උපන්ගෙයි බැදීම වෙන් කල විස්මිත සැත්කම.

හද­වත් දෙකක් තිබු­ණත්, ඔවුන් පස් වසක් පුරා බැඳී සිටියේ එකම ශරී­ර­ය­ක­ටය. සියලු දෙනා අපේක්ෂා කළේ ඔවුන් දෙදෙ­නකු ලෙස වෙන් වීමය. උපන්දා සිට ඒ සඳහා පසු­බිම සකස් කර­න්නට වෛද්‍ය­වරු උත්සාහ කළත් ඊට එල්ල වූ බාධා රැසකි. ප්‍රධා­න­තම බාධාව වූයේ දෙදෙ­නා­ගෙන් අය­කුට වකු­ගඩු පිහිටා නොති­බී­මය. මේ නිසා වෙන් වීම නියත ලෙසම එක් අය­කුගේ හෝ දෙදෙ­නා­ගේම මර­ණ­යට හේතු විය හැකි බවට වෛද්‍ය­වරු අනු­මාන කළහ.

එහෙත් එසේ වෙන්ව ජීවත් වීමට යන්තම් හෝ අව­ස්ථාව සලසා දීමට තරම් ස්වභා­ව­ධ­ර්මය ඔවුන්ට කාරු­ණික වී තිබිණි. ඒ, එක් අය­කුට සාමාන්‍ය පරිදි වකු­ගඩු දෙකක් පිහිටා තිබීම නිසාය. ඉන් වකු­ග­ඩු­වක් අනෙ­කාට බද්ධ කිරී­මෙන් මිස මේ දෙදෙනා වෙන් කළ නොහැකි බව වෛද්‍ය­වරු දැන සිටි­යහ. එහෙත්, සිරු­රෙන් එකට බැඳී ජීවත් වන දෙදෙ­න­කු­ගෙන් එක් අයකු සතු වකු­ග­ඩු­වක් ගලවා ඉවත් කර, අනෙ­කාට බද්ධ කිරීම අපට පම­ණක් නොව ලෝක­ය­ටම අලුත් දෙයකි.

මේ අදහා ගැනී­මට පවා නොහැකි සැත්ක­මට පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ සහ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විශේ­ෂිත ළමා රෝහලේ වෛද්‍ය­ව­රුන් අත­ගැ­සුවේ මීට දෑවු­රු­ද්ද­කට පෙර සිටය. මේ දිය­ණි­යන් දෙදෙනා වෙන් කිරීමේ මීළඟ සැත්කම වෛද්‍ය­ව­රුන් සැල­සුම් කළේ එහි සාර්ථ­ක­ත්ව­යත් සම­ඟය.

දිනය පසු­ගිය මස 10 වැනි­දාය. ස්ථානය පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යා­ගා­ර­යයි. නිවුන් බද්ධ දරු­වන් වූ ලිතුලි හා ලිනුලි මෙදින ශල්‍යා­ගා­රය වෙත රැගෙන ගියේ ඔවුන් ජීවි­තයේ එතෙක් මුහුණ දී තිබුණු සැත්ක­ම්ව­ලට වඩා වෙනස් සැත්ක­ම­කට මුහුණ දීම සඳ­හාය. පස් වසක් එකට බද්ධ වී සිට ශල්‍යා­ගා­ර­යට ගිය ලිතුලි හා ‌ලිනුලි ඉන් පිට­තට පැමි­ණියේ දෙදෙ­නකු ලෙස වෙන්විය.

පැය 14ක් පුරා පැවති මේ දරු­වන් වෙන් කිරීමේ සැත්කම සඳහා විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­රුන්, නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන් ඇතුළු 30කගෙන් පමණ සම­න්විත කණ්ඩා­ය­මක් සම්බන්ධ වී තිබිණි. මේ සැත්කම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැර­වුම් ලක්ෂ්‍ය­යක් පෙන්නුම් කරන ප්‍රධාන සැත්ක­මක් ලෙස හැඳි­න්වී­මට හැකිය. ඒ, මෙය රෝහල් දෙකක් පම­ණක් නොව, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨ­යද එක් අර­මු­ණක් වෙනු­වෙන් ඒකා­බ­ද්ධව කට­යුතු කර අත් කර­ගත් ජය­ග්‍ර­හ­ණක් නිසාය.

ලිතුලි හා ලිනුලි නිවුන් දරු­වන් ලෙස මෙලොව එළිය දුටුවේ 2021 මැයි මස 11 වැනි­දාය. එදින සිට එකට ඇලී ජීවත් වූ දෙදෙ­නා­ටම තිබුණේ එක් මූත්‍රා­ශ­යක් හා එක් ගුද මාර්ග­යක් වූවත්, වකු­ගඩු හැර සෙසු අභ්‍ය­න්තර ඉන්ද්‍රි­යන් සියල්ල දෙදෙ­නා­ටම වෙන් වෙන්ව පිහිටා තිබිණි. එහිදී, පෙරද කී සේ: ලිතු­ලිට වකු­ගඩු දෙකක් තිබි­යදී ලිනු­ලිට එකදු හෝ වග­කු­ඩු­වක් පිහිටා නොති­බිණි. එය දිය­ණි­යන් වෙන් කිරීමේ සැත්කම සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍ය­ව­රුන්ට තිබූ ලොකුම බාධාව විය. මේ නිසාම සිය­ල්ලට පෙර වකු­ගඩු සම්බන්ධ ගැට­ලුව නිරා­ක­ර­ණය කර ගැනී­මට කල්පනා කළ වෛද්‍ය­වරු ඒ සඳහා ඇති මඟ සොයා බැලූහ.

ඒ වන විටත් පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහල මුල් වී ළමා වකු­ගඩු බද්ධ කිරීම් 200ක පමණ ප්‍රමා­ණ­යක් සිදු කර තිබීම දරු­වන් දෙදෙ­නාගේ වාස­නා­වට හේතු විය. මේ සැත්ක­ම්ව­ලට සම්බ­න්ධව අත්දැ­කීම් රැසක් ලබා­ගෙන සිටි පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ශල්‍ය වෛද්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චාර්ය, පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සම­ර­සිංහ මෙහිදී පෙර­මුණ ගත්තේය. දරු­වන් වෙන් කිරීම සඳහා වන සියලු සැල­සු­ම්වල සාර්ථ­ක­ත්වය රැඳී තිබුණු වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම පිළි­බඳ සම­ර­සිංහ මෙසේ අද­හස් පළ කළේය:

“එක වකු­ග­ඩු­වක් ගල­වලා අනෙක් ළම­යට බද්ධ කිරීම ඉතා සංකීර්ණ සැත්ක­මක්. මේ දරුවෝ දෙන්නා සම්බන්ධ වෙලා හිටියේ රුධිර වාහිනී විශාල ප්‍රමා­ණ­ය­කින්. ඒවා නිය­මා­කා­ර­යෙන් වෙන් කර­ගන්නේ නැතුව දරුවෝ දෙන්නා වෙන් කිරීම ගැන හිත­න්න­වත් පුළු­ව­න්ක­මක් තිබුණේ නෑ. මේ සම්බ­න්ධ­යෙන් ශල්‍ය වෛද්‍ය­ව­රුන්, නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන්, විකි­ර­ණ­වේ­දීන් ඇතුළු කණ්ඩා­ය­මක් එකතු වෙලා පරී­ක්ෂණ ගණ­නා­වක් කළා.

“වකු­ගඩු දෙකෙන් එක­කට අසා­මාන්‍ය රුධිර සැප­යු­මක් තිබෙන බව පරී­ක්ෂණ මඟින් සොයා ගත්තා. මේ එක වකු­ග­ඩු­වක් ගල­වලා අනෙක් දරු­වට බද්ධ කිරී­මේදී අපි‌ට අභි­යෝග ගණ­නා­වක් තිබුණා. එකක් තමයි රුධිර සැප­යුම. මේ දරුවෝ දෙන්න එකට සම්බන්ධ වෙලා හිටපු නිසා සැත්කම කරන්න අපිට බොහොම සීමා­කාරි ඉඩක් තිබුණේ. වකු­ග­ඩුක් ඉවත් කරලා අනෙක් දරු­වට බද්ධ කිරීමේ සැත්ක­මට පැය 8ක් පමණ ගත වුණා. මේ දරුවෝ එකට බද්ධ වී සිටි නිසා ඔවුන්ගේ ජාන­මය සමා­න­ක­මක් තිබුණා. ඒ නිසා බද්ධ කළ වකු­ග­ඩුව ප්‍රති­ක්ෂේප කීරී­මක් සිදු නොවීම සැත්කම සාර්ථක වීමට බෙහෙ­වින් බල­පෑවා.”

ලිතුලි හා ලෙනුලි දෙදෙ­නාගේ පියා සමන් කුමා­ර­සි­රිය; මව රම්‍යා ජය­ලත්ය. අර­ණා­යක උඩ­ගම පදිංචි වඩු කාර්මි­ක­යකු වන සමන්ට දරු­වන්ගේ උප­තින් පසු බිරිය සමඟ නිතර ගත කරන්න සිදු වූයේ පේරා­දෙ­ණිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ළමා රෝහ­ලේය. මේ නිසාම නොසිතූ ආකා­රයේ දුක්-පීඩා­ව­ලට මුහුණ දෙන්නට මේ දෙප­ළට සිදු විය. අර­ණා­යක සිට දරු­වන් පේරා­දෙ­ණි­යට රැගෙන ඒමට පම­ණක් වර­කට රු. 5,000ක් පමණ වැය කර­න්නට ඔවුන්ට සිදු වූයේ පොදු ප්‍රවා­හන සේවා­වක නිවුන් බද්ධ දරු­වන් දෙදෙනා රැගෙන ඒමට නොහැකි බැවිනි.

මවු කුසේ සිටම එකට වෙළී ජීවත් වූ මේ සොහො­යු­රි­යන්ගේ මෙන්ම මව­ගේද ජීවිත ආරක්ෂා කිරීමේ මුල්ම වග­කීම ගෙන තිබුණේ පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි­වේද විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය චාමින්ද කන්ද­උ­ඩය:

“දරු­වකු කුසට ඇවිත් මාස 3ක් ගත වෙද්දී අපි ස්කෑන් පරී­ක්ෂ­ණ­යක් කර­නවා. ඒ පරී­ක්ෂ­ණ­යේදී මේ මවට බබාලා දෙදෙ­නකු ඉන්න බව හඳු­නා­ගත්තා. ඒත් මේ ළමයි දෙන්නා වෙන් වෙන්ව චල­නය වන ස්වරූ­ප­යක් දකින්න ලැබණේ නෑ. ඒ නිසා මාස 4දී තවත් ස්කෑන් පරී­ක්ෂ­ණ­යක් කළා. ඒකෙන් තමයි බබාලා දෙන්නා බද්ධව ඉන්න බව හඳු­නා­ගත්තේ. ඒ සම්බ­න්ධව මවු­පි­යන් දැනු­වත් කර, අව­දා­නම පැහැ­දිලි කර දුන්නා. මාස 5දී තවත් ස්කෑන් එකක් කළා. මේ අය එකට සම්බන්ධ වෙලා හිටි­යත් නීරෝගි බව එහිදී හඳු­නා­ගැ­නී­මට පුළු­වන් වුණා. ‌මේ වගේ අව­ස්ථා­වක, මව සහ බබාලා දෙන්නා සාමා­න්‍ය­යෙන් තත්ත්ව­යෙන් බලා­ගැ­නීම අභි­යෝ­ග­යක්. පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා සමඟ සාකච්ඡා කරලා, විශාල පෙර-සූදා­න­මක් සහි­තව වෛද්‍ය හා සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැස් කර දරු ගැබට සති 38 සම්පූර්ණ වෙද්දී අපි සිසේ­රි­යන් සැත්ක­මක් මඟින් දරු­වන් පිට­තට ගත්තා.”

දරු උප­තින් පසු පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහ­ලට යාබද සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විශේ­ෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒක­ක­යට ඇතුළු කිරී­මට වෛද්‍ය­වරු පිය­වර ගෙන තිබිණි. එහි විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චර්ය මාතුල හෙට්ටි­ආ­රච්චි ඉන් පසු තත්ත්වය මෙසේ විස්තර කළේය:

“අව­ය­ව­වල පිහි­ටීමේ සංකීර්ණ ස්වභා­ව­යක් තිබුණ නිසා මේ දරු­වන් උපත ලබලා දව­සක් වගේ ඇතු­ළත සැත්ක­මක් කළා. මේ වගේ දරු­වන් වෛද්‍ය විද්‍යා­ත්ම­කව හඳු­න්වන්නේ Ischiophagus Tetrapus කියලා. ඉතා කලා­තු­ර­කින් මේ වගේ උපත් සිදු වෙන්නේ. ලෝක­යේම ගත්තොත් දරුවෝ 100ක් වගේ බිහි වෙලා තියෙන්නේ. ඒ අතු­රින් වෙන් කරලා තියෙන්නේ 20ක් වගේ සංඛ්‍යා­වක්. වෙන් කර­න්නම බැරි තත්ත්වයේ බද්ධ වූ දරු­වන් ඉන්නවා. ඒ වගේම ශල්‍ය­ක­ර්ම­වල තියෙන සංකීර්ණ බව නිසා වෙන් කරන්න උත්සහ නොකළ අවස්ථා වැඩියි.

“මේ දරු­වන් දෙදෙ­නාගේ විශේ­ෂ­ත්වය තමයි මොළය, හෘද­ය­ව­ස්තුව, අක්මාව, පෙණ­හලු හොඳට පිහි­ටලා තිබුණා. මේ දෙදෙනා බුද්ධි­මත් දරු­වන්. ඒ නිසා වර්ධ­නයේ අඩු­වක් පේන්න තිබුණේ නැහැ. වෙන් කරන්න අවු­රුදු 5ක් බලා ඉන්න වුණේ අව­ය­ව­වල පිහි­ටීමේ තිබූ සංකී­ර්ණතා නිසයි. පොඩි කාලේ ඉඳලා එකට හිටපු දෙන්නව වෙන් කරන බව අපි ඒ අයත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් දෙදෙනා ඒ හැඟීම් අපට ප්‍රකාශ කළා. සැත්ක­මට මුහුණ දීමට දෙන්නා ගියෙත් ඒ පිළි­බඳ හොඳින් තේරුම් ගෙන, අව­බෝ­ධ­යක් ඇතිවයි. මේ දරුවෝ දෙන්න­කුගේ මොළයේ ක්‍රියා­කා­රි­ත්වය සාමාන්‍ය දරු­ව­කුගේ වගේ­මයි. දැන් ඔවුන් පාසල් යන වය­සට ආසන්න නිසා හැම දෙයක් ගැනම අව­බෝ­ධ­යක් තියෙ­නවා.”

වික­ලාංග විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය අක­ලංක ජය­සිංහ පැව­සුවේ මෙවන් අද­හ­සකි:

“මේ දරුවෝ දෙන්න සම්බන්ධ වෙලා තිබුණේ ශ්‍රෝණි මේඛ­ලා­වෙන්. ශ්‍රෝණි මේඛ­ලාව පිහි­ටලා තිබුණේ සාමාන්‍ය අතට නොව හරස් අත­ටයි. කකු­ලට යන රුධිර ගම­නා­ග­ම­නය හා ස්නායු බේර­ගෙන තමයි ශ්‍රෝණි මේඛ­ලා­වෙන් දෙන්නා වෙන් කරන්න වුණේ. සී.ටී. ස්කෑන් එක­කින් අපි අධ්‍ය­ය­නය කරලා රුධිර ගම­නා­ග­ම­නය සිදු වන ආකා­රය බලලා තමයි අස්ථි වෙන් කරන්න සැල­සුම් කළේ. ශ්‍රෝණි මේඛ­ලාවේ රුධිර ගම­නා­ග­ම­නය ඉතා සංකී­ර්ණයි. මෙය කපා වෙන් කිරී­මේදී අධික රුධිර වහ­න­යක් සිදු වනවා. මේ නිසා සංකු­ලතා ඇති වෙන්න ලොකු ඉඩක් තියෙ­නවා.

“ඒක පාල­නය කර ගන්න, ස්නායු සහ රුධිර වාහිනී පද්ධති දෙක මාතුල හෙට්ටි­ආ­රච්චි හා බන්දුල සම­ර­සිංහ යන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සැත්කම මුල­දිම වෙන් කරලා දුන්නා. ඊට පස්සෙයි අස්ථි වෙන් කරන්න පටන් ගත්තේ. රුධිර වහ­නය වීම පාල­නය කර­ගෙන වෙන් කිරීම කළේ. අස්ථි දෙක වෙන් කළාම තමයි දරුවෝ දෙන්නා හරි­ය­ටම දෙපැ­ත්ත­කට වෙන් කළේ. මේ අයගේ පාද­ව­ලට ඉදි­රි­යේදී තවත් සැත්කම් කිහි­ප­යක් කරන්න වෙනවා. මේ අව­ස්ථාවේ අපේ මූලික අර­මුණ වුණේ දරු­වන්ගේ ජීවිත ආරක්ෂා කර­ග­නි­මින්, ඔවුන් එකි­නෙ­කා­ගෙන් වෙන් කිරී­මයි.”

ගෙවුණු වසර 5ක කාල­යේදී මේ දරු­වන් දෙදෙනා නිර්වි­න්ද­නය කර සිදු­ක­රනු ලබන සැත්කම් 15කට පමණ මුහුණ දී තිබේ. ඒ සැත්ක­ම්ව­ලදී සුවි­ශාල කාර්ය­භා­ර­යක් කළ පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය අශානි රත්නා­යක මෙසේ පැව­සු­වාය:

“නීරෝගි දරු­වෙක් වුණත් නිර්වි­න්දනය කිරීම ලොකු අභි­යෝ­ග­යක්. දරු­වකු නිර්වි­න්දන­යට කලින් ගොඩක් දේවල් සල­කලා බලන්න ඕනෑ. දරුවෝ දෙන්නෙක් එකතු වෙලා ඉන්න අව­ස්ථා­වක් නිසා මේක ගොඩක් ලොකු අභි­යෝ­ග­යක් වුණා. ඒ නිසා අපි නිර්වි­න්දනය කිරීම ඇතුළු සියලු දේවල් ගොඩක් සැල­සුම් කළා. වකු­ගඩු බද්ධ කිරීම ඇතුළු සැත්කම් කිහි­ප­යක් වෙනු­වෙන් මේ දරුවෝ නිර්වි­න්ද­නය කරලා තිබුණ නිසා අපට ඒ සම්බ­න්ධව යම් අව­බෝ­ධ­යක් තිබුණා. දරු­වන්ගේ හද­වත, ශ්වසන පද්ධ­තිය, පෙණ­හලු හා ස්නායු පද්ධ­තිය නීරෝගි තත්ත්වයේ තිබීම ධනා­ත්මක දේවල් ලෙස සල­කන්න පුළු­වන්.

“දරුවෝ දෙන්න එකතු වෙලා හිටපු නිසා ඔවුන්ට තිබුණේ එකම රුධිර සංස­රණ පද්ධ­ති­යක්. එක දරු­ව­කුට සිහි නැති කිරීමේ ඖෂධ දෙන කොට අනෙක් දරු­ව­ටත් සිහිය නැති වෙනවා. කලින් තිබුණු අත්දැ­කීම් එක්ක අපට අව­ශ්‍යය වුණා දරුවො දෙන්නම එක­වර සිහි නැති කරන්න. මෙත­නදී අපි කණ්ඩා­යම් දෙකක් ලෑස්ති කළා. කලින් දවසේ ඇත්ත­ටම අපි පෙර පුහු­ණු­වක් කළා. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක රෝහලේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය කවීෂා දිසා­නා­යක එක් කණ්ඩා­ය­මක් නියෝ­ජ­නය කළා. අපි කණ්ඩා­යම් දෙක එකතු වෙලා දරුවො දෙන්න එක­වර නිර්වි­න්දය කළා. දරු­වන් වෙන් කළාට පස්සේ ශල්‍යා­ගාර දෙක­කට යොමු කරලා තමයි ඉතිරි සැත්කම් කළේ. උදේ 7.00 සිට රෑ 9.00 දක්වා පැය 13ක පමණ දීර්ඝ කාල­යක් මේ දරු­වන් නිර්වි­න්දන තත්ත්වයේ හිටියා. එහිදී විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය වසන්ති පින්ටෝ හා විශේ­ෂඥ වෛද්‍ය අනුර අබේ­සු­න්දර දුන් සහය මෙහිදී සිහි­පත් කරන්න කැමැ­තියි.”

මේ දරු­වන් දෙදෙනා මුහුණ දුන් සැත්කම් ඉතා බර­ප­තළ තත්ත්වයේ ඒවාය. එවැනි සැත්කම් දරා­ගැ­නීමේ හැකි­යාව ශරී­ර­යට තිබීම වැද­ගත්ය. වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා අවු­රුදු 3ක්ද දරු­වන් වෙන් කිරීමේ සැත්කම සඳහා වසර 5ක්ද බලා ඉන්නට වෛද්‍ය­ව­රුන්ට සිදු වූයේ මේ නිසාය. සැත්ක­මින් පසු දරු­වන්ගේ තත්ත්වය නිරී­ක්ෂ­ණය කළ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විශේ­ෂිත ළමා රෝහලේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය කවීෂා දිසා­නා­යක මෙසේ පැව­සු­වාය:

“දරු­වන් දෙදෙනා පැය 13ක පමණ දීර්ඝ සැත්ක­ම­කින් පසු පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­ක­යට ඇතුළු කළා. දින කිහි­ප­ය­කට පසු සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ළමා රෝහලේ දැඩි සත්කර ඒක­ක­යට ගත්තා. සැත්ක­මින් පසු අපි දරු­වන්ගේ සිහිය ගත්තේ නැහැ. නින්ද යන්න බෙහෙත් දුන්නා. සැත්ක­මින් පසු සංකු­ලතා කිහි­ප­යක් ඇති වුණා. විෂ­බී­ජ­යක් ඇතුළු වෙලා ඒක පාල­නය කරන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. කොහොම හරි මේ දරු­වන් දෙන්නා ජීවත් කර­වන්න අපට පුළු­වන් වුණා. සති දෙක­කට ආසන්න කාල­යක් මේ දෙන්නා දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලැබුවා. දැන් මේ අයව තව ටික දව­ස­කින් ගෙදර යවන්න පුළු­වන්.”

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ පීඨා­ධි­පති නිර්වින්ද විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය සමන් නානා­ය­ක්කාර මේ සම්බ­න්ධ­යෙන් දැක්වූයේ මෙවන් අද­හ­සකි:

“වෛද්‍ය­ව­රුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය­ම­ණ්ඩල කිහි­ප­යක් අන්‍යොන්‍ය අව­බෝ­ධ­යෙන් සාර්ථ­කව වැඩ කළ නිසා තමයි අපට මේ ජය­ග්‍ර­හ­ණය ලබන්න පුළු­වන් වුණේ. මේ දරු­වන් සිසේ­රි­යන් සැත්ක­මින් බිහි කිරීම, සැත්ක­මට සූදා­නම් කිරීම සහ සැත්ක­මින් පසු රැක­බ­ලා­ගැ­නීම ඉතා අභි­යෝ­ගා­ත්ම­කයි. ඒ සැම දේටම කණ්ඩා­ය­මක් ලෙස ශල්‍ය, නිර්වි­න්දන, ළමා රෝග, ප්‍රසව හා නාරි­වේද ඇතුළු අංශ කිහි­ප­යක විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, ආචාර්ය-මහා­චා­ර්ය­ව­රුන් සම්බන්ධ වුණා. පේරා­දෙ­ණිය ශික්ෂණ රොහලේ සහ විශේ­ෂිත ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් හෙද කාර්ය­ම­ණ්ඩ­ලය හා අනෙ­කුත් කාර්ය­ම­ණ්ඩ­ලය, විකි­ර­ණ­වේ­දීන්, රසා­ය­නා­ගාර ශිල්පීන් සුවි­ශේෂ සහ­යෝ­ග­යක් දැක්වූවා.

“මේ දරු­වන් දෙදෙනා සහ මවු­පි­යන් අභි­යෝ­ග­ව­ලට සාර්ථ­කව මුහුණ දුන්නා. මේ වගේ බර­ප­තළ සැත්කම් අපි වගේ රට­වල කරන එක හරිම අභි­යෝ­ගා­ත්ම­කයි. මේ වගේ බද්ධ නිවුන් දරු­වන් වෙන් කිරීමේ සැත්කම් අපේ රටේ මීට කලින් එකයි කරලා තියෙන්නේ. වකු­ගඩු බද්ධ කිරී­ම­කුත් එක්ක මේ වෙන් කිරීම සිදු කළ යුතුව තිබූ නිසා මේ සැත්කම ලංකාවේ සිදු නොකි­රීම වඩා හොඳ බවට මත­යක් ඇතිව තිබුණා. මේ පවුලේ උද­විය ඉන්දි­යාවේ රෝහල් කිහි­ප­ය­කින් මේ සැත්කම කරන්න පුළු­වන්ද කියලා සොයා බලා තියෙ­නවා. පසුව ඇති විය හැකි සංකු­ලතා කිහි­ප­යක් නිසා මේ සැත්ක­මට යොමු නොවී සැත්ක­ම­කින් තොරව දරු­වන් රැක­බ­ලා­ගැ­නීම වඩා හොඳ බවට අද­හ­සක් ඒ අය­ගෙන් ලැබී තිබුණා.”

පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහල, සිරි­මාවෝ බණ­ඩා­ර­නා­යක විශේ­ෂිත ළමා රෝහල හා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨය එක්ව මේ අභි­යෝ­ගය සාර්ථ­කව ජය ගත්තේ එවැනි පසු­බි­ම­කය.

උපුටා ගැනීම – සිඵමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today