
හදවත් දෙකක් තිබුණත්, ඔවුන් පස් වසක් පුරා බැඳී සිටියේ එකම ශරීරයකටය. සියලු දෙනා අපේක්ෂා කළේ ඔවුන් දෙදෙනකු ලෙස වෙන් වීමය. උපන්දා සිට ඒ සඳහා පසුබිම සකස් කරන්නට වෛද්‍යවරු උත්සාහ කළත් ඊට එල්ල වූ බාධා රැසකි. ප්‍රධානතම බාධාව වූයේ දෙදෙනාගෙන් අයකුට වකුගඩු පිහිටා නොතිබීමය. මේ නිසා වෙන් වීම නියත ලෙසම එක් අයකුගේ හෝ දෙදෙනාගේම මරණයට හේතු විය හැකි බවට වෛද්‍යවරු අනුමාන කළහ.
එහෙත් එසේ වෙන්ව ජීවත් වීමට යන්තම් හෝ අවස්ථාව සලසා දීමට තරම් ස්වභාවධර්මය ඔවුන්ට කාරුණික වී තිබිණි. ඒ, එක් අයකුට සාමාන්‍ය පරිදි වකුගඩු දෙකක් පිහිටා තිබීම නිසාය. ඉන් වකුගඩුවක් අනෙකාට බද්ධ කිරීමෙන් මිස මේ දෙදෙනා වෙන් කළ නොහැකි බව වෛද්‍යවරු දැන සිටියහ. එහෙත්, සිරුරෙන් එකට බැඳී ජීවත් වන දෙදෙනකුගෙන් එක් අයකු සතු වකුගඩුවක් ගලවා ඉවත් කර, අනෙකාට බද්ධ කිරීම අපට පමණක් නොව ලෝකයටම අලුත් දෙයකි.
මේ අදහා ගැනීමට පවා නොහැකි සැත්කමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ වෛද්‍යවරුන් අතගැසුවේ මීට දෑවුරුද්දකට පෙර සිටය. මේ දියණියන් දෙදෙනා වෙන් කිරීමේ මීළඟ සැත්කම වෛද්‍යවරුන් සැලසුම් කළේ එහි සාර්ථකත්වයත් සමඟය.
දිනය පසුගිය මස 10 වැනිදාය. ස්ථානය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයයි. නිවුන් බද්ධ දරුවන් වූ ලිතුලි හා ලිනුලි මෙදින ශල්‍යාගාරය වෙත රැගෙන ගියේ ඔවුන් ජීවිතයේ එතෙක් මුහුණ දී තිබුණු සැත්කම්වලට වඩා වෙනස් සැත්කමකට මුහුණ දීම සඳහාය. පස් වසක් එකට බද්ධ වී සිට ශල්‍යාගාරයට ගිය ලිතුලි හා ලිනුලි ඉන් පිටතට පැමිණියේ දෙදෙනකු ලෙස වෙන්විය.
පැය 14ක් පුරා පැවති මේ දරුවන් වෙන් කිරීමේ සැත්කම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු 30කගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී තිබිණි. මේ සැත්කම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් පෙන්නුම් කරන ප්‍රධාන සැත්කමක් ලෙස හැඳින්වීමට හැකිය. ඒ, මෙය රෝහල් දෙකක් පමණක් නොව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයද එක් අරමුණක් වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කර අත් කරගත් ජයග්‍රහණක් නිසාය.
ලිතුලි හා ලිනුලි නිවුන් දරුවන් ලෙස මෙලොව එළිය දුටුවේ 2021 මැයි මස 11 වැනිදාය. එදින සිට එකට ඇලී ජීවත් වූ දෙදෙනාටම තිබුණේ එක් මූත්රාශයක් හා එක් ගුද මාර්ගයක් වූවත්, වකුගඩු හැර සෙසු අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල දෙදෙනාටම වෙන් වෙන්ව පිහිටා තිබිණි. එහිදී, පෙරද කී සේ: ලිතුලිට වකුගඩු දෙකක් තිබියදී ලිනුලිට එකදු හෝ වගකුඩුවක් පිහිටා නොතිබිණි. එය දියණියන් වෙන් කිරීමේ සැත්කම සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබූ ලොකුම බාධාව විය. මේ නිසාම සියල්ලට පෙර වකුගඩු සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට කල්පනා කළ වෛද්‍යවරු ඒ සඳහා ඇති මඟ සොයා බැලූහ.



ඒ වන විටත් පේරාදෙණිය ශික්ෂණ රෝහල මුල් වී ළමා වකුගඩු බද්ධ කිරීම් 200ක පමණ ප්‍රමාණයක් සිදු කර තිබීම දරුවන් දෙදෙනාගේ වාසනාවට හේතු විය. මේ සැත්කම්වලට සම්බන්ධව අත්දැකීම් රැසක් ලබාගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ මෙහිදී පෙරමුණ ගත්තේය. දරුවන් වෙන් කිරීම සඳහා වන සියලු සැලසුම්වල සාර්ථකත්වය රැඳී තිබුණු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම පිළිබඳ සමරසිංහ මෙසේ අදහස් පළ කළේය:
“එක වකුගඩුවක් ගලවලා අනෙක් ළමයට බද්ධ කිරීම ඉතා සංකීර්ණ සැත්කමක්. මේ දරුවෝ දෙන්නා සම්බන්ධ වෙලා හිටියේ රුධිර වාහිනී විශාල ප්‍රමාණයකින්. ඒවා නියමාකාරයෙන් වෙන් කරගන්නේ නැතුව දරුවෝ දෙන්නා වෙන් කිරීම ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නෑ. මේ සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, විකිරණවේදීන් ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා පරීක්ෂණ ගණනාවක් කළා.
“වකුගඩු දෙකෙන් එකකට අසාමාන්‍ය රුධිර සැපයුමක් තිබෙන බව පරීක්ෂණ මඟින් සොයා ගත්තා. මේ එක වකුගඩුවක් ගලවලා අනෙක් දරුවට බද්ධ කිරීමේදී අපිට අභියෝග ගණනාවක් තිබුණා. එකක් තමයි රුධිර සැපයුම. මේ දරුවෝ දෙන්න එකට සම්බන්ධ වෙලා හිටපු නිසා සැත්කම කරන්න අපිට බොහොම සීමාකාරි ඉඩක් තිබුණේ. වකුගඩුක් ඉවත් කරලා අනෙක් දරුවට බද්ධ කිරීමේ සැත්කමට පැය 8ක් පමණ ගත වුණා. මේ දරුවෝ එකට බද්ධ වී සිටි නිසා ඔවුන්ගේ ජානමය සමානකමක් තිබුණා. ඒ නිසා බද්ධ කළ වකුගඩුව ප්‍රතික්ෂේප කීරීමක් සිදු නොවීම සැත්කම සාර්ථක වීමට බෙහෙවින් බලපෑවා.”
ලිතුලි හා ලෙනුලි දෙදෙනාගේ පියා සමන් කුමාරසිරිය; මව රම්‍යා ජයලත්ය. අරණායක උඩගම පදිංචි වඩු කාර්මිකයකු වන සමන්ට දරුවන්ගේ උපතින් පසු බිරිය සමඟ නිතර ගත කරන්න සිදු වූයේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේය. මේ නිසාම නොසිතූ ආකාරයේ දුක්-පීඩාවලට මුහුණ දෙන්නට මේ දෙපළට සිදු විය. අරණායක සිට දරුවන් පේරාදෙණියට රැගෙන ඒමට පමණක් වරකට රු. 5,000ක් පමණ වැය කරන්නට ඔවුන්ට සිදු වූයේ පොදු ප්‍රවාහන සේවාවක නිවුන් බද්ධ දරුවන් දෙදෙනා රැගෙන ඒමට නොහැකි බැවිනි.
මවු කුසේ සිටම එකට වෙළී ජීවත් වූ මේ සොහොයුරියන්ගේ මෙන්ම මවගේද ජීවිත ආරක්ෂා කිරීමේ මුල්ම වගකීම ගෙන තිබුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චාමින්ද කන්දඋඩය:
“දරුවකු කුසට ඇවිත් මාස 3ක් ගත වෙද්දී අපි ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී මේ මවට බබාලා දෙදෙනකු ඉන්න බව හඳුනාගත්තා. ඒත් මේ ළමයි දෙන්නා වෙන් වෙන්ව චලනය වන ස්වරූපයක් දකින්න ලැබණේ නෑ. ඒ නිසා මාස 4දී තවත් ස්කෑන් පරීක්ෂණයක් කළා. ඒකෙන් තමයි බබාලා දෙන්නා බද්ධව ඉන්න බව හඳුනාගත්තේ. ඒ සම්බන්ධව මවුපියන් දැනුවත් කර, අවදානම පැහැදිලි කර දුන්නා. මාස 5දී තවත් ස්කෑන් එකක් කළා. මේ අය එකට සම්බන්ධ වෙලා හිටියත් නීරෝගි බව එහිදී හඳුනාගැනීමට පුළුවන් වුණා. මේ වගේ අවස්ථාවක, මව සහ බබාලා දෙන්නා සාමාන්‍යයෙන් තත්ත්වයෙන් බලාගැනීම අභියෝගයක්. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා සමඟ සාකච්ඡා කරලා, විශාල පෙර-සූදානමක් සහිතව වෛද්‍ය හා සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැස් කර දරු ගැබට සති 38 සම්පූර්ණ වෙද්දී අපි සිසේරියන් සැත්කමක් මඟින් දරුවන් පිටතට ගත්තා.”
දරු උපතින් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට යාබද සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණි. එහි විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි ඉන් පසු තත්ත්වය මෙසේ විස්තර කළේය:
“අවයවවල පිහිටීමේ සංකීර්ණ ස්වභාවයක් තිබුණ නිසා මේ දරුවන් උපත ලබලා දවසක් වගේ ඇතුළත සැත්කමක් කළා. මේ වගේ දරුවන් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Ischiophagus Tetrapus කියලා. ඉතා කලාතුරකින් මේ වගේ උපත් සිදු වෙන්නේ. ලෝකයේම ගත්තොත් දරුවෝ 100ක් වගේ බිහි වෙලා තියෙන්නේ. ඒ අතුරින් වෙන් කරලා තියෙන්නේ 20ක් වගේ සංඛ්‍යාවක්. වෙන් කරන්නම බැරි තත්ත්වයේ බද්ධ වූ දරුවන් ඉන්නවා. ඒ වගේම ශල්‍යකර්මවල තියෙන සංකීර්ණ බව නිසා වෙන් කරන්න උත්සහ නොකළ අවස්ථා වැඩියි.
“මේ දරුවන් දෙදෙනාගේ විශේෂත්වය තමයි මොළය, හෘදයවස්තුව, අක්මාව, පෙණහලු හොඳට පිහිටලා තිබුණා. මේ දෙදෙනා බුද්ධිමත් දරුවන්. ඒ නිසා වර්ධනයේ අඩුවක් පේන්න තිබුණේ නැහැ. වෙන් කරන්න අවුරුදු 5ක් බලා ඉන්න වුණේ අවයවවල පිහිටීමේ තිබූ සංකීර්ණතා නිසයි. පොඩි කාලේ ඉඳලා එකට හිටපු දෙන්නව වෙන් කරන බව අපි ඒ අයත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් දෙදෙනා ඒ හැඟීම් අපට ප්‍රකාශ කළා. සැත්කමට මුහුණ දීමට දෙන්නා ගියෙත් ඒ පිළිබඳ හොඳින් තේරුම් ගෙන, අවබෝධයක් ඇතිවයි. මේ දරුවෝ දෙන්නකුගේ මොළයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය දරුවකුගේ වගේමයි. දැන් ඔවුන් පාසල් යන වයසට ආසන්න නිසා හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා.”
විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ පැවසුවේ මෙවන් අදහසකි:
“මේ දරුවෝ දෙන්න සම්බන්ධ වෙලා තිබුණේ ශ්‍රෝණි මේඛලාවෙන්. ශ්‍රෝණි මේඛලාව පිහිටලා තිබුණේ සාමාන්‍ය අතට නොව හරස් අතටයි. කකුලට යන රුධිර ගමනාගමනය හා ස්නායු බේරගෙන තමයි ශ්‍රෝණි මේඛලාවෙන් දෙන්නා වෙන් කරන්න වුණේ. සී.ටී. ස්කෑන් එකකින් අපි අධ්‍යයනය කරලා රුධිර ගමනාගමනය සිදු වන ආකාරය බලලා තමයි අස්ථි වෙන් කරන්න සැලසුම් කළේ. ශ්‍රෝණි මේඛලාවේ රුධිර ගමනාගමනය ඉතා සංකීර්ණයි. මෙය කපා වෙන් කිරීමේදී අධික රුධිර වහනයක් සිදු වනවා. මේ නිසා සංකුලතා ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
“ඒක පාලනය කර ගන්න, ස්නායු සහ රුධිර වාහිනී පද්ධති දෙක මාතුල හෙට්ටිආරච්චි හා බන්දුල සමරසිංහ යන විශේෂඥ වෛද්‍යවරුන් සැත්කම මුලදිම වෙන් කරලා දුන්නා. ඊට පස්සෙයි අස්ථි වෙන් කරන්න පටන් ගත්තේ. රුධිර වහනය වීම පාලනය කරගෙන වෙන් කිරීම කළේ. අස්ථි දෙක වෙන් කළාම තමයි දරුවෝ දෙන්නා හරියටම දෙපැත්තකට වෙන් කළේ. මේ අයගේ පාදවලට ඉදිරියේදී තවත් සැත්කම් කිහිපයක් කරන්න වෙනවා. මේ අවස්ථාවේ අපේ මූලික අරමුණ වුණේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගනිමින්, ඔවුන් එකිනෙකාගෙන් වෙන් කිරීමයි.”
ගෙවුණු වසර 5ක කාලයේදී මේ දරුවන් දෙදෙනා නිර්වින්දනය කර සිදුකරනු ලබන සැත්කම් 15කට පමණ මුහුණ දී තිබේ. ඒ සැත්කම්වලදී සුවිශාල කාර්යභාරයක් කළ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක මෙසේ පැවසුවාය:
“නීරෝගි දරුවෙක් වුණත් නිර්වින්දනය කිරීම ලොකු අභියෝගයක්. දරුවකු නිර්වින්දනයට කලින් ගොඩක් දේවල් සලකලා බලන්න ඕනෑ. දරුවෝ දෙන්නෙක් එකතු වෙලා ඉන්න අවස්ථාවක් නිසා මේක ගොඩක් ලොකු අභියෝගයක් වුණා. ඒ නිසා අපි නිර්වින්දනය කිරීම ඇතුළු සියලු දේවල් ගොඩක් සැලසුම් කළා. වකුගඩු බද්ධ කිරීම ඇතුළු සැත්කම් කිහිපයක් වෙනුවෙන් මේ දරුවෝ නිර්වින්දනය කරලා තිබුණ නිසා අපට ඒ සම්බන්ධව යම් අවබෝධයක් තිබුණා. දරුවන්ගේ හදවත, ශ්වසන පද්ධතිය, පෙණහලු හා ස්නායු පද්ධතිය නීරෝගි තත්ත්වයේ තිබීම ධනාත්මක දේවල් ලෙස සලකන්න පුළුවන්.
“දරුවෝ දෙන්න එකතු වෙලා හිටපු නිසා ඔවුන්ට තිබුණේ එකම රුධිර සංසරණ පද්ධතියක්. එක දරුවකුට සිහි නැති කිරීමේ ඖෂධ දෙන කොට අනෙක් දරුවටත් සිහිය නැති වෙනවා. කලින් තිබුණු අත්දැකීම් එක්ක අපට අවශ්‍යය වුණා දරුවො දෙන්නම එකවර සිහි නැති කරන්න. මෙතනදී අපි කණ්ඩායම් දෙකක් ලෑස්ති කළා. කලින් දවසේ ඇත්තටම අපි පෙර පුහුණුවක් කළා. සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කවීෂා දිසානායක එක් කණ්ඩායමක් නියෝජනය කළා. අපි කණ්ඩායම් දෙක එකතු වෙලා දරුවො දෙන්න එකවර නිර්වින්දය කළා. දරුවන් වෙන් කළාට පස්සේ ශල්‍යාගාර දෙකකට යොමු කරලා තමයි ඉතිරි සැත්කම් කළේ. උදේ 7.00 සිට රෑ 9.00 දක්වා පැය 13ක පමණ දීර්ඝ කාලයක් මේ දරුවන් නිර්වින්දන තත්ත්වයේ හිටියා. එහිදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ති පින්ටෝ හා විශේෂඥ වෛද්‍ය අනුර අබේසුන්දර දුන් සහය මෙහිදී සිහිපත් කරන්න කැමැතියි.”
මේ දරුවන් දෙදෙනා මුහුණ දුන් සැත්කම් ඉතා බරපතළ තත්ත්වයේ ඒවාය. එවැනි සැත්කම් දරාගැනීමේ හැකියාව ශරීරයට තිබීම වැදගත්ය. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා අවුරුදු 3ක්ද දරුවන් වෙන් කිරීමේ සැත්කම සඳහා වසර 5ක්ද බලා ඉන්නට වෛද්‍යවරුන්ට සිදු වූයේ මේ නිසාය. සැත්කමින් පසු දරුවන්ගේ තත්ත්වය නිරීක්ෂණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කවීෂා දිසානායක මෙසේ පැවසුවාය:
“දරුවන් දෙදෙනා පැය 13ක පමණ දීර්ඝ සැත්කමකින් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. දින කිහිපයකට පසු සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කර ඒකකයට ගත්තා. සැත්කමින් පසු අපි දරුවන්ගේ සිහිය ගත්තේ නැහැ. නින්ද යන්න බෙහෙත් දුන්නා. සැත්කමින් පසු සංකුලතා කිහිපයක් ඇති වුණා. විෂබීජයක් ඇතුළු වෙලා ඒක පාලනය කරන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. කොහොම හරි මේ දරුවන් දෙන්නා ජීවත් කරවන්න අපට පුළුවන් වුණා. සති දෙකකට ආසන්න කාලයක් මේ දෙන්නා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. දැන් මේ අයව තව ටික දවසකින් ගෙදර යවන්න පුළුවන්.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්ද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නානායක්කාර මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි:
“වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල කිහිපයක් අන්‍යොන්‍ය අවබෝධයෙන් සාර්ථකව වැඩ කළ නිසා තමයි අපට මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. මේ දරුවන් සිසේරියන් සැත්කමින් බිහි කිරීම, සැත්කමට සූදානම් කිරීම සහ සැත්කමින් පසු රැකබලාගැනීම ඉතා අභියෝගාත්මකයි. ඒ සැම දේටම කණ්ඩායමක් ලෙස ශල්‍ය, නිර්වින්දන, ළමා රෝග, ප්‍රසව හා නාරිවේද ඇතුළු අංශ කිහිපයක විශේෂඥ වෛද්‍යවරුන්, ආචාර්ය-මහාචාර්යවරුන් සම්බන්ධ වුණා. පේරාදෙණිය ශික්ෂණ රොහලේ සහ විශේෂිත ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හෙද කාර්යමණ්ඩලය හා අනෙකුත් කාර්යමණ්ඩලය, විකිරණවේදීන්, රසායනාගාර ශිල්පීන් සුවිශේෂ සහයෝගයක් දැක්වූවා.
“මේ දරුවන් දෙදෙනා සහ මවුපියන් අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. මේ වගේ බරපතළ සැත්කම් අපි වගේ රටවල කරන එක හරිම අභියෝගාත්මකයි. මේ වගේ බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම් අපේ රටේ මීට කලින් එකයි කරලා තියෙන්නේ. වකුගඩු බද්ධ කිරීමකුත් එක්ක මේ වෙන් කිරීම සිදු කළ යුතුව තිබූ නිසා මේ සැත්කම ලංකාවේ සිදු නොකිරීම වඩා හොඳ බවට මතයක් ඇතිව තිබුණා. මේ පවුලේ උදවිය ඉන්දියාවේ රෝහල් කිහිපයකින් මේ සැත්කම කරන්න පුළුවන්ද කියලා සොයා බලා තියෙනවා. පසුව ඇති විය හැකි සංකුලතා කිහිපයක් නිසා මේ සැත්කමට යොමු නොවී සැත්කමකින් තොරව දරුවන් රැකබලාගැනීම වඩා හොඳ බවට අදහසක් ඒ අයගෙන් ලැබී තිබුණා.”
පේරාදෙණිය ශික්ෂණ රෝහල, සිරිමාවෝ බණඩාරනායක විශේෂිත ළමා රෝහල හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එක්ව මේ අභියෝගය සාර්ථකව ජය ගත්තේ එවැනි පසුබිමකය.
උපුටා ගැනීම – සිඵමිණ


