සුනන්ද ,’චෙකෝෆ් සන්ධ්‍යාව’ සහ මම


පාසල් වියේ පටන් පැවති අපගේ සප්ත මිත්‍ර සංසදයේ සාමාජිකයන් අතරින් තවමත් භුවංගතව සිටින්නේ අප තිදෙනෙකු පමණි. ඒ වූකලී අපගේ ජ්‍යේෂ්ඨයා වූ මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයෝ , දයාරත්න රණතුංගයෝ සහ මේ ලේඛක අස්මත්හුය. අශෝක කොළඹගේ , අජන්තා රණසිංහ , බණ්ඩාර විජයතුංග , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යන සෙසු සතර මිතුරෝ දිවංගතයහ.
මගේ රූපකාය මවුපිය මැවුමක් වුවද මගේ ගුණකාය සාමූහික මැවුමකි. එහෙයින් මා තුළ වෙසෙන ‘මම’ කිසි සේත් ඒක සත්වයෙක් නොවන්නේය. සාමූහික සත්වයෙක්ම වන්නේය. මගේ ඒ ‘මම’ නමැති සාමූහික සත්වයා මැවීමට මූලාධාර වූ අනන්ත අප්‍රමාණ භාවමය හා බුද්ධිමය පෝෂණාංග සම්භාරය තුළ විශාල උරුමයක් මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන් සන්තක බව මා මෙහි ලා ප්‍රකාශ කර සිටින්නේ අත්‍යන්ත කෘතවේදී චිත්තයෙනි.
පස් වන දසකයේ මුල හරියේ පමණ එක්තරා දවසක ලංකා ගුවන් විදුලි මධ්‍යස්ථානය දොරකඩදී නමෝවිත්තියෙන් හමුවුණු සුනන්ද මහේන්ද්‍රයන් සමග මිත්‍ර සන්ථවයක් ඇතිකර ගැනීමෙන් පසු සතියකට වරක් දෙවරක් ඔහු මුණගැසීමට ගෙදරට යාම මම වතක් කර ගතිමි . ඒ ගමන්වලදී නිතර මා කැටුව එහි ගිය මගේ පාසල් මිතුරෙක්ද විය. ඔහු ගිල්බට් ද කෝස්තාය. සුනන්දයෝ ගිල්බට්හුගේ සාතිශය ප්‍රියයෙකි. මට පෙරාතුව සිටම ඔහු හා සුනන්දයන් අතර පයුරුපාසනය සිදුව ඇති හෙයිනි. ගිල්බට්හු සුනන්දයන්ගේ පුවත්පත් ලිපි හා ගුවන්විදුලි ළමා වැඩසටහන් නිතර කියවා හා අසා ඔහු කෙරෙහි මහත් වූ බැති පෙම් උපදවාගෙන සිටියෙකි. එකල මා ගිල්බට්හු සමග සුනන්දයන් හමුවීමට ඔහුගේ ගෙදර ගිය අවස්ථාවලදී ඔහු අප සමග සතුටු සාමීචියේ යෙදුණේ ගෙතුළ නොවේ. ගරාජය තුළය. ඔහුගේ පොත්ගුල හා ලියන කාමරය කරගෙන තිබුණේ ගරාජය හෙයිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන්ම සුනන්දයෝ කිතු ගොස පතළ ලේඛකයෙකි. ගුවන්විදුලි ළමාපිටියේ ශිල්පියෙකි.
එකල සතියේ දවස් හතේම සවස පහේ සිට හය දක්වා නම් හතකින් යුතුව ළමා පිටි හතක් ප්‍රචාරය විය. ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර තුඩ තුඩ නම රැන්දූ ප්‍රශස්ත ගුවන්විදුලි නිෂ්පාදක කෝවිදයන් හත් දෙනෙකුගේ නිෂ්පාදකත්වයෙනි. එකල සුනන්ද මහේන්ද්‍රයෝ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ‘සරස්වතී මණ්ඩපය’ නමින් දන්නා ළමාපිටිය එකලු කළ අග්‍රේසර නව යොවුන් ගුවන්විදුලි ශිල්පියා වූහ. එකල පැවති ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල මෙන්ම විවිධ සඟරාවලද ඔහුගේ ලිපි , පරිවර්තන , කවි හා කෙටිකතා නිරන්තරයෙන් පළ වුණි.
පාසල් සමයට මගේ සිත දිවෙයි. නාවල පාර එදා ගල් තාර දැමූ පටු පාරකි. නුගේගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාව පිහිටියේ නාවල පාරට යාබදවය. එය ඉදිරියෙන් වූ පටු හරස් පාර ‘ඇල්බට් පෙරේරා මාවත’ නම් විය. සුනන්ද මහේන්ද්‍රයන්ගේ මහගෙදර පිහිටියේ එම මාවතේ පළමු වංගුව ළඟය. එකල ඇතැම් සවස් යාමයක අජන්තා රණසිංහයන් , ආනන්ද කේ. විජයතුංගයන් (පසුව බණ්ඩාර විජයතුංග) සහ මා සුනන්දයන්ගේ ප්‍රිය සමාගමය පතා ඔහුගේ ගෙදරට යන්නේ එම පාර අයින දිගට වවා තිබුණු ඇට්ටේරියා පඳුරුවලින් විහිදෙන , සිත මත් කරන ඉමිහිරි මල් සුවඳ ආසාවෙන් විඳිමිනි.
ඒ හය වන දසකයයි. සම්භක්ත සාහිත්‍ය ලෝලීන් හා මාධ්‍ය ලෝලීන් වශයෙන් අප භද්‍ර යෞවනයේ පසුවුණු සුන්දර අවධියයි. එකල අපි එක සේ දිවාචරයන් මෙන්ම නිශාචරයෝද වීමු. මගේ දිවාචර දිවියේත් නිශාචර දිවියේත් කුලුපග සගයන් අතර සුනන්ද මහේන්ද්‍රයෝ අග තැන් ගත්හ. නර කෙස් පහළව ගිය මෙකල ජීවිතයේ දසක දසකයේ අට වන දසකය හෙවත් ‘පවංක’ (වක ගැහෙන) දසකය ගෙවන අප දෙදෙනාගේ දීර්ඝ සන්මිත්‍ර සන්ථවයෙන් මා සන්තක වුණු අභීෂ්ට ඵල සම්පත වූයේ සාහිත්‍ය නිර්මාණ වින්දන විෂය බද්ධ අප්‍රමාණ ආවේශ කදම්බයයි.
සාහිත්‍ය පරිවර්තන කාර්යෙහිලා මා කෙරෙහි බල පෑ උත්තේජන මූලාශ්‍රය තුනක් විය. ළමා වියේදී රෑ කෑමෙන් පසු මා මේසය ළඟ හිඳුවා ගන්නා මගේ තාත්තා පුංචි චිමිනි ලාම්පුවේ එළියෙන් මට Bright Story Readers පොත් පෙළේ රසාලිප්ත ඉංග්‍රීසි කතන්දර සිංහලට පෙරළා කියා දුන් අවස්ථාව ඉන් පළමු වැන්නයි. තාත්තාගේ ගැඹුරු හඬත් රුවත් කතා පොතේ ඉංග්‍රීසි අකුරු දිගේ දිවූ ඔහුගේ දබරැඟිල්ලත් මේ පවංක දසකයේ පවා මගේ මතකයෙන් මැකී ගොස් නැත.
ලංකා ගුවන්විදුලිය , පස් වන දසකයේ මැද භාගයේ පමණ සිට රාත්‍රී කාලයේ විකාසනය කළ එක්තරා ඥාන පෝෂක ආස්වාද ජනක වැඩසටහනක් විය. . ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ නමින් හැඳින්වුණු එම වැඩසටහන යටතේ ප්‍රචාරය කෙරුණු විශේෂ වැඩසටහනකි ‘යෞවන සමාජය.’ එය වූකලී යෞවනෝදයට එළඹ සිටි ශ්‍රෝතෘ ජනයාගේ නිසර්ග සිද්ධ කුසලතා ලතාව ලියලවන පෝෂක තෝතැන්නක් ලෙස සම්පාදිත වූවකි. එහෙත් එය වෘද්ධ ශ්‍රෝතෘ ජනයාට මෙන්ම ශිෂ්‍ය ශ්‍රෝතෘ ජනයාටද මහාර්ඝ ඥාන නිධානයක් විය.
එකී ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ ආරම්භ වූයේ ලංකා ගුවන්විදුලියේ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් එම්.ජේ.පෙරේරා මහතාණන්ගේ ආරාධනයෙන් බාහිර වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් ගුවන්විදුලියට එක්වුණු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමිත්වයෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් එම වැඩසටහනට උචිත සංඥා වාදනය සම්පාදනය කරන ලද්දේද ඔහු විසිනි. අනතුරුව සරච්චන්ද්‍රයන් ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ යටතේ සඟරා ආකෘතියෙන් ඉදිරිපත් කළ ‘යෞවන සමාජය’ නම් වැඩසටහන නිර්මාණාත්මක නව තරුණ පරම්පරාවකට භාග්‍යෝදයක් වූ ආකාස තක්සලාවක් විය. ප්‍රශස්ත ගුවන්විදුලි නාට්‍යවේදී පී.වැලිකලයෝ සහ කීර්තිමත් ලේඛක ගුණදාස අමරසේකරයෝ එම තක්සලාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය ඵල සම්පත් දෙකකි.
සරච්චන්ද්‍රයන් වේදිකාවෙන් මතු වුණු නාට්‍යවේදියෙකු හැටියට බොහෝ දෙනා සිතා සිටියද ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පළමුව පිවිසුණේ ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු වශයෙනි. ඊට කරළිය වූයේ ඔහු විසින් ගුවන්විදුලි ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ යටතේ ඉදිරිපත් කළ ‘යෞවන සමාජය’ වැඩසටහන මිස අනිකක් නොවේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් එමගින් ප්‍රචාරය කළ ස්වතන්ත්‍ර ගුවන්විදුලි නාට්‍ය මෙන්ම අනුවර්තිත ගුවන්විදුලි නාට්‍යද කරණකොටගෙන පාසල් වියේ සිටි අපගේ වින්දන ශක්තිය තියුණු වීමත් නිර්මාණ පරිකල්පනය පිබිදීමත් එක සේ සිදුවීම කවර අරුමයක්ද ?
පාසල් වියේදීම මා හා හපුරා කියා ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු ලේඛකයන් ගැන අසා දැනගත්තේ මේ ‘යෞවන සමාජය’ ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. එම බටහිර සාහිත්‍යකරුවන්ගේ කෙටිකතා පාදක කරගෙන සරච්චන්ද්‍රයන් එමගින් ඉදිරිපත් කළ ගුවන්විදුලි නාට්‍ය ඇසීමෙනි. සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහිලා මට බලපෑ දෙවන උත්තේජන මූලාශ්‍රය මෙය යැයි කීම කවර වරදද ? සරච්චන්ද්‍රයන් එම ගුවන්විදුලි නාට්‍යවලට වස්තු කරගත් මුල් ඉංග්‍රීසි පරිවර්තන කියවීමේ ආසාව වැඩීම නිසා ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේ උද්‍යෝගයද මා තුළ උත්සන්නව ගියේ ඉබේය. එකල මෙරට වූ එකම ගුවන්විදුලියේ අර්ථවත් ආවේශය , ආභාසය හා ආලෝකය ඒ සා මහාර්ඝය.
බටහිර සාහිත්‍යය පුළුල් ලෙස පරිශීලනයටත් ඒවා සිංහලට පරිවර්තනයටත් මා තුළ උග්‍ර උද්‍යෝගයක් උත්පාදනයෙහිලා මට බල පෑ තුන් වන උත්තේජන මූලාශ්‍රය වූකලී මගේ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක සඛී චන්ද්‍ර සුනන්ද මහේන්ද්‍රයෝය. පස් වන දසකයේ පළමු වරට දැන හැඳින කුලුපග වීමෙන් පසු ඔහු මට පිළිගැන්වූ මංගල සාහිත්‍ය පඬුර වූයේ භාරතීය මහා කවීන්ද්‍ර රබීන්ද්‍රනාථ ඨකූරයන්ගේ The cresent moon (අඩ සඳ) නමැති ක්ෂුද්‍ර ඉංග්‍රීසි භාව කාව්‍යයයි. තම සුපුරුදු සොඳුරු බසින් එහි රසභාව මතු කරමින් සුනන්දයන් එවේලේ මහා කවීන්ද්‍ර ඨකුරයන්ට මා හෘදය මන්දිරයෙහි වාසය සැලසුවේ එම භාව කාව්‍යයෙහි අන්තර්ගත ඇතැම් පද්‍ය රචනා සිංහලට පරිවර්තනය කිරීමට ඉත සිතින් ආරාධනා කරමිනි. එම මංගල ආරාධනයෙහි අභීෂ්ට ඵලප්‍රාප්තිය වූයේ විශිෂ්ට විශ්ව කෙටිකතා පරිවර්තන සංග්‍රහයන් සතරක් , විශ්ව කාව්‍ය සංග්‍රහයක් සහ විශ්ව නාට්‍ය ග්‍රන්ථයක් මා අතින් සිංහල සාහිත්‍යයට දායාද වීමය.
පගතානුගතික විශ්ව කෙටිකතා කලාව උඩු යටිකුරු කරමින් අභිනව කෙටිකතා කලාවක් බිහිකළ විශ්ව කීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්හු මගේ අධ්‍යාත්ම බන්ධුවරයෙකු කළේ සුනන්ද මහේන්ද්‍රයන්ය. ඔහු එය කළේ ඇන්ටන් චෙකෝෆ් ලේඛකයාණන්ගේ කෙටිකතා බහුලව කියවීමට මා නිරන්තරව පොලඹවමිනි. අනතුරුව ඔහු චෙකෝෆ් ලේඛකයාණන් විසින් රචිත නාට්‍ය කෙරෙහි මා තුළ බද්ධ ප්‍රේමයක් ඇති කළේ ඔහුගේ මහා නාට්‍ය පහෙන් එකක් වන Three Sisters නාට්‍යය සිංහලට පරිවර්තනය කිරීමට අප්‍රමාණ ලෙස අනුබල දෙමිනි. ඔහුගේ ඒ අප්‍රමාණ අනුබලය අරභයා මා ඔහුට කෘතවේදිත්වය පළ කළේ එම Three Sisters කෘතිය ‘සොහොයුරියන් තිදෙනා’ නමින් සිංහලට පරිවර්තනය කරමිනි.


එම පරිවර්තනය පළමු වරට මුද්‍රණයෙන් පළ වූයේ 1995 වසරේය. සිරිසුමන ගොඩගේ මහතුන්ගේ ප්‍රකාශනයක් වශයෙනි. ප්‍රකාශකයන්ගේම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු දොරට වැඩුමේ උළෙලේදී පුමුඛ දේශනය කළේ කීර්තිමත් විශ්ව සාහිත්‍ය පරිවර්තක මගේ කළුබෝවිල ගමේ භූමිපුත්‍ර සිරිල් සී පෙරේරා ලේඛකයාණන්ය.එහිදී ‘චෙකෝෆ් සන්ධ්‍යාව’ නමින් විශේෂයෙන් වේදිකාගත කළ නාට්‍යමය ප්‍රසංගයකි. චෙකොෆ් ලේඛකයාණන්ගේ කෙටි නිර්මාණ කීපයකින් සමන්විත එම නාට්‍යමය ප්‍රසංගය සුනන්ද මහේන්ද්‍රයන්ගේම ප්‍රශස්ත නිෂ්පාදනයකි. එකල එය ලංකාව පුරාම නොයෙක් පෙදෙස්වලට ගොස් වේදිකාගත කළ නාට්‍යමය ප්‍රසංගයකි. එහි ප්‍රධාන භූමිකාව , එනම් , මගේ අධ්‍යාත්ම බන්ධුවර ඇන්ටන් චෙකෝෆ් ලේඛකයාණන්ගේ චරිතය නිරූපණය කිරීමේ දුර්ලභ භාග්‍යය මට හිමිවීම මගේ ජීවිතයේ මා ලද අමරණීය අනුභූතියකි. එහිදී චෙකෝෆ් ලේඛකයාණන්ගේ රසිකයන් දෙදෙනාගේ චරිත නිරූපණය කළේ විශිෂ්ට කවියෙකු වන ආරියවංශ රණවීරයන් හා කීර්තිමත් ලේඛක මහාචාර්ය සෝමරත්න බාලසූරියන්ය.
‘චෙකෝෆ් සන්ධ්‍යාව’ වූකලී එකල ටවර්හෝල් පදනමේ උසස් නාට්‍ය පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ගණයා සහභාගී කරගෙන නිෂ්පාදනය කරන ලද ආදර්ශ අභ්‍යාස රංගන ප්‍රසංගයකි. එම පාඨමාලාව පැවැත්වුණේ සුනන්ද මහේන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂකත්වයෙනි. සුනන්දයන්ගේ ආරාධනයෙන් එහි සම්පත් දායකයෙකු වීමට ලැබීම මගේද භාග්‍යයකි. අපේ ඒ ශිෂ්‍යයන් පිරිස අද නාට්‍ය ලෝකයේ කෘතහස්තයන් විලස එකී ‘චෙකෝෆ් සන්ධ්‍යාව’ රංගන ප්‍රසංගය 2026 ජනවාරි 28 වන දාට යෙදෙන සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88 වන ජන්ම දින අනුස්මරණය අරභයා 2026 ජනවාරි 29 වන දා බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී යළි වේදිකාගත කිරීම මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍ර මහාශයන්ට කරන මහාර්ඝ සම්භාවනාවකි !
ඇසු පිරු බව නිසා සිතිවිලි
නිවහල්ය
ගල් මල් දෙකම ඉවසන ගුණ
සුවිසල්ය
දුහුනන් දැනුම් වඩවන රඟ
මනකල්ය
මහලුව නොයන සිත තවමත් කෙළිලොල්ය
සරසවි සරසනා ඇසිදිසි
වෙසරදය
දිය හැර කිරි රසය උරනා
හසරදය
හැසි උවහස් රසය ගලනා
මදුවදය
එබැවින් සුනන්දය යන නම
මනනඳය
කරුණාරත්න අමරසිංහ
https://www.facebook.com/karunarathna.amarasinghe.3


මිතුරු තුමෝ තම ජන උරුමයට බැතී
මගේ මතකය ඈත අතීතයට දිව යයි. මගේ මහගෙදර පිහිටි කළුබෝවිල පන්සල පාර එකල පටු ගුරු පාරකි. එම ගුරු පාරට හැරෙන නුගේගොඩ දෙහිවල මහ පාරද එකල පටු තාර පාරකි. අද පන්සල පාර ඉදිරිපිට මහේශාඛ්‍ය ලීලාවෙන් විරාජමාන වන දකුණු කොළඹ ශික්ෂණ රෝහල එදා එහි නොතිබුණි. ඉස්පිරිතාලය ගොඩනැගුණු විසල් පොල් වත්ත එදා ප්‍රසිද්ධ වූයේ බොතේජු වත්ත නමිනි. එහි තැනින් තැන තැනුණු ටකරන් හා උළු ගෙවල්හිද ගෙවල් පේලිවලද ගම්මු පදිංචි වී සිටියහ. බොතේජු වත්තේ වූ විශාල ගල් වළ ගම්මුන්ගේ විශ්වාසය අනුව අඩි අසූවක් ගැඹුරු වූවකි. අවුරුද්දකට දෙතුන් දෙනෙකු බිලිගත් හෙයින් ඔවුන්ට එය පිහිටි ළඳු පෙදෙස අමනුෂ්‍ය පරිගෘහිත බිය ජනක අඩවියක් විය.
මහ පාරෙන් හැරී සුනන්දාරාම පන්සල පාර දිගේ අපේ මහ ගෙදර දෙසට යන කෙනෙකුට හමුවන පළමු වන වංගුව අසල වම් පස , බෑවුම්ව පිහිටි දිගු වත්තක් විය. දකුණු පස වූයේ පන්සල වට කොට බැඳි දිගු තාප්පයයි. එකල එකී වත්ත කෙළවරේ කුඩා ගෙයක් විය. එහි පදිංචිව සිටි පවුලට අයත් බාල පිරිමි ළමයා කෙට්ටුය. මිටිය. ඔහුට හෙමින් ගමනක් නොවීය. ඔහු නිතරම කඩේ ගියේ කටින් කාරයක් එලවමිනි. බ්‍රෑම්..ම්..ම් ..ම්. ඔහු කරාස් ගා කාරයේ ගියරය දැම්මේත් , පීප් පීප් ගා නළාව හැඬෙව්වේත් කටින්මය. ඔහු දෑතින් ස්ටියරින් වීලය කරකවමින් පීප් පීප් බ්‍රෑම්…ම්…ම්…ම් ගාගෙන වේගයෙන් ගුරු පාර දිගේ කටින් තම කාරය එලවාගෙන ගිය සැටි මේ දැනුත් මට මැවී පෙනේ. ඒ දර්ශනය ඒ අයුරින්ම තවමත් මගේ සිතේ නොමැකී ඇඳී ඇත්තේ මන්දැයි මම නොදනිමි.
එදා ඒ කටින් කාරය එලවාගෙන ගිය කෙට්ටු මිටි පිරිමි ළමයා ඉපිද හැදී වැඩුණේ කළුබෝවිල මගේ ගමේමය. කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේදී හෝඩියේ සිට පස් වන පන්තිය දක්වා මා සමග එකට අකුරු කළ ඔහු මගේ ළෙන්ගතු මිතුරෙක් විය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු හැව්ලොක් ටවුන් සීනියර් විදුහලටත් (පසු කලක මෙය ලුම්බිනි විදුහල නමින් ප්‍රකට වුණි.) මා නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලටත් වෙන්ව ගියද අප දෙදෙනාගේ මිත්‍ර සන්ථවය නොවෙන්වම පැවතුණි.
කුඩා වියේ කටින් කාරය එලවාගෙන ගමන් යෑමට ප්‍රිය කළ ඒ මගේ සකි සඳාණෝ අනිකෙකු නොව අප අතර සිට අකල්හි සදහටම මෙලෝ හළ කීර්තිමත් සංගීතඥ ලයනල් රන්වලයෝය. පාසල් වියේ සිට මිය පරලොව යන තෙක්ම ලයනල් රන්වලයන් සහ මා අතර පැවතුණේ ඉතා කුලුපග මිත්‍ර සන්ථවයකි. කීර්තිමත් සංගීතඥයෙකු , නාට්‍ය කරුවෙකු , නළුවෙකු හා ගායකයෙකු වීමෙහිදී ඔහුගේ ජන්ම උපනිශ්‍රය පොබයා ලීමට තම ජාන උරුමයද ඉඳුරා හේතුකාරක වන්නට ඇතැයි මම කල්පනා කරමි.
ලයනලයන්ගේ පියා රංගන කුසලතා උරුම කරගත්තෙක් වූ සේම , ඔහුගේ මවද ගායන කුසලතා උරුම කරගත්තියක් වූ හෙයිනි. ලයනලයන්ටත් පෙර , ප්‍රතිභා සම්පන්න වේදිකා නළුවෙකු හා චිත්‍රපටි නළුවෙකු ලෙස ජනප්‍රියව සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරු විනී රන්වලයන්ගෙන්ද ඒ බව මනාව සනාථ වෙයි.
මෙවේලේ 06 වන දශකය වෙත ඉගිල යන මගේ මතකය , එකල නාඹර වියේ සහ වැඩිහිටි වියේ හුන් නාට්‍ය , චිත්‍රපටි , ගුවන්විදුලි හා පුවත්පත් කලාකරුවන්ගේ එකම සන්ථාගාරය වූ ප්‍රෙස් ක්ලබ් අවන්හලේ නවතියි. ගෝල්ෆේස් හෝටලේ එක් පසෙක මහ මුහුදට බෑවුම් වූ ඉඩමක පිහිටි එම සොඳුරු අවන්හල තුළ එක් නිශා භාගයක ගිගුම් දුන්නේ සුගතපාල සිල්වාණන්ගේ ‘අපේකට්ටිය’
පැවැත්වූ මධුර මධුසාදයක උන්මාද රාවප්‍රතිරාවයයි. ඒ රම්‍ය රාත්‍රියේ මධු මද මුදිතව සඳ අඹරට යවමින් අප නැටු ගැයූ එම මධුසාදයේදී විනී රන්වලයන් රඟපාමින් ගැයූ නාඩගම් ගී රාවය දැනුදු මගේ මතක මන්දිරය සිසාරා නින්නාද වෙයි. චිත්‍රා ධනවලවිතාන (වාකිෂ්ට) දික්තලාව සමග විනී රන්වලයන් කාලගෝලයාට රඟ පෑ වේදිකා නාට්‍ය දසුනද තවමත් මගේ මතකයේ නොමැකී ඇඳී පවතින්නකි. ප්‍රශස්ත නිළියක සහ හඬ කැවීම් ශිල්පිනියක වශයෙන් මෙකල ප්‍රකටව සිටින වසන්ති රන්වල කලාකාරිය විනී රන්වලයන්ගේ ඖරස දියණියයි.
කාලයාගේ ඇවෑමෙන් ලයනල් රන්වලයෝ සහ මම නොයෙක් සාහිත්‍ය සම්මන්ත්‍රණ , පාඨමාලා , වේදිකා නාට්‍ය , ගුවන් විදුලි – රූපවාහිනී වැඩසටහන් ආදියෙහිදී නිතර නිතර හමුවීමු. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු සේ සේවය කරන අවධියේ ඔහු වරක් මා එහි කැඳවා තම ශිෂ්‍යයන් උදෙසා සාහිත්‍ය වැඩමුළුවක් පැවැත්වූ අයුරු මෙවේලේ මගේ සිහියට නැගේ. ලයනල් රන්වලයෝ දේශජ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ දැඩි මතධාරියෙක් වූහ.
ඇතැම් සම්මන්ත්‍රණයකදී ඔහු පැවැත්වූ දේශනය අසා සිටි මට නිතැතින්ම සිහියට නැගුණේ ඔහුගේ පාසල් ජීවිතයයි. එකල අප දෙදෙනා එකට ඉගෙන ගත් බුද්ධඝෝෂ විද්‍යාලයේ සාහිත්‍ය සමිතියට ලයනල්හු නැතිවම බැරි ළමයෙක් වූහ. මෙකල මෙන්ම එකලද පාසල් සාහිත්‍ය සමිතිය ඉදිරියේ විවිධාංග ඉදිරිපත් කිරීමේදී සබකෝලෙන් තොරව පෙරමුණට එන ළමයි හිඟ වූහ. එසේ පෙරමුණට ආ අතළොස්සක් ළමයින් අතරින් ලයනලයෝම මුල් තැනක් ගත්තෝය.
පසු කලක ලයනල් රන්වලයන් සාත්වික , ආංගික , වාචික යන ත්‍රිවිධ අභිනයෙන් විචිත්‍ර වූ වාග් චාතුර්යෙන් සමන්විත දේශකයෙකු ලෙස කීර්තිමත් වීමට සමත් වූයේ ඔහුගේ නිසර්ග සිද්ධ කුසලතා තුනක් නිසාය යනු මගේ කල්පනාවයි. ගායන , රංගන හා භාෂණ යන ත්‍රිවිධ කෞශල්‍යයන්ගේ සමවාය කරණ කොටගෙන ඔහුගේ දේශනය විචිත්‍ර විය. රසාලිප්ත විය.
ලයනලයන්ගේ එම ජන්මජ කුසලතා තුනේ මහිම බීජය මා පළමුවරට දුටුවේ බුද්ධඝෝෂ විද්‍යාලයේ අපගේ පාසල් සාහිත්‍ය සමිති රැස්වීමේදීය. කාලයාගේ ඇවෑමෙන් බිහිවුණු ලයනල් රන්වල නමැති ස්වාධීන සංගීතඥයාගේ නාට්‍යකරුවාගේ සහ දේශකයාගේ ප්‍රතිභා ශක්ති ආලෝක පුංජය , එදා පාසල් සාහිත්‍ය රැස්වීමේදී ඔහු ඉදිරිපත් කළ නානා රසාංග අතරින් කැලුම් දෙන අයුරු සියල්ලන්ගේම ඇසට දිස්වන්නට ඇතුවා නිසැකය.
ලයනල් රන්වලයන් සතු ගායන , රංගන හා භාෂණ කුසලතා පෝෂණය කිරීමෙහිලා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලය ආභාස තෝතැන්නක් වීය යනු මගේ හැඟීමයි. බුද්ධඝෝෂ විද්‍යාලයේදී ලයනලයන්ට මෙන්ම මටද සිප් සතර දුන් සාහිත්‍ය ගුරුවරුන්ගේ ගුරු භූමිකාව වූකලී සාත්වික , ආංගික හා වාචික යන ත්‍රිවිධ අභිනය අතින් නළු භූමිකාවට අසමාන නොවූවක් වූ හෙයිනි.
මෙවේලේ මගේ මතකය 06 වන දශකයේ සිංහල නාට්‍ය ලෝකය කරා දිව යන්නේ ඉබේය. 06 වන දශකයේදී ප්‍රථම වරට සිංහල නාට්‍ය ලෝකයට කැරකෙන වේදිකාව (Revolving Stage) හඳුන්වා දුන්නේ ප්‍රශස්ත නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ය. ඒ , ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද ‘බක්මහ අකුණු’ නාට්‍යය වේදිකාගත කිරීමෙහිදීය. වේදිකා සැරසිලි පිළිබඳ කෘතහස්තයෙකු ලෙස එකල නම් දරා සිටි මහින්ද ඩයස් කලාකරුවා හැව්ලොක් ටවුන් රඟහලේ ( පසු කල ලුම්බිනි රඟහල) ලෑලි කරළිය මත මේ නව කැරකෙන වේදිකාව තැනූ අයුරු මට අද මෙන් මතකය. ‘බක්මහ අකුණු’ නාට්‍යයේ එක් එක් ජවනිකා වරින් වර ප්‍රේක්ෂකයන්ගේ ඇසට හසු කරන ලද්දේ එම වේදිකාව අතින් කරකැවීමෙනි. ලංකාවේ රඟහලක කැරකෙන වේදිකාවක් තැනූ පළමු වාරයත් අවසාන වාරයත් එයම වී යැයි සිතමි.
06 වන දශකයේදී තවත් මෙවැනි පුරෝගාමී ප්‍රයත්නයක් නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සූරීන් විසින්ද දරන ලදී. එය , කැරකෙන වේදිකාව වැනි අචේතන රංග වස්තුවක් හඳුන්වාදීමක් නොවේ. එය වූකලී නව සචේතන රංග ප්‍රයෝගයක් ප්‍රථම වරට සිංහල නාට්‍යයක් සඳහා භාවිතයට ගැනීමකි.
ඉන් පෙර , කරළිය මත පෑ නළු නිළි රැඟුම් නැරඹීමට සිංහල නාට්‍ය රසිකයන් පුරුදුව සිටියේ ප්‍රේක්ෂාගාරයේ හිඳගෙනය. නළු නිළියන්ද එසේ රඟනු පිණිස නන් වෙස් ගෙන කරළියට පිවිසුණේ නේපථ්‍යාගාරයේ සිටය. එහෙත් , ප්‍රේක්ෂාගාරයේ සිට නළු නිළියන් රඟපාමින් කරළියට පිවිසෙනු සිංහල ප්‍රේක්ෂකයන් ප්‍රථම වරට දැක ගත්තේ සුගතපාල ද සිල්වා නාට්‍යවේදියා රචනා කොට නිෂ්පාදනය කළ ‘හරිම බඩු හයක්’ නාට්‍යය නරඹද්දීය. සුගතපාලයන් තම නාට්‍ය සංගමය වන ‘අපේ කට්ටිය’ වෙනුවෙන් මෙම නාට්‍යය සිංහලට නගා නිෂ්පාදනය කළේ ඉතාලි නාට්‍ය රචක ලුයිජි ෆිරැන්ඩලෝගේ Six Characters in search of an Author නමැති නාට්‍යය ඇසුරෙනි.
06 වන දශකයේ හා හපුරා කියා භාවිතයට ගැනුණු මේ සචේතන රංග ප්‍රයෝගය හා කැරකෙන වේදිකාව ලයනල් රන්වලයන් සහ මා පළමුවරට දුටුවේ 05 වන දශකයේ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රාථමික පන්තිවල ඉගෙන ගනිද්දීය. එකල අපට සාහිත්‍යය ඉගැන්වූ කරුණාරත්න ඉස්කෝල මහත්තයා කිසි දිනක පන්තිය ඉදිරියේ වූ ගුරු මේසය ළඟ හිටගෙන හෝ ඒ මත ඉඳගෙන හෝ අපට ඉගැන්වූ කෙනෙක් නොවේ. කවි රසයෙන් හා කතා රසයෙන් ඔහු අප ප්‍රබෝධ කළේ පන්තිය වටේම යමිනි. එක් එක් ඩෙස්ක් පේලි දිගේ ඇවිදිමිනි. අප එකිනෙකාගේ මුහුණුවලට එබෙමින් සාත්වික , ආංගික , වාචික යන ත්‍රිවිධ අභිනයම පාමිනි. වරෙක පන්ති කාමරය ප්‍රේක්ෂාගාරයක් කොට ගෙනද වරෙක එය කරළියක් කොටගෙනද රඟන නළුවෙකුගේ විලාසයෙනි. අපද ඔහුගේ රසාත්මක නාට්‍යමය සාහිත්‍ය පාඩමෙන් ආස්වාදය ලබන්නේ ඔහු යන යන දෙසට හැරි හැරී බලමිනි. මුළු පන්ති කාමරයම එකම කැරකෙන වේදිකාවක් වැන්න. ගුරුවර නළුවා ඒ වටා බමන හෙයිනි.
සංස්කෘත නාට්‍ය කලාවේ ආදි කර්තෘ භූත භරත මුනි ආචාර්යපාද ප්‍රණීත ‘නාට්‍ය ශාස්ත්‍ර’ නම් ග්‍රන්ථ රත්නයේ ‘චතුර් අභිනය’ පිළිබඳ රංග සිද්ධාන්තය හමුවෙයි. චතුර් අභිනයෙන් තොරව නාට්‍යයක් පහළ විය නොහැකි බව තත් ප්‍රාමාණික නාට්‍ය ග්‍රන්ථ රත්නයෙන් ඉඳුරා සාක්ෂාත් වෙයි. රඟ පෑමේදී නළු නිළියන් උනුනුන්ගේ ඇසට ඇස අවුළුවා ගැනීම (Eye Contact) අත්‍යවශ්‍ය කාර්යකි. බුද්ධඝෝෂයේදී අපට සාහිත්‍යය ඉගැන්වූ සිංහල ඉස්කෝල මහත්තයා භරත මුනිවරයාගේ එකී චතුර් අභිනය පිළිබඳ රංග සිද්ධාන්තය දැන සිටියේද යන්න නොදනිමි. එහෙත් ඔහු තෙවැදෑරුම් අභිනයක්ම තම ගුරු භූමිකාවේදී ප්‍රායෝගිකවම භාවිතයට ගත් බැව් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. ඔහු තම මුහුණින් හැඟීම් පළ කරමින් සාත්වික අභිනයද , අඟපසඟ සොලවා ලෙළවා ආංගික අභිනයද , මිහිරි කවි හා මුකරි දෙබස් කියමින් වාචික අහිනයද එක සේ පෑවේ අප සිතු සේ කුල්මත් කරමිනි. එසේ නම් ගුරු භූමිකාවත් නළු භූමිකාවට සමාන කොට සැලකීමේ වරද කිම? සතර අභිනයෙන් අභිනය තුනක්ම ගුරුන් විසින් භාවිතයට නොගත යුතුද? එවිට ඔවුන්ගේ ඉගැන්වීමේ කාර්ය ගතානුගතික ව්‍යායාමයකට වඩා නිර්මාණාත්මක අභ්‍යාසයක් බවට පෙරළෙනු කවර අරුමයක්ද? එකල ගුරුවරයා යනු බහුශ්‍රැත රස සාගරයකි. ලයනල් රන්වලයන් සතුව පැවැති අපූරු ගායන , රංගන හා භාෂණ කෞශල්‍යය වූකලී අර පාසල් ඥාන උරුමයේ සහ භාව උරුමයේ අභීෂ්ට ප්‍රතිඵලයක් යැයි කීම කවර වරදද?
වරක් දිනේෂ් ගුණවර්ධනයන්ගේ ‘මහජන එක්සත් පෙරමුණ’ පක්ෂය විසින් සංවිධානය කරන ලද ෆිලිප් ගුණවර්ධන අනුස්මරණ උත්සවයක් හංවැල්ල නගරයේ පැවැත්වුණි. මෙම අනුස්මරණය නිමිත්තෙන් මගේ සන්මිත්‍ර ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අතින් සංක්ෂිප්ත ෆිලිප් ගුණවර්ධන අපදානයක්ද සම්පාදනය වූයේ එකල මහජන එක්සත් පෙරමුණේ ප්‍රබලයෙකුව සිටි නීතිඥ සෝමරත්න දිසානායකයන්ගේ ඇරයුමෙනි. දිසානායකයෝ මගේ විශ්වවිද්‍යාල වයස්‍යයෙකි. මාත් සුනන්ද මහේන්ද්‍රයනුත් මේ උත්සවයට සහභාගීවීමට හංවැල්ලට ගියේ දිසානායකයන් සමගය.
එදා එම සමරු උලෙළේ විශේෂ ආරාධිත දේශකයා වූයේ ලයනල් රන්වලයන්ය. දේශජ සංස්කෘතික අනන්‍යතාවේත් පාරම්පරික ජන ගී සම්ප්‍රදායේත් මහිමය කෙරෙහි තමා තුළ පැවති අව්‍යාජ අධ්‍යාත්ම බන්ධුත්වය ඔහු එදා තම දේශනයෙන් විදහා පෑවේ අප්‍රමේය උද්දාමයකින් හා උද්වේගයකිනි. ඔහුට හුරු පුරුදු උපහාසයෙන් හා හාස්‍යයෙන් සපිරි මුකරි කියමන්වලින් එම දේශනය රසාලිප්ත විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම උත්සවයට සහභාගි වුණු මහජන එක්සත් පෙරමුණ පක්ෂ නායක දිනේශ් ගුණවර්ධනයන් මෙන්ම එහි රැස්ව සිටි සියලු ජනතාවද රන්වලයන්ගේ දේශනයෙන් නොමඳ ආස්වාදයක් ලැබූ සැටි මට අද මෙන් මතකය.
පාරම්පරික සිංහල බෙරකරුවෝ පිරිතට වයන බෙර තාලය බණට නොවයති. බණට වයන තාලය දනට නොවයති. ඔවුන් මළගමේදී වයන්නේ ඉඳුරාම වෙනස් තාලයකි.ඒ සියලුම තාල උචිතානුචිත භේදය අනුව එකිනෙකට වෙනස් වෙයි. දේශීය බෙර වාදනයේ මේ අනන්‍යතා ලක්ෂණය රන්වලයන් හංවැල්ලේ කළ දේශනයේදී පහදා ලූයේ තම භාෂණ කෞශල්‍යය හා රංගන නෛපුණ්‍යය එකසේ උපයෝගී කොට ගනිමිනි. එය ක්ෂුද්‍ර ප්‍රහසන නාට්‍ය ජවනිකාවක් වැන්න.
‘පැදකුණු’ යන්න ‘ප්‍රදක්ෂිණා’ යන සංස්කෘත ශබ්දයෙන් සිංහලට භින්නය. එහි අරුත වනුයේ ගෞරවය ලබන වස්තුව දෙසට දකුණු ඇලය සිටින සේ තෙවරක් එය වටා ගමන් කිරීමය. එසේ ගමන් කිරීමෙන් මිනිය පැදකුණු කිරීමද සිංහලයන්ගේ පාරම්පරික සිරිතකි. එහෙත් ඔවුන්ගේ පුරුද්ද වන්නේ මිනිය වටා නොව එය ඔසවාගෙන වළ වටා හෝ චිතකය වටා කවර ඇලයකට හැරී හෝ ගමන් කිරීමය. මෙහිදී මළ බෙරය වැයිය යුත්තේද සන්සුන් ගමනකට උචිත සාම්ප්‍රදායික තාලයකිනි. එහෙත් අලුත් පරපුරේ මළ බෙර කරුවන් කැලිප්සෝ නැටුම් තාලයට මළ බෙර වැයීම කරණකොටගෙන මිනිය ඔසවාගෙන යන්නන්ගේ පා පැටලී මිනිපෙට්ටියද බිම වැටී යන ජවනිකාව ලයනල් රන්වලයන් ඒ අලුත් බෙරපදද නිදසුන් කොට දක්වමින් එදා තම දේශනයේදී නිරූපණය කළේ නාට්‍යානුසාරයෙනි. ඔහුගේ එම හාස්‍යෝත්පාදක සෝපහාස නිරූපණය ඒ විසල් සභාවම අට්ටහාසයෙන් ගිගුම් ගැන්වීමට සමත් විය. ලයනල් රන්වලයන් වනාහි හාස්‍ය උපහාස නැකතකින්ම උපන් එකෙකැයි යන්න නොහැඟුණු සිතක් එදා එම සභාවෙහි විණි නම් එය අරුමයක්මැයි.
ලයනල් රන්වලයන් , සුනන්ද මහේන්ද්‍රයන් , සෝමරත්න දිසානායකයන් සහ මා ඇතුළු සුළු පිරිසකට එදින මධු සාද සංග්‍රහයකට ආරාධනා ලැබුණි. එය පැවැත්වුණේ හංවැල්ල තානායමේය. ප්‍රකට ප්‍රශස්ත ගායකයන් දෙදෙනෙකු වන නාරද දිසාසේකරයෝ සහ පියසිරි විජේරත්නයෝද එදින අප සමග එම සංග්‍රහයට සහභාගි වූහ.
ලයනල් රන්වලයන්ගේ රස කතාවලින් හා ගායනාවලින් පමණක් නොව නාරද දිසාසේකරයන්ගේ සහ පියසිරි විජේරත්නයන්ගේ මධුර සින්දු වලින්ද අපමණ ආස්වාද විඳිමින් මධු මද මුදිත මධුකර නිකරයක ආකාරයෙන් අප එදා එම සහෘද ජන සාදය හැන්දෑ වන තුරුම පැවැත්වූ සැටි මට අද මෙන් මතකය.


මේ සොඳුරු සාදය පැවැත්වෙන අතරතුර හිටි හැටියේ ලයනල් රන්වලයෝ සහෘද පර්ෂදයෙන් අතුරුදහන් වූහ. සාහිත්‍ය සංගීත
රසාකරයක ගිලී සිටි බැවින් රන්වලයන්ගේ අන්තර්ධානය කෙරෙහි අපගේ අවධානය වහා යොමු නොවුණි. මඳ වේලාවක් ගිය පසු රන්වලයන් සහෘද පර්ෂදයෙන් එර්දි වී ඇති බව ඉව වැටුණු එකෙක් එක් වරම උස් හඬක් නැගීය.
“කෝ බං රන්වලය. මූ පැදුරටත් නොකිය පැනල ගිහිල්ල වගේ.”
එසැණින් අහසින් බැස්සා සේ රන්වලයන් සිය සුපුරුදු සිනා වතින් එතැනට පිවිසුණි.
“යකෝ මං පැනල යන එකෙක් නෙමෙයි. මං ගියෙ මේ රෙස්ට් හවුස් එකේ කාමරයක් බලන්න.”
“මොකටද බං මේ අස්සෙ රෙස්ට් හවුස් කාමර බලන්නෙ? රෑට ඉන්නද?”
“රෑට ඉන්න නෙමෙයි. රෑක හිටිය කාමරයක් බලන්න ගියෙ.”
“කා එක්කද බං?”
“කා එක්කවත් එක්ක නෙමෙයි යකෝ මගේ මායියත් එක්ක.”
ලයනල් රන්වලයන් තම මංගල රාත්‍රිය ගෙවූ සුන්දර මන්දිරය හංවැල්ල තානායම බව අප සියල්ලන් දැනගත්තේ එවෙලේය.
තම ජීවිතයේ රම්‍ය අවධියක , සුරම්‍ය අත්දැකීමක් විඳි , ශුභ මොහොතක් සිහියට නගන සුප්‍රසන්න තැනකට අනපේක්ෂිතව පැමිණීමට සිදුවීමත් කොතරම් අපූර්ව අත්දැකීමක්ද! ඈත අතීතයට ඇදී ගිය මිහිරි මොහොතක් යළි සිතින් ස්පර්ශ කිරීමට සොයන්නාගේ සිත මඳ නලිනිදු සැලෙන වෙණ තතක් නොවේද?
සංගීතය සම්බන්ධයෙන් මෙරට ශාස්ත්‍රවාද තුනක් විද්‍යමානය. එයින් එක් වාද ධාරාවකට ආධාරක කොට ගෙන ඇත්තේ උත්තර භාරතීය රාග ධාරී සංගීත සම්ප්‍රදායයි. අනික් ශාස්ත්‍රවාදය ජන කවි හා ජන ගී අයත් වන දේශීය ගායන සම්ප්‍රදාය පාදක කොට ගත්තකි. තුන් වැන්න නම් සංගීතය යනු වචනයෙන් විනිර්මුක්ත හුදු ස්වරයම ආත්ම කොට ගත්තකැයි යන මතය මත පිහිටියකි.
මෙරට උත්තර භාරතීය රාග ධාරී සංගීත සම්ප්‍රදායේ ශාස්ත්‍රීය පුරෝගාමියා එම්.ජී. පෙරේරා සංගීතඥයා යැයි සිතමි. එය පාසල් පද්ධතියට එක් කිරීමට පුරෝගාමී වූයේ සංගීතඥ ලයනල් එදිරිසිංහයන්ය. දේශීය සංගීතය පිළිබඳ මුල් බිජුවට ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්තයන් විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ වපුරන ලද්දේ වී නමුත් එය ශාස්ත්‍ර වාදයකට හරවා පර්යේෂණාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත් කළේ ඩබ්ලිව් .බී. මකුළොළුව සංගීතඥයාය. සංගීතය යනු වචනයෙන් විනිර්මුක්ත හුදු ස්වරයම ආත්ම කොට ගත්තක් යන මතය මත පිහිටා මෙරට අඛණ්ඩ අරගලයක් ගෙන ගිය සංගීතඥයා වශයෙන් හැඳින්විය යුත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ය.
ඩබ්ලිව් . බී . මකුළොළුව සංගීතඥයා විසින් අරඹන ලද ගමන් මගට පිළිපන් සංගීතඥයෝ දෙදෙනෙකි . ඉන් එක් අයෙක් සී ද ඇස්.කුලතිලක සංගීත වේදියාය. අනෙක් සංගීතවේදියාණෝ ලයනල් රන්වලයෝය. ඔවුන් දෙදෙනා අතරින් ලයනල් රන්වලයෝම තම ගුරු මකුළොළුව සංගීතඥයාගේ දේශීය සංගීත ශාස්ත්‍රවාදය ඉතා ළැදි සිතින්
වැලඳගෙන ඉතා දැඩි සිතින් ඉදිරියට ගෙන ගියහ. තම සංගීත මතය අරබයා ප්‍රේමසිරි කේමදාසයන් දිවි හිම් තෙක් අඛණ්ඩව අරගලයක් ගෙන ගියේ කෙතරම් අභීත සිතකින්ද ලයනල් රන්වලයන්ද තම සංගීත මතය වෙනුවෙන් තම ජීවිතයේ අවසානය තෙක්ම අඛණ්ඩ අරගලයක් ගෙන ගියේ එතරම්ම අභීත සිතකිනි.
ලයනල් රන්වලයන් තම සෞන්දර්ය නිර්මාණ කාරියේදී අන් සියල්ලටම වඩා විශ්වාසය තැබුවේ තමාට උරුම පාරම්පරික ජන කවි සම්ප්‍රදාය සතු අනන්‍යතාව කෙරෙහිය යනු මගේ අවංක හැඟීමයි. ඔහු අභිනව ශිෂ්‍ය පරම්පරාවකට එම අනන්‍යතා බීජය එන්නත් කළේ රසාත්මකවය. එකී ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව එහි ජීවමාන සාක්‍ෂිකරුවෝය. ඔහු තම ජීවිතය පුරාම විරුද්ධ වාද නැගුවේ නව නිර්මාණ ව්‍යාජයෙන් එකී අනන්‍යතාව කෙලෙසන රැඩිකල් සංගීත භ්‍රෂ්ටයන්ට එරෙහිවය. එහෙත් ඔහු කිසිසේත් විවිධ විචිත්‍ර ප්‍රාචීන හෝ අර්වාචීන වෙනත් සංගීත සම්ප්‍රදායන්ගේ ආභාසය , ආවේශය හා ආලෝකය සපුරා ප්‍රතික්ෂේප කළ කූප මණ්ඩුකයෙකු නොවිණැයි සිතමි. උචිතානුචිත භේදය සිත තබාගෙන දේශීය නොවන තූර්ය භාණ්ඩද උපයෝගී කරගෙන ඔහු කළ නව නිර්මාණයෝ ඒ බවට සාක්ෂාත් සාක්ෂි සපයති.
“සතර දෙසින් එන සුළඟට තම ගෙට පිවිසෙනු පිණිස කවුළු දොර හැර තබව.එහෙත් තමා ගසාගෙන යෑමට ඊට ඉඩ නොදෙව.”
යන ගාන්ධි ජීගේ සනාතන ආප්තවාක්‍යය මා ළබඳ ලයනල් රන්වලයන්ගේ හද මැදුරෙහි නිබඳ නිනද වන්නට ඇතැයි මම ඉඳුරා විශ්වාස කරමි,.
ලයනල් රන්වලයෝ උභය පුත්‍ර ලාභියෙකි. තත් පුත්‍රයෝ දෙදෙනාම උපනිශ්‍රය ඇත්තෝය. පිතෘ ජාන උරුමය නොමඳව ලද්දෝය. කුලුඳුල් චිරන්තයෝ මෙකල තම පියාගේ පදවීතිහාරය අත්හැර ඇත්තා සේය.එහෙත් කිස් දොවුන් පුත් සහන්හු තම පියා අනුදත් මග දිග දැඩි එඩියෙන් නොනැවත ගමන් ගන්නේ ඒකචර ඛග්ග විසාණයෙකු වෙසිනි. පියා කළාක් මෙන්ම පියාගෙන් ලත් ඥාන දායාදය පුතුද අලුත් පරපුරකට නොමසුරුව ප්‍රදානය කරමින් සිටියි. බඩ පිස්සා වන තමාට ‘සහන්’ යන නම තබන විට පියා පැතූ සහනය අරුත් සුන් නොකිරීමේ උදාර අදිටන එම ප්‍රයත්නය තුළ ගැබ්ව ඇත.
අපේ ජීවිතය කවර දෛවෝපගත සිද්ධියකින් කෙළවර වේදැයි යන දාර්ශනික ප්‍රශ්නය ගැන සිතමින් වෙහෙසීමට එකල කුඩා වියේ වූ අපට කවර අවශ්‍යතාවක්ද? එහෙත් එදා පාරේ දුව යද්දී නිතරම කටින් කාරය එලවාගෙන යෑම විනෝදාස්වාදයක් කොටගෙන සිටි ඒ මගේ ළෙන්ගතු පාසල් පන්ති මිතුරු ලයනල් රන්වලයන්ගේ ජීවිතය පසු කලෙක තම වෑන් රිය පදවාගෙන යද්දී මුහුණ පෑ හදිසි අනතුරකින් නොසිතූ නොපැතූ ලෙස කෙළවර වීම දෛවෝපගත සිද්ධියක් නොවන්නේද?
ලයනල් රන්වලයන් මෙලෝ හළ කල මා ළබඳ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ හදින් වගළ කවි කඳුළු බිඳුවලින් මේ මතක වත දොවා නිම කරම්හ.
පර සතුරන් බලමුළු ගෙන
පැමිණි කලට
වනයට ගිය කඳු හෙල් ගංගා
පසු කොට
ආදි මුතුන් මිත්තනියන්ගේ
කටහඬ
සිහිනෙන් ඇසුණාද ඔබට
ගන වන ගැබ පීරා ගොස්
ගමින් ගමට
අවදි කරන් එම කටහඬ රස
මුසු කොට
නාද රටා සදා මවා තුටු
වන්නට
කවදා සිතුණාද ඔබට
එවන් නාද තනු ගළපා අලුත්
ලොවට
නොයෙක් සුළං රැළි හමනා කොදෙව්වකට
මුනුපුරු මිනිපිරි හදවත්
නළවන්නට
සතුටක් තිබුණාද ඔබට
ඒ මෙවලම් සියල් දමා
අතරමගෙක
නිහඬ බවේ නාදය දී අපෙ
සවනට
අනන්ත දිගු විරාමයක
සැතපෙන්නට
වෙහෙසක් දැනුණාද
ඔබට
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.


