සිංහල කෙටිකතාව

ද්‍රෝහියා
ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පමණි. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමණි.
”කෝ…. මූ තවමත් නෑනේ…” මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. ”ගල්කටස්” යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.”දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග‍්‍රාමයා ගියේ.” නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.”කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.” නායකයා පැවසූවේ ස්ථිර හඬකිණි.”ග‍්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.” මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.”තිලක්, මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප‍්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.”
නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.
නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ ”අ” යනු ”ආ” යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.”තිලක් සහෝදරයාට හොඳ බුද්ධියකුත් කරුණු වටහා ගැනීමේ ශක්තියකුත් තියෙනවා.” රණබාහු සහෝදරයා වරක් එසේ කීවේ තවත් පක්ෂයේ සන්නද්ධ නායකයෙකු සමගය. එය ඇසුණු තිලක්ගේ සිතට දැණුනේ සියුම් උද්දාමයකි. එහෙත් රණබාහු සහෝදරයා දැන් කිව් වදන් නිසා තිලක්ගේ සිත මදක් පෑරිණි.”අපි පක්ෂය වෙනුවෙන් කැප වෙච්චි විප්ලවවාදීන්. පක්ෂයේ නියෝග ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. ජීවිතය පූජා කරලා හරි අපි මේ සටන දිනන්න ඕන.” රණබාහු සහෝදරයා කීවේ ස්ථිර හඩකිනි.
මෙම සටන ජයග‍්‍රහණය කළ හැක්කේ කෙළෙසකද යන්න පිළිබඳව තිලක් කල්පනා කොට තිබේ. මෙය ජයග‍්‍රහණය කරන්නේ බෝල්ෂේවික්වරුන් මෙන් හිම මාළිගාවට පහර දීමෙන් ද, නැතහොත් ක‍්‍රැස්ත්‍රෝ මෙන් මොන්කාඩා බැරුක්කයට පහර දීමෙන්ද? ඔහු ඉතිහාසය හාරා අවුස්සා බැලුවේය.
නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන් ඔහුද කැප කිරීම් කොට තිබේ. උද්ඝෝෂණ, වර්ජන වලදී තිලක් දැවැන්ත කාරයභාරයක් ඉටු කළේය. එහෙත් යට බිම් ගතව දේශපාලනය කිරීමත් සමගම ඔහුට පැවරුණේ රහසිගතව කෙරෙන වැඩ කොටසකි.
පොලීසිය හෝ හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා කැරලිකරුවන් මරාදමා තිබූ අයුරු ඔහු සියසින්ම දිටීය. නිරුවත් කොට හිසට වෙඩි තබා මරා දමන ලද කමල්චන්ද්‍ර ඇතුළු පිරිසකගේ මෘත ශරීර දැකීමෙන් ඔහු තුළ ඇති වූයේ දැඩි ආවේගයකි. කමල්චන්ද්‍ර ගුරුවරයෙකු ද විය. ඔහු දේශපාලන රැස්වීම් වලදී ඉතා හොඳ කථිකයෙකි. ඒ හැර කමල්චන්ද්‍ර කිසිදු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක නිරත නොවීය. එහෙත් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඔහු සමග මරා දමා තිබූ අනෙකුත් තිදෙනා ඔහු හැඳිනගත්තේ නැත.
කමල්චන්ද්‍රගේ මරණයත් සමග ඔහු වඩාත් කල්පනාකාරීව වැඩ කළේය. රාත‍්‍රිය ගත කිරීමට නිවසට නොගිය ඔහු නිදා ගත්තේ කැළෑ රොදකය. නැතහොත් විශ්වාසවන්ත පාක්ෂිකයෙකුගේ නිවසකය.
පෝස්ටර් ගැසීම සඳහා රණබාහු සහෝදරයා නියම කළේ තිලක්ටය. අතින් අඳින ලද ”මවුබිම නැතිනම් මරණය, ”ද්‍රෝහියන්ට දඬුවම් දෙනු” වැනි පෝස්ටර් ඔහු බිත්තිවල ඇලවූයේ රාත‍්‍රී කාලයේදීය. පාප්ප බාල්දිය හා පෝස්ටර් මිටිය අතින් ගත් ලක්සිරි සමගින් ඔහු විදුහල් තාප්පයේ පෝස්ටර් අලවන විට හමුදා රියක් පැමිණියේ අනපේක්ෂිත මොහොතකය.”දුවමු, ආමි එකෙන්…” තිලක් ලක්සිරිට කීවේ පෝස්ටර් මිටිය කිහිලිගන්නා ගමන්ය. එහෙත් ඔවුන් පාප්ප බාල්දිය අතහැර දැමූහ. ලක්සිරි සමඟ කඩපේලිය අසලට දිවගිය ඔහු බාබර් සාප්පුව අසල වූ, විශාල කාණුවට බැස පලා ගියේ හමුදාවෙන් වෙඩි තැබුවහොත් එය මඟ හරිනු සදහාය.
එහෙත් හමුදා භටයෝ ඔවුන්ට වෙඩි නොතැබුහ. කුණු කාණුව දිගේ බඩගා ගිය ඔවුන් මතු වූයේ ඇලකිනි. කාණුවට නොදෙවෙනි කසල හා දුර්ගන්ධයෙන් යුක්ත වූ අපිරිසිදු ජලය පිරි ඇලේ ඔවුන් කරවටක් ගිලී සිටියේ පැයක පමණ කාලයක් ගෙවා දමමිනි. මෙසේ නිසොල්මනේ සිටියේ හමුදාව මඟ හැරීම පිණිසය.
උසස්පෙළ පාසල් සිසුවෙකු වූ ලක්සිරිගේ මුහුණේ බියක සේයාවකුදු නැත. මොහු දැඩි සිත් ඇත්තෙකු යැයි තිලක් තීරණය කළේ ඒ දිනයේදී ය. එය සනාථ කරනු වස් ලක්සිරි බොහෝ ප‍්‍රහාර වලට සම්බන්ධ විය. අවසන් ප‍්‍රහාරයේ දී රණබාහු සහෝදරයාගේ නියෝගය මත ලක්සිරි ග‍්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිට උල් පිහියකින් ඇන ග‍්‍රාමෝදය සභාපතිවරයාට පිහියෙන් අනින විට ලක්සිරිගේ දෙනෙත් වල තිබූ ගිනිපුපුරු තිලක්ට අමතක කරනු නොහැකි විය. පාසල් සිසුවෙකු මෙතරම් දරුණු වූයේ කෙසේද? ලක්සිරි මෙලෙස පරිවර්ථනයට ලක් වූයේ සමාජ අසාධාරණයන් නිසා නොවේ දැයි තිලක් කල්පනා කළේය.
එහෙත් ලක්සිරි මුවහත් කරනු ලැබුවේ සංවිධානය මඟින් බව තිලක්ට වැටහිණි.”ග‍්‍රාමයාගේ වැඩ අද ඉවරයි.” ලක්සිරි පැවසුවේ මුවහත් පිහිය ප‍්‍රවේශමෙන් අතගාමිනි. රණබාහු සහෝදරයා හිස වනා එය අනුමත කළේ තිලක් දෙසද බලමිනි. ඔවුනට පිළිතුරු නොදුන් තිලක් අඳුරු බොරළු පාර දෙස බලා සිටියේය. යම් අයෙක් සෙමින්, සෙමින් ඉදිරියට පා නගයි. ඔවුහු වහාම වෙස්මුහුණු පැළඳ ගත්හ.
ඉදිරියට පැමිණෙන්නා තරුණයෙකි. ඔහු ජයසුන්දර ග‍්‍රාම නිළධාරියා නොවන බව දුර තියා වුවද කිව හැකිය. අවුරුදු පනහ පැන සිටි ජයසුන්දර රාළහාමි ඇවිදින්නේ මහළු ගොන් මාල්ලෙකු සේය. ඇවිදින විට ඔහුගේ කය නැමේ. ජාතික ඇඳුම ඇඳ බුලත්විට හපන ඔහු මයිල බාගයක් දුර සිට වුවද හඳුනාගැනිම අසීරු නොවේ.
තරුණයා බෝක්කුව උඩින් ඇවිදගෙන ගියේ ජෝතිපාලගේ ගීයක් මුමුණමිණි. ඔහුට නොපෙනෙන සේ තිදෙනා පඳුරු තුළ සැඟවී ගත්හ. ජයසුන්දර රාළහාමි ප‍්‍රමාද මන්ද? රණබාහු සහෝදරයා නොසන්සුන් විය. ලක්සිරි පමණක් මුවින් කිසිවක් නොකියා උල් පිහියේ මුවාත පිරික්සමින් සිටියි.”ග‍්‍රාමයාට කවුරු හරි ඔත්තුවක් දුන්නා වත්ද?” මෙවර රණබාහු සහෝදරයා ඇසුවේ තිලක් දෙස හොරහැහින් බලමිණි. එය තිලක් දුටුවේ නම් ඔහුගේ හද පෑරෙනු නිසැකය.”මූ අද ආවේ නැත්නම් හෙට ගෙදරට ගිහිල්ලා හරි වැඩක් දෙමු.” ලක්සිරි කීවේ දත්කුරු කමිනි.
ජයසුන්දර ඝාතන නියෝගය තිලක්ට ප‍්‍රහේලිකාවකි. ඔහු යූ. ඇන්. පී. කාරයෙක් බව සැබෑය. ඔහු පමණක් නොව ඔහුගේ පරපුරේ සියළු දෙනා පරම්පරාගත යූ. ඇන්. පී. කාරයෝය. එහෙත් ඔහුට දේශපාලන උණ තිබුණේ නැත. ඉතා සාධාරණව රාජකාරි කළ ජයසුන්දර රාළහාමි ගමේ කොයි කවුරුත් සමඟ හිත හොඳින් සිටියේය.
සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට හැඳුනුම්පත ලබා ගැනීමට පෝර්මය පුරවා දුන්නේ ජයසුන්දර රාළහාමිය. අකුරු ශාස්ත‍්‍රය නොදත් තිලක්ගේ පියා, තම පුතා වන තිලක්ගේ පෝර්මය පුරවන ජයසුන්දර රාළහාමි දෙස බලා සිටියේ ගෞරවයෙන් හා කෘතගුණ සැලකිල්ලෙන් යුතුවය.”දැන් භාරකාරයා හැටියට අබිලිං මෙතන අත්සනක් දාන්න.” ජයසුන්දර රාළහාමි පියාට පෝර්මය දුන් විට, අත්සන් කිරීමට නොදත් පියා මහපට ඇඟිලි සලකුණ නියමිත ස්ථානයේ තබා තම යුතුකම ඉටු කළේය.” ඕං අයිඩෙන්ටිකාඞ් වැඬේ හරි. දැන් තියෙන්නේ හොඳින් පාඩම් කරලා විභාගේ පාස් වෙන එකයි.” ජයසුන්දර රාළහාමි පැවසුවේ හිතවත් වැඩිහිටියෙකුගේ විලාසයෙනි.
සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ හා උපාධියද සමත් වූ තිලක් හට රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමටද ග‍්‍රාම නිළධාරියා උපකාර කළේ කිසිදු ඊර්ෂ්‍යාවක් හිතේ නොදරමිණි. ”මොහු ඉතා අවංක කාර්යශූර අයෙකු බව සහතික කරමි” යැයි ජයසුන්දර රාළහාමි තිලක්ට චරිත සහතිකයක් නිකුත් කරමින් මුද්‍රා තැබීය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලට විනා රැකියාවකට ඔහුට අවස්ථාව නොලැබුණි.
රණබාහු සහෝදරයාගේ නියෝග ප‍්‍රශ්න නොකොට ඉටු කළ තිලක් ඔහු සමග මතවාදීව ගැටුණේ සහල් ගබඩාවට ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේදීය. රණබාහු සහෝදරයා සහල් ගබඩාවට ගිනි තැබිය යුතු යැයි තර්ක කළේය. එහෙත් එයට එකඟ වීමට තිලක්ට නොහැකි විය. ”රණබාහු සහෝදරයා, ගොවීන්ගේ වී මිළට ගන්නේ මේ ගබඩාවයි. මෙතන රැස් කරන වී සමූපාකාරයෙන් අරගෙන යනවා. අපි මේක විනාශ කළොත් ගොවීන්ට වී ටික විකුණා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට වෙන්නේ මුදලාලිලා අඩු මිළට ගොවීන්ගේ වී ගන්න එකයි.”
රණබාහු සහෝදරයා තිලක් දෙස හෙළුවේ අභියෝගාත්මක බැල්මකි. ”තිලක් සහෝදරයා ප‍්‍රශ්න විශ්ලේශණය කරන්නේ මතු පිටින් විතරයි. සහෝදරයා ඔය කියන්නේ මතු පිටින් පෙනෙන සත්‍යය. වී ගබඩාව කියන්නේ ගොවීන්ගේ සටන් ශක්තිය හීන කරන මෙවලමක්. අපි එ්ක විනාශ කරන්න ඕනෑ. එතකොට ගොවීන් විප්ලවකාරී බලවේගයක් බවට පත් වෙනවා.…”
රණබාහු සහෝදරයා කෙටි දේශනය අවසන් කළේ ජයග‍්‍රාහි හඬකිණි. ඉන් පසුව තිලක් කිසිවක් කීවේ නැත. එදින රාත‍්‍රියේ ඔවුහු වී ගබඩාවට ගියහ. විශාල පිට්ටු බම්බු වැනි කොන්කි‍්‍රට් ගබඩාවල දොරවල් නාරස්සනයකින් කඩා දැමූ ඔවුහු වි පිරවූ ගෝනි වලට පෙට්රෝල් වත්කොට ගිනි තැබූහ.”මුරකාරයා පේන්නවත් නැහැ..” තිලක් වටපිට බලා පැවසීය. ඉන්පසු ඔවුහු කාර්යාලය දෙසට ගියෝය. කුඩා කාර්යාලය ද ගිනි දෙවියාට පිදීමට ඔවුන්ට ගතවූයේ සුළු කාලයකි. වී තොග ගබඩාව දුම් දමමින් ගිනි ගනිද්දී ඔවුහූ පළා ගියහ. පසු දින ගබඩාවේ ඉතිරි වී තිබුණේ යෝධ කොන්ක‍්‍රීට් සැකිල්ල පමණි. ගින්න නිසා පිට්ටු බම්බු වැනි සුදු කොන්ක‍්‍රීට් ආවරණ කළු පැහැ ගැන්වී තිබුණි. කාර්යාලය තිබුණු තැන ඇත්තේ අඟුරු ගොඩකි.
ඉන් සතියකට පසු ඔහු ගෙදර ගියේ සුළු වේලාවක් සඳහාය. තිලක් දුටු ඔහුගේ පියා ඔහු දෙස බැලූවේ බිය මුසු දෙනෙතිනි.”පුතේ පෙරේදා පොලීසියෙන් මෙහෙ ආවා. උඹ ගැන අහගෙන..” පියා කීවේ බියපත් හඬෙකිණි.”පුතේ… ආපහු මෙහෙ එන්න එපා, උඹව අල්ලගෙන යයි. රන්බණ්ඩාගේ පුතාවත් පොලීසියට ගෙනිච්චලු” මව පැවසුවේ අඬන්නාක් මෙනි.
තිලක් කිසිවක් නොකියා දෙමාපියන් දෙස බලා පිටත්ව ගියේ කඩිනමිනි. ගම්මුන් මුලිච්චි නොවීම සඳහා ඔහු බඩවැටි අස්සෙන් සමන්මලීගේ නිවසට ගියේය. එහෙත් සමන්මලී නිවසේ නොවූවාය. ඇයගේ නිවසද වසා දමා තිබුණි.”අද උදේ සමන්මලීවයි, අයියවයි හමුදාවෙන් ගෙනිච්චා,” අසල්වැසි කොළුවෙකු වූ මද්දු කීවේය. දෙපා කොර වී ඇති මද්දු ඇවිදින්නේ සැරයැටියක ආධාරයෙනි.
ලැබෙන ආරංචි අනුව මෙහි සිටීම සුදුසු නැත. තිලක් ප‍්‍රධාන මාර්ග මඟ හැර රක්ෂිත ස්ථානයක් බලා ගියේය. කුඩා වන රොදක ඇති ගල් තලාව ඔවුන්ගේ රක්ෂිත ස්ථානය විය. පොලීසියෙන් හෝ හමුදාවෙන් එන විට ගල් තලාව උඩ සිටින සඟයෙකුගේ සංඥවෙන් ඔවුන්ට ගංගාව දෙසට පැන යාමට හැකි වේ. ගංගාව අසල පාලම තරණය කොට ඔවුන්ට නගරයට අවතීර්ණ විය හැක. නගරයේ සැරිසරන දහසක් මිනිසුන් අතර මොහොතක දී ඔවුන්ට අතුරුදහන් වීමට ගත වන්නේ විනාඩි ගණනකි.”තිලක් සහෝදරයා, මොනවද ආරංචි?” ඔහු දුටු රණබාහු සහෝදරයා ඇසිය.”සමන්මලීවයි අයියවයි අරගෙන ගිහිල්ලා. මෙලහකටත් මරලා දාන්න ඇති…” තිලක් පැවසුවේ කලකිරීම හා කෝපය මිශ‍්‍ර වූ හඬකිනි.”ප‍්‍රතිගාමින්ගේ මුර බල්ලෝ” රණබාහු සහෝදරයා කීවේ කෝපය හා පිළිකුල දනවන හඬකිනි. ”මුන්ගේ පවුල්වල එවුනුත් මරලා දාන්න ඕනේ.”
රණබාහු සහෝදරයා ඇතැම් විට ක‍්‍රියා කරනුයේ වෛරයෙන් හා අගතියෙන් බව තිලක් වටහා ගත්තේය. විප්ලවවාදියෙකුට මිනිසුන්ට වෛර කළ හැක්කේ කෙසේද? ඔහු මොහොතක් සිතුවේය. මාක්ස් වාදය හැදෑරිමෙන් පසු ඔහුට විප්ලවවාදියෙකු විමට නොමද ආශාවක් ඇති විය. කැස්ත්‍රෝ, චේ වැනි විප්ලවවාදියෙකු වී මිනිස්සුන්ට විමුක්තිය උදාකර දෙන්නට ඔහුට බලවත් ආශාවක් තිබුණි. එහෙත් දැන් ඔවුන් කරන ක‍්‍රියා ජනතාවට හිතකරව බලපාන්නේදැයි, තිලක් හෘද සාක්‍ෂ්‍යයෙන් විමසිය. එහෙත් සුදුසු පිළිතුරක් නොලැබුණි.”තන්ත‍්‍රී සහෝදරයා එළිය කන්දට ගෙනිහිල්ලා.” ජාවිගොඩ තිලක්ට පැවසුවේ සංවේගයෙනි.
එළියකන්ද හෙවත් කේ පොයින්ට්, එළියකන්ද වදකාගාරයට ගිය අයෙකු පණ පිටින් පැමිණියේ කලාතුරකිනි.”තන්ත‍්‍රී අපිව පාවා දෙයිද?” ජාවිගොඩ තිලක්ගෙන් රහසින් මෙන් ඇසිය. තන්ත‍්‍රී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. දිගින් දිගටම විශ්ව විද්‍යාල වසා තිබූ නිසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ විය.”නෑ.. සහෝදරයා, තන්ත‍්‍රී අපිව පාවල දෙන්නේ නෑ. එ්ක මට විශ්වාසයි.”තිලක්ගේ පිළිතුරෙන් ජාවිගෙඩ සැනසුම් සුසුමක් හෙළීය.”සහෝදරයා..” ජාවිගොඩ තිලක්ට මදක් ළං විය.”අපි වී ගබඩාවට ගිනි තියපු එකට ගම්මු අපිත් එක්ක කළකිරිලා. දැන් ගම්මැද්දේ අපට සපෝට් එකට කවුරුත් නෑ. සමන්මලීවයි අයියාවයි ගෙනිච්චේ වී ගබඩාව ගිනි තිබ්බට පස්සේ, කවුරු හරි දුන්න ඔත්තුවකට.”
වී ගබඩාව ගිනි තැබීමෙන් පසු රණබාහු සහෝදරයා කී පරිදි ගොවින් ප‍්‍රතිගාමින්ට එරෙහිව අවි අතට ගනු ඇත. එහෙත් ඔර්ලෝසුවේ කටු කැරකෙන්නේ අනිත් පැත්තටය. දැන් ගොවීහු විප්ලවවාදීන් දඩයම් කරති.
රණබාහු සහෝදරයා ඔවුන් අතරට පැමිණි නිසා ඔවුන්ගේ දෙබස ඇන හිටියේය. උක්කුටිකයෙන් හිඳ ගත් රණබාහු සහෝදරයා මී ළඟට කළ යුත්තේ කුමක් දැයි විස්තර කළේය. ”සමන්මලිවත්, අයියාවත් ගෙනිච්චේ ග‍්‍රාමයාගේ කේලමකට වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ඌව සයිලන්ස් කරන එක. මට ඔත්තුවක් ආවා හෙට දවල්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා කියලා. මූ රැස්වීමට ගිහිල්ලා එනකොට බෝක්කුව ළඟදී අල්ලා ගමු.” රණබාහු සහෝදරයා කීවේ නිශ්චිත අයුරිණි.”හෙට මාත් එක්ක තිලක් සහෝදරයයි, ලක්සිරි සහෝදරයයි යං.” ඊට එරෙහිව කිසිවෙකු කථා නොකළ නිසා යොජනාව ස්ථිර විය. පසු දින සවස් වන විට ඔවුන් සිටියේ බෝක්කුව අසල වූ පඳුරු අස්සේ සැඟවී ගෙනය.”අන්න කවුද එනවා” ලක්සිරි කලබල විය.
ඔවුහු ඈතට ගොස් නෙත් යොමාගෙන සිටියෝය. ඈතින් එන පුද්ගලයා ඇවිදින විලාශය අනුව ඒ ජයසුන්දර රාළහාමි බව තිලක් වටහා ගත්තේය.”හරි, හරි, ඒ එන්නේ ග‍්‍රාමයා. දැන් දෙමු වැඩේ.” රණබාහු තුවක්කුව සූදානම් කළේය. ”තිලක් සහෝදරයා තමුසේ අද වැඩේ කරනවා. පෙන්නනවා තමුසේ හොඳ විප්ලවවාදියෙක් කියලා. ව්‍යාපාරයට තියෙන පක්ෂපාතිත්වය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ගන්නවා මේ තුවක්කුව.” ඔහු තිලක් අතට තුවක්කුව දුන්නේය.
තිලක් තුවක්කුව අතට ගෙන මහළු පුද්ගලයා තමා ඉදිරියට එනතෙක් බලා සිටියේය.
‘වෙඩි තියන්නේ කොහාටද? හිසටද? නැතිනම් පිටු පා යන විට පසුපසටද?‘ තිලක් කල්පනා කළේය. ග‍්‍රාම නිළධාරි ජයසුන්දර රාළහාමි කාටවත් වැරැද්දක් නොකළ රජයේ සේවකයෙක්. හිතේ සැකේට මරන්න නියම වෙලා. සමන්මලී ගැන ඔත්තුව දුන්නේ වෙන මිනිහෙක් වෙන්න බැරිද? සමන්මලී ගැන ඔත්තුව දෙන එක ජයසුන්දර රාළහාමිට මීට කලින් කරන්න තිබුණේ නැද්ද? ඔහු තුවක්කුව අල්ලාගෙන සිතමින් උන්නේය.
දැන් නිළධාරියා හොඳටම කිට්ටුය. තිලක් තුවක්කුව තදින් ග‍්‍රහණය කළේ ඉලක්කය නොවරදවා ගැනීමටයි. දැන් ජයසුන්දර රාළහාමිගේ මුහුණ ද පෙනේ. පඳුරට මුවා වි සිටින නිසා ග‍්‍රාම නිළධාරියාට තම ඝාතකයා නොපෙනේ. දැන් හොඳම මොහොතයි. තිලක්ගේ දබර ඇඟිල්ල කොකා වෙත ගියේය. එහෙත් ඔහු කොකා ගැස්සුවේ නැත.
”රාළහාමිගේ මුහුණ බල බල මට වෙඩි තියන්න බැහැ. රාළහාමිට පිටිපස්සෙන් වෙඩි තියනව.”ඔහු ග‍්‍රාම නිළධාරියාට ඉදිරියට යාමට ඉඩ හලේය. ඔහු පසු කොට ඉදිරියට යන ජයසුන්දර ග‍්‍රාම නිළධාරියාට තිලක් තුවක්කුව මෑනුවේය. එහෙත් ඔහු තවම කොකා ගැස්සුවේ නැත. ග‍්‍රාම නිළධාරියා ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරද්දී රණබාහු සහෝදරයා නොසන්සුන් විය.”තියපං” රණබාහු කෙඳිරීය. තමා පසුකොට යන ග‍්‍රාම නිළධාරියා දෙස තිලක් බලා සිටියේ උපේක්ෂා සහගතවය. ඔහු තුවක්කුව පහත දැමීය.”බැහැ සහෝදරයා, මට ඒ නාකි මිනිහා මරන්න බැහැ. අපි විප්ලවවාදින් මිසක් ඝාතකයෝ නොවෙයි. මෙන්න තුවක්කුව. මට මීට පස්සේ මේ වගේ වැඩ පවරන්න එපා.” ඔහු රණබාහු දෙසට තුවක්කුව විසි කළේය.”තිලක් සහෝදරයා, තමුසේ හරි ළාමකයි. තමුසේ කවදාවත් විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. දැන්වත් දුවලා ගිහිල්ලා ග‍්‍රාමයාට වෙඩි තියනවා.” රණබාහු සහෝදරයා තුවක්කුව අහුලා ගනිමින් කිවේය.”බෑ සහෝදරයා, මම කිව්වානේ මේක මිනී මරුමක්. අපි යන මාර්ගය වැරදියි. අපි යන්නේ ජනතාව එක්ක නෙවෙයි” තිලක්ට කීමට හැකි වූයේ එපමණකි. වියුරු වැටුණු රණබාහු සහෝදරයා තුවක්කුව තිලක්ගේ මුහුණට එල්ල කළේය. ”අඩෝ පෙන්දා, ද්‍රෝහියා, පාවා දෙන්නා තෝ ග‍්‍රාමයාට වෙඩි තියනවද? නැතිනම් මේකෙන් කනවද?”” ඕන දෙයක් කරන්න සහෝදරයා. මෙන්න මම දැන් ගියා. මට දැන් උලත් එකයි. පිලත් එකයි.” මෙසේ පවසමින් තිලක් සෙමින් ගම්මානය දෙසට යන්නට විය.”ඒයි නැවතියං, මම උඹට අන්තිම වතාවටයි කියන්නේ…..” රණබාහු ඉදිරියට යන මිනිසාට තුවක්කුව එල්ල කළේය. මුවින් කිසිවක් නොපැවසූ තිලක් ඉදිරියටම ගියේය. රණබාහුගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේය. ඔහු තිලක් දෙසට වෙඩි තැබීය. වෙඩි හඬ සමඟ තිලක් බිම ඇද වැටුණේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

මැරෙන එකත් පණ යන වැඩක්!
මළ ගෙවල් යනු සමාජ උත්සවයක් බවට පත්වී ඇත්තේ අපේ ගමේ පමණක් නොවේ. එහෙත් කුඩා ගමක වැසියන් වන අපේ ගමේ කට්ටිය කලාතුරකින් සිදුවන මළ ගෙදරකදී එතුලින් උපරිම තෘප්තියක් ලබා ගනිති. කට්ටියක් පැත්තකට වී බූරු ගසන අතර තවත් කට්ටියක් හත් වාසි බලති. පොඩි එවුන් කැරම් ගසන අතර මහා එවුන් ඕපා දූප මල්ල දිග හරිති මැද උන් ෆෝන් ගැන කථාය. කෙල්ලෝ මල ගෙදර ඇතුලේය. කොල්ලෝ හට් එක තුලය. නැත්නම් පාර දිගටය. එහෙමත් නැත්නම් කානු වලය!
තව කට්ටියක් ශෝකය පල කිරීමට ගල් අරක්කු වලින් මූන හොදා ගෙන, කසිප්පු වලින් නා, ගංජා ගගක පීනමින්, මල ගිය පුද්ගලයා ප්‍රේත ලෝකයට ගියේ නම් දැන් තත්වය මේ බව පෙන්වමින්, සසර බිය ඇති කිරීමේ ව්‍යාපාරයක නිරත වෙති. තවත් කට්ටියක් රෑ එකට දෙකටත් බත් කමුයි යෝජනා කරති. නැත්නම් තේකක් බීමට යෝජනා කරති. සමහර විට සීතලේ ගැහි ගැහී සිටින විට නයිස් බිස්කට් එකක් සමග කූල් ඩ්‍රින්ක්ස් පොවන්නට තැත් කරති…ඒ කවුරු කව්රුත් මල ගෙදර අයගේ තනියට පාන්දර තුන හතර වෙනකල් ඇහැරගෙන සිටිති.
මට තව ඩිංගෙං කියන්ඩ අමතක උනා…මේ සියලු කණ්ඩායම් එක්වී මළ ගෙදර උදවියට රෑ දහයට විතර මෙසේ කියති……”හෙට උදේම නැගිටින්ඩ එපායැ… ඒ හින්දා මගේ අප්පච්චිලා දැන් නිදා ගන්ඩ…”(ඔව් … ඔව්… කාට කාටත් වැඩි ආදරේට අප්පච්චි කියලා තමයි කියන්නේ…හිතුවද මමත් ගංජා ගහලා කියලා). ඉතින් වදෙන් පොරෙන් මළ ගෙදර කට්ටියව නිදි කරවලා තමයි අපි තනි රකින්නේ… නයිට ගහන්නේ.
ඔය අතරේ තවත් කට්ටියක් මළ ගෙදර අවසාන දවස ගැන සංවිධාන කටයුතු පටන් ගන්නවා. පොලිසියේ වැඩ කරන නිමල් අයිය තමයි මේ වැඩේ දී මූලික වෙන්නේ.. මළ ගෙදරක් අවසාන කරන්ඩ නම් මිනියක් නැතත් නිමල් අයියයි ජයන්ත අයියයි ඉන්ඩ ම ඕන කියලා තමයි අපි හිතා ගෙන ඉන්නේ. නිමල් අයියා මල ගෙදර උත්සව කටයුතු සංවිධානයට. ජයන්ත අයියා අන්තිම දවසේ එන අයට දවල්ට කන්ඩ උයන්ඩ. ඊට අමතරව උයන්ඩ සල්ලි එක්කහු කරන්ඩ දෙන්නෙකුයි සොහොන ලග තොරණ ගහන්ඩ ජානක අයියයි එයාට සපෝට් කරන්ඩ හතර දෙනෙකුයි හාමුදුරුවෝ වැඩම වන්ඩ පල්ලෙහා වත්තේ මාමයි ඉන්නවනම් මළ ගෙවල් දහයක් උනත් කරන්ඩ බැරියැ මල් පහට!! ආ…පාන්සකූලේට හාමුදුරුවරු…තව ඩිංගෙන් අමතක වෙනවා…
මං මේ කියන්ඩ යන්නෙත් ඩෙංගු මදුරුවාගේ අනුග්‍රහයෙන් අපේ ගමේ ලගදී පැවත් වූ සමාජ උත්සවයකදී වෙච්චි කතා බහක්. සද්ද නොකර අහන් ඉන්ඩ පුළුවන් නම් වරෙල්ලා කන් දිහන්ඩ.
“උඩහ කිරි අම්මගේ මල ගෙදර නෑයෝ වෙනුවෙන් ඉස්තූති කතාව කරන්ඩ උනෙත් මට!… අන්තිමට මගේ කටත් රිදෙනවා..ඇයි බං කතා හතරක් මටම කරන්ඩ උනා නේ!!…”උපුල් අයියා සංවිධාන කටයුතු ආරම්භ කළා.
“කොහෙද උපුල් අයියේ කතා හතරක්?…”සෙනෙවි ඇහුවේ මල ගෙවල් වල අන්තිමට පවත්තන කතා අහන එක උගේ විනෝදාංශය හින්දා…ඒ හවසට කසිප්පු බීමයි අවුරුදු කාලෙට බූරුවා ගැහිල්ලයි ඇරුනම. සෙනෙවිට කට පාඩං ගමේ මල ගෙවල් වල තිබුන කතා. සෙනෙවියි නිමල් අයියයි දෙන්නම හිතන්නේ මල ගෙදර අවසාන අවස්ථාවේදී අඩුම ගන්නේ කතා දහයක් වත් තියලා මැරුණු කෙනාගෙයි ගෙදර අයගෙයි ගුණ මතක් කරලා දුන්නේ නැත්නම් මලගිය ප්‍රාණ කාරයා අවීචී මහා නරකාදියට යනවා කියලයි.
“ඇයි පිලි ගැනීමේ කතාවයි, ගම වෙනුවෙන් කතාවයි, නෑයෝ වෙනුවෙන් එකයි අන්තිමට ඉස්තූති කතාවයි…කතා හතරයි…”නිමල් අයිය මතක් කරලා දුන්නා. මේ පාර මිනිය පුච්චන්ඩ කනත්තට….නිමල් අයියට කතාව ඉවර කරන්ඩ බැරි උනා.
“මොනවා..කව්ද කිව්වේ මිනිය පුච්චනවා කියලා!?” ජානක අයියා පුදුමෙන් වගේ ඇහුවා…
“ඇයි? අද හවස ලොකු මල්ලියි මමයි ගිහින්නේ ප්‍රාදේශීය සභාවට සල්ලි බැන්දේ” සෙනෙවි කිව්වා.
“ඉතින් උඹයි මමයි ගිහිල්ලමනේ වල වටේ තොරණ ගහන්ඩ ඉටි රෙදියි ස්ටේප්පර් කටුයි ගෙනාවේ!!” ජානක අයියත් අරින්නේ නෑ…
“හ්ම්..ඒ තොරණ ගහන්ඩද? මං හිතුවේ උයන තැන වටේට කවර් කරන්ඩ කියලා…”සෙනෙවිත් පටලැවිල්ල ලිහා ගන්ඩ උදව් කළා.
“මං දන්නේ නෑ…. පොඩි මල්ලි තමයි කිව්වේ ලස්සනට තොරණ ගහන්ඩ ඕන කියලා…කෝ අපි අහලා බලමුකෝ ගෙදර අයගෙන් ඒ කට්ටියගේ කැමැත්ත මොකද්ද කියලා…”
“ඒ අය නිදාගත්තා.. පව් හොදටම මහන්සි වෙලා ඉන්නේ… හෙට උදේ අහමු” එහෙම කියලා මල ගෙදර කට්ටියගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියේ පහල ගෙදර මාමා.
“තොරණේ වැඩට ඕන ඔක්කොම දේවල් ගෙනල්ලද ජානක තියෙන්නේ?” උපුල් අයියා සංවිධාන කමිටුවේ සභාපති විදිහට ඇහුවා.
“නැතුව?! තව ඕන ගොක් අතු පහක් විතරයි ලෑලි වලටත් ඕඩරේ දීල ආවේ මෝලට. හෙට උදේම ගහක් කපලා ඉරලා දෙන්නම් කිව්වා.අනිත් ටික දැනටමත් ගෙනල්ලා තියෙන්නේ”.
“එහෙනං අපි කියමු වලලංඩ කියලා මොකද මේ ගෙදර අක්කගේ මිනිය වලලංඩ ඉඩමක් කඩමක් නැතුවයැ.” උපුල් අයිය යෝජනා කළා.
“ඒක හොදයි නිකං ආතක් පාතක් නැති උන් වගේ කනත්තේ පුච්චන එක අපේ ගමටත් හරි මදි.” පල්ලෙහා ගෙදර මල්ලි, ඒ කියන්නේ පල්ලෙහා ගෙදර මාමගේ පුතා කිව්වා. මිනිහත් අපුච්චට දෙවෙනි නෑ මළ ගෙවල් සංවිධානේදි… අනේ හොදයි… අපේ ගමට බයක් වෙන්ඩ දෙයක් නෑ සිරිත් විරිත් නැති වෙලා යයි කියලා මෙහෙම ඉලංදාරියෝ ඉන්නකල්!!!
“එහෙනං ඕං මිනිය වලලනවා… පුච්චන්නේ නෑ. කාගෙවත් අකැමැත්තක් නෑනේ? මාත් වැඩිය කැමතියි වලලනවට නැත්නං දවල් දොළහටවත් පාන්සකූලේ දෙන්ඩ වෙනවා වෙලාවට කතා ටික ඉවර කර ගන්ඩ.” උපුල් අයියා වගේ සංවිධායකයෝ ගමකට නෙවෙයි රටටම වාසනාවන්!
“දවල් දොළහට පාන්සකූලේ දීල කොහොමද? මළ ගෙදරට එන මිනිස්සුන්ට කන්ඩ දෙන්ඩ පටන් ගන්ඩ අපි හිතා ගෙන ඉන්නේ දොළහට විතර!” ජයන්ත අයියා කිව්වේ ටිකක් තරහෙන්ද මන්දා.
“නෑ… නෑ… ජයන්ත මං කිව්වේ මිනිය කනත්තට ගෙනියනවනං විතරයි අවමංගල සභාව දොළහටවත් පටන් ගන්ඩ වෙන්නේ. දැන් ඒ ප්‍රශ්නේ නෑනේ. මිනිය වල දාන්ඩ හය විතර උනත් කමක් නෑනේ..ඒකට නියමිත වෙලාවක් නෑනේ…”නිමල් අයියා සංවිධාන කමිටුව සංසුන් කළා.
“කොළඹ පැත්තේ නං මිනිය උස්සන්ඩ, වලලංඩ හෙමත් නැකත් බලනවා නේද?” සෙනෙවි ඇහුවා.
“හප්පෝ…කොළඹ තියන තරමක් තියෙන්නේ සංකර පුරුදු නේ! මං දැකලා තියනවා මල ගෙදරට ආපු අයට බීම එකක්වත් අල්ලන්නේ නෑ. කැමති අය ගිහිල්ලා මැෂින් එකකින් කෝපි වක්කරගෙන බොනවා…හිහ්… හිහ්…”පල්ලෙහා ගෙදර මාමාට කොළඹ සංකර පුරුදු මතක් වෙලා තනියම හිනා.
“ඒ විතරක්යැ එහෙ මල ගෙවල් තියෙන්නේ මල් සාලාවලමනේ. මැරිච්ච ගමන් මිනිය ගෙනිච්චා මල් සාලාවට… මිනියේ රස්නේ යන්ඩත් කලින් එම්බාම් කරලා එතනම තියලා…ගෙදර කට්ටියත් මල් සාලාවට වෙලාම ඉන්නවා රෑ අට නවය වෙනකල්. මිනිය බලන්ඩ එන කට්ටිය අඩු උනහම ගෙදර කට්ටිය එනව ගෙදර. මිනිය තනියම!” කොළඹ ත්‍රී වීල් එකක් හයර් කරන අබේ කිව්වා.
“අනේ කාලේ වනේ වාසේ කිව්වලු!! අම්ම මුත්තා කාලේවත් අහපු කතාද මෙව්වා…” පල්ලෙහා ගෙදර මාමා විස්සෝප වෙන ගමන් බුලත් කෙල පාරක් ඇදලා ඇරියා ලග තිබුණු මල් ගහ නෑ වෙන්ඩ.
“කෝසල රජ්ජුරුවන්ගේ හීන වලත් තියෙන්නේ නේද අප්පච්චි…විපරීත කාලෙට වෙන දේවල්…”ඒ පල්ලෙහා ගෙදර මල්ලි…මං ඉස්සෙල්ලත් කිව්ව නේද මිනිහා නම් අපුච්චගේම පාරේ යන පුතා විත්තිය!
“එහෙ මල ගෙවල් නිකං මගුල් ගෙවල් වගේනේ බං. කෑමත් කඩෙන් ගෙනල්ලනේ දෙන්නේ…”මාමා කිව්වා විතරයි ජයන්ත අයියා ආයෙත් කට ඇරියා….
“මේ පාර උයන්ඩ හිතාගෙන ඉන්නේ පරිප්පුයි හොද්දයි, බෝංචි තෙල් දාලයි, අල බැදුමකුයි, පපඩනුයි, ගෝවා මැල්ලුමයි, කට්ලටුයි, බල මාළු ඇඹුල් තියල් දාලයි…එන අයට කටට රහට කෑම ටික දෙන්ඩ එපෑය.”
“කහ බත්ද? එළවලු බත්ද?” සෙනෙවි ඇහුවා.
“ඒ දෙකමයි, රතු බත් ටිකකුයි හදනවා. සමහරු කන්ඩ කැමති රතු බත්…” ජයන්ත අයිය කිව්වා.
“ඒක හොදයි. හැබැයි පුළුවන් නම් චොප්සියකුත් දාලා චිලි පේස්ට් ටිකකුත් තියමු පොඩි උන් කැමැත්තෙන් කයි…”
“එහෙම නම් තව පන් දාහක් විතර ගානට එක්කහු කරන්ඩ වෙනවා…ඒ කියන්නේ එක පව්ලකින් රුපියල් එක්දාස් දෙසීයක් වත් එක්කහු කරන්ඩ වෙයි…කමක් නැද්ද?”
ජයන්ත අයිය ඇහුවේ ගමේ හුගක් දෙනෙක් ජීවත් වෙන්නේ කුලියක් මලියක් කරලා කියලා දන්නා හින්දා. එක්දාස් දෙසීයක් කියන්නේ දවසක පඩිය! මල ගෙදර හින්දා දවස් දෙක තුනක් වැඩට නොගිහින් ඉන්නකොට තවත් දඩයක් වදිනවා කියන්නේ සිංහල අවුරුදු කාලේ අගට මගුල් ගෙදරකුත් සෙට් උනා වගේ වැඩක්!
“සල්ලි වගේද බං ගමේ නම්බුව…උඹල දවසක කක්කුස්සි යන එකත් නවත්තයි ගනං වැඩියි කියලා…!” නිමල් අයියගේ කතාවෙන් හැමෝගෙම සැක සංකා දුරු වෙලා ගියා. පිට මිනිස්සු ගමට එන වෙලාවේ අපි හොදට සලකන්ඩ ඕන. ඒකේ කතා දෙකක් නෑ!!
“මේ පාර පාන්සකූලේට ලොකු හාමුදුරුවරු දහ නමක් වත් වැඩම්මන්ඩ ඕන. ගිය පාර උඩහ ගෙදර මල ගෙදරට වැඩියේ බටු ගෙඩි වගේ පොඩි හාමුදුරුවරු. එහෙමද අප්පා ලොකු හාමුදුරුවරු වැඩපුවම…මල ගෙදරම එළියයි!!!” පල්ලෙහා ගෙදර මාමා තමුන්ගේ වැඩ කොටසට අදාළ තීරණ දැනුම් දුන්නා.
“හැබැයි මාමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නං කිව්වේ පාන්සකූලේට එහෙම හුගක් හාමුදුරුවරු ඕන නෑ ඒක බොරු සෝබන වැඩක් විතරයි කියලා” සෙනෙවි පරණ සිද්ධියක් මතක් කලා.
“අනේ මේ … හාමුදුරුවෝ දන්න බණ! මෙව්වා අපේ සිරිත්….පුරාණේ ඉදලා පැවත එන…මන් කියන විදිහට බැරිනම් උඹලාම වැඩම්මපල්ලා හාමුදුරුවරු පාන්සකූලේට!!” මාමාට තද උනා…
“හරි… හරි… තරහ ගන්ඩ එපා මාමේ…දැන් කියමුකෝ බලන්ඩ අපෙන් මොනවද වෙන්ඩ ඕන කියලා..” නිමල් අයියා නම් මරු…මනුස්සයා පොලිස් කාරයා…නඩු විසදලා පුරුදුයි නේ.
“ලොකු හාමුදුරුවරු ඉන්නේ දුර පන්සල්වල. උන්නාන්සේලා වැඩම්මන්ඩ කාර් හයක් විතර ලෑස්ති කර ගන්ඩ ඕන.”
“කාර් හයක්!? ගමේම තියෙන්නේ කාර් දෙකයිනේ මාමේ…” නිමල් අයියා කිව්වා.
“එතකොට උඹලා දැන් දවල්ට උයන්නේ ගමේ වැවෙන පරිප්පුද? ගමේ කොහෙද මූදක් දවල්ට උයන මාළු අල්ලන්ඩ…මම නම් දැකල නෑ ගමේ පොලිතින් පැට්ටරියක් තොරන් ගහන්ඩ ඉටිරෙදි හදන… එහෙව් එකේ ඇයි උඹලා හාමුදුරුවෝ වඩම්මන වැඩේට විතරක් අකුල් හෙලන්නේ?”
“නෑ…මාමේ මට මේ මතක් උනේ…මේ නැති වෙච්ච අක්කා ඉස්පිරිතාලේ ගෙනියන්ඩ වෙලාවට වාහනයක් හොයා ගන්ඩ පුළුවන් උනා නම් උන්දැ අදත් ජීවතුන් අතර නේද කියලා …ප්‍රයිවෙට් තැනකින් ලේ ටෙස්ට් කරගන්ඩ ගෙදර රුපියල් තුන්දාහක් තිබිලා නෑ. අක්ක මැරුණේ ඒක හින්ද!!”
කට්ටකාඩුවේ ලොකු මල්ලි
කට්ටකාඩුව බ්ලොග් අඩවියෙන්
https://kattakaduwa.blogspot.com/
පරිවර්තිත කෙටිකතාව

අමුත්තා
ඔහුගෙන් දිස් වූයේ අමුතු පෙනුමකි. ඔහු පැළඳ සිටි අළු පැහැති ෆෙල්ට් තොප්පිය යටින් මුවේ දිස් වූ සැකයෙන් බර මඳ සිනාව මා තුළ අවිනිශ්චිත බවක් ඇති කළේ ය.පැහැදිලි හේතුවක් නැතිවම, මා නිසා ඔහු අපහසුතාවයට පත් ව ඇතැයි මට සිතුණි. ඔහු බොහෝ වෙලාවක් නිහඬ ව සිටි අතර ඒ නිසාම මට ඔහු ගැන බියක් දැනෙන්නට විය.
එක්වර ම, සමාව අයදින හඬකින් ඔහු මෙසේ ඇසුවේ ය.
“මේ ග්ලැඩිස් නෝනාගේ පුතා ද?”
ඔහු වෙතින් දැනුණේ රම් සහ දත් බෙහෙත් සුවඳකි. මම හිස වනා ඔව් කී විට ඔහු අයාගත් මුවින් යුතුවම මා දෙස බලා සිටින්නට විය. ඔහුගේ තෙත් දෑසින් කුතුහලයද, තරමක දුකක් ද දිස් විය.
“අම්මාට කතා කරන්න ද?” මම ඇසුවෙමි.
“මොකක්ද?” ඔහු ඇසුවේ මට ප්‍රශ්නයක් ඇසීමට හැකිවීම ගැන පුදුම වූ සෙයිනි. නො එසේ නම් ඒ පුදුමය මා ඔහුගෙන් පෙරළා පැණයක් ඇසීම නිසා විය හැක. ඔහු අපහසුවෙන් කෙළ ගිල, තවත් කුතුහලයෙන් මා දෙස බලා හිඳ, මෙලෙස මිමිණුවේ ය.
“කතා කරන්න? ඔව් ඔව්, අම්මාට කතා කරන්න.”
‘මහා අමුතු මිනිහෙක්’ යැයි සිතමින් දොර අසලට ගොස් මා අම්මාට අඬගැසුවෙමි.
“අම්මා”
“මොකද?”
“කවුද මිනිහෙක් ඇවිත් අම්මාව හම්බවෙන්න”
“මිනිහෙක්? ඒ කවුද?”
“දන්නේ නැහැ. මම එයාව කවදාවත් දැකලා නැහැ”
ඇය නැගිට ගොස් ජනේලයෙන් එබී බැලුවාය. මේ වෙද්දී අමුත්තා කවුදැයි දැනගැනීමට කුතුහලයෙන් පසු වූ මම ඈ දෙස හොඳින් බලා සිටියෙමි. අම්මා නිසොල්මන්ව ජනේලයෙන් පිටත බලාගත්වනම සිටි අතර ඇය දුටු දසුනින් ගල් ගැසුණු බවක් පෙනුණි. ඈ අසලට ඇවිද ගිය මට ඇගේ මුහුණ දුටු විට තරමක කම්පනයක් දැනුණි.
“මොකද අම්මා?”
ඈ පිළිතුරු දුන්නේ නැත. මෙතැන යම් බරපතල දෙයක් සිදු ව ඇති බව මට වැටහිණි. අම්මා කිසියම් අවස්ථාවකට මුහුණ දෙනු නොහැකිව අපහසුතාවයට පත් වනු මා ඒ වන තුරු කිසි දා දැක තිබුණේ නැත.
“අම්මා?”
“ගිහින් ඒ මිනිහට කියපන් මම නැහැ කියලා… කෝ ඉතින් පලයන්… එක්කෝ එපා, පොඩ්ඩක් හිටපන්… ගිහින් කියපන් මම එනවා කියලා..”
ඒ අමුත්තා කවුරුන් වුවත් ඔහුගෙන් අපට තර්ජනයක් බව මට ඉවෙන් මෙන් වැටහුණු බැවින් මට ඔහු කෙරේ බියක් ඇති විය. එහෙත් මා නැවතත් ආලින්දයට ගිය විට ඔහුගේ පෙනුම මා තුළ වූ සැකය අඩු කරවීය. ඔහුගෙන් දිස් වූයේ අවිනිශ්චිත, දුරස්ථ බවකි. ඔහු අප ගැන බියෙන් පසුවේ ය යන විකාර රූපී සිතිවිල්ල පවා මොහොතකට මගේ සිතේ ඇඳී ගියේ ය. මින් මගේ ළමා අභිමානය තීව්‍ර විය.
“අම්මා එනවා කිව්වා.” මම ඔහුට කීවෙමි.
ඔහු පහත් හඬින් මට ස්තූති කළේය. අම්මා දොරින් පිටතට විත් නැවතී ඔහු දෙස බලාගත්වනම සිටින්නට විය. ඔහු ඈ වෙත ඇවිද විත් යාර කීපයක් දුරින් නැවතුණේ ය. ඔවුන් අතර නිහඬ බවේ කුමන්ත්‍රණයක් රජයන බව පෙනුණි. මේ වෙද්දී මේ සිදුවන්නේ කුමක්ද යන කුතුහලයෙන් ඔවුන් දෙස බලා සිටි බැවින් මේ කුමන්ත්‍රණයට මා ද ඈඳී තිබිණි. මුලින්ම නිහඬ බව බින්දේ ඔහු ය.
“කොහොමද ග්ලැඩිස්? මාව දැකලා ලොකු පුදුමයක් දැනුණේ නැතිව ඇති කියලා හිතනවා.”
“ඔහේ කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ?” ඇගේ කටහඬ වුවමනාවටත් වඩා හික්මුණු බවක් දැනුණු නමුත් එහි ඉතා සියුම් තර්ජනාත්මක බවක් ද ගැබ් ව තිබිණි.
“ආ… මම මේ ටවුම හරහා යමින් හිටියේ. අර චීන මනුස්සයාගේ කඩෙන් මම ඇහුවා ඔයාව දන්නවාද කියලා, එයාලා පර කිව්වා…”
තවත් දිගු නිහැඬියාවකින් අනතුරුව ඔහුට නිවස තුළට පැමිණෙන ලෙස ඇය සන් කළා ය. ඊළඟ විනාඩි පහළව පුරාවට නිවසේ දොර අඩවන් ව පැවතුණු අතර මම ඒ දෙස බලාගත්වනම සිටියෙමි. ඉනික්බිති අම්මා මට හඬගසනු ඇසුණි. අමුත්තා සම්බන්ධ මේ අභිරහස විසඳා ගැනීමට වෙලාව එළැඹ ඇතැයි යන සිතුවිල්ලෙන් මගේ සිත ප්‍රබෝධමත් විය. මා වහා වහා කමිසය කලිසමට යටකරන්නට ගත්තේ ඔහුට වැඩි සැලකිල්ලක් දක්වනු පිණිසයි. අම්මා නොඉවසුම් හඬින් දෙවෙනි වර හඬ ගැසූ විට මම නිවස තුළට දිව ගියෙමි.
ඔහු අසුන්ගෙන සිටියේ අප සතුව තිබුණු එකම පුටුවේ ය. ඇය ඇඳේ කෙළවරක වාඩිවී සිටියාය. දෙදෙනාම මා ඇතුළු වූ විට මා දෙස බැලූහ. ඔහුගේ දෑස මඟ හැර මා අම්මාගේ දෑස දෙස බැලුවේ සරණක් පතමිනි. තවත් දිගු නිහැඬියාවකින් පසු අම්මා දෙගිඩියාවෙන් මෙන් ඔහු වෙත අත දිගු කර, “මේ ඔයාගේ තාත්තා,” කීවාය.
මට තරමක පුදුමයක් දැනුණු නමුත් කම්පනයක් දැනුණේ නැත. සමහරවිට මට වඩාත්ම දැනෙන්නට ඇත්තේ අවුල්සහගත බවකි. තාත්තා කොහේ හෝ කිසියම් අකාරයකට ජීවත් වන බවක් මම දැන සිටියෙමි. නමුත් ඔහු ගැන මගේ හිතේ ඇඳී තිබුණේ අපැහැදිලි රූපයකි. මට ඔහු මා විසින් මවාගන්නා ලද මගේම ජන කතාවක චරිතයක් මෙන් විය. තාත්තා ගැන මා බොහෝ විට සිහින මවා තිබුණත්, මිල අධික සුරතල් මසුන් හිමි කරගැනීමට දරුවෙකු දකිනා සිහිනයක් මෙන් මා ඊට වැඩි වැදගත්කමක් දී තිබුණේ නැත. ඔහු මෙලෙස මා ඉදිරියේ සිටිනු දැකීම මා හට ‘හම්ටි ඩම්ටි’ ව ජීවමානව දුටු කලෙක මෙන් පුදුමසහගත දෙයක් විය. මා කුමක් කිව යුතුද? මා කියනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මා තාත්තා දෙස බලනු ඇතැයි අපේක්ෂිත බවක් හැඟුණු බැවින් මම ඔහු දෙස බැලුවෙමි.
ඔහුගේ නළල රැළි වැටී තිබුණු අතර දෙකොපුල රළු ව දිස් විය. ඔහු දිනපතා රැවුල බානු ඇතැයි මා උපකල්පනය කළේ තමන්ගේ පියවරු එලෙස කරන බවට මගේ මිතුරන් පවසා තිබුණු බැවිනි. අම්මාට දිනපතාම රැවුල බාන්නට සිදුවුණි නම් එය මහත් සේ විසුළු සහගත කරුණක් වනු ඇති බව මට සිතුණේ මේ අදහසේ මෝඩ බව නොදැන නොවේ.
ඔහු යමක් අනුමත කරන්නා සේ හිස සලා මා දෙස බලාගත්වනම සිටියේ ය.
ඔහු “උඹ හොඳ අපූරු ළමයෙක්,” යැයි කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්දැයි මම කල්පනා කළෙමි. ඉනික්බිති ඔහු අම්මා දෙස බලා “මෙයා හොඳ අපූරු ළමයෙක්” යැයි නැවත කීවේ අවිනිශ්චිත, දුර්වල හඬකිනි.
අම්මා ඊට පිළිතුරු ලෙස යමක් මුමුණා මා දෙස බැලුවාය. යමෙකු මා ගැන මෙලෙස ප්‍රශංසාමුඛයෙන් කතා කළ විට ඇගේ දෙනෙතේ වෙනදාට නැගෙන දිස්නය ඒ වෙලාවේ දක්නට තිබුණේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ දොස් දකින බැල්මකි. එහි කෝපයක සේයාවක් ද තිබුණු අතර ඈ මේ ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන වග සිතාගැනීමට මා අපොහොසත් විය. අම්මා මා වෙතින් දෑස් ඉවත් කරගනිද්දී හිස පහතට නැඹුරු කරගත් අතර මා ඈ ගැන හොඳින් නොදැන සිටියා නම් ඇගේ දෑසේ දිස් වූයේ නින්දාවක් විඳි බවක් යැයි මා සිතනු ඇත. ඉනික්බිති ඈ ඇගේ වැලමිට දණ මත රඳවා, අත්ල මත නිකට රුවාගෙන සුසුමක් හෙලුවේ නිරතුරුවම ඇගේ මුවෙහි සඳහන් ‘දෙවියනේ, මේ මොන ජීවිතයක්ද!” යන වැකිය නිහඬව කියාපාන්නට මෙනි.
මේ සිදුවන්නේ කුමක්දැයි මම දිගින් දිගටම කල්පනා කළෙමි. වැඩිහිටියන් අමුතු ලෙස හැසිරෙනු මා මීට පෙර නිරීක්ෂණය කර ඇතත්, මගේ නොදැනුවත්කමට ඔබ්බෙන් හැමවිටම කුඩා හෝ තේරුමක්, අවබෝධයක් ඔවුන්ගේ හැසිරීමේ දක්නට තිබිණි. නමුත් මගේ අම්මාගේත් මේ අමුත්තාගේත් හැසිරීම මා සම්පූර්ණයෙන් ම අන්දුන් කුන්දුන් කරවීමට සමත් විය. ඔවුන් කිසිවක් නොකීවේ ඇයි? ඔවුහු එකිනෙකාට වෛර කළෝ ද? ඔහු මගේ පියා වීම ඇයට මෙතරම් වැදගත් වී ද?
ඔහු පැමිණ සිටියේ අම්මා මා වෙතින් ඉවතට ගෙන යෑමටය යන බිය එක් වරම මා වෙලා ගත්තේ ය. මේ ගැන මට කියන්නේ කෙලෙසදැයි ඔවුන් කල්පනා කරමින්, තැවෙමින් සිටිනවා විය යුතුයි. අම්මා මාව තනිකර දමා යනවා ඇත. ඒ තත්පරයේදී අම්මා සමඟ මගේ ඇති බැඳීම, මගේ ජීවිතයේ ඈ සිටීමේ වැදගත්කම මට මනාව වැටහිණි. මා ඇයට ආදරය කළේ වත් වෛර කළේ වත් නැත. ඈ නිතර කෘර ලෙස මට පහර දුන් බැවින් මම ඇයට තරමක් බියෙන් පසුවුනෙමි. නමුත් එවන් අවස්ථාවල මා කඳුළු සලමින් පිටකළ කෝපය, මට දැනුණු වේදනාවට දැක්වූ ඍජු ප්‍රතිචාරයක් විය. මේ පහර දීම් මට වඩා ඇයට වැදගත් බව මට ඒ වෙද්දී කෙසේ හෝ වැටහී තිබිණි. මේ ලෝකය දරුණු තැනක් බව ඈ මට නිතර කීවා ය. මා ඇගේ දරුවා බැවින් සම්පූර්ණයෙන් ම ඇගේ අණසක ට යටත් විය යුතු බව සාමාන්‍ය දෙයක් විය. මේ කෙසේ වෙතත් අප අතර දැඩි බැඳීමක්ද තිබිණි. ඇත්තටම එහි වූයේ අප දෙදෙනාට එකිනෙකා අහිමි වුවහොත් හැම දෙයක්ම අහිමි වේ යන බිය මිසක් වෙනත් සුන්දර සිතිවිල්ලක් නොවේ. මා ‘අම්මා’ කියා හඬ ගැසුවේ ඇයටයි. ඈ මට ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් පොත් ලබා දුන්නාය. ඈ මට හොඳින් හැසිරෙන අයුරු ද කියා දුන් නමුත් ‘හොඳ’ යන්නෙන් ඈ අදහස් කළේ කුමක්දැයි කිසිවිටෙක පැහැදිලි වූයේ නැත. බොහෝ විට ඉන් අදහස් වූයේ ඈ වෙත හොඳින් හැසිරීමයි. නොඑසේ නම් කෘතඥ වීමයි. මේ දෙක බොහෝ විට සමාන ලෙස ගැනුණි. ඈ ඇගේම ක්‍රමයකට මා වෙත උණුහුම පෑ බව කිව හැක. නමුත් නොදැනුවත්වම මෙන් ඈ මට බරපතල අපේක්ෂාවන් රහිතව දිවි ගෙවීමට උගන්වා තිබුණු අතර මේ නිසා මගේ ඉල්ලීම් ඉතා අල්ප විය. මට අවශ්‍ය වූයේ ඈ මා වෙනුවෙන් සිටීම- හැමදාම එලෙසම සිටීම පමණි. දැන් ඊට ද තර්ජනයක් එල්ල වී තිබිණි.
අම්මා මා වෙතින් නික්මීම සිදුවිය හැකි දෙයක් නොවන බවත්, එය මගේ මෝඩ සිතිවිල්ලක් බවත් සිතා මම සිත සනසාගන්නට උත්සාහ කළෙමි. ඒ සමඟම මා මෙතැනින් පිටව ගියොත් හොඳ බව මට සිතෙන්නට විය. සමහරවිට ඔවුන්ට යම් වැඩිහිටි කතාබහක් කරන්නට අවශ්‍යව තිබෙන්නට ඇත. මා දොර වෙතට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට තැත් දරද්දී ඔහු “ඔව් ග්ලැඩිස්, ඇත්තටම සෑහෙන්න කාලයක් ගතවුණා” කී අතර ඔහු කීප වතාවක්ම එය කියා තිබෙන්නට ඇතැයි මට හැඟිණි. ඔවුන් අතර ඇති මේ අපහසුතාවයට හේතුව මා ම විය යුතු බව එවෙලේ තීරණය කළ බැවින් මම මගේ අරමුණ නොසඟවා ම කාමරයෙන් පිටතට යාමට උත්සුක වුණෙමි. එකවරම අම්මා මගේ නම හඬ නඟා කියනු මට ඇසුණි. ඇගේ කටහඬේ තියුණු, දැඩි බවක් විය. මට කාමරයෙන් ඉවත් නොවන්නැයි වදනින් කීම වෙනුවට ඒ හඬේ තානය ප්‍රමාණවත් විය.
අමුත්තා ප්‍රශ්නාර්ථයකින් යුතුව මා දෙස බලා, නැවතත් අම්මා දෙස බලා එකවරම අසුනෙන් නැගිට්ටේය. තමන්ටද මෙතැනින් පිටව යාමට අවශ්‍ය බව පෙන්වූවත් ඔහු තව මඳක් තාවර විය. හදිසියේම ඔහුට යමක් සිහි වූ බවක් පෙනුණි. ඔහු තම සාක්කුවෙන් සිලිං පහක නෝට්ටුවක් ගෙන මා අත තැබුවේය.
“මේකෙන් ඔයාට තෑග්ගක් ගන්න” ඔහු කීවේ ය.
මා තරමක කම්පනයෙන් මුදල් නෝට්ටුව දෙස බලා සිටියෙමි. එය විශාල මුදලක් වීමත්, ඔහු වැන්නකුගෙන් මා එය ලැබීමත් මා පුදුමයට පත් කළේ ය. මේ ගැන අම්මාගේ ප්‍රතිචාරය දැනගැනීමට මම ඈ දෙස බැලුවෙමි.
“ඕක ආපහු දීපන්,” යැයි ඈ කී විට මා පුදුම වූයේ නැත. “ඔහේගේ උදව්වක් නැතිව මම මේ තරම් කල් කොල්ලාව උස් මහත් කළා. දැන් මුකුත් උදව් උවමනා නැහැ.”
මා වහා වහා මුදල් නෝට්ටුව ඔහු වෙත පෑවේ මේ අම්මා ව තවත් කේන්ති ගැන්විය යුතු වෙලාවක් නොවන බව ඉවෙන් මෙන් වටහාගෙනයි. ඔහු ගිය පසු මා ඈ සමඟ තනිවන මොහොත ගැන සිතද්දී මට දැනුණේ බියකි.
අමුත්තා මුදල ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තත්, හදිසියේ කතාව නවතා මා වෙතින් මුදල් නෝට්ටුව ගත්තේය. ඔහු කෙරෙන් දිස් වූයේ අපහාස ලැබූ අයෙකුගේ පෙනුමක් සහ දුක්මුසු බවක් වූ බැවින් මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබිණි. ඔහු තමන්ගේ කුඩා ෆෙල්ට් තොප්පිය හිස ලාගෙන වදනකුදු නොකියා යන්නට ගියේ ය. මා ඉන්පසු කිසි දවසක ඔහු ව දුටුවේ නැත.
Translation of the short story ‘The Visitor’ by Orlando Patterson

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


