්තියකට නොගැලපෙන බව ද අප්පුහාමිට වැටහුනි. ඔහු ඒ බව තම මුල් ස්වාමියාගේ සොහොනට ගොස් කීවේය.
මේ අතර දිනක් අලි රංචුවක් බංගලාව දෙසට පැමිණීය. සේවකයෝ ඉතාමත් අපහසුවෙන් ගින්දර හා ශබ්ද ආධාරයෙන් ඔවුන්ව පන්නා දැමීය.
අලි මෙතැනට පැමිණෙන හේතුව රූත් දැන ගත්තේ පසුවය. ජෝන් ගේ පියා ටොම් ලංකාවට පැමිණ තම බංගලාව හදන්නට තෝරා ගත්තේ අලි දිය බොන්නට, දිය නාන්නට දොළට යන පාරය.එතැන බංගලාව හැඳුනු පසු අලින්ට දිය බොන්නට යෑමට නොහැකි වන සේ බංගලාව නිසා පාර ඇහිරි තිබුණි. එහෙයින් අලි මෙම බංගලාව සමඟ වෛරයෙන් පසුවිය. ඔවුන් කීප වතාවක්ම බංගලාවට පැමිණුනේ එය විනාශ කිරීමට වන්නට ඇත. අප්පුහාමි ඒ බව දැනගෙන සිටියේය. ඒ නිසාය අලි එන හැම අවස්ථාවකම, සේවක කණ්ඩායමක් යොදවා ඔවුන්ව එලවා දමනුයේ.
ජෝන් විසින් රූත්ට තම බංගලාවේ කටයුතු වලට සම්බන්ධ නොවන ලෙස තරයේම කියා සිටියේය. අන් අතකට ජෝන් රූත් සමඟ සිටිනවාට වඩා වැඩි කාලයක් තම යහළු මිත්‍රයන් සමඟ විනෝදෙන් මත් පැන් බොමින් කාලය ගත කළේය. මේ හේතුවෙන් රූත් ජෝන්ගේ හිත මිත්‍ර ඩික් කාවර් සමඟ ටිකෙන් ටික ලංවිය. ඩික් රූත්ට තම හදවතින්ම ආදරය කළේය. එහෙත් රූත් තම විවාහය කෙසේ හෝ රැක ගැන්මට උත්සහ කළ නිසා ඩික් කාවර්ට වැඩි ඇගැලුම් පෑම අඩු කළාය.
එදින බංගලාවේ විශාල උත්සවයක් විය. ඒ ජෝන්ගේ මිය ගිය පියාගේ උපන් දිනයයි. ජෝන් එදින ලාංකීය උඩරට නැටුම් කණ්ඩායමක් ගෙනවිත් තම මිතුරන් හා තම බිරිඳව සතුටු කරන්නට උත්සහා කළේය. තම බිරිඳට වඩා ඔහු උත්සහා ගත්තේ තම මිතුරන්ව සතුටු කරන්නටය. මේ ගැන බහින් බස් වීමකදී ජෝන් රූත්ට කම්මුල් පහරක් ගැසීය. ඇය ඔහුගේ මිතුරන්ට බැන වැදී එලවා දැම්මේ නැවත මෙම ගෙදරට නොඑන ලෙස කීමෙනි. ජෝන්ගේ කම්මුල් පහරට, රූත්ගේ සිත හොඳටම රිදුනි. ඇය බංගලාව හැර දමා ඩික් කාවර්ව සොයා ගොස් කීවේ ඇයව කොළඹ ගුවන් තොටුපලට හැරලවන ලෙසටය. ඒ ඇයට නැවත එංගලන්තය ට යෑමටය. ඩික් ඇයව තම ජීප් රථයේ නංවා ගෙන කොළඹ බලා පිටත් වන්නට සැරසුනද, ඔවුන්ට යාමට හැකිවූයේ ඉතාමත් සුළු දුරකි. මාර්ගය ට පොලීසිය විසින් බාධක පමුණවා තිබුණි. පොලිසියද ඔවුනට කීවේ නැවත හැරී යන ලෙසටය. එයට හේතුව ඒ වන විට ‘කොලරා’ වසංගතය ඒ මුලු ප්‍රදේශයේම පැතිරී ඇති අතර බොහෝ දෙනෙක් මිය ගොස් සිටියහ. තවත් බොහෝ දෙනෙක් පන අදිමින් සිටියහ.
ඩික් හා රූත් වහා තම වාහනය හරවා බංගලාවට ගියහ. ඒ වන විට බංගලාවේ කීප දෙනෙක් ම කොලරා රෝගයෙන් පීඩා විඳිමින් සිටියහ.
ජෝන්ගේ කර්මාන්ත ශාලාවටද එය පැතිරි ගොස් තිබුණි. රූත්, ජෝන් හා එක්ව හැකි අයුරින් හැම රෝගියෙකුටම සාත්තු කරන්නට විය. ඇය දිවා රෑ නොබලා නිදිමරමින් කොලරා රෝගීන්ට සාත්තු කරන අයුරු අප්පුහාමි සියැසින් දැක , ඔහු තම මුල් ස්වාමියාගේ සොහොන් කොත ලඟට ගොස් කීවේ රූත් වැන්නෙක් මෙම බංගලාවට අත්‍යාවශ්‍ය බවය. ඇය ගැන මුලින් වැරදි අන්දමට සිතීම ගැන අප්පුහාමි කණගාටු විය. ඔහු සොහොන් කොත දෙස බලා කීවේ ජෝන් විලේ, එනම් තමාගේ දැන් සිටින හාමුට සුදුසුම බිරිඳ රූත් බවය.
මේ අතර එක දිගට ජෝන් සමඟ ඔහුගේ කර්මාන්ත ශාලාවේ රෝගින්ට සාත්තු කෙරූ රූත්ට අධික ලෙස මහන්සියක් දැනුනි. ජෝන් ඇයට කීවේ බංගලාවට ගොස් විවේක ගන්නා ලෙසටය. එහෙයින් ඇය බංගලාවට ගොස් සාලයේ තිබූ ඩිවානයට තම සිරුර බර කළේ කෙටි නින්දකට අවතීර්ණ වීමටය. අප්පුහාමි පැමිණ ඇයව බ්ලැන්කෙට්ටුවකින් පොරවා දැමීය. ඔහුටද ඇත්තටම ඇය ගැන දුක සිතුණි.
ඇයට අප්පුහාමි පැමිණ තම සිරුර උඩින් බ්ලැන්කෙට්ටුව පෙරවූ බවක් හෝ මතකයේ තිබුණේ නැත. ඒ, ඒ වනවිට ඇය සුව නින්දක පසුවී සිටි නිසාය.
විශාල ශබ්දයක් ඇසී ඇය තිගැස්සි ඇහැ ඇරීය. අප්පුහාමිද එම ශබ්දය ගැන විපරම් කරන්නට එළියට දිව ගියේය. අලි විශාල ප්‍රමාණයක් පැමිණ බංගලාවේ තාප්පය කඩා දමා නිවසට දෙසට එන්නට විය. අප්පුහාමි ඔවුන්ව වලකන්නට උත්සහ කරන සිට අලින් ඔහුව උස්සා පොළවේ ගසා මරා දැමීය. ඉන් පසු අලි රංචු පිටින් බංගලාවට ඇතුළු වී එහී සියලු දෙයම විනාශ කරන්නට විය. රූත්ට යන එනමං නැතිවිය. මේ අතර අලින්ගේ කකුල් වැදී බංගලාවේ තිබු පැට්‍රල් බැරලයක් පෙරළී පැට්‍රල් මුළු විසිත්ත කාමරය පුරාවටම ගලා ගියේය. ඒ අතරේ තවත් අලියෙකුගේ හොඬක් වැදී එල්ලා ඇති පත්තු කෙරූ පහනක් කඩාගෙන අර පැට්‍රල් විසිරුණු විසිත්ත කාමරයට වැටුණි. එක පාරටම එතැන ගිනි ගන්නට පටන් ගතී. ඉතාම සුලු වේලාවකින් මුළු බංගලාවටම එම ගින්න පැතුරුනි. එක පැත්තකින් බංගලාවේ බිත්ති කඩා වැටෙන්නට වූ අතර, තව පැත්තෙන් මුළු බංගලාව ගිනි ගන්නට සැරසෙන්නට විය. ඒ දෙකටම මැදිවී රූත් ඒ අතටත්, මේ අතටත් දුවන්නට විය.
කර්මාන්තශාලාවේ සිටි ජෝන්ට හා ඩික්ට මෙම විනාශය ගැන ආරංචි විය. බංගලාවේ රූත් සිටින බවක් ඔවුන්ට සිහි විය. ඔවුන් වහා වහා බංගලාවට පැමිණීය. ඒ වන විට බංගලාව ගිනිබත් වෙමින් තිබූ අතර, විශාල ප්‍රමාණයකින් පැමිණි අලින් ද, ටිකෙන් ටික පසු බසින්නට වූයේ ඔවුන් කරන්නට පැමිණුනු රාජකාරිය නිම වූ නිසාය. ජෝන්, ගින්නද නොතකා බංගලාව ඇතුලට යන විට රූත් බිත්ති කඩා වැටීමත්,ගින්නත් අතර හිරවී සිටියාය. ජෝන් වහා ගොස් ඇයව බේරා ගෙන එළියට පැමිණීය.
තමන් දිය බීම හා නෑමට යන මාර්ගය වසා දමා ජෝන්ගේ පියා ඒ වන විට හැදු බංගලාව විනාශ කර දැමීම ඒ අලින්ගේ අරමුණ විය. ඔවුන් කීප විටක්ම පැමිණියද ඒ අවස්ථා ව්‍යවර්ථ විය. එහෙත් ඔවුන් තම අලි ප්‍රමාණය වැඩි කරගෙන පැමිණියේ අද මෙය විනාශ කර දමා ,ඔවුන්ගේ පලිය ගැනීමටය. ඔවුන් එය ඉෂ්ඨ කර ගත් පසු නැවත සියල්ලෝම කැලයට ඇදෙන්නට වූයේ කිසිදු දෙයක් සිදු නොවූ ගානටය.
ජෝන් රූත්ව තුරුළු කර ගෙන කීවේ තමාට බංගලාවට වඩා රූත්ව වටින බවය. එලෙසම හොඳ තැනකින් කාටත් අවහිර නොවන තැනකින් යලි අලුත්ම බංගලාවක් ඉතාමත් ඉක්මනින් සාදන බව ඔහු රූත්ට පොරොන්දු විය.
‘එලිපන්ට් වෝක්’ චිත්‍රපටය නිම වූයේ එසේය.
හැකි නම් මෙය සොයා ගෙන නරඹන්න. ඇත්තෙන්ම මෙය ත්‍රාසජනක අපූරුම චිත්‍රපටයක් බව නම් කිව යුතුමය. මෙහී DVD ඇති අතර, කොළඹ තොරානා වීඩියෝ හල් ශාකාවලින් සොයා ගත හැක.
– ශෝන් මැක්ස්මස් දිසානායක-
https://www.facebook.com/shaun.dissanayake
ශෝන් මැක්ස්මස් දිසානායක මහතාගේ මුහුණු පොත් සටහනකින්.
සියළු හිමිකම් ඒ මහතා සතුයි.
චිත්‍රපටයේ Trailer යූ ටියුබ් දිගුව


