ඉතාලියේ සිට පැරීසියට ගිය මෝනා ලිසා බලන්නට ලූවර් කෞතුකාගාරයට ගියදා.මාකෝනි විසිවන සියවස මුලදී අත්ලාන්තික් සාගරය හරහා පණිවිඩ යැවූ හැටි බලන්නට ගියදා

ප්‍රංශ සංචාරයක මතකය

ඉතාලියේ සිට පැරීසියට ගිය මෝනා ලිසා බලන්නට ලූවර් කෞතුකාගාරයට ගියදා

මෝනා ලීසා චිත්‍රයේ ඇති මද සිනහව ගැන ඇති කතාන්තර මැද්දේ එයට ආසා නොකරන කෙනෙකු සොයාගැනීම දුෂ්කර වැඩක් . සේයාරූ තාක්ෂණය දියුණුව නොතිබූ 15 වන සියවසේදී පුද්ගල මතකයන් සදහා යොදාගැනුනේ සිත්තරෙකු විසින් අදින ලද සිතුවම් . ඉතාලියේ විසු ඩෙල් ගියෝකොන්ඩෝ ප්‍රභුවරයාට තම බිරිදගේ Lisa del Giocondo (also known as Lisa Gherardini). රුව සිතුවමට නගා ගැනීමට අවශ්‍ය වුනේ 1503 දී . ඒ  කාර්යය භාර දුන්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්සි

( Leonardo Da Vinci ) ට . තම ප්‍රියතම සිතුවම වූ බැවින් ඩාවින්සි විවිධ දෑ එකතු කරමින් එය තමා ළගම තබාගත් බව සදහන් . 1517 දී ප්‍රංශ රජුගේ ආරාධනයෙන් පැරීසියට යන විටත් එය රැගෙන යන්නට ඔහු අමතක කලේ නැහැ . 1519 මැයි 2 වැනිදා ඔහු මිය ගිය පසු ඔහුගේ නිර්මාණ භාරකාරත්වය දැරූ සලෙයි ( Salai) ගෙන් ප්‍රංශයේ ෆ්‍රැන්සිස් රජු මේ චිත්‍රය මිලදී ගත්තේ රන්කාසි 4000 කටයි . කලක් වර්සායි මැදුරේ රජුන් අසලම හුන් මෝනා ලීසා ප්‍රංශ විප්ලවයෙන් පසු ලුවර් මන්දිරයේ සැකසුනු කෞතුකාගාරයට පැමිණි බව සදහන් .

ලූවර් කෞතුකාගාරය පැරීසියට යන කවුරුන් වුණත් අත් නොහැර බලන තැනක්. පැරිසිය නගර මධ්‍යයේ තිබෙන එය හොඳින් බලන්නට නම් අවම තරමේ දින දෙකක්වත් අවශ්‍ය බවයි මගේ අදහසයි. සෙයින් නදියේ දකුණු ඉවුරේ පිහිටා තිබෙන  ලූවර් මන්දිරය දහතුන්වන සියවසේ දෙවන පිළිප් රජතුමා විසින් ඉදි කළ එකක්.වරින් වර ප්‍රංශ රාජකීයයන් විසින් ප්‍රතිසංස්කරණය කළ මේ මැදුර නගරයෙන් ඔබ්බෙහි ඉදි කළ වඩාත් සුවිසල් වර්සායි මැදුර වෙත රජ මැදුර සංක්‍රමණය වූ නිසා රාජකීය කලා කෘති එකතුවක් තැන්පත් කළ පරිවාර මන්දිරයක් බවට පත්ව තිබුනා.

1792 දී ග්‍රීක හා රෝම චිත්‍ර මූර්ති එකතුවක් සහිතව කලාගාරයක් ලෙසට ක්‍රියාත්මක වනු මෙය කෞතුකාගාරයක් බවට පත් කළ යුතුය යන අදහස ආවේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ 1793 දී. ඒ  අනුව 1793 අගෝස්තු 19 වැනිදා නැපෝලියෙන් අධිරාජ්‍යයා  විසින් අධ්‍යක්ෂකවරයෙකු සහිතව ක්‍රමවත් ලෙස මෙය පාලනය සඳහා ක්‍රමවේදයක් සකස් කළා. මුලින්ම කලා කෘති පන්සිය තිස් හතකින් (537) ආරම්භ කළ එයට නැපෝලියන් පාලන සමයේදී තවත් කලා කෘති විසි දහසක් (20,000) පමණ එකතු වූ බව  කියැවෙනවා

2019 සංඛ්‍යා ලේඛන වලට අනුව ලූවර් කෞතුකාගාරය සතුව විවිධ වර්ගයේ  කලාකෘති සහ කෞතුක භාණ්ඩ 615,797 පමණ ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් සඳහන්. ඒ අතර විවිධ ආක්‍රමණ මඟින් අත්පත් කරගත් දෑ , සුහද හුවමාරු මගින් ලැබුණු දේ ,  විශාල ලෙස ලැබුණු පරිත්‍යාග වගේම මුදල් ගෙවා ලබාගත් කලාකෘතිත්  තිබෙනවා

වර්ග අඩි  652,000 ක ඉඩක අංශ 8 ක් යටතේ මේ ප්‍රදර්ශන භාණ්ඩ 35,000 සිට 38,000 ක් මෙහිදී බලන්නට පුළුවන් කියලයි කියන්නෙ. ලෝකයේ විශාලතම කෞතුකාගාරය ලෙස නම් දරා තිබෙන මෙය මිලියන අටයි දශම හතක පිරිසක් නැරඹූ ලෝකයේ අංක එකේ ජනප්‍රිය කෞතුකාගාරය ලෙසින් ද වාර්තාවක් පිහිටුවා තිබෙනවා. දෙවන ලෝක යුද සමයේදී නාසි ජර්මන් හමුදාව විසින් ප්‍රංශය ආක්‍රමණය කෙරුණා. ඔවුන් ප්‍රංශය  පාලනය කළ සමයේ විවිධ පුද්ගලයින් සතුව තිබූ පෞද්ගලික කලාකෘති විශාල ප්‍රමාණයක් ජර්මනියට රැගෙන ගොස් තිබෙනවා. පසුකාලීනව ප්‍රංශ රජය විසින් අත්පත් කරගත් ඉන් හතළිස් පන්දහසක් පමණ අදාළ පවුල්වල සාමාජිකයන් වෙත ලබා දී ඇති දෙදහසක් තරම් ප්‍රමාණයක්  තරම් තවමත් ලුවර් කෞතුකාගාරය තුල ඉතිරිව  තිබෙනවා. එසේ තිබෙන චිත්‍ර එකතුවෙන් 296 ක් එකතු කොට වෙනමම ප්‍රදර්ශන කුටියක් ලූවර් කෞතුකාගාරයේ පිහිටුවා තිබෙනවා

තාක්ෂණයේ  දියුණුව නිසා මේ වන විට ප්‍රදර්ශනයට තබා ඇති ප්‍රදර්ශන භාණ්ඩ සහ චිත්‍ර රැසක් අන්තර්ජාලයෙන් ඔබට බලන්නට පුළුවන්. ඒත්  පිළිවෙලකට, සැලකිලිමත් විදිහට කෞතුකාගාර ප්‍රදර්ශන කුටිවලදී බලන අත්දැකීම ඔබට ඉන් ලැබෙන්නේ නෑ. ඉතා ඉහල කෞතුකාගාර තාක්ෂණයක් යටතේ ත්‍රිමාණ රාමු, පසුබිම් බිත්ති වර්ණ සහ ආලෝකකරණ තත්ව  යටතේ ඔබට ලැබෙන වින්දනය ලබන්නට නම්  ඉතා ඉහල කෞතුකාගාර තාක්ෂණයක් යටතේ ත්‍රිමාන රාම පසුබිම් බිත්ති වර්ණ සහ ආලෝක කරන තත්ව  යටතේ ඔබට ලැබෙන වින්දනය ලබන්නට නම් තරමක මිල අධික ප්‍රවේශ පත්‍රයක් අරගෙන ලුවර් කෞතුකාගාරයට යන්නටම වෙනවා.

චිත්‍රපටයකදී ලියනාඩෝ ඩාවින්චි  මෝනා ලීසා චිත්‍රය අදින අයුරු දුටු දසුන සිතේ දරාගෙන සිටි මා නරඹන්නට ඇති දේ අතර ලැයිස්තුවේ අංක එකේ තබා තිබුනේ මෝනා ලීසා චිත්‍රයයි. ජනප්‍රිය බවින් ඉතා විශාල වුනත් අප හිතන තරම් විශාල නැති එහි සැබෑ ප්‍රමාණය දිගින් අගල් 30 ක් සහ පළලින් අගල් 21 ක් . 77 cm x 53 cm (30 in x 21 in).තෙල් සායමෙන් පොප්ලර් පැනල් මත නිර්මාණය කර තිබෙනවා. එය හොදින් බලන්නට නම් උදෑසන කෞතුකාගාරය විවෘත කල විගසම එය ඇති කුටියට දිව යාම නුවණැති වැඩක් . මගේ හිතවතෙකු දුන් ඒ උපදෙස මටත් , අපේ ගමන් සගයන් රැසකටත් මෝනා ලීසා ඉදිරිපස සිට හොද සේයාරු රැසක් ගන්නටත් මග පෑදු බව කිව යුතුයි .ඔබ පමා වුණොත් ඔබට මෝනා ලිසාව බලන්නට වන්නේ දුරක සිටයි . ඒ තරමටම ඒ  කුටිය ජනාකීර්ණ වෙනවා 

දිගු පෝලිමේ රැඳී ඉන්නවා වෙනුවට ඔබට කෙලින්ම අන්තර්ජාලයෙන් ඔබට පහසු දිනය සහ වේලාව අනුව ටිකට්පත් වෙන්කරවා ගන්න පුළුවන්. අඟහරුවාදා දිනයේදී කෞතුකාගාරය වසා තිබෙනවා. සතියේ බදාදා සහ සිකුරාදා දිනවල උදෑසන නමයේ සිට රාත්‍රී නමය වන තෙක් වගේම සඳුදා බ්‍රහස්පතින්දා සිකුරාදා සහ ඉරිදා දිනවල උදේ 9 සිට සවස 6 දක්වා  ජනතාවට විවෘතයි. වසරේ කාර්යබහුලම කාලසීමාව ලෙස සැලකෙන ජූනි 19 වැනි දා සිට අගෝස්තු 31 වැනි දා දක්වා කාලයේදී යනවා නම් කලින් වෙන් කරවා ගැනීම අනිවාර්ය වෙනවා.ඒ වගේම ව්‍යාජ යොමු රැසක් තිබෙන නිසා හරිම දිගුවෙන් මේ ටිකට්පත් ගන්නත් පරිස්සම් වුනොත් හොඳයි

අවුරුදු 18 ට අඩු අයට අවුරුදු 26 ට  අඩු සහ වැඩිහිටි යුරෝපා ආර්ථික ප්‍රදේශයේ වැසියන්ට ලූවර් කෞතුකාගාරය නොමිලේම බලන්නට පුළුවන්. ඒ වගේම මෙහි සංවිධානය කළ සංචාර සහ ශ්‍රව්‍ය පටිගත කළ තොරතුරු ඇතුලත් උපාංග තිබෙන නිසා ඒවා ලබාගන්නටත් ඔබට පුළුවන්. කිලෝමීටර් 13.5 ක් දිගු ප්‍රදර්ශන වපසරියක් තිබෙන ලූවර්  කෞතුකාගාරය දවසකින් බලන්නට බැරි නිසා බලධාරීන් කියන්නේ කොටස් වශයෙන් ඔබට ඉඩ ලැබෙන විදිහට ඇවිත් බලන්න කියලයි . භාෂා 9 කින් සකස් කර  තිබෙන සිතියම් pdf පිටපත් ඔබට අන්තර්ජාලයෙන් භාගත කරගන්න පුළුවන්. මහල් පහක එකිනෙකට සම්බන්ධ කොටස් තුනක් Wings  යටතේ මේ ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කර තිබෙනවා

ඒ Wings  තුන නම් කර තිබෙන්නේ මෙහෙමයි. 

1. Sully  හතරවන හෙන්රි රජුගේ මහ ඇමැතිගේ නමින්

2. Richelieu  අටවන ලුවි රජුගේ මහ ඇමතිගේ නමින්

3. Denon  ලූවර්  කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා ගේ නමින් 

මේ  එකිනෙක කොටස් ගැන වෙන වෙනම මේ සටහනේ  විස්තර කරන්නට යන්නේ නෑ. ඒත් ඒවා තුළ මෙසපොටේමියාවේ ග්‍රීසියේ , රෝමයේ,  ඉතාලියේ යුරෝපයේ චිත්‍ර මූර්ති සහ කැටයම් විශාල ප්‍රමාණයක් ඔබට දකින්නට පුළුවන්. The Studio නමින් හැඳින්වෙන මැද මිදුල ප්‍රදේශය ඔබට කොටසින් කොටස බලන අතරේ කෙටි විවේකයක් ගන්නට ඉතා සුදුසු පරිසරයක් සකස් කළ තැනක්.

පුරා දින කිහිපයක් පුරාම බලන්නට තරම් දේ ඇති මෙහි තිබෙන මයිකල් ඇන්ජෙලෝ ( Michael Angelo )ගේ මරණයට කැප වූ වහලා (Dying slave) සහ Venus de Milo ග්‍රීක ප්‍රතිමාවත් මහජනතාව රැස්   කකා බලන තවත් අංග දෙකක් . කෞතුකාගාර වර්ගීකරණ තුල ලුවර් වලට ඉතා වටිනාකමක් ලැබෙන්නේ එහි ඇති සැකැස්ම , අන්තර්ගතය සහ ඒවා ඉදිරි පරම්පරාවට ගෙන යාමේදී දක්වන දක්ෂතාවය නිසා. ගෘහ නිර්මාණ ශිල්පී අයි එම් පෙයි ( I M Pei) ගේ සැලසුමකට 1988 දී ඉදිවුණු විදුරු පිරමිඩය එය 21 වන සියවසට විවර කල දොරටුව වෙනවා .

ග්‍රීක ප්‍රතිමා, ඊජිප්තු ප්‍රදර්ශන භාණ්ඩ අතරින් ඇඳී ගිය මගේ හිත ගත්තේ 16 වන සියවසේ ඇඳි ඉතාලි චිත්‍ර තිබෙන The Grand galrie සහ රතු කාමර ලෙස නම්වන The Salle Mollien වෙතයි. සියවස් තුනක ප්‍රතිමා තිබෙන මයිකල් ඇන්ජිලෝ කුටිය තාමත් මගේ මතකයේ  වෙනමම ඉඩක් වෙන් කරගෙන ඉන්නවා කියලා හිතෙන්නෙ. මධ්‍යධරණී  ප්‍රදේශයේ අනර්ඝ පුරාවස්තු, ඉස්ලාමීය චිත්‍ර, ප්‍රංශයේ රජමාලිගාවල තිබූ පසුබිම සකස් කර තිබෙන කුටිවලදී දකින්නට පුළුවන්.. ලෝකයේ විවිධ රටවලින් ගෙනා ප්‍රදර්ශන භාණ්ඩ මෙහි ප්‍රදර්ශනය සඳහා තිබෙනවා කියා National Geographic සඟරාව සඳහන් කරනවා ඒ අනුව  16 වැනි සියවසට අයත් ශ්‍රී ලංකාවේ නිමවුණු හැඳි ගෑරුප්පු කට්ටලයක්  මෙහි තිබෙනවා කියලයි කියන්න. ඒත් මටනම් එය දකින්නට ඉඩක් ලැබුණේ නෑ

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2025/07/blog-post.html

කැනේඩියානු සංචාරයක මතකය

මාකෝනි විසිවන සියවස මුලදී අත්ලාන්තික් සාගරය හරහා පණිවිඩ යැවූ හැටි බලන්නට ගියදා

එක්සත් රාජධානියේ Poldhu ප්‍රදේශය සහ කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ත පළාතේ St. Johns නගරය අත්ලාන්තික සාගරයේ දෙකොනක පිහිටා තිබෙන ප්‍රදේශ දෙකක්. දල වශයෙන් ඒ අතර දුර ප්‍රමාණය කිලෝමීටර් තුන්දහස් පන්සීයක් තරම් වෙනවා. වර්තමානයේ නම් එය මහා දුරක් නොවෙන්නේ ගුවන් යානයකින් පැය කිහිපයකින් වගේම චන්ද්‍රිකා තාක්ෂණය හරහා කරන සන්නිවේදනයකදී තත්පර කිහිපයකින් ඒ ප්‍රදේශ දෙක සම්බන්ධ කරගන්නට පුළුවන් නිසා.  බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය තිබූ 1901 දී  නම් එය දින 14ක තරමේ මුහුදු ගමනක්. ඒකත් කාලගුණයේ  තිබෙන වෙනස්කම් මත වැඩි වෙන්න පුළුවන්.

කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ත පළාතේ  ශාන්ත ජෝන් ප්‍රදේශයේ 1901 දෙසැම්බර් 12 වැනි දා අඩි 500ක් උස සම්ප්‍රේෂණ කුළුණක් පිහිටුවා ඒ වන විටත් Poldhu  ප්‍රදේශයේ තිබූ සන්නිවේදන මධ්‍යස්ථානයට පණිවිඩයක් යවන්නට උත්සාහ කළේ රාජකීය නාවික හමුදාවේ අනුග්‍රහය ලැබූ අපි කවුරුත් අසා තිබෙන ජනප්‍රිය චරිතයක්.  ඒ වෙන කවුරුවත් නෙමේ  Guglielmo Marconi රේඩියෝ  සම්ප්‍රේෂණ තාක්ෂණයේ පියා විදියට සැලකෙන මාකෝනි  තම සහායකයින් කිහිප දෙනෙකු එක්ක Levitor  කියන සරුංගලය භාවිතයෙන් ඒ තාවකාලික කුළුණ සකස් කළා. අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ මේජර් Baden Baden Powell. මෝස් සංඥා ක්‍රමයේ  එස් අකුර ( S )  භාවිතා කරමින් කිලෝ හර්ට්ස් අටසිය පනහක මධ්‍යම තරංග පණිවිඩය සාර්ථක නොවුණේ දිවා කාලයේදී අයන ගෝලයේ තිබෙන ගැටලුවක් නිසා. 

නමුත් මාකෝනි සහ බ්‍රිතානය යටත් විජිතය වැඩේ අතහැරියේ නෑ.1902 ඔක්තෝබර් මාසයේ දී Carlo Alberto කියන ඉතාලි යුද්ධ නැව කැනඩාවේ නෝවා ස්කොෂියා පළාතේ සිඩ්නි  වරායට ආවේ රේඩියෝ සන්නිවේදනය සඳහා අවශ්‍ය ආම්පන්න පුරවාගෙනයි.  ඒවා භාවිතයෙන් නෝවා ස්කොෂියා පළාතේ Glace Bay   ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබුවේ Marconi Wireless Telegraph Company  ආයතනය විසින්. 

අක්කර හතරයි දශම නවයක බිම් කඩක විශාල ඇන්ටනා හතරක් පිහිටුවා කිලෝවොට් 75 ක

Spark Gap Transmitter එකක් භාවිතයෙන් අත් ලාන්තික්  සාගරය හරහා කැනඩාව සහ

එංගලන්තය අතර පණිවිඩ හුවමාරුව සිදුවුණා. 1905 තරම් වනතුරු පර්යේෂණ මට්ටමේ තිබූ

එය 1908 වන විට වාණිජ ව්‍යාපාර මට්ටමට දියුණු වී තිබුණා.පළමු සහ දෙවන ලෝක

යුද්ධවලදී සහ මුල් කාලීන නාවික ගමනාගමනයේදී එය බ්‍රිතාන්‍ය යටත් විජිතයට මහත්

මෙහෙයක් කල  බව කියවෙනවා.

1912 අප්‍රේල් 15 වෙනිදා මුහුදුබත් වුණු RMS Titanic අනතුරේ දී මගීන් 705 දෙනෙකුට RMS Carpathia නැවට බේරාගන්නට පණිවිඩ යැවුනේ ඒ මධ්‍යස්ථානයේ උපකාරයෙන්. බ්‍රිතාන්‍ය රජයේ, ඇමෙරිකානු රජය සහ ඉතාලි රජයේ විවිධ ගරු සම්මාන වලින් සහ 1909 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් තෑග්ග ලැබුණත් මාකෝනි ගේ ව්‍යාපාර , ව්‍යාපාරික අතින් එතරම් සාර්ථක වුණේ නෑ ඉතා ප්‍රකට රේඩියෝ ආයතනයක් වන BBC  රේඩියෝ බිහි කිරීමේදිත් මාකෝනිගෙන් විශාල මෙහෙයක් වූ බව කියවෙනවා.

 වෙනත් නවීන තාක්ෂණයන් සහ ගුවන්යානාවල ආගමනයත් එක්ක Glace Bay  ප්‍රදේශයේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානය   1946 දී වසා දැමුණා. Russell Cunninagham මහතා එය මිලට ගත්තා. අදත් එය පවතින්නේ පෞද්ගලික බූදලයක් විදිහට. ඉතා සීමිත අවස්ථාවලදී පර්යේෂණ කටයුතුවල යෙදෙන පිරිස් සඳහා නටබුන් වූ එම පරිශ්‍රයට ඇතුල් වන්නට ඒ පවුලේ අය අවසර දෙතත් පොදු මහජනතාවට එම පරිශ්‍රය විවෘත නැහැ.

 ඒ තත්ත්වය තේරුම් ගත් මධ්‍යම රජයේ Parks Canada  ආයතනය විසින් 1983 දී මුල් පරිශ්‍රයේ පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් අටක( 8)  තරම් දුරින් පිහිටි බිම් කඩක ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. ඔබ එතැනට ගියොත් අත්ලාන්තික්  සාගරය හරහා වුණු පණිවඩු හුවමාරුව ගැන බොහෝ තොරතුරු සහ ආදර්ශන මගින් ඒ ගැන තොරතුරු දැනගන්නට පුළුවන්. ඔබට වැඩි උනන්දුවක් ඇත්නම්  Marconi Trail  එක හරහා ගිහින් මුල් පරිශ්‍රයේ මායිම් බලන්නත් පුළුවන්,

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2025/09/blog-post_13.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *