මීදෙනිය වලව්වේ අත්තම්මාට 99යි

ජුනි 9 වැනිදාට යෙදුණු අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 99 වැනි උපන් දිනය වෙනුවෙනි.
ඇය දැන් ජීවිතය දෙස බලන්නේ උපේක්ෂා සහගතවය. හිරු බැස යන හෝරාවේ ඇය තම නිවසේ ආලින්දයේ අසුන් ගෙන අවට පරිසරයෙන් නැඟන කුරුළු කූජනයට සවන් යොමා සිටිනවා. පෙර මෙන් කඩිසරව වැඩකටයුතුවල නිරත විය නොහැකි වුවද ඇයගේ ජීවන චාරිකාව අතිශය සුන්දරයි.
හුදෙකලාවේ සිතිවිලි අතර කිමිදෙන සෑම මොහොතකම ඇගේ සිතිවිලි ස්පර්ශ කරන්නේ සුන්දර ළමා වියයි. රුවන්වැල්ලේ මූදුගමුව ගම්මානයේ මීදෙනිය වලව්වේ ගෙවුණු ළමා විය, මාවවුලන්ගේ, කොරවක්කන්ගේ තොරතෝංචියක් නැති කෑගැසීම්, ගැමි ගෙදරක අත්තම්මා කෙනෙකු බණ පොතක පිටුවක් කියවන හඬ, ගුරුගොඩ ඔයේ පාරු පදින්නන්ගේ පාරු කවි ඇගේ මතකයට නැගෙනවා. ඒ සියල්ල සිහිනෙන් ගෑ සුවඳක් යැයි ඇයට හිතෙනවා. මේ වන විට ඇය 98 හැවිරිදි අත්තම්මා කෙනෙක්. තම ජීවිතය තමාටම පහනක් කොට නොගත් ඇය තමා උපන් දේශයේ ජනතාව වෙතද ඒ ආලෝකය රැගෙන ගියා. යන්තම් සය හැවිරිදි දැරියක ලෙස කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ පාසල් වේදිකාවට පිවිසි ඇය දසක ගණනක් පුරා මෙරට රසිකයන් තම රංගනයෙන් පිනවුවා.
ඇය රේඛාවේ කතිරිනා. බක්මහ දීගේ ලමාතැනී. යශෝරාවයේ සුදු හාමිනේ. දූදරුවෝහි ඩල්සි ආච්චි. මේ සියලු චරිත එකම රූපකායක කැටි වූ බහු විධ චරිත. ඇය අයිරාංගනී රොක්සානා මීදෙනිය. විවාහයෙන් පසු සේරසිංහ බවට පත් ඇය සිංහල හා ඉංග්‍රීසි වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍යය තුනම ජයගත් තවමත් රංගනයේ යෙදෙන අප අතර සිටින වයොවෘද්ධම එමෙන්ම දක්ෂතම චරිතාංග නිළියයි. විශ්වවිද්‍යාල උපාධියක් අතැතිව සිනමාවට පිවිසි ප්‍රථම නිළියයි.



අයිරාංගනී සේරසිංහ වෘත්තාන්ත සිනමා රංගනයට පිවිසියේ ලෙස්ටර් ජේම්ස් පීර්ස්ගේ රේඛාව චිත්‍රපටයෙන්. 1950 හා හා පුරා කියා චිත්‍රපටයට සම්බන්ධ වන විට ඇගේ වයස අවුරුදු 23යි. 1927ජුනි 9 දින රුවන්වැල්ලට ආසන්න මූදුගොමුව ගම්මානයේ මීදෙනිය වලව්වේ උපත ලද අයිරාංගනී මීදෙනිය, කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්, බිෂප් විද්‍යාලයෙන් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ කුඩා දැරියක ලෙස පාසල් වේදිකාවේ ‘වෝටර් බේබීස්‘ නම් නාටකයේ රඟන විට ඇගේ වයස අවුරුදු 6යි. පසුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන අවදියේ පාසල් වේදිකාවට ගෙන ආ බර්නාඞ් ෂෝගේ ‘පිග්මෙලියන්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි. උසස් පෙළ සමත් වූ ඇයට 1947දී විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරම් හිමි වුණා. එහෙත් ඇගේ පියා වූ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ උගත් මීදෙනිය රටේ මහත්තයා තම දියණිය විශ්වවිද්‍යාලයකට යනවාට එතරම් කැමති වුණේ නැහැ. “ඔබ ඒ විෂමතාවෙන් පිරුණු ගුහාවට යනවට මම කැමති නැහැ” ඒ ඇගේ පියාගේ මතය වුණා. ඇගේ ඥාති සොහොයුරකු ඒ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියා. ඔහු රටේ මහත්තයාට අයිරාංගනී විශ්ව විද්‍යාලයට යවන මෙන් කරන ලද ඇවිටිලි නිසා අවසානයේ ඇයට ඒ සඳහා අවසර ලැබුණා. විශ්වවිද්‍යාලයේ පළමු වසර නිම වන විට ඇගේ පියා මෙලොව හැර ගියා.
යොවුන් වියේ පටන් ඇය තුළ සමාජවවාදී අදහස් වැඩෙන්නට වුණා. ඊට බලපෑවේ ඇගේ ඥාතියකු වූ එස්මන්ඞ් වික්‍රමසිංහ (රනිල් වික්‍රමසිංහ ගේ පියා) හා ඇගේ ඥාති සොහොයුරන්ගේ ආභාසයයි.
ලංකා විශ්වවිද්‍යාලය ඇගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට කදිම තෝතැන්නක් වුණා. එහි නිෂ්පාදනය කළ බොහෝ ඉංග්‍රීසි නාට්‍යවලට ඇය රංගනයෙන් දායක වුණා. විශ්වවිද්‍යාල නාට්‍යවල රඟපානවාට පවුලෙන් විරෝධයක් මතු වුණේ නැහැ. එහි නාට්‍ය සංගමය සෑම වසරකම උසස් නාට්‍යයක් රංග ගත කළා. ඒ සෑම නාට්‍යයකම ඇය රංගනයෙන් දායක වුණා. මහාචාර්ය ඊ. එෆ්. සී ලුඩොවයික් යටතේ ඇයගේ දක්ෂතා ඔප් නැංවුණු අතර මෙරට සිටි සුප්‍රකට මුදානාට්‍ය ශිල්පියකු වූ චිත්‍රසේනගෙන් නැටුම් හදාරන්නටද ඇයට හැකි වුණා.
විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අයිරාංගනීගේ විවාහය සිදු වූයේ මහාචාර්යවරයකු සමඟයි. ඔහු මහාචාර්ය එස්. බී. දිසානායක. එහෙත් එම විවාහය පැවතියේ කෙටි කාලයක් පමණයි. විවාහයෙන් නීතියෙන් වෙන් වූ ඇය මහාචාර්ය ලුඩොවයික්ගේ සහයෙන් ලන්ඩනයේ බ්‍රිස්ටල් ඕල්ඞ්වික් නාට්‍ය පාසලට ඇතුළත් වුණා. වසරක කාලයක් එහි අධ්‍යාපනය ලද ඇය තවත් වසර දෙකක් ලන්ඩන් රංග කලා හා කථන පුහුණු ආයතනයේ අධ්‍යාපනය ලැබුවා.
නාට්‍ය කලා අධ්‍යාපනය ලබා යළි මෙරට පැමිණි ඇය යළිත් මහාචාර්ය ලුඩොවයික් හා ඔස්ට්‍රියානු යුදෙවු නාට්‍ය අධ්‍යක්වරයකු වූ නිව්මන් ජුබාල්ගේ වේදිකා නට්‍යවලට දායකත්වය ලබා දුන්නා. එතෙක් කොළඹ වේදිකා ගත කළ නාට්‍ය රඟ දැක්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝජ් රාජ ශාලාවේ. 1953 දෙසැම්බර් 12 දින කොළඹ ලයනල් වෙන්ඞ්ට් රඟහල විවෘත කළ දිනයේ ජුබාල් විසින් නිෂ්පාදනය කළ මැක්සිම් ගොර්කිගේ ‘ලෝවර් ඩෙප්ත්ස්’ නාට්‍ය වේදිකා ගත වුණා. එහි නාස්ට්යාගේ චරිතය රඟපෑවේ අයිරාංගනී සේරසිංහයි. ඉන්පසු ඇය සිංහල වේදිකාවටද පිවිසුනා. හෙන්රි ජයසේනගේ අපට පුතේ මගක් නැතේ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, පෝරිසාදයා වැනි නාට්‍ය ඉන් කිහිපයක්.
අයිරාංගනී එංගලන්තයේ නාට්‍ය කලාව හදාරන සමයේ එරට මාධ්‍්‍යෙව්දියකු ලෙස කටයුතු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුනා ගන්නට ලැබුණා. පසු කලෙක ලෙස්ටර් ලංකාවට පැමිණ රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වුණා. ඇය මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපෑවේ රජයේ චිත්‍රපට අංශය මගින් නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘බී සේෆ් ඕ බී සොරි’ නමැති වාර්තා චිත්‍රපටයේ. එහි ඇය කාන්තා රියැදුරුවරියක ලෙස රඟපෑවා.
ලෙස්ටර් තම ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයට වූ රේඛාව සඳහා ඇයට ඇරියුම් කළේ ඇයගේ රංගන කුසලතාව මැනවින් හඳුනාගත් නිසා. ඒ පිළිබඳව ඇය වරක් මෙලෙස සඳහන් කළා. “මට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ පිළිබඳ සිතනකොට දැනුත් කිසියම් ආස්වාදජනක හැඟීමක් ඇති වෙනවා. සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳු රේඛාවේ රඟපාන්න ලැබීම මහත් භාග්‍යයක්.”
රේඛාවෙන් පසු ඇය ලෙස්ටර්ගේ සන්දේශය, දෙලොවක් අතර, රන්සළු, ගෝඞ් කිං, අවරගිර, වෑකන්ද වලව්ව වැනි චිත්‍රපටවලට දායක වූණා. ගම්පෙරළිය චිත්‍රපටයේ මාතර හාමිනේ ලෙසද ඇය තෝරාගත් නමුදු ඇගේ සිරුරේ හැඩය එම චරිතය සඳහා නොගැලපුනු හෙයින් ලෙස්ටර් ශාන්ති ලේඛා තෝරා ගත් බව වරක් ඇය සඳහන් කර තිබුණා.
ඇය වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට රැසකටද දායක වුණා. දයානන්ද ගුණවර්ධනගේ බක්මහ දීගේ, ටයිටස් තොටවත්තගේ තෙවත, අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා, ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද, එච්. ඩී. ප්‍රේමරත්නගේ දෙවැනි ගමන, වසන්ත ඔබේසේකරගේ දඩයම, චන්ද්‍රන් රත්නම්ගේ ආදර කතාව සහ පොරොන්දුව, සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව, සුනිල් ආරියත්නගේ සුදු සෙවනැලි, රන්ජිත් කුරුප්පුගේ පවන රළුවිය වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වුණා. ඒ අතර ස්ටීවන් ස්පීල්බර්ගේ ඉන්ඩියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම්, දීපා මේතාගේ වෝටර් වැනි ජාත්‍යන්තර චිත්‍රපටද වනවා. 1950 රේඛාවෙන් ඇරඹි ඇයගේ සිනමා දිවියේ මේ වන විට රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 37ක්. 2019 තිරගතවූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයේද ඇය අත්තම්මා ලෙස අපූරු චරිත නිරූපනයක යෙදෙනවා.
ඇයගේ රූපවාහිනි අගමනය සිදු වූයේ පරාක්‍රම නිරිඇල්ලගේ යශෝරාවය ටෙලි නිර්මාණයෙන්. එහිදී සුදු හාමිනේ ලෙස අති ප්‍රබල රංගනයක යෙදෙමින් ඇය දැක්වූ දක්ෂතා සුවිශේෂයි. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වැනි දක්ෂ චරිතාංග නළුවකු සමග ජීවිතයේ දුක් ගැහැට විඳින මවකගේ චරිතය ඇය අපූරුවට නිර්මාණය කළා. එතැන් සිට ඇය පුංචි තිරයේ නොමැකෙන සු`ඵ චරිතයක් බවට පත් වුණා. යශෝරාවයෙන් පසු ඇයගේ රංගන කුසලතා ප්‍රේක්ෂකයන් අතරට ආවේ නාලන් මෙන්ඩිස්ගේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ ඩල්සි ආච්චිගේ චරිතයෙන්. බර්ට්‍රම් නිහාල්ගේ ගම් පෙරළිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත්පුර වැසියෝ, මුතු කිරිල්ලී, අමන්දා, සහ තාත්තා යන ටෙලි නාට්‍ය රැසකට ඇය දායක වුණා.


අයිරාංගනී සේරසිංහ මියුසියස් විද්‍යාලයේ ඉංග්‍රීසි සහ ඉතිහාසය පිළිබඳ ගුරුවරියක ලෙසත්, ටයිම්ස් පුවත්පතේ හා ගුවන්විදුලියේ මාධ්‍යවේදිනියක ලෙසත් සේවය කළා. පසුව සංචාරක කර්මාන්තයට එක් වූ ඇය මැක්වුඞ්ස් ආයතනයේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස ද කටයුතු කළා. 1960 දී මෙරට සිටි දක්ෂ වේදිකා නළුවකු වූ වින්ස්ටන් සේරසිංහ හා විවාහ වූ ඇය පුතුන් දෙදෙනකුගේ මවක්. ඔවුන් දෙදෙනා ලෙස්ටර්ගේ රේඛාව චිත්‍රපටයෝ රඟ පෑවා. අයිරාංගනීගේ එක් පුත්‍රයකු අකාලයේ මිය යෑම ඇගේ ජීවිතයට විශාල වේදනාවක් ගෙන දුන් කරුණක් වුණා.
පරිසරයට බෙහෙවින් ආදරය කරන ඇය පරිසරය රැකගැනීමේ අරමුණින් ‘රුක් රැකගන්නෝ’ නමින් සංවිධානයක් 1975 දී ආරම්භ කළා. ස්වේච්ඡා සේවයක් වූ එය ගස්වැල් රැකගැනීම පිළිබඳව බිම් මට්ටමින් ජනතාව දැනුම්වත් කරන සංවිධානයක්.
ඇය තවමත් ගමේ නිසංසල පරිසරයට කැමතියි. තම මෝටර් රථය පැදවිය හැකි සමයේ මද විවේකයක් සොයා ඇය බෙලිහුල්ඔය පඹහින්නේ පිහිටි නිවහනට ගොස් වෙහෙස නිවාගන්නට කැමැත්තක් දැක්වූවා. එහි ඇති විසල් රුක් ගොමු අතර හුදෙකලාවේ සිටින්නට ඇය කැමති වූවා. එහෙත් ඇයට දැන් තනිව එහි යා නොහැකියි. නගරයේ ඝෝෂාවෙන් මිදී සිත නිවන තැනක රැඳෙන්න ඇය තවමත් කැමතියි.
කලා කීර්ති සහ 2017 ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මානයෙන් පුදලද මේ ගෞරවාන්විත මාතාව රිදී තිරයේ හා රූපවාහිනියේ අම්මා. අත්තම්මා. වසර 70කට ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රයේ නිරත වන ඇය මෙරට නිළි පරපුරටම ආදර්ශයක් ගෙන දුන් කාන්තාවක්.
ඇය මගේ බිරිඳගේ මව වන ලීලාවතී මැණික් ඔබේසේකරගේ ඥාති සොහොයුරියයි.
ඔබට දීර්ඝායු පතමි
ප්‍රින්ජන් සුරේෂ් ද සිල්වා
**********************************************************
ලංකා කතෝලික සභාවේ රැඩිකල් පියතුමා

ජුනි 16 දිනට යෙදෙන ගරු අර්නස්ට් පෝරුතොට පියනමගේ සය වැනි ගුණසමරුව වෙනුවෙනි
මේ වන විට ලෝක කතෝලික සභාව වසර 2000කට වඩා පැරණියි. මෙරට කතෝලික සභාව පිහිටුවා වසර 500කට අධික කාලයක්ද ගතවී තිබේ. එදා මෙදා තුර මෙරට කතෝලික සභාවේ රැඩිකල් මතධාරි පියවරුන් සිටියා නම් ඒ අතලොස්සක් පමණයි. එම පිරිස අතර එතුමන්ටද ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා.
එතෙක් බටහිර ආභාසයට නතුව තිබූ අපේ දෙව්මැදුරට සිංහල සංස්කෘතිය එකතු කරන්නට පෙරමුණ ගත් පියවරුන් අතර අර්නස්ට් පෝරුතොට ගරු පියතුමාද ඉදිරියෙන්ම සිටියා. මෙරට අන්තර් සාමයික සංහිඳියාව උදෙසා මෙන්ම කතෝලික සභාවට, කිතුණු ප්‍රජාවට හා සිංහල සිනමාවට අනුපමේය මෙහෙවරක් කළ උන්වහන්සේ 2020 ජුනි 16 දින දෙවිඳුන් හා එක්වුණා. තම පූජක දිවියේ 63 වසරක් ගෙවා තිබූ උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 88 වැනි වියේ පසුවුණා.
එතුමා පෝරුතොටගේ රේමන්ඞ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ලෙස 1931 අගෝස්තු 31 දින මාරවිලදී උපත ලැැබුවා. එතුමාගේ පියා වෘත්තියෙන් ගුරුවරයකු වූ පෝරුතොටගේ ජෝකීනු ප්‍රනාන්දු වූ අතර මව මේරි මාග්‍රට් පීරිස්. එතුමා සහෝදරියන් තිදෙනකුගේ හා එක් සොහොයුරෙකුගෙන් යුතු පවුලක වැඩිමල් පුත්‍රයා වුණා. මාරවිල රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලද කුඩා අර්නස්ට් පසුව මාරවිල ෆ්‍රැන්සිස් ෂේවියර් ඉංග්‍රීසි පාසලට ඇතුළත් වුණා. එතුමන් පූජකවරයකු වීම සඳහා කොළඹ ශාන්ත ඇලෝෂියස් කුඩා දෙව්සත්හලට ඇතුළත් වූයේ 1944 වසරේ. ඉන්පසු ශාන්ත බර්නාදු දෙව්සත්හලෙන් හා පසුව අම්පිටිය දෙව්සත්හලෙන් අධ්‍යාපනය ලබා 1957 පූජකවරයට පත් වුණා. එතැන් සිට එතුමා අර්නස්ට් පෝරුතොට ගරු පියතුමා බවට පත් වුණා.
එතුමා මීසම් රැසක තෝලිකයන් උදෙසා සේවය කර තිබෙනවා. කොටහේන, දෙහියගාත, කැලණිය, මොරටුව, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත, හා කිරිමැටියාගාර වැනි මීසම්වල කිතුණු ප්‍රජාව එතුමන්ගේ ආගමික සේවාව සැමදින අගයනවා. වෙනත් පූජකවරු මීසම් පාලක යන නමින් හැඳින්වුවද එතුමා භාවිත කළේ මීසම් සේවක යන වදනයි.
කතෝලික දෙව්මැඳුරට පළමුවරට ගොක්කොළය, මඟුල්බෙරය, ජයමංගල ගාථා හඳුන්වා දුන්නේ, එතුමන්ය. ඒ 1967 වසරේ එවක එතුමන් සේවය කළ මීගමුවේ බෝලවලාන දේවස්ථානයේ පැවැති විවාහ මංගල උත්සවයකදීය. ඇතැම් පූජකවරුන් එයට දැඩි විරෝධයක් පෑවද පෝරුතොට පියතුමා එම විරෝධතා ගණනකට ගත්තේ නැහැ. එවක සිටි ෆීලික්ස් මිචෙල් නමැති ප්‍රංශ පූජකතුමන් පෝරුතොට පියනමගේ නව සංකල්පය අගය කරමින් එයට අවසර ලබා දුන්නා.
එමෙන්ම වෙසක් දිනයට පල්ලියේ වෙසක් කූඩු දැල්වූයේද එතුමන්ය. දේශීය කලාවට මහඟු සේවයක් කළ මාපලගම විපුලසාර හිමියන් පෝරුතොට පියතුමන්ගේ සමීප මිතුරකු වුණා. දෙව්මැඳුරු බිතුසිතුවම් කලාවට, නත්තල් සුබපැතුම්පත්වලට දේශීය මුහුණුවරක් එක් කරන්නට පෝරුතොට පියතුමාට සහය වූයේ විපුලසාර හිමියන්.


සිනමාව සමඟ එතුමාගේ ආත්මීය බැඳීමක් තිබුණා. එතුමන් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට සිනමා විචාර රැසක් ලිව්වා. සිනමාව පිළිබඳ ජාත්‍යන්තර කතෝලික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව (OCIC සංවිධානය) පිහිටුවීමට මුල් වූයේ එතුමන් විසින්. 1972 සිට 1982 දක්වා එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පෝරුතොට පියතුමා කතෝලික සිනමා උත්තමාචාර උළෙල පවත්වමින් දේශීය සිනමාවට මහඟු සේවයක් සිදු කළා. එවක කොළඹ ඇක්වයිනාස් ආයතනයේ දින කිහිපයක් පුරා පැවැත්වුණු චිත්‍රපට සම්මන්ත්‍රණ මගින් ඉදිරියේ තිරගතවීමට නියමිත චිත්‍රපට හඳුන්වා දුන් එතුමා නවක කෙටි චිත්‍රපටකරුවන්ගේ නිර්මාණද එම සම්මන්ත්‍රණවලදී ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දුන්නා. එවක කොළඹ කොටුවේ 6 වැනි පාවුළු මධ්‍යස්ථානයේ ඔසීඅයිසී සිනමාකරණ හා රූපවාහිනී පාඨමාලාව ආරම්භ කරන ලද්දේද එතුමන් විසින්. වර්තමානයේ දක්ෂ සිනමා හා රූපවාහිනී නිර්මාණකරුවන් රැසකට මඟ පෙන්වූයේ එම පාඨමාලාවයි. 1974 සිට මා ද 6 වැනි පාවුලු මධ්‍යස්ථානයේ චිත්‍රපට නැරඹූ නිත්‍ය සාමාජිකයකු බවට පත්ව සිටියා.
එතුමා සාහිත්‍ය සේවයට යොමු වුණේ 13 හැවිරිදි වියේදී. පූජකවරයකු වන්නට සාන්ත ඇලෝෂියස් කුඩා දෙව්සත්හලේ අධ්‍යාපනය ලබමින් සිටි සමයේ එතුමා ‘දූතයා‘ නමින් සඟරාවක් ආරම්භ කළා. එතැන් සිට ඥානාර්ථ ප්‍රදීපයේ ළමා පිටුවට, බෝලවලාන ගුරු විදුහලේ ‘ළමා ලෝකය’ සඟරාවට, හා භක්ති ප්‍රබෝධනය සඟරාවට නිර්මාණ සැපයූ එතුමා පසුව ශාන්ත බර්නාදු දෙව්සත්හලේ සිටියදී ලංකාලෝකය සඟරාව සංස්කරණය කළා. ‘ගිහියා’ ‘කිතුණු පෙරළිය, ‘චිත්‍රපට ගැන’, ’චිත්‍රපට වාර්ෂිකය’ කෘති පෙළ, සිනමාවේ හා මාධ්‍යයේ අපේකම (සුසන්ත තිසේරා සමග) එතුමන් අතින් ලියැවුණු කෘති අතරින් කිහිපයක්.
කෝට්ටේ සාන්ත තෝමස් දෙව්මැඳුරේ සේවය කරන සමයේ සිදුවූ අනතුරකින් එතුමාගේ එක් ඇසකට හානිවුණා. එහෙත් කියවීමේ සහ ලිවීමේ පුරුද්ද එතුමන් වෙතින් කිසි දිනෙක ගිලිහී ගියේ නැහැ.

මෙරට පූජකවරුන් සිය දිවියේ 75 වැනි විය පසුකළ විට විශ්‍රාම ගත යුතුයි. පෝරුතෛාට පියතුමන්ද 2011 මැයි 07 දින සිට ගතකළේ විශ්‍රාමික දිවියක්. ලුනාව ශාන්ත පේදුරු පාවුළු දෙව්මැඳුරේ විශ්‍රාම සුවයෙන් ගතකළ එතුමා දැක ගැනීමට එතුමන් සමීපව ඇසුරු කළ අප හිතවත් රූපස් ෆ්‍රැන්සිස් සොහොයුරා සමඟ අවස්ථා කිහිපයකදීම මා එහි ගොස් තිබෙනවා. එහි ගිය සෑම අවස්ථාවකම එතුමන් පැවසුවේ තම පැවිදි දිවිය පිළිබඳව බෙහෙවින් තෘප්තිමත් බවයි. ඇතැම් පූජකවරුන් තම මීසම්වාසීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔවුන් වෙනුවෙන් හැකි සැම විටම සේවය කළ යුතු බවද එතුමන්ගේ මතය වුණා. එසේ නොවන්නේ නම් ජනතාව සභාව කෙරෙහි කලකිරීමට පත්විය හැකි බවද එතුමා පෙන්වා දුන්නා. එමෙන්ම අපේ කිතුණුවන්ගේ කාර්යභාරය වනුයේ අනුනට සේවය කිරීම හා ප්‍රේම කිරීම බවද උන්වහන්සේ අපට පැවසුවා. කිතුණු සභාවේ ඇතැම් වාරණයනට එරෙහි වන්නට එතුමාට ධෛර්යයක් තිබුණා. රැඩිකල් මතධාරි පියතුමකු ලෙස එතුමා ප්‍රකට වූයේ එනිසයි. අද අප අතර නොමැති වුවද එතුමන්ගේ ගුණ සුවඳ තවත් බොහෝ කාලයක් ගතවන තෙක් අප අතර නොනැසී පවතීවි.
සටහන හා ඡායාරූප
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගත්තේ ප්‍රින්ජන් සුරේෂ් ද සිල්වා මහතාගේ මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/priyanjan.suresh.2025


