සිංහල කෙටිකතාව

මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඉදිරියේ ප්‍රශස්ථ ගායනාවක යෙදුන සකළසූරිය ඉදිරිපත් කළ විගඩම් නාටකය තව දුරටත් බලා සිටීමට නොහැකිව ඔහුගේ කටහඞ ප්‍රාණවත් විය.
මුලින්ම විවාදය ඇති වූයේ විජේවර්ධන හා සකළසූරිය අතරය. කෙමෙන් කෙමෙන් සකළසූරිය දළ බිඳ ගනිත්ම ඔහුගේ සහායට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය. ඉන් පසුව මත ගැටුම ඇතිවූයේ මන්ත්‍රීවරයාත් විජේවර්ධනත් අතරය. අනෙකුත් නිළධාරින් මන්ත්‍රීවරයා උදහස් වී ද යන සැකයෙන් තම ටයි පටි වල ගැට ලිහිල්කර ගත්හ. ඇතෙමෙක් යටි සිතින් විජේවර්ධනට සහ මන්ත්‍රීතුමා අතර ලියලන ඝට්ඨනය තමන්ගේ වාසිය සඳහා යොදා ගන්නේ කෙසේදැයි සිතූහ. තවත් සමහරෙක් විජේවර්ධන මෝඩයෙකු බවත් මන්ත්‍රීතුමා කියන සෑම දෙයක්ම හිස නමා පිළිගැනීමෙන් තොරව ඔහු හා වාදයට යාමෙන් විජේවර්ධන කළේ ගලේ හිස ගසා ගත් බවත් තරයේ විශ්වාස කළහ. අතලොස්සක් පමණ වූ කොටසක් පමනක් මෙම ජවනිකාව දෙස බලා සිටියේ විජේවර්ධන කෙරෙහි හට ගත් අභිමානයෙනි. කොන්ද කෙළින් තබාගත් නිළධාරින් තවත් ඇති බවට ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ.
නිළධාරින්ගේ බහුතරය මන්ත්‍රීවරයාට සර් කියමින් හිස සහ කඳ පහත් කරමින් කථා කළ නමුදු විජේවර්ධන ඇතුළු නිළධාරි තුන් හතර දෙනෙක් පමණක් ශරීරය සෘජුව තබා ගනිමින් දේශපාලඥයාට මන්ත්‍රීතුමා ලෙස ඇමතූහ. මෙය මන්ත්‍රීවරයාගේ සිත් නොගත්තේය. තවද විජේවර්ධන දුටු මුල් දිනයේම ඔහුගේ සිතට යම් අප්‍රසන්නතාවක් දැනුණු අතර එය කෙලෙස මතුවීද යන්න ඔහු නොදත්තේය. එහෙත් එම අප්‍රසාදය සඳහා දැන් හේතුකාරක ඇති බවට ජනතා නියෝජිතයා විසින් අවබෝධ කරගන්නා ලදී.
“සර් වැඩ සටහන හොඳට කෙරුනා. ඒත් සමහර නිළධාරින් නම්‍යශීලි නැති වීම ටිකක් වැඩකරගෙන යන්න බාධාවක්. ˜ සකළසූරිය විසින් සතියකට පසුව දුරකථනයෙන් තමන්ට පවසන ලද්දේ විජේවර්ධන ගැන බව මන්ත්‍රීවරයාට වැටහිණි. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේදී අනවශ්‍ය ප්‍රශ්න මතු කිරීම, ඇතැම් විට මුදල් රෙගුලාසි මත ගෙවීම් නොකිරීම නිසා තම හිතවත් ව්‍යාපාරිකයන් නෝක්කාඩු කී අවස්ථා තිබුණි. එසේම ඔවුන් මැතිවරණ සඳහා කරන ලද වියදම් ඇතුළු අනෙකුත් කැපකිරීම් සීමා රහිතය.
“සකලේ මගෙ මිනිසුන්ට අසාධාරණ වෙන්න ඉඩ තියන්න එපා˜ මන්ත්‍රීතුමා සකලසූරියට කීවේ බංගලාවට ගෙන්වාගෙනය. එය කියන විට මුදල් ගෙවීම පමා වීම නිසා මුහුණ ඇඹුල් කරගෙන සිටි කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සිටියහ.
“අපි අපේ දුප්පත් චන්දදායකයන්ට සේවය කරන්න ඕන. මම මේ ගමන යන්නේ දහසකුත් එකක් බාධා මැද . මේ නිළධාරිවාදය අපි හොඳින් හරි නරකින් හරි කඩන්න ඕන.˜ එසේ කියමින් මන්ත්‍රීවරයා තම අතේ තිබුණු බෝතලයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ වීදුරු පිරවීය.
” සර් මේකයි ප්‍රශ්නේ. අපේ සමහරු හිතන්නේ තාමත් බලයේ ඉන්නේ පාරාද වෙච්ච පක්ෂය කියලා. මේ මිනිස්සු නිතරම ඔබතුමා විවේචනය කර කර ඉන්නවා මිසක් වැඩක් හරියට කරන්නේ නැහැ.˜ සකළසූරිය බයාදු ලෙස මන්ත්‍රීතුමාගේ මුහුණ බලමින් කීවේය. අනතුරුව තම වීදුරුවේ තිබූ මදුවිත කටට හලා ගත්තේය.
එකෙනෙහින් ම මන්ත්‍රීවරයාගේ මුහුණේ මතුවූයේ යක්ෂාවේෂ වූ බැල්මකි.
“මේකලා දන්නේ නැහැ මගේ හැටි. මට බුලට් දෙක තුනයි යන්නේ. මුන්ගේ කුණවත් හොයන්න හම්බවෙන්නේ නැහැ” මන්ත්‍රීවරයා ගෙරවීය.
මන්ත්‍රීවරයා කෝපවූයේ දැයි සකළසූරියට සිතුණි. වහාම කළ යුත්තේ ඔහුව අස්වැස්ස වීමය. ඉන් පසුව තමාගේ සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා සුදුසු යමක් ඔහුට එකවරම ඔළුවට ආවේ නැත.
“සර් මේකයි වැඩේ. අපි කලබල නොවී මේ කට්ටිය ගැන ඇහැ ගහගෙන ඉමු. මේ අය බෝධිසත්වයින් නෙවෙයිනේ. මගෙත් මිනිසුන් ඉන්නවා. මොකක් හරි වැරුද්දක් අහුවෙච්ච හැටියේම වැඩේ දෙමු නැගිටින්න බැරි වෙන්න.˜ සකළසූරිය කීවේ සූක්ෂ්ම දඩයක්කාරයෙකුගේ විලාසයෙනි.
කාර්‍ය්‍යාලයේ තමා බලවත් වූවද විජේවර්ධන ඇතුළු කිහිපදෙනෙකු තමා නොතකා ක්‍රියා කිරීම පිළිබඳව සකලසූරියට ඇති වූයේ කෝපයකි. ඒ හැර තමාට නිතරම කේලාම් සපයන පිටකන්ද හා සැමුවෙල් යන දෙදෙනා ඉදිරියේ විජේවර්ධන තමන්ව හෑල්ලූකොට මන්ත්‍රීගේ පන්දමා ලෙස හැඳින්වීම නිසා විජේවර්ධනට වැඩක් දියයුතු බව නොයෙක්වර හැගී තිබුණි. විජේවර්ධන මන්ත්‍රීතුමා සමග පැටලීම වනාහී දෙවියන් විසින් තමා වෙත එවන ලද ත්‍යාගයකි. එබැවින් අව්ව වේලෙන්නට පෙර පිදුරු ටික වේලා ගත යුතුය.
විජේවර්ධන විශ්ව විද්‍යාලයයේ සකළසූරියට වඩා වසර දෙකකින් පමණ කනිෂ්ඨය. විජේවර්ධන විශ්ව විද්‍යාලයේදී නිහඩ චරිතයක් විය. ඔහු නොකඩවාම දේශණ වලට ගිය අතර හොඳින් ඉගෙනීමේ කටයුතු කළේය. එහෙත් සකළසූරිය ඊට ප්‍රතිවිරුද්ධ චරිතයක් වූ අතර විශ්වවිද්‍යාලයයේ දී ශිෂ්‍ය අරගල වලදී නායකත්වය ගත්තේය. ඉගෙනීමේ කටයුතු වලට වඩා ශිෂ්‍ය අරගලයන්ට ඔහු සිසුන්ව යොමු කළේය. එසේම තම ජනප්‍රියතාව උපයෝගි කරගෙන ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක අනුග්‍රහයද ලබා ගැනීමට සමත් විය. ඒ නිසා ඔහුට තම වෘත්තීයේ ඉහලට නැගීමට හැකි වූයේ අන්‍යයන්වද පහලට හෙළමිනි.
පැවැත්ම සඳහා ජීවියා පරිසරයට අනුකූලව හැසිරිය යුතුයි. මෙම ශුද්ධ නීතිය කඩකරන්නන් ඉබේම වඳ වී යනු ඇත යන්න සකළසූරිය ඇදහුවා පමණක් නොව ඒ අනුව තම වෘත්තීය ජීවිතයද ගොඩගා ගත්තේය. සකළසූරියගේ හැඳින්වීම අනුව විජේවර්ධන අයත් වන්නේ ඩයිනෝසරයන්ගේ යුගයටය. එහෙත් කාර්‍ය්‍යාලයයේදී විජේවර්ධනට සුවිශේෂී ගරුත්වයක් ඇති බවත් එවැනි ගෞරවයක් තමන්ට නැති බවත් ඔහු පසක් කළේය. විජේවර්ධනව දුෂ්කර ප්‍රදේශයකට මාරු කළ හැකිනම් සටනින් අඩක් දිනාගත හැකි බව සකළසූරියට වැටහිණි.
මන්ත්‍රීවරයා උදහස් වීම ගැන විජේවර්ධන තුළ ඇති කළේ මිශ්‍ර හැගීම්ය. මන්ත්‍රීවරයා පිස්සු බල්ලෙකු බව ඔහු දැන සිටියේය. අට වැන්නට පමණක් උගත්, බුද්ධිමත් බවක් අසලකින්වත් නොගෑවුණු ජරා ජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ නිෂ්පාදනයක් වූ මන්ත්‍රීවරයා ඉදිරියේ තව දුරටත් ආත්ම අභිමානය පාවා දීම කළ නොහැකි දෙයකි. උපාධිධාරි නිළධරයන් අඳ බාල දේශපාලඥයා ඉදිරියේ දීන වන අයුරු ඔහු බලා සිටියේ කලකිරීමෙනි. මුලදී කසිප්පු පෙරා, මුදල් හම්බ කළ පසුව මුදලාලි කෙනෙකු බවට පත් වූ මේ මිනිසා කැළැවේ ගස් කැප්පවිය. මුදල් යහමින් විසි කිරීම නිසාත් මැර බලය නිසාත් ඔහුට පාර්ලිමේන්තුව දක්වා යාමට හැකි විය. ප්‍රදේශය සංවර්ධනය කිරීම පිණිස තීරණ ගන්නේ මෙවැනි මිනිසුන් නම් එවැනි රටකට යන කලදසාව කුමක් විය හැකිද යන්න විජේවර්ධනට සිතුන අවස්ථා එමටය. ටයි පැළඳගත් නිළධරයන් පිරිවරාගෙන සුදෝ සුදු කොකෙකු සේ දිස් වන මන්ත්‍රීවරයා හිස් වචන පවසන අතර බණ දේශණාවකට සවන් දෙන්නාක් මෙන් නිළධරයන් එකත්පස්ව ඔහුට සවන් දෙති. සෑම දෙයකටම එහෙයි කියනවා මිස මන්ත්‍රීවරයාගේ මුග්ධ අදහස් වලට අභියෝග කරන්නෙක් නොවීය.
“මට එක වෙලාවකට හිතෙනවා මේවා ඔක්කෝම දමලා ගහලා පිටරටකට යන්න විමලේ.˜ විජේවර්ධන පැවසුවේ කළකිරීමෙනි. විමලසිරි හා තවත් කිහිපදෙනෙකු හැර තමාගේ හිතේ පවත්නා පීඩනය පැවසීමට කෙනෙකු නැත. සමහරු බලා සිටින්නේ කටින් යමක් වැටෙන තෙක්ය. එය වඩාත් ඔප මට්ටම් කොට සකළසූරියගේ කනේ තැබීමට ඔවුහු නොපැකිල ඉදිරිපත් වෙති.
“ඕවා ගනන් ගන්න එපා. ලංකාවේ කොතනත් මේ ප්‍රශ්ණ තියෙනවා.˜ විමලසිරි අස්වැසුම් බස් කීය.
“මට දැන් හිතෙනවා ගිය අවුරුද්දේ නිවි සීලන්ඩ් ජොබ් ඔපර් එක ආපු වෙලාවේ ඒක ගත්තේ නැතුව මම කළේ මොඩකමක් කියලා….˜ තමන්ගේ රටට සේවයක් කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ. ඒත් ඒකට සුදුසු වාතාවරණයක් නැත්නම් කරන්න තියෙන හොඳම දේ තමයි වෙන අතක් බලා ගන්න එක.” විජේවර්ධනගේ ස්වරයේ කළකිරීමක් දැක ගත හැකිවිය.
” අපට රට හදන්න බැහැ විජේ. නිළධාරි හැටියට අපට තියෙන්නේ මුං කරන හැම ගොං පාට් එකකටම කරබාගෙන අත්වැල අල්ලන්න. අපි සාධාරණය, අසාධාරණය ගැන කථා කරන්න ගියොත් කියන්නේ අපි විරුද්ධ පාක්ෂිකයන් කියලා. ඒ පක්ෂය බලයට ඇවිල්ලා කරන තෘණ භක්ෂක ක්‍රියාවක් අපි විවේචනය කළොත් ඒ අය ඒට කියයි අපි බී පක්ෂයේ එහෙයියලා කියලා. ඒ නිසා හොඳම දේ තමයි රට යන අතට අපිත් යන එක”
විමලසිරි පවසන්නේ ප්‍රායෝගිකවාදියෙකු සේය. විමලසිරිගේ කථාවෙන් පසු විජේවර්ධන ගේ හිතේ පීඩනය මදක් අඩු විය. එහෙත් ඔහු පිළිතුරු වශයෙන් කිසිවක් නොකීවේය. හිස් බැල්මකින් විමලසිරි දෙස බලා සිටියා පමණි‚.
කාර්‍ය්‍යාලයයේ පවතින්නේ උදාසීන ගතියකි. සකළසූරිය රැස්වීමකට යන බව කියමින් නිළ රථයේ නැගී උදෑසනම පිටවී ගොසිනි. දුරකථනය වරින් වර නාද වේ. ඒ අතර පිටකන්ද විජේවර්ධනගේ කාමරය අසලින් ඒ මේ අත යන්නේ සවස සකළසූරියගේ තැබීමට සුදුසු යමක් අහුලා ගැනිමටය.
“සර්, තේ ගෙනාවා.˜ මහළු කාර්යාල සහයකවරයා විජේවර්ධනට තේ කෝප්පය පිළිගන්වමින් කීවේය. මහළු සේවකයා දෙස දයාවෙන් බැලු විජේවර්ධන ඔහුව ඇමතීය.
“හබෑටම පීටර් දැන් මෙතන අවුරුදු කීයක් වැඩද?˜
මහළු සේවකයා බුලත් කහට බැඳි දත් පෙන්වමින් මඳ සිනා පෑවේය.
“අවුරුදු තිස්පහක් වෙනවා සර්”
අවුරුදු තිස් පහක් මෙවැනි කාර්යාලයක සිත එකලස්ව තබාගෙන පීටර් වැඩ කිරිමට හැකිවූයේ කෙසේද? සෑම දෙයක්ම උපේක්ෂාවෙන් බැලීමට සමත්වූ නිසාද? පීටර්ගේ සේවා කාලය තුළ මෙම කාර්යාලයට නිළධරයන් සිය ගණන් එනන්ට ඇති. ඇතමෙක් ඛෙලි කැපිළි, පන්දම්, වන්දිභට්ටයන් හමුවේ පළා ගියහ. සමහරු ඊට එදිරිව ගොස් කළු ගලේ ඔළුව ගසා ගත්හ. තවත් සමහරක් කොඳු නාරටි ඉවත් කොට පරිසරයට අනුවර්ථනය වූහ. මේ වර්ග තුනටම අයත් නොවන මේ සේවකයා ගැන විජේවර්ධනට ඇතිවූයේ ගෞරවයකි. ඉහළ අධ්‍යාපනයක් නැතත් පීටර්ගෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්තා සේය.
“සර් ධනසේන මහත්තයා ඇවිල්ලා එකවුන්ටන් ලඟ කෑගහනවා˜ විජේවර්ධන ගේ කාමරයට කලබලයෙන් පැමිණි මාධවී පැවසුවාය.
“කවුද ධනසේන කියන්නේ?. විජේවර්ධන තරුණියන්ගෙන් ඇසුවේ විමතියෙනි.
“සර් මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි, කන්ට්‍රැක්ටස්ලාට පේමන්ට් කලේ නැහැ කියලා බනිනවා˜ ඇය තැතිගත් ස්වරයෙන් පැවසුවාය.
විජේවර්ධන පුටුවෙන් නැගිට්ටේ ගණකාධිකාරී වෙන යාමටය. ප්‍රශ්ණයේ කෙළවරක් නැත. එය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයට එයි. කළ යුත්තේ කුමක්ද? පහරට පහර දීමද, පහර වළක්වා ගැනීමද? නැතහොත් පහර කා බිම ඇද වැටිමද?
“විමලේ සකළසූරිය උදෙන්ම මාරු උනේ මේක සෙට් කරලද කියලා හිතෙනවා, කවුද මේ ධනසේන කියන හාදය? විජේවර්ධන විමළසිරිගෙන් විමසුවේ තව ස්වල්ප වේලාවකින් තමාට මුහුණ දීමට සිදුවන ප්‍රතිවාදියා කවරෙක්දැයි දැනගැනීමටය.
“මෑන් රිටායඩ් පොලිස් සාජන්ට් කෙනෙක්. දැන් මන්ත්‍රී සෙකටී්‍ර හැටියට වැඩ කරනවා. මන්ත්‍රීට එන ඉංග්‍රීසි ලියුම් ට්‍රාන්ස්ලේට් කරන්නයි, ඒවාට උත්තර ලියන්නයි මිනිහව තියාගෙන ඉන්නේ. නොම්බර එකේ බේබද්දා. සමහරු කියනවා මිනිහා තමයි මන්ත්‍රීට පගා එකතු කරන ඒජන්ට් කියලා. කෝකටත් පරිස්සමෙන් දන්නේ නැද්ද මේ යක්කුංගේ හැටි.? වැඩේ ෂේප් කරලා දාන්න, පැටලෙන්න යන්න එපා.˜ විමලසිරි අවවාදාත්මක විලාශයෙන් පැවසීය.
විජේවර්ධන ගණකාධිකාරිගේ කාමරයට යන විට එතැන ගාලගෝට්ටියකි. මන්ත්‍රීගේ ලේකම් උස් හඩින් ගණකාධිකාරිට බනිමින් සිටියේය. අසරණ ගණකාධිකාරි තුෂ්නිම්භූතව කිසිවක් කියාගත නොහැකිව තමාට පිහිට වන්නැයි හැගෙන බැල්මකින් විජේවර්ධන දෙස බැලීය.
“මොකද මිස්ට සිගේරා ප්‍රශ්නේ ? විජේවර්ධන අමුත්තා මගහැර ගණකාධිකාරිගෙන් විචාලේය.
“සර් මෙතන පේමන්ට් ගෙවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. කන්ට්‍රැක්ටස්ලා එග්රිමන්ට්ස් අනුව වැඩ කරලා නැහැ. අපි පේමන්ට් කළොත් ඔඩිට් ක්වෙරි එකක් එන්න පුළුවන්.˜ ගණකාධිකාරි තැතිගත් ස්වරයෙන්ම පැවසීය.
“කොන්ත්‍රාත්කාරයෝ එග්‍රිමන්ට් එක උල්ලංඝනය කරලා තියෙනවා නම් කොහොමටවත් ගෙවීම් කරන්න බැහැනේ.˜ විජේවර්ධන ඉංග්‍රීසි භාෂාවෙන් අමුත්තාටත් ඇසෙන සේ ගණකාධිකාරිට කීවේය.
“මෙතන එග්ග්‍රිමන්ට් උල්ලංඝනය වෙලා නැහැ මිස්ටර්. මම තමයි මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි. කොන්ත්‍රාත්කාරයෝ මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න වියදම් කරනවා. ඒ අයගේ වැඩ වලට ගෙවීම් කරන්න ඕන. මෙතන යන්නේ වෙන ගේමක්. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීගේ රූකඩ වගයක් ඉන්නවා මේ ඔෆීස් එකේ, අපේ මන්ත්‍රීතුමාගේ වැඩ බකල් කරන්න. ඒවා කොහෙද අපි ඉන්නකං. මේවා අපේ ගම් පළාත්. අපිට මේ ගැන කැක්කුමක් තියෙනවා. ජරාව දුන්නානම් ඔක්කෝම ගෙවීම් අනුමත කරලා මෙලහකට.˜ අනාරාධිත අමුත්තා අප්‍රසන්න ස්වරයකින් විජේවර්ධන දෙස බලා පැවසීය.
විජේවර්ධන මොහොතක් ධනසේන හෙවත් මන්ත්‍රීගේ ලේකම් දෙස තියුණු බැල්මක්ම හෙලීය. අභූත චෝදනාව ඔහු තුළ ඇති කළේ කැළඹීමකි. නොදැනුවත්වම ඔහුගේ මිට මෙලවිණි. මේ අවස්ථාවේ තමාට ඇති විකල්ප කවරේද විජේවර්ධන පරිඝණකයක් මෙන් දත්ත විශ්ලේෂණය කළේය. වේගවත් පහරක් මන්ත්‍රීගේ ලේකම්ගේ මුහුණට එල්ල කිරීම, අනතුරුව බැහැපිය බල්ලා ඔෆීස් එකෙන් එළියට යැයි කියමින් කමිස කරින් අල්ලා දොට්ට දැමීමද? මෙය ක්‍රියාත්මක කළ හොත් මොහොතකට තමා වීරයෙකු වනු ඇත. සකළසූරියද බලා සිටින්නේ මෙවැනි අවස්ථාවක් එන තෙක්ය. අනතුරුව මන්ත්‍රී ඇතුළු ඔහුගේ චක්ගෝලයන් අවි අමෝරා එනු නිසැකය. පසුදා පුවත්පත් මෙලෙසම වාර්තා කරනු ඇත.
“මන්ත්‍රීගේ ලේකම්ට පරිපාලන නිළධාරියා පහර දෙයි ”
ඉන් පසු විනය පරීක්ෂණ ඇතුළු දහසකුත් ක්‍රියාමාර්ග. දෙවැනි විකල්පය කුමක්ද? ධනසේනට තමාගේ කණගාටුව ප්‍රකාශකොට ඔහු ඉදිරියේ සිගේරාට මඳක් දෝෂාරෝපණය කරමින් ගෙවීම් කරන ලෙස බලපෑම් කිරීම. විගණන පරීක්ෂණ වලදී උත්තර දිය යුත්තේ ගණකාධිකාරිය. එහෙත් ස්වං දෝෂාරෝපණයක් සිත පුරාම ජනිත වී ඇති හෙයින් දෙවැනි විකල්පය කෙරෙහි සිත යොමු නොවීය.
මා කළ යුත්තේ කුමක්ද? වහාම කාර්යාලයට ගොස් අස්වීමේ ලිපිය ලියා ගෙදර යාමද? එමගින් තමා පරාජිතයෙකු වන බව විජේවර්ධනට හැගුනේය. එසේනම් මෙම අවස්ථාවේදී ගතයුතු පියවර කුමක්ද? එසමගින්ම මහළු පීටර්ගේ රුව ඔහුගේ සිතේ ඇදිණි. ඔව් මේ අවස්ථාවේදී උපේක්ෂාව හැර අන් විකල්පයක් නැත.
“මේ මහත්තයා, විජේවර්ධන සන්සුන් ස්වරයෙන් මන්ත්‍රීගේ ලේකම් ඇමතීය. අපට ප්‍රශ්නේ තේරෙනවා. අපි පේමන්ට් එක කොහොම හරි කරමු. මේ කොන්ත්‍රාත්කාරයින්ට කියන්න ඇවිල්ලා මාව හම්බවෙන්න කියලා. එග්ග්‍රිමන්ට් එකේ අඩුපාඩු බලලා රජයටත් පාඩු නොවෙන්න ඒ අයටත් පාඩු නොවෙන්න ක්‍රියාමාර්ගයක් ගමු. සාකච්ඡාවෙන් විසඳාගන්න බැරි ප්‍රශ්නයක් නැහැනේ.
විජේවර්ධනගේ ප්‍රකාශයත් සමග අමුත්තා ගේ මුහුණේ ස්වරූපය වෙනස් විය.
“නෑ, සර්, දන්නැද්ද මේ කන්ට්‍රැක්ටස්ලා උදේ හවස ඇවිල්ලා මන්ත්‍රීතුමාට කරදර කරනවා ඉතුරු වැඩ කරගෙන යන්න සල්ලි නැහැ කියලා. ඉතිං ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි “
“අපි මොනවා හරි කරන්න බලමු. ˜ අනිවාර්‍ය්‍යයෙන්ම අපි බලමු මොනවා හරි කරන්න. නීති උල්ලංඝනය කරන්නේ නැතුව යමක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.විජේවර්ධන පැවසුවේ මේ ප්‍රශ්නයට මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය නොකොට ගත හැකි ක්‍රියාමාර්ගයක් අවංකවම ගතයුතු යයි සිතමිනි.
“සර්ට තරහා ගියාද දන්නේ නැහැ. මම ටිකක් හයියෙන් කථා කළාට. දන්නැද්ද මම හිටපු පොලිස්කාරයෙක්නේ.˜ අමුත්තා තම කණගාටුව ප්‍රකාශ කළේය.
“ඕවා සුළු දේවල් මිස්ටර් ධනසේන˜ මෙවර විජේවර්ධන අමුත්තාට ඔහුගේ නමින්ම ආමන්ත්‍රණය කළේය.
“යං මගේ ඔෆීස් එකට, අපි තේ එකක් බීලා කථා කරමු”
කාර්යාලයයේ සියළුම දෙනා තුෂ්නිම්භූතව බලා සිටිති. ඇවිලීමට ගිය යුද්ධයක් කිසිදු වෙඩිල්ලක් පත්තු නොකරම නිමා වූවා සේය. ඇතමෙක් සැනසිලි සුසුම් හෙලුහ. තවත් සමහරෙක් යුද්ධයක් සිදු නොවිම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූහ. සකළසූරියගේ ගිරා පෝතකයන් වල්මත් වූවා සේය.
මහළු සේවකයා නිහඩව කොරිඩෝවේ මකුළුදැල් කඩමින් සිටියි. අමුත්තා සමග තම කාමරය වෙත යමින් සිටි විජේවර්ධන මහළු සේවකයා ඇමතීය.
“පීටර් අපි තව තේ එකක් බොමුද? හොඳට කිරි දාලා මේ මහත්තයාටයි මටයි තේ දෙකක් ගේන්න “
“පීටර් හදන තේ බිව්වම දවල්ට නොකා උනත් ඉන්න පුළුවන්˜ මහළු සේවකයා විජේවර්ධනගේ නියෝගය සහ ප්‍රශංසාව භාර ගත්තේ බුලත් කහට බැඳුණු දත් පෙන්වන මද සිනහවෙනි.
“පීටර්, පීටර්˜ ධනසේන සමග තමන්ගේ කාමරයට යමින් විජේවර්ධන තොල් මතුලේ. මහා පීටර් රජතුමාටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලබන මාසේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට පීටර්වත් ගෙනියන්න පුළුවන් උනොත් මන්ත්‍රීට මුහුණ දෙන හැටිත් ඉගෙන ගන්න පුළුවන්, ඔහු සිතුවේය. පසුගිය ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු මේ දක්වා තමන් තුල වර්ධනයව පැවති පීඩනය සහ අසහනකාරී ගතිය ක්‍රමයෙන් අඩුවී යන බවක් විජේවර්ධනට දැනුණි. මොහොතකට පෙර තමාව ප්‍රකෝප කළ අමුත්තා නෙරෙහි විජේවර්ධන තුල දැන් ඇත්තේ උපේක්ෂා සහගත හැගීමකි. තම රාජකාරි අසුනේ සෘජුව ඉඳගත් විජේවර්ධන අමුත්තාටද අසුන්ගන්නා ලෙස කාරුණිකව ආරාධනා කළේය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

හොම්බෙන් යවන Interview
මම ඔටෝ මිරාජ් එකේ ඉන්න කාලේ මට හිටියා සහකාර කළමණාකරුවො දෙන්නෙක් එක්කෙනෙක් මගේ ආදරණීය මිත්‍රයා රුශාන් ගමගේ මල්ලි. ඌ තමයි මෙහෙයුම් සහකාර කළමණාකරු උනේ.
තවත් ආතල් බුවෙක් හිටියා අසේල කියලා. ඇඟපත එහෙම හොඳට තියෙන, බර වොයිස් එකෙන් කතා කරණ, කතා කලොත් ටෝක් දෙන කෙනෙක්. මෙයා තමා සහකාර කළමණාකරු – කාර්මික! එයා ජර්මන් ටෙක් එකෙන් එළියට ඇවිත්; මෙහේ ඩිපෝ වල එහෙම වැඩ කරලා මැද පෙර දිග ගිහින් ආපු කෙනෙක්.
“මොනාද මිස්ට මංජුල කියන්නේ . . . ” කියලා තමයි මෙයා ඕන ටෝකක්; පොර ටෝකක් බවට පෙරලා ගත්තේ. ටික වෙන්න පණ්ඩිත උනාට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක්!
මෙයාගේ ටීම් එකේ හිටිය මිකැනික් ලා එහෙම නැත්නම් කාර්මිකයෝ කිහිප දෙනෙක් අස් වෙලා ගියා. අසේල එක්ක වැඩ කරණ එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. ඉතිං මේ නිසාම මෙතන වැඩක් හරියට කෙරුණෙම නෑ. මොකද වැඩක් ගත්තොත් එතන ඉන්න ඇච්චි කොල්ලෙක් දෙන්නෙක් අල්ලගෙන අසේල අතින් තමයි වැඩේ ගොඩ ගියේ.
මේ නිසාම අපි සම්මුඛ පරීක්ෂණ හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ඉන්ටර්වීව් කරණ්න පටන් ගත්තා අපිට ප්‍රාණයක් සොයා ගන්න. ප්‍රාණයක් කිව්වට ඇත්තටම ඒක අසේල දෙයියන්ට දෙන නර බිල්ලක් වගේ එකක්.
ඉතිං ඉල්කෝල වලින් එළියට ආපු ගමන්; ටෙක් වල කෝස් එකක් එහෙම කරපු පොඩි කොල්ලේ දෙතුන් දෙනෙක්ම අපි එක දිගට විටෙන් විට ඉන්ටර්වීව් කලා.
ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ මමත් රුශානුත් අසේලත් තිදෙනායි.
මම පළවෙනියෙම්ම කරණ්නේ; අපි ඉස්සරහ; මරණ්න ගෙනාපු එළුවෙක් වගේ ඉන්න තරුණයාව තිගැස්ම නැති වෙන්න කතා කරණ එකයි. කොලුවා ටිකක් නෝමලයිස් වෙලා බැලන්ස් උනාම අසේලට කියනවා ප්‍රශ්ණයක් දෙකක් අහන්න කියලා.
ඊට පස්සෙ තමයි වැඩේ සුපිරිම සිද්දිය වන්නේ.
අසේල රැල් බුරුල් ඇරලා අහනවා බර දාලා ප්‍රශ්ණයක් ආපු කොල්ලට “හික්” ගෑවෙන්න. අනේ කොල්ලාගෙ තොල කට වේලිලා සුදුමැළි වෙනවා. ඌ; කාමරේ ඇතුලට ආපු දොර දිහා බලන්නේ පැනලා දුවන්න වගේ.
ඒ එක්කම ආයේ අහනවා ප්‍රශ්ණයක් කොල්ලට තියා ගොඩ්ලිබ් ඩේම්ලර්ගේ කිරි අප්පුච්චටවත් උත්තර දෙන්න ගියොත් “අම්මට සිරි” වෙන්නම! ඔහොම අති භිහිසුණු, ලොමු ඩැහැගන්වන සම්මුඛ පරීක්ෂණ විනාඩි 15 ක් තුල පණ බේර ගත්තු කොල්ලා යන්නේ ආපහු හදිස්සියේ බස් එක කැඩුනත් ඔටෝ මිරාජ්ජෙක පැත්තෙන් පයිං යන්නෙවත් නෑ කියලා හිතට අරං.
“වැඩක් නෑ මිස්ට මංජුල . . . !” අසේල කියන්නේ ගෙදරට ආපු හොරෙකුට හතර හන්දි කැඩෙන්න ගහපු ලයින් එකෙන්.
මේ විදියට; අසේල; කොල්ලො හතර පස් දෙනෙක්ගෙම මොළේ කෑවාට පස්සෙ තවත් හයක් හතරක් දන්නේ නැතිව එකෙක් ඉන්ටර්වීව් ආවා.
කොල්ලව ඉන්ටර්වීව් එකට බෝඩ් රූම් එක ඇතුලේ ඉන්දවන්න කියපු මම මගේ මේසේ ඉස්සරහින් අසේලවයි රුශාන්වයි වාඩි කර ගත්තා!
මම මගේ මෙසේ උඩ තිබුනු සිලිකන් ටියුබ් එක අතට ගත්තා. ඇත්තටම අපි පුරුද්දට කටවහරට; සිලිකන් ටියුබ් එක කිව්වාට මේකට කියන නියම නම RTV Silicone Gasket Maker කියන එකයි.
ඇත්තටම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්නේ නිකං කොහොල්ලෑ වගේ එකක් බව හැමෝම දන්නේ නැතුව ඇති කියලා ටිකක් ඒ ගැන ලියන්නංකෝ.
වාහනේක හරි වෙනයම් උපකරණයක කොටස් දෙකක් සවි කිරීමට යන විට එහි මූනත් දෙක මැද්දට; ඒ කාලේ කිරළ පැකිං, පැකින් පේපර් පැකිං, රබර් පැකිං දානවා වගේ මේ “කොහොල්ලෑ” ටිකක් පලු දෙකේ ගාලා එකට තියලා ඇන දාන එකයි කරණ්නේ.
මේ යට පිංතූරේ තියෙන්නේ එන්ජිමක සම්ප් oil Sump හෙවත් තෙල් දෙන එන්ජින් බ්ලොක් එකට සවි කිරීමට පෙර තෙල් කාන්දු නැවතීමට (නිල් පැහැතී කඩදාසි පැකින් එකකින් මුද්‍රාවක් යොදන ආකාරයයි.
දැන් අසේල ලොක්කයි රුශානුයි ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. මම මේසෙ උඩ තිබ්බ; අර කලින් කිව්ව සීලන්ට් ටියුබ් එක අතට අරං අසේලට පෙන්නුවා.
“අසේල ඔයා කොච්චර කාලෙක ඉඳන් මේ සීලන්ට් පාවිච්චි කරණවද . . ?”
“මොනාද කියන්නේ මිස්ට මංජුල අපි සවුදියේ ඉන්න කොට මගේ ලොකර් එකේ හැම වෙලාවේම සීලන්ට් ටියුබ් දුසිමක් විතර තියෙනවා. මම ඔය කියන කාලේ මෙහේ බාස්ලා සීලන්ට් ගැන අහලවත් නෑ . . . . . . . !’
“හරි ඔය ටියුබ් එකේ මොකක්දමේ RTV කියලා ගහලා තියෙන්නේ?”
“අ . . අ . ඒක මේකේ ජාතිය වෙන්න ඇති . . .!’
“නෑ නෑ අසේල ඔය ඕන සීලන්ට් එකක මේ අකුරු තියෙනවා . . .!”
“අනේ මන්දා ඒකනං . . ! මම සීලන්ට් පාවිච්චි කරලා ඇති මගේ මේ ඉසේ කෙස් ගානට . . . !”
” . හරි! ඒක තමයි . . ! RTV කියන්නේ රූම් ටෙම්පරේචර් වොල්කනයිස් (Room Temperature Volcanize) කියන එක! ඒ කියන්නේ මේකෙ ඇතුලේ තියෙන ගම් එක ටියුබ් එකෙන් එලියට ඇවිත් කාමර උෂ්නත්වයේ තිබුනොත්; ඉතා කෙටි කාලෙකදී ඒකෙ තිබුනු රබර් වගේ දේ වොල්කනයිස් වෙලා රබර් පැකින් එකක් නිකංම හැදෙනවා . . . !
දැං බලන්න අසේල මම ඔයාව ඉන්ටර්වීව් කරණ්න ගිහිං ඔය ප්‍රශ්ණෙ ඔයාගෙං මම මළවෙනියෙංම ඇහුවා නම් ඔයා කොර වෙනවානේ . . . . !?!?!? ඒ කියන්නේ ඔයා මේ සීලන්ට් නොදන්න එක නෙවේ. ඔයා නොදන්න ප්‍රශ්ණයක් මට හොයා ගන්න පුළුවන් උනු එකයි ඒකෙ රහස . . . . ! මෙතනට ඉනර්වීව් එන එකාගෙ අපි බලන්න ඕන ඌ නොදන්නේ මොනවද කියලා නෙවෙයි දන්නෙ මොනවද කියන එකයි. අපි ඌව තෝඅර ගත්තොත් අපිට මිනිහෙක් ලැබෙනවා. ඌට ජොබක් සෙට් වෙනවා. ඒක ෆිෆ්ටි – ෆිෆ්ටි, වින් වින් සිටුවේශන් එකක්. හරි ඒ ටික හිතට අරං ගිහිං අපි ඉන්ටර්වීව් එක පටං ගම්මු . . . . . . !”
සම්මුඛ පරීක්ෂණය ඇරඹුනි. සහභාගී වූ තරුණයා ඉතා සාර්ථකව එයට මුහුණ දුන්නේය. එළඹුනු සඳුදා සිට ඔහු ටූ පෝස්ට් ජැක් එක යට සිට මොන මොනවාදෝ ගලවනු දක්නට ලැබුනි.
මා පුරුද්දක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී; අපේක්ෂකයාගෙන් විමසන්නේ මා හොඳින් දන්නා කාරණා ගැන පමණි. අභාග්‍යයකට හෝ ඔහුට ඊට පිළිතුරු දී ගත නොහැකි වුවහොත් මා ඊට පිළිතුර ඉතා හොඳි පැහැදිළි කරයි. එසේම අපගේ ඇබෑර්තුවට නොසෑහෙන තරම් සුදුසුකම් ඇත්තෙකු මුණ ගැහුණු සැම විටම ඔහුව වඩාත් ඔහුගේ අනාගතයට සුදුසු ආයතනයකට යොමු කරණ්නට උත්සාහ ගත්තෙමි.
මේ කතාව අලුතින් මතකයට ආවේ මාගේ මිතුරෙකු වූ ශානක රාජකරුණාගේ දියණිය හා සම්බන්ධ කාරණයකදීය.
ශානාගේ දුව මෙරට ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්නේ ක්ලාස් එකක් එක්ක. ඉතිං මේ කෙල්ලට ආධුනික පුහුණු කාර්යය සඳහා සුදුසු නීති කඩයක් එහෙමත් නැත්නම් ලෝ ෆර්ම් එකක් සොයා දීම භාර උනේ අපේ බිරිඳට. එයත් කෙල්ලගේ ජීව දත්ත එයා දන්න එකකට යැව්වාම කෙල්ලට එන්න කියලා. දරුවා ආපහු ගෙදර ගිහිං තියෙන්නේ ලොකු අවුලකින්!
මොකඩ ඉන්ටර්වීව් එකේදී එතන හිටපු උගත් නීතීඥ්ඥ නෝනා මේ ළමයාට කියලා තියෙන්නේම් රස්සාවේ තියෙන බැරි අමාරු කම් ගැනයි අපහසු කම් ගැනයි දුෂ්කරතා ගැනයි.
“අපි ඔයාව ගත්තොත් ඔඅයාට රෑවෙනකල් උනත් ඉන්න වෙයි . . .!” නෝනා කථාව අවසන් කරලා තියෙන්නේ ඒ විදියට.
මේ මීට දශක කිහිපයකට පෙර ඉන්ටර්වීව් කල ආකාරයයි. එතැන තියෙන අන්තිම “කට්ට” ගැන කියලා ඊට කැමතිවෙන එකාව ගන්නට එකල සිටි පාලකයෝ ක්‍රියා කල බව මටද මතකය.
සත්තකින්ම ඒ තරම් කට්ටට්ක් කන්නට එන්නේ එල්ලෙන්න වැලක් හොයා ගන්නට බැරි අපි වගේ එකෙක් විනා වැඩක් කරගන්නට පුළුවන් එකෙක් නෙවේය.
ඉන්ටර්වීව් එකකදී තමා ඉදිරියට එන රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව; තමාගේ වකුගඩු දෙක ගලවාගෙන යන්නට පැමිණි එකෙක්සේ දකින්නේ ඇයි දැයි මාහට තවමත් සිතා ගත නොහැක.
දුෂ්කර අවස්ථාවකදී කල යුතු කැප වීම පිළිබඳව ඔහු හෝ ඇයට මතක කරණු විනා; උඹට දෙන්නෙත් රුපියල් පහයි, රෑ එළිවෙනකල් ඉන්නෝන, දවස් තුන්සිය හැට පහම වැඩ, අඩු පාඩුවට අපේ ගෙදර බල්ලව නාවලා ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කුණු අතුල්ලන්න ඕන යැයි පැවසූ විට රැකියාවකට එන්නේ වෙන කරණ්නට දෙයක් ඇත්තේම නැති එකෙක් පමණි.
මංජුල ශ්‍රීනාත් පෙරේරා
තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

දුම්රිය ගමන
දුම්රියපළේ පළමු පන්තියේ විවේකාගාරයේ කැඩපතින් ශ්‍රීමත් මෝහන් ලාල් තම පිළිඹිබුව දෙස බැලුවේය. ඒ කැඩපත ඉන්දියාවේ නිපදවන ලද්දක් බව බැලූ බැල්මට පෙනුණි. එහි පසුපස රතු පැහැති ඔක්සයිඩ තැනින් තැන මැකී ගොස් තිබුණු අතර විනිවිද පෙනෙන වීදුරු ඉරි කිහිපයක් එහි මතුපිට දක්නට විය. ශ්‍රීමත් මෝහන් කැඩපත දෙස බැලුවේ අනුකම්පාවත් මහන්තත්වයත් මුසු බැල්මකිනි.
“උඹත් මේ රටේ අනිත් දේවල් වගේ තමයි, අසාර්ථකයි, කිලුටුයි, උදාසීනයි,” ඔහු මිමිණුවේය.
කැඩපත ශ්‍රීමත් මෝහන් වෙත මඳහසක් පෑවේය.
“ඔබතුමා නම් නියමයි,” එය කීවේය. “ඔබ සාර්ථක පාටයි, ඒ වගේම කඩවසම්. ඔය පිළිවෙලට කැපුව උඩු රැවුල, එංගලන්තයේ සාවිල් රෝ පැත්තෙන් ගත්තු ඔය ඇඳුම් කට්ටලය, කබායේ බොත්තමේ රැඳුණු කානේෂන් මල, ඔබෙන් හමන විලවුන්, ටැල්කම් පවුඩර්, සබන් සුවඳ.. මේ හැම දෙයක්ම! ඔව් මහත්මයා ඔබ නම් බොහොම වැදගත් පාටයි.”
ශ්‍රීමත් මෝහන් පපුව පුම්බා, තමා පැළඳ සිටි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ බැලිඅල් විද්‍යාලයේ ටයි පටිය සිය දහස් වන වතාවටත් සකස් කරගෙන කැඩපතට ආචාර කළේ ය.
ඉනික්බිති ඔහු තම අත් ඔරලෝසුව දෙස බැලුවේය. තව තරමක වෙලාවක් ඉතිරිව තිබිණි.
“කොයි හායි!”
සුදු නිල ඇඳුමෙන් සැරසුණු සේවකයෙක් විවේකාගාරයේ දැල් දොරින් මතු විය.
“එක පොඩි වීදුරුවක් ගේනවා” ශ්‍රීමත් මෝහන් අණ කළේ ඒ පානය ද අතින් ගෙන ගැඹුරු කල්පනාවක නිමග්න වීම සඳහා වේවැල් පුටුවක අසුන් ගනිමිනි. විවේකාගාරයෙන් පිටත බිත්තිය අද්දර ශ්‍රීමත් මෝහන් ලාල්ගේ ගමන් මලු ගොඩගසා තිබිණි. ඒ අතර වූ කුඩා අළු පැහැති යකඩ ට්‍රන්ක පෙට්ටියක් මත මෝහන් ලාල් ආර්යාව වන ලක්ෂ්මි වාඩි වී සිටියාය.ඈ බුලත් විටක් සපමින්, පුවත්පතකින් පවන් ගසාගනිමින් සිටියාය. වයස හතලිස් ගණන් වල මැද හරියේ සිටි ඈ තරබාරු මිටි තැනැත්තියක් විය. ඈ පැළඳ සිටියේ රතු බෝඩරයක් සහිත කිලිටි සුදු සාරියකි. ඇගේ නාසය මත දියමන්ති නාස් මුදුවක් දිලිසුණු අතර දෑතේ රන් වළලු කිහිපයක් විය. ශ්‍රීමත් මෝහන් සේවකයාට විවේකාගාරය තුළට හඬගසන තෙක් ඈ ඔහු සමඟ සාමීචියේ යෙදෙමින් සිට තිබිණි. ඔහු ගිය විගස ඈ ඒ අසලින් ගමන් කරමින් සිටි කුළීකරුවෙකුව නවත්වා ගත්තාය.
“ගැහැණු අයගේ කෝච්චි පෙට්ටිය කොයි හරියේද නවත්තන්නේ?”
“ප්ලැට්ෆෝම් එකේ කෙළවරේ.”
කුළීකරු තම තලප්පාව පැතලි කර කොට්ටයක් සේ සකසා, ඇගේ යකඩ ට්‍රන්ක පෙට්ටිය ඔසවා හිස මත තබාගෙන දුම්රිය වේදිකාව ඔස්සේ ඇවිද ගියේ ය. ලාල් ආර්යාවද තම පිත්තල කෑම බඳුන අතින් ගෙන ඔහු පසුපස හෙමින් ඇවිද ගියා ය. අතරමඟදී බුලත් වෙළෙන්දෙකු ළඟ නැවතුණු ඈ තම රිදී බුලත් අසුරණය පිරවීමට බුලත් මිළදී ගෙන නැවතත් කුළීකරු පසුපස ඇදුනා ය. කුළීකරු විසින් තම ට්‍රන්ක පෙට්ටිය බිම තැබූ විට ඈ නැවතත් ඒ මත හිඳගෙන ඔහු සමඟ සාමීචියේ යෙදෙන්නට විය.
“මේ පැත්තට යන කෝච්චිවල සෙනඟ ද?”
“මේ දවස්වල කොයි පැත්තට යන කොච්චිවලත් සෙනඟ තමයි. ඒත් කාන්තා මැදිරියේ ඉඩ තියෙයි.”
“එහෙනම් ඉක්මණින් කාලා ඉවරකරගෙන ඉන්න ඕන. එතකොට ඒ කරදරෙත් ඉවරයි.”
මේසේ කියා ලාල් ආර්යාව පිත්තල බඳුන විවර කර එහි ඔබා තිබුණු චපාති කිහිපයකුත් අඹ අච්චාරුවකුත් පිටතට ගත්තා ය. ඈ ආහාර ගන්නා තුරු කුළීකරු ඈ ඉදිරිපස බිම ඇන තබාගෙන ඇඟිල්ලකින් පොළොවේ ඉරි අඳිමින් සිටියේය.
“සහෝදරී තනියමද මේ ගමන යන්නේ?”
“නැහැ අයියා, මගේ මහත්තයා එක්ක. එයා කෝච්චිය එනකම් අර විවේක කාමරේ ඉන්නේ. එයා පළවෙනි පන්තියේනේ යන්නේ. මහත්තයා ලොකු තනතුරක් දරන බැරිස්ටර් කෙනෙක්. ඒ නිසා එයාට කෝච්චිවලදී එක එක නිලධාරීන්, ඉංග්‍රීසි මහත්තුරු මුණගැහෙනවා. මම ඉතින් ගමේ ගෑනියෙක්නේ. මට ඉංග්‍රීසිත් බැහැ ඔය ලොකු ලොකු පැලන්තිවල ගති පුරුදුත් බැහැ. ඒ නිසා මම තුන්වෙනි පන්තියේ ගෑනු කෝච්චි පෙට්ටියේ යනවා.”
ලක්ෂ්මි ඉතා සතුටින් සාමීචියේ යෙදෙමින් සිටියාය. ඉඳහිට ඕපාදූපයක් කතා කිරීමට කැමැත්තක් දැක්වූ ඇයට නිවසේදී කතාකරන්නට කෙනෙක් සිටියේ නැත. ඇගේ ස්වාමිපුරුෂයාට ඇය වෙනුවෙන් වෙන්කරන්නට කාලය නොවිණි. ඈ නිවසේ ඉහළ මාලයේ විසූ අතර ඔහු විසුවේ පහත මාලයෙහි ය. මළ පොතේ අකුරු බැරි ඇගේ දුගී ඥාතීන් තම බංගලාව වටා කැරකෙනු ඔහු නොරිස්සූ නිසා ඔවුන් කිසිවෙක් එහි පැමිණියේ නැත. ඉඳහිට රැයකදී ඔහු ඈ වෙත පැමිණ විනාඩි කිහිපයක් ගත කළේය. ඔහු ඉංග්‍රීසියට හුරු හින්දි බසින් ඈට විවිධ අණ පනවද්දී ඈ විරෝධයක් නොපා ඒවාට කීකරු වූවාය. ඉහළ මාලය වෙත ඔහුගේ රාත්‍රී ගමන් වලින් මෙතෙක් නම් ප්‍රතිපලයක් ලැබී තිබුණේ නැත.
සංඥා එළි දැල්වී සීනුව නාද වූයේ දුම්රිය පැමිණෙන බව අඟවමිනි. ලාල් ආර්යාව ඉක්මණින් ආහාර ගැනීම නිම කර, අඹ අච්චාරුවේ තිබුණු අඹ ඇටය ලෙවකමින්ම ඈ නැගී සිටියාය. ඉනික්බිති මහා හඬින් රාමතෙල් හළ ඈ දිය කරාමය වෙත ගොස් තම මුවත් දෑතත් සෝදා ගත්තා ය. තම සාරි පොටින් දිය පිසදාගත් පසු ඇය නැවත තම ට්‍රන්ක පෙට්ටිය වෙත ගියේ දිගටම රාමතෙල් හරිමින්, කුස පිරවූ කෑම වේල ගැන දෙවියන්ට පින් දෙමින් ය.
දුම්රිය දුම් දමමින් පැමිණියේය. දුම්රියේ කෙළවර, ගාඩ්වරයාගේ දුම්රිය මැදිරියට ආසන්නයේම වූ කාන්තා මැදිරියේ වැඩි සෙනඟක් නොමැති බව ලක්ෂ්මි දුටුවාය. ඉතිරි මැදිරිවල නම් සෙනඟ පිරී තිබිණි. තම තරබාරු සිරුර දුම්රියේ දොරකඩින් ඇතුළට ගෙන කවුළුවක් අසල අසුන්ගත් ඈ තම සාරියේ ගැට ගසා තිබූ ඇනා දෙකක කාසියක් දී කුළීකරු ව පිටත් කර හැරියාය. ඉනික්බිති ඇය තම බුලත් අසුරණය විවර කර බුලත් කොළ දෙකක්, පුවක්, හුණු සහ කරදමුංගු කලවම් කර බුලත් විටක් ඒදා ගත්තා ය. මේ විට මුවෙහි ලූ විට ඇගේ දෙකොපුල් පිම්බී පෙනුණි. ඉන් අනතුරුව ඇය තම අත්ල මත නිකට රුවාගෙන දුම්රිය වේදිකාවේ කලබල වෙත අලසව බලා සිටියාය.
දුම්රියේ ආගමනය ශ්‍රීමත් මෝහන් ලාල්ගේ සන්සුන් බව බිඳීමට සමත් වූයේ නැත. ඔහු තම ස්කොච් පානය තොලගාමින් තම ගමන් මලු පළමු පන්තියේ මැදිරියට දැමූ විට තමන්ට දැනුම් දෙන ලෙස සේවකයාට දැනුම් දුන්නේය. කඩිමුඩිය, කලබලය, අනවශ්‍ය උද්යෝගය ආදී දේ හැදියාවක් නොමැති බවේ ලක්ෂණ බව ඔහු විශ්වාස කළේය. තමන් උසස් හැදියාවක් ඇති අයෙකු වූ නිසා හැම දේම පිළිවෙලට තිබීම ඔහුට රිසි විය. පිටරට ගෙවූ පස් වසරින් පසු ශ්‍රීමත් මෝහන් ඉහළ සමාජ පන්තිවල අයගේ පැවතුම් සහ චර්යාවන් පුරුදු පුහුණු කර තිබිණි. ඔහු හින්දියෙන් කතා කළේ කලාතුරකිනි. එසේ කතා කළත් ඒ අත්‍යවශ්‍ය වචන පමණක් වූ අතර ඒවාද උච්චාරණය කළේ ඉංග්‍රීසි ඌරුවටය. ශ්‍රීමත් මෝහන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඔප වැටුණු තමන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන ආඩම්බර විය. ඔහු ඉංග්‍රීසියෙන් කතාබහ ප්‍රිය කළ අතර ඕනෑම ප්‍රබුද්ධ ඉංග්‍රීසි ජාතිකයෙකු මෙන් ඔහුට පොත පත ගැන, දේශපාලනය ගැන, මිනිසුන් ගැන වැනි ඕනෑම මාතෘකාවක් ගැන කතා කළ හැකි විය. තමන් ඉංග්‍රීසි ජාතිකයෙක් මෙන් ඒ බස හසුරන බව ඉංග්‍රීසින් ම කියනු ඔහුට නිතර ඇසී තිබිණි.
දුම්රිය මැදිරියේ තමන්ට ගමන් කරන්නට සිදුවන්නේ තනිව දැයි ශ්‍රීමත් මෝහන් කල්පනා කළේ ය. එය යුධ හමුදා කඳවුරක් සහිත පෙදෙසක් බැවින් ඇතැම්විට හමුදා නිලධාරීන් දුම්රියෙන් ගමන් කරන්නට ඉඩ ඇත. එවැන්නන් සමඟ ඇතිවිය හැකි සිත්ගන්නාසුළු කතාබහ සිහිවී ඔහුගේ සිත උණුසුම් බවින් පිරුණි. වෙනත් බොහෝ ඉන්දියානුවන් මෙන් ඉංග්‍රීසි ජාතිකයන් සමඟ කතාකිරීමට ඔහු කිසිවිටෙක උනන්දුවක් පෙන්වූයේ නැත. එමෙන්ම ඔහු අනෙත් ඉන්දියානුවන් මෙන් මහා හඬින් කතාකරන, තම මතයේම එල්බගත් කලහකාරී අයෙකු නොවීය. ඔහු හැඟීම් විරහිත ලෙස තමන්ගේ වැඩක් බලාගෙන සිටීම පුරුදු කර තිබුණි. දුම්රිය මැදිරිය තුළ කවුළුව අසල තමන් සිටින කෙළවරේ සිට ටයිම්ස් පුවත්පත පිටතට ගෙන කියවීම ඔහුගේ පුරුද්ද විය. ඔහු සඟරාවේ නම පෙනෙන පරිදි නවා එහි හරස්පද ප්‍රහෙලිකාව විසඳයි. සාමාන්‍යයෙන් ටයිම්ස් සඟරාව නොවැරදීම ඉංග්‍රීසි ජාතිකයන්ගේ අවධානය ඇද ගැනීමට සමත් විය. ඔහු තම කාර්යය අවසන් බව හඟවා සඟරාව පසෙකින් තැබූ විට කවුරුන් හෝ ඒකාන්තයෙන්ම එය කියවන්නට ඉල්ලනු ඇත. සාමාන්‍යයෙන් මෙලෙස සංචාරය කරද්දී ඔහු නොවරදවා පළඳින බැලිඅල් ටයි පටිය නම් බොහෝ විට යම් කෙනෙකු හඳුනා ගැනීමට ඉඩ ඇත. මේ මඟින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, එහි කථිකාචාර්යවරු, එහි බෝට්ටු තරඟ, රගර් තරඟ ආදී දේ ගැන විශාල වපසරියක කතාබහ ඇතිවීමට ඉඩ තිබේ. ටයිම්ස් සඟරාවත්, ටයි පටියත් අසාර්ථක වුවහොත් ශ්‍රීමත් මෝහන් ‘කොයි හායි’ කියා අඬ ගසා සේවකයාව ගෙන්වාගෙන තම ස්කොච් පානය පිටතට ගනී. ඉංග්‍රීසි ජාතිකයන් ව නම්මා ගැනීමට විස්කි නම් කිසි විටෙකවත් අසාර්ථක වූයේ නැත. ඉනික්බිති ශ්‍රීමත් මොහාන්ගේ එංගලන්තයේ දුම්වැටි පිරුණු අලංකාර රත්‍රන් දුම්වැටි ඇසුරුම කල එළි බසී.
‘ඉන්දියාවේදී එංගලන්තයේ සිගරට්? මේවා ගෙන්වා ගත්තේ කොහොමද? හැබෑටම එකක් ගත්තාට කමක් නැද්ද?’
කිසිම ගැටළුවක් නැහැ, පාවිච්චි කරන්න යැයි කියවෙන ශ්‍රීමත් මෝහන් ගේ සන්සුන් මඳහස එවිට ඔවුන්ට දකින්නට ලැබෙනු ඇත.
කෙසේ වෙතත් මේ ඉංග්‍රීසි ජාතිකයින් ඔස්සේ තමන් ප්‍රිය කරන ආදරණීය එංගලන්තය සිහි කැඳවා ගැනීම කළ හැකිද? එංගලන්තයේදී පස් වසරක් තිස්සේ හුරු පුරුදු වූ අළු පැහැති ගමන් මලු සහ කබායන්, කාන්තාවන් සමඟ යුගල කණ්ඩායම් සැදී කළ ක්‍රීඩා, අවන්හල් වල ගත් රාත්‍රී ආහාර, පිකැඩිලි හි වෛශ්‍යාවන් ආදිය ඔහුට සිහි විය. ඒ පස් වසරක කලබල සුන්දර ජීවිතය! එය හතලිස් පස් වසරක් තිස්සේ ඉන්දියාවේ කිළුටු, ග්‍රාම්‍ය ඉන්දියානුවන් සමඟ, දියණුවට ඇති මඟ ගැන කියවෙන අධම කතා අසමින් ගෙවුණු කාලයටත්, ළූනු ගඳ සහ දහදිය ගඳ හමන තරබාරු ලක්ෂ්මි සමඟ කෙටි ලිංගික කටයුතු සඳහා උඩුමහල ට යනෙන රාත්‍රීන් වලින් යුතු කාලයටත් වඩා බෙහෙවින් වටිනාකමින් වැඩි විය.
ශ්‍රීමත් මොහාන්ගේ මේ සිතිවිලි ප්‍රවාහය බිඳ වැටුණේ සාහිබ්ගේ ගමන් මලු දුම්රියේ එන්ජිමට යාබද පළමු පන්තියේ මැදිරියට පැටවූ බව සේවකයා දැනුම් දුන් විටයි. ඔහු මවාගත් කල්පනාකාරී ගමනකින් තම මැදිරිය වෙත ඇවිද ගියේය. එහෙත් මැදිරිය හිස් ව පැවතුණු බව දැක ඔහුට පුදුමයක් සහ කනස්සල්ලක් දැනුණි. සුසුමක් හෙලූ ඔහු මැදිරියේ කෙළවරක අසුන් ගත්තේ මින් පෙර කීප වතාවක් කියවා තිබුණු ටයිම්ස් සඟරාව දිග හැර ගනිමිනි.
ශ්‍රීමත් මෝහන් කවුළුවෙන් පිටත දුම්රිය වේදිකාව වෙත නෙත් යොමු කළ විට ඉඩ ඇති දුම්රිය මැදිරියක් සොයමින්, හැම මැදිරියකටම එබිකම් කරමින් වේදිකාව ඔස්සේ පැමිණෙන ඉංග්‍රීසි සොල්දාදුවන් දෙදෙනෙක් දැක ඔහුගේ මුහුණ සතුටින් ආලෝකවත් විය. පිටේ එල්ලාගත් ගමන් මලු වලින් යුතු ඔවුන් ගමන් කළේ තරමක් වැනෙමිනි. ඔවුන් ගමන් කළ යුත්තේ දෙවෙනි පන්තියේ මැදිරිවල වූවත් ඔවුන් ව තම පළමු පන්තියේ මැදිරියට පිළිගැනීමට ශ්‍රීමත් මෝහන් තීරණය කළේය. ඔහුට ඒ ගැන ගාඩ්වරයාට කතා කළ හැක.
ඉදිරියේම වූ දුම්රිය මැදිරිය වෙත පැමිණි එක් සොල්දාදුවෙක් එහි කවුළුවෙන් එබිකම් කළේය. හිස් ව තිබුණු අසුන ඔහුගේ ඇස ගැටිණි.
“ඒයි බිල්!” ඔහු කෑ ගැසුවේය. “මෙතැන එකක් තියෙනවා.”
ඔහුගේ සගයා ඒ වෙත පැමිණ මැදිරිය තුළට එබී බලා ශ්‍රීමත් මෝහන් දෙස බැලුවේය.
“ඔය කල්ලා ව එළවලා දාපන්,” ඔහු පහත් හඬින් තම මිතුරාට කීවේය.
මැදිරියේ දොර විවර කළ ඔවුහු අඩක් සිනාමුසුව-අඩක් විරෝධය පාන ලීලාවෙන් සිටි ශ්‍රීමත් මෝහන් වෙත හැරුණෝය.
“මේ මැදිරිය වෙන් කරලා තියෙන්නේ!” බිල් කෑ ගැසුවේය.
“රිසර්ව්ඩ්. ආමි- ෆවුජ්” ජිම් කෑ ගැසුවේ තම කාකි කමිසය පෙන්වමිනි. “ එක් ඩුම් ජාඕ – ගෙට් අවුට්!”
“මේ අහන්න, මේ අහන්න, සත්තකින්ම,” ශ්‍රීමත් මෝහන් තම ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි උච්චාරණයෙන් විරෝධය පාන්නට විය. මෙය අසා සොල්දාදුවෝ මඳක් නැවතුනහ. මේ මිනිසා කී දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට හැඟිණි. නමුත් බීමත්ව සිටි ඔවුන්ට තමන්ට ඇසෙන දේ ගැන විශ්වාසයක් තිබුණේ නැත. දුම්රිය එන්ජිම දෙසින් විසිල් හඬක් ඇසුණු අතර ගාඩ්වරයා තම කොළ පැහැති කොඩිය වනනු පෙනුණි.
සොල්දාදුවෝ ශ්‍රීමත් මෝහන් ගේ ගමන් මල්ල ගෙන එය දුම්රිය වේදිකාවට වීසි කළහ. ඉනික්බිති ඔහුගේ තර්මස් ෆ්ලාස්කුවත්, බ්‍රීෆ්කේසයත්, නිදි මැදිරියේ පාවිච්චියට ගෙන ආ පොරෝනාත්, ටයිම්ස් සඟරාවත් මීට එක් විය. ශ්‍රීමත් මෝහන් කේන්තියෙන් පුපුරමින් සිටියේය.
“මේ මොන විකාරයක්ද, මොන අපරාධයක්ද!” ඔහු කෑ ගසද්දී ඔහුගේ කටහඬ කේන්තිය නිසා බැරෑඬි වී තිබිණි. “මම උඹලාව අත් අඩංගුවට ගන්න කියනවා- ගාඩ්, ගාඩ්!”
බිල් සහ ජිම් මෙය අසා යළි වරක් මඳක් නැවතුනහ. ඔවුන්ට ඒ ඇසුන දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට දැනුණ ද එහි ඇසුණු රජුගේ ඉංග්‍රීසි වල තානය වටහා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
“කට වහගනින්!” ජිම්, ශ්‍රීමත් මෝහන් ට වැරෙන් අතුල් පහරක් එල්ල කළේ ය.
එන්ජිම දෙසින් යළිත් කෙටි විසිල් හඬක් ඇසුණු අතර දුම්රිය සෙමෙන් ගමනාරම්භ කළේ ය. සොල්දාදුවෝ ශ්‍රීමත් මොහාන්ගේ බාහුවලින් අල්ලා ඔහුව දුම්රියෙන් පිටතට තල්ලු කළහ. ඇද වැටෙද්දී පසුපසට විසි වූ ඔහු තම පොරෝනාවේ පටලැවී ගමන් මල්ල මතට පතිත විය.
ශ්‍රීමත් මෝහන් ගේ දෙපා පොළොවට ඇලවී ඇති බවක් ඔහුට දැනුණි. ඔහුගේ මුව ගොලුවී තිබිණි. තමා පසුකර වේගයෙන් ඇදෙන දුම්රියේ ආලෝකවත් කවුළු දෙස ඔහු බලා සිටියේය. දුම්රියේ අග කොටසේ රතු එළියක් දැල්වී තිබිණි. ගාඩ්වරයා විවර දොරටුවක් අසල කොඩි අතැතිව සිටගෙන සිටියේය.
තුන්වන පන්තියේ කාන්තා මැදිරියේ උන් තරබාරු, පැහැපත් ලක්ශ්මිගේ දියමන්ති නාස් මුදුව දුම්රියපළේ විදුලි එළි වැදී දිලිසෙමින් තිබිණි. ඇගේ මුවේ බුලත් කෙළ පිරී තිබුණු අතර ඈ කවුළුවෙන් එපිටට කෙළ ගසන්නට බලාසිටියේ දුම්රියපළ පසුවන තුරුයි. වේදිකාවේ ආලෝකවත් කොටස පසුකර දුම්රිය වේගයෙන් ඇදී යද්දී ලාල් ආර්යාව හෙලූ රතු පැහැති බුලත් කෙළ පිඬ ඊතලයක් ලෙසින් කවුළුවෙන් පිටතට ඇදී යනු පෙනුණි .
Translation of the short story ‘Karma’ by Kushwant Singh (1989)
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


