
අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවටම තමන්ගේ ගීත නිර්මාණ තුලින් සමාජ සත්කාරයක් කල චරිතයක් එක්ක . ඇයගේ සුවිශේෂී තාවය වන්නේ ටොරොන්ටෝවේ වෙසෙන වැඩිම ස්වතන්ත්‍ර ගීත එකතුවක් තිබෙන ගායිකාව ඇය නිසයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.
අනෝජා මකුලොළුව නම්වූ මියුරු හඬකින් ගී ගයන අප හිතවතිය, 2026 ඔක්තෝබර් මස 10 වැනිදා “ප්‍රේමනීය ගී සැදෑව” නම්වූ ගී ප්‍රසංගයක් Mississauga නගරයේදී පවත්වන බව අප දැනගත්තේ “මුහුණුපොත” හරහායි. භාවාත්මක කටහඬක් ඇති, නන්දා මාලිනියගේ ගී මනස්කාන්ත ලෙස ගයන අනෝජාවගෙන්ම ඇයගේ ප්‍රේමනීය ගී සැදෑවේ පසුබිම පිළිබඳව තොරතුරු දැනගැනීමටයි අප “Srilancan” විද්‍යුත් පුවත්පතේ පාඨකයින් වෙනුවෙන් මා ඇයව දුරකථනය හරහා සම්බන්ධ කර ගත්තෙ.
ඉතාමත් ප්‍රියමනාප අනෝජා මකුලොළුව මට මුණ ගැසුනෙත් ඉතා අහම්බයකින්. Hamilton නගරයේ පැවැත්වූ ගී එකමුතුවකට සහභාගී වූ මා දුටු පමණින් සිත් ගත්තේ ඇයගේ අව්‍යාජ අල්පේච්ච පෙනුමයි. ඉන්පසුව, ඇය නන්දා මාලිනිය නම්වූ කෘතහස්ත ගායිකාවගේ “විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ” නම්වූ ගීතය ගයද්දී, ශාලාවේ සිටි ප්‍රේක්ෂකයින් සියල්ලන්ම හුස්ම ගැනීමටවත් අමතකව බලා සිටියේ, ඇයගේ මියුරු ස්වරයට වසඟ වූ හේතුවෙන් බවයි මට එවලේ පසක් වුයේ. ගීතය අවසාන වූ සැනින්, ඇය මුණගැසුණු මා ගීතය පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කළා.


දුරකථන සංවාදය ආරම්භයේදීම මා අනෝජාට ආරාධනා කළා, ඇය හැදුනු වැඩුනු පරිසරය පිළිබඳව Srilancan ප්‍රේක්ෂකයින් සමඟ තොරතුරු බෙදා ගන්නා ලෙසට, “මම ඉපදුනේ මහනුවර දිස්ත්‍රික්කයේ, නුවර සිට සැතපුම් 4 ක් පමණ දුරින් පිහිටි කැටවල ලෙවුල නම්වූ පුංචි ගම්මානයේ. මහනුවර රෝහලේ සේවය කල භෞත චිකිත්සකයින් (Physio Therapists) වූ මගේ දෙමාපියන්ට හිටියෙ පුතාලා 4 දෙනෙක් සහ පවුලේ බාලයා වූ මම. ඉතිං අය්යලා මැද්දෙ මමත් හැදුනෙ කොල්ලෙක් ගානටමයි. ඉතාමත් සුන්දර යුවලක් වූ මා දෙමාපියන් සමඟ අපි ගත කලේ සතුට සොම්නස පිරුණු ආදරණීය කැදැල්ලක”, ඇය කතාව ඇරඹුවේ අතීතයේ සොඳුරු බවත් මතක් කරගෙනම.
ඔබ කැමතිද ඔබගේ අධ්‍යාපනය ගැනත් අප පාඨකයින්ට යමක් කියන්න?, “අපි මධ්‍යම පාන්තික පවුලක්, මාව නුවර HIllwood පෞද්ගලික පාසැලට යැව්වෙ අපේ දෙමාපියන්ගේ අතමිට සරු නිසා නෙවෙයි, මම එකම කෙල්ල නිසා ආරක්ෂාවට. රමණීය පරිසරයක පිහිටි අපේ පාසලේ සුන්දරත්වය කියන්න වචන නැහැ. මල්වත්ත පන්සලට එහායින් තිබු කන්දෙ පිහිටා තිබුණු අපේ පාසලෙන් එලියට බැස්සම පේන්නෙ මනස්කාන්ත මහනුවර නගරය. පාසැල් අධ්‍යාපනයෙදී, මම අති දක්ෂ ශිෂ්‍යාවක් නෙවෙයි. 8 පන්තියෙදී මාව විද්‍යාලයීය නේවාසිකාගාරයේ නැවත්වුයේ පවුලේ එකම දුව නිසා වැඩි ආරක්ෂාවට. ඒ නිසා මට අවස්ථාව ලැබුනා පෙරට වඩා පාසැලෙන් පසුව බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වෙන්න. උදේට අපි ඇහැරෙන්නෙ මාලිගාවේ තේවාවේ සද්දෙට”, ඇය මොහොතකට නැවතුනා.
ඔබගේ ගායනා ජීවිතයේ ආරම්භය කොතැනද?, “මගේ සංගීත ජීවිතයට අඩිතාලම වැටුනෙ මම අටේ පන්තියේ ඉද්දි. අප පාසැලේ සංගීත ගුරුවරිය වුයේ ට්‍රිනිටි කොලීජියේ විදුහල්පතිගේ බිරිඳ අයිරාංගනී වික්‍රමසිංහ මහත්මිය. ඇය සෑම බ්‍රහස්පතින්දාකම පැමිණ අපිට ගීතිකා පුහුණු කළා. එතුමිය අපේ පාසැලේ නිවාසාන්තර සංගීත තරඟ පැවැත්වීමට පෙර, ඒවාට අවශ්‍ය ඒකල ගායන සඳහා අපේ කටහඬ පරීක්ෂා කළා. සබකෝලය හේතුවෙන් අප කිසිවෙක් ඉදිරිපත් නොවු නිසා, ගුරුතුමිය අපිට බලකරලා සිංදු කියෙව්වා. මගේ කටහඬ ඇසු අයිරාංගනී ගුරුතුමිය කිව්වා, “ඔයාට හොඳ Alto Voice එකක් තියෙනවා” කියලා. එහි අදහස තේරුම් ගන්න තරම් බුද්ධියක් මට එදා තිබුනෙ නැහැ. මම එදා කිව්වෙ “Sound Of Music” එකේ සිංදුවක්. මම දෙවෙනි තැනට තේරුණු නිසා, මාව ඒකල ගායනයන්ට තෝරා ගත්තා. ගීතිකා කණ්ඩායමේ හිටපු 25 දෙනාගෙන් 7-8 ක් පමණයි ඒකල ගායනයන්ට තෝරා ගත්තෙ. එම ගීතිකා තරඟයෙන්, සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලැබීම හේතුවෙන්, ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) ඉංග්‍රීසි සේවයේ පැය භාගයක වැඩ සටහනක් කිරීමේ අවස්ථාව අපේ HIllwood පාසලට ලැබුනා. එහිදී, මම ගායනා කලේ ජුඩිත් ඩර්හැම් (Judith Durhm) ගේ “Erisky Love Lilit” ගීතය”, ඇය අතීතය මෙනෙහි කලේ ඉතා ප්රමෝදයකින්.


ලගන්නා සුළු කටහඬක් ලැබීම, කෙනෙකුට ලැබිය හැකි විශාල වරප්‍රසාදයක් වුවත්, ඒ තමයි අනෝජා මකුලොළුවගේ ජීවිතයේ මුල් භාගයේ ගීත ගායනා කිරීමේ අවසානය. ඇයගේ දෙමාපියන්ට තරුණ සිසුවිය අනෝජාවගේ හැකියාව පිලිබඳ දැනුමක් තිබුනත් එය නොසලකා හැරීමට හේතුව, එදා ලාංකික පරිසරයේ කලාකරුවන්ට තිබු අඩු සැලකීම විය හැකියි. අප පුවත්පතේ අරමුණ වුයේ ඇයගේ චරිතාපදානය නොවුනත්, එතැනින් ආරම්භ වූ අයගේ ජීවන ගමන, ගායනය මෙන්ම ඉතා ආදර්ශමත් බව දැනුණු නිසා, ඒ කතාව ඇසීමට මා උත්සුක වුවා.
ඇය නැවත කටහඬට පණ දුන්නේ ඉතා දඟකාර කටහඬකින්, “මාව විශ්ව විද්‍යාලයට යවන්න අපේ දෙමාපියන්ට උවමනාවක් තිබුනෙ නැහැ. මට ආසාවක් තිබුනා ගුවන් යානාවලට සම්බන්ධ රැකියාවක් කරන්න. මම අහලා තිබුනා ඒවායේ වැඩකරන අයට පිටරට යන්න ටිකට් හම්බ වෙනවා කියලා. අම්මා කිව්වා මොනවා කලත් මට කමක් නැහැ, මොන්ටිසෝරි ඩිප්ලෝමාවක් කරන්නත් කියලා. එවැනි සුදුසුකමක් තිබුනොත්, ගෙදර ඉඳගෙන හරි රැකියාව කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම උසස් පෙළ හමාර කරලා “Marian Montessori” නම්වූ මොන්ටිසෝරි පාඨමාලාව හැදෑරුවා. එම පාඨමාලාව අවසානයේම, මට “Ecole” නම්වූ ජාත්‍යන්තර පාසැලෙහි පෙර පාසැල් ගුරුවරියක ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුනෙ මම බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනට”, ඇය පැවසුවා.
“Ecole” ජාත්‍යන්තර පාසැලෙහි ගතකල වසර 12 ගැන අනෝජා මා සමඟ පැවසුවේ ඉහවහා ගිය සතුටකින්. එය ඇයට රැකියාවකට අභිභවා ගිය සතුටක් ආස්වාදයක් ගෙන දුන්නේ, දරුවන් සමඟ ගෙවූ කාලය ඉතාමත් ආශ්වාදජනක වූ නිසයි. දෙමාපියන් ඇයගේ පන්තියට දරුවන් ඇතුල් කරගැනීමට පොර බැදුයේ දරුවන් වෙනුවෙන් ඇයගේ තිබු කැපවීමයි. ඉතාමත් විචිත්‍ර ලෙස දරුවන්ට අවශ්‍ය සියළුම දේ සකස් කර දීම හේතුවෙන් දරුවන්ද ඉතාමත් උනන්දුවෙන් අධ්‍යාපනයට යොමු වුවා. එහි විදුහල්පතිනිය වූ මොනරාගල මහත්මිය, ගුරු මණ්ඩලය සහ දරුවන් ඇයට දැක්වුයේ අසීමිත ආදරයක්. එහිදීත් ඇයට පුංචි දරුවන් සමඟ ගී ගායනා කිරීමට අමතරව වෙන කිසිම ගායනා දිශානතියකට හැරීමට අවස්ථාවක් ලැබුනෙ නැහැ.


ඔබගේ පවුලේ වෙනත් කලාවට සම්බන්ධ අය ඉන්නවද?
ඇත්තටම, මම නම් හිතන්නෙ නැහැ මගේ අම්මා තාත්තට එවැනි හැකියාවක් තිබුනා කියලා. එයාලා විද්‍යා අංශයේ අය, ඒත් මගේ එක අය්යා කෙනෙක් වාදක කණ්ඩායමක දක්ෂ වාදකයෙක්. දෙවෙනි අය්යා සිල්වෙස්ටර් බෑන්ඩ් එකේ බටනලා වාදකයෙක්. අනික් අය්යා බොහොම අපුරුවට එස්ට්රාජ් එක වාදනය කල හැකි කෙනෙක්. නමුත් එම දක්ෂතා ඉදිරියට ගෙන යාමට කිසිම රුකුලක්, මඟ පෙන්වීමක් ගෙදරින්වත්, පාසැලින්වත් ලැබුනෙ නැහැ. ඒ නිසා එම දක්ෂතා උපන් ගෙයිම මියෑදුනා. ඇත්තටම, ඒක ලාංකික අධ්‍යාපන ක්රමයේ තිබෙනා බරපතල අඩුපාඩුවක්. ලංකාවේ ජීවන අරගලය නම්වූ ගිරි දුර්ගය හමුවේ, දක්ෂයෙකුට වුවත් කලාවට සිත යෙදවීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි” ඇයගේ වචනවල තිබුනෙ කලකිරීමක්.
සංගීතයට සම්බන්ධව ඔබ පුහුණුවීමක් ලබා තිබෙනවද?
එදා පාසලේදී, සතියකට වරක් මගේ සංගීත ගුරුවරිය වූ අයිරාංගනී වික්‍රමසිංහගෙන් ලැබුණු ගීතිකා පුහුණුවට අමතරව, අමරදේව සංගීත ආශ්රමයෙන් මාස හතරක අන්තර්ජාල පාඨමාලාවක් හරහා එක රාගයක් ඉගෙන ගනු ලැබුවා. ඒ ඇරුනහම පාසැලේදීවත්, පිටතදීවත් එහෙම අවස්ථාවක් මට ලැබුනෙ නැහැ”, සුසුමකින් ඇගේ වේදනාව පිට වුවා.
ඇය ඉන්පසුව, ඉතාමත් සංවේදීව මා සමඟ බෙදා ගත්තේ, 1994 දී සිදුවූ ඇයගේ පියාගේ අභාවය පිලිබඳව. අදිසි මොහොතක සිදු වු පියාගේ අභාවය වන විට විවාහ වී සිටියේ දරුවන් 5 දෙනෙකුගෙන්, වැඩිමහල් සොහොයුරන් දෙදෙනා පමණයි. එම සංසිද්ධියෙන් අම්මාගේ කර මතට වැටුනාවූ බර පිළිබඳව ඇයට බරපතල සංවේදනාවක් ඇති වුවා. ඇයගේ ජීවිතයේ ඊළඟ කඩඉමට මුහුණ දෙන්නේ ගෙදරින් ගෙනා යෝජනාවකින් ජානක ගුණතිලක සමඟ විවාහ වී ගම්පලට පදිංචියට යාමෙන්. ඇය සේවය කල “Ecole” ජාත්‍යන්තර පාසලට එතැන සිට සැතපුම් 12ක් තිබුනා. තම මුල් දරුවා ලැබෙන තෙක් එහි සේවය කලත්, දරුවා ලැබීමෙන් පසුව ඇයට එම විදුහලට සමු දීමට සිදු වුයේ තම දරුවා හරියාකාරව බලාගැනීම සඳහා වෙනත් විකල්පයක් නොතිබූ නිසා. මවක ලෙස ඇය තීරණය කළා තම දරුවා වෙනුවෙන් එම කැප කිරීමට මුහුණ දීමට. ඇයගේ ස්වාමියා ජානක ගුණතිලකගේ පියාවූ නීතීඥ පී. බී. ගුණතිලක මාමණ්ඩියට අනෝජාගේ ආදරණීය ගුරු රැකියාවත්, දරුවාගේ ප්‍රශ්නයත් අතරට මැදිව ඇති උභතෝකෝටික ප්රශ්නය තේරුම් ගැනීමට ගතවුයේ ඉතා කෙටි කලයි. ගම්පල නගරය මධ්‍යයේ පිහිටි ඔවුනගේ නිවසේම මොන්ටිසෝරියක් පවත්වන ලෙසට ඔහුගෙන් වටනා උපදෙසක් ලැබුනා. 1999 දී, ගෙදර කොරිඩෝවේ, එක දරුවකුගෙන්, එක බංකුවකින් සහ එක පුටුවකින් ආරම්භ කල මොන්ටිසෝරිය පසුව මාමා විසින්ම අලුත්වැඩියා කර දෙනු ලැබූ පිටුපස තිබු ගරාජයට මාරු වූ පසු, වසරක් ඇතුලත දරුවන් 14 දෙනෙක් දක්වා වැඩි දියුණු වුවා. ඒ අතරම, දරුවාට කිරිදීම, බලාගැනීම කෙතරම් අසීරු වුවත් පාසැලේ වැඩ ඉතාමත් තෘප්තියෙන් කරගෙන යාමට හැකිවුයේ, ඇය දරුවන්ට ඉගැන්වීමට දැක්වූ ප්‍රබල ආශාව නිසයි. මුල් දරුවාට වයස අවුරුදු දෙකක් වීමටත් පෙර ඇය නැවතත් ගැබ්බර වුයේ ජීවිතය තවත් අසීරු කරමින්. මේ සියල්ල මධ්‍යයේත්, එම ආදරණීය ගුරු වෘත්තීය ඇයට ගෙන දුන්නේ ආස්වාදයක්.
කාමර 30කට ආසන්න සංඛ්‍යාවක් තිබු ඇයගේ මාමාගේ නිවසේ පිහිටවූ මොන්ටිසෝරි පාසැලට, නිවසට ආසන්නයෙන් ගලා යන මහවැලි ගඟ, මනරම් ලෙස පෙනෙන කොත්මලේ කඳුවැටි මනස්කාන්ත පරිසරයක්ද ලබා දුන්නා. එදා එක දරුවකුගෙන් ආරම්භ කල මොන්ටිසෝරිය අද දරුවන් 500 දෙනෙක්, විදුහල්පතිනියක් සහ ආචාර්ය මණ්ඩලයේ 30 ක් 35 ක් සිටිනා ජාත්‍යන්තර පාසලක්. එහි අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන එම පාසැලේ, සෑම ආගමකටම ගෞරවයක් සහ භක්තියක් ඇතිවයි අධ්‍යාපන කටයුතු කෙරෙන්නෙ. වසර පුරාම, විවිධ ජාතීන්ගේ උත්සව සැමරීමත් පාසැල මගින් සිදු කරනවා. විශේෂ අවස්ථාවල සිදු කෙරෙන දරුවන්ගේ ප්‍රසංග කොත්මලේ සේවයේ ප්‍රචාරය කිරීමත් කරනු ලබනවා. අප ලාංකීය සමාජයට, ජාතීන් අතර සමගිය අත්‍යාවශ්‍ය දෙයක් ලෙසයි අනෝජා සලකන්නෙ. ගම්පල පිහිටි එම පාසැල “IMS International School”. තම දරුවනුත්, සිය පවුලත් රැකගෙන මෙවන් විදුහලක් බිහි කිරීමට අනෝජා නම්වූ ඒ ධෛර්යමත් ගැහැණිය දරදිය ඇදී ආකාරය පිළිබඳව මා ඉදිරියේ කල විවරණය ඇදහිය නොහැකි තරම් විස්මිත කථාවක්. අවාසනාවන්ත දේ තමයි, එම පාසැලේ දරුවන් සඳහා විවිධ කලාකරුවන් සම්බන්ධ කර ගත්තත්, එහි කලාත්මක පරිසරයක් තිබුනත්, ඇය කිසි දිනක ගීතයක් ගයා නොතිබීම.
කතාව වෙනතකට හැරවීමේ අරමුණින් මම ඇයගෙන්, “කැනේඩියානු සංක්‍රමණයේ” අරමුණ විමසුවා.
මොන්ටිසෝරි අධ්‍යාපනය හේතුවෙන් මම තෘප්තිමත් වෘත්තියක් ගොඩ නැගුවද, කිසිම දේශපාලන සහයෝගයක් නොතිබූ මගේ සොහොයුරන් රැකියා සොයා ගැනීමට ගත් උත්සාහය මාව ඉතා කම්පනයට පත් කළා. ඒ අතරම, මගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව මට අවිනිශ්චිත භාවයක් ගොඩ නැගුනා. ඔවුන් ගැන සිතා මම නිකමට කැනඩාවේ ස්ථීර පදිංචිය සඳහා ඉල්ලුම් කළා. ඒ ගැන අප වැඩි සැලකිල්ලක් නොදැක්වුවත්, 2008 දී, අපිට කැනඩාවේ ස්ථීර පදිංචිය ලැබුනා. මා ඉතා ආදරයෙන් රැක බලා ගත් පාසැල තවත් වගකිව යුතු කණ්ඩායමකට භාර දීලා අපි කැනඩාවට ආවෙ දරු පැටව් වෙනුවෙන්. මතු යම් දිනක, කැනඩාවේ තනතුරුවලින් විශ්‍රාම ගත් පසු, නැවත ලංකාවට ගොස් අපේ පාසලේ ඉගැන්වීමට මමයි මහත්තයයි බලාපොරොත්තුවෙන් ඉන්නවා” ඇයගේ කටහඬ බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී තිබුනා.
කැනඩාවට පැමිනියායින් පසුව දරුවන් 5 ස් දෙනෙකුගෙන් සමන්විත Home Day Care එකකයි අනෝජාට මුල්ම රැකියා අවස්ථාව ලැබුනෙ. පසු කලක, මොන්ටිසෝරියක රැකියා අවස්ථාව ලැබුනත්, තම දරුවන් දෙදෙනා පාසැල් කාලයෙන් පසුව සවස 6.00 වන තෙක් තනිවම ගෙදර සිටීම ගැන ඇයට තද දොම්නසක් තිබුනා. ඒ නිසයි, ඇය තම නිවසේම සුළුවෙන් හෝ Home Day Care එකක් කිරීමට තීරණය කලේ. මාස නවයක දරුවකුගෙන් ආරම්භ කල ඇයගේ වෘත්තීය අවුරුදු 17 ක් දක්වා පවත්වා ගෙන ගියේ අනෝජාගේ ආදරණීය පවුලත් රැක බලා ගන්නා අතරේමයි.


මේ දීර්ඝ කතාබහ අතරතුර මගේ සිත තුල දිගටම රැව් දුන්නේ, මේ දිරිය කාන්තාව ගායිකාවක් වුයේ කෙසේදැයි දැනගැනීමටයි.
ඇය සෙමෙන් කතාව පටන් ගත්තේ ඇයගේ ගායනා පුනරුත්පත්තිය පිළිබඳව මා සමඟ කරුණු බෙදා ගැනීමට, “ටොරොන්ටෝවේ තිබු නත්තල් උත්සවයකදී, ගායකයින් ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් අතරතුර, ලාල් ගුණවර්ධන නම්වූ මගේ මිතුරා මා ලඟට පැමිණ, ‘අක්කෙ, උඹ ගිහිල්ලා කියාපන් සිංදුවක්’ කියලා මට කිව්වා. දෙවරක් නොසිතා නන්දා මාලිනියගේ ‘යොවුන් වසන්තයේ’ ගීතය මම ගායනා කළා. ලාල් ගුණවර්ධන ගේ මැදිහත්වීමෙන් කී මෙම ගීය තමයි, මගේ කැනේඩියානු ගීත සංචාරයේ ආරම්භය. ඒ නත්තල් සාදයේ ප්රේක්ෂකයෙකුව සිටි ප්‍රවීණ සංගීතවේදී සුනිල් ජයසිරි මහතා මගේ ගීතය පිළිබඳ ඉතා සතුටුවී, මගේ සැමියා වූ ජානකට කියලා තියෙනවා, මෙයා ටොරොන්ටෝවේ තියෙන සෑම ගී ප්රසංගයකටම එක්කරන් යන්න කියලා. මම හිතන්නෙ එදයි මගේ මහත්තයට හිතෙන්න ඇත්තෙ, ‘එහෙනම් මේ ගෑනිටත් සිංදුවක් දෙකක් කියාගන්න පුළුවන්’, කියලා” ඇය එය කීවේ බක බක ගා සිනා සෙමින්. එදා පටන්, ඔහු ඇයව සෑම ගී ප්රසංගයකටම එක්කරගෙන ගියේ පුදුම උනන්දුවකින්. පසුව, සුනිල් ජයසිරි සංගීතවේදියා ඔහුගේ සංගීත කණ්ඩායමට ඇයව බඳවා ගත්තා.
2017 දී, ඇයගේ ජීවිතයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් තමයි, රූපණ මාධ්‍ය ජාලයේ, නිර්මාණ අධ්‍යක්ෂක සහ “Srilancan” පුවත්පතේ සංස්කාරක කලාකරු අනුරුද්ධ වැලිගමගේ මහතා හමුවීම. කිසි දිනක මා දැක නොතිබූ ඔහු රූපණ මැදිරියේ තිබූ පටිගත කිරීමකට, “මිහි මඩලේ අඳුරු කුසේ” ගීතය ගැයීමට අනුරුද්ධ ගෙදරටම පැමිණ කැඳවාගෙන යාම සහ පාන්දර 3.00 ට නැවත කැඳවාගෙන ඒම ඇය සඳහන් කලේ ඉතා කෘතඥශීලීව.
ඇය නැවතත් හැරුනෙ ඇයගේ පාසැල් වතගොත දෙසට, “මේක පාසැලක්, අද අපේ දරුවො කැනඩාවේ හොඳට හිටියා කියලා ලංකාවෙ ඉන්න දරුවන්ගෙ අධ්‍යාපනය අපිට සෙල්ලමකට ගන්න බැහැ. මේක පෞද්ගලික ජාත්‍යන්තර පාසලක් උනත්, ගම්පල වගේ පුංචි නගරයක දෙමාපියන්ගෙන් අපිට විශාල මුදලක් අය කරන්න බැහැ. සමහර දරුවන්ගෙ දෙමාපියන් බොහොම අමාරුවෙන් තමයි පාසැල් ගාස්තු ගෙවන්නෙ. ඒක නිසා මේක ලාභ ලබන ව්‍යාපාරයක් නෙවෙයි, සේවයක්. නමුත්, එය කරගෙන යන ගොඩනැගිල්ල අපිට අයිති නිසා මෙය කරගෙන යන්න පුළුවන්. නැත්නම් අමාරුයි. මම මෙහෙන් දිනපතාම වගේ රෑට කතා කරලා පාසැල ගැන හොඳට හොයලා බලනවා. නමුත් මේ පාසැල නිසා මා ලබන තෘප්තිය ඉතා ඉහලයි”, ඇය කතාකලේ තෘප්තිමත්ව.
අප ශ්‍රී ලාංකික සමාජයේ බොහොම අය ඔබව හඳුන්වන්නේ නන්දා මාලිනියගේ ප්‍රතිරූපය ලෙසයි. ඒ හැඳින්වීමේදී, ඔබට දැනෙනා හැගීම පිළිබඳව යමක් කියන්න පුලුවන්ද?
ඇත්තම කියනවානම්, මට තියෙන්නෙ පහත් ස්වරයක්, ඒකයි මම නන්දා මාලිනියගේ ගීත ගායනා කරන්නෙ. ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන උච්ච ස්වරයේ ගීත ගායනා කිරීමේ හැකියාවක් මට නැහැ. නන්දා මාලිනී වගේ මම සිංදු කියනවා කිව්වම, මට දැනෙන්නෙ පුදුම බයක්, මාව ඒ තලයට ගේන්න උත්සාහ කරනවට මම කීයටවත් කැමති නැහැ. ඒක එතුමියගේ ප්‍රතිරූපයට කරනා අගෞරවයක් මෙන්ම අසාධාරණයක්, මටත් ඒක විශාල බරක්, වගකීමක්”, ඇය නිහතමානීවයි සඳහන් කලේ.


ඒත් එක්කම නන්දා මාලිනිය නම්වූ ප්‍රබල කාන්තා චරිතයේ වියෝව පිළිබඳව කෙටියෙන් යමක් කීමට ඔබ කැමතිද? නන්දා මාලිනිය කියන්නෙ සම්පුර්ණම ජීවන ක්‍රමයක්, ගායිකාවක් පමණක් කියනා පහත් තැනකට ඇයව ඇද දැමිය යුතු නැහැ. නන්දාමාලිනීය තුලින් එලි දැක්වෙන්නේ ඇයගේ ආත්මීය සාරය. මා ගයනා නන්දා මාලිනියගේ ‘මිහි මඬලේ අඳුරු කුසේ” ගීතය ගායනා කිරීම පවා අවභාවිතාවක් ලෙසයි මට දැනෙන්නෙ. නන්දාමාලිනියගේ හැඟුම්බර ස්වරය ආවේ හදවතින්ම, ජීවන අත්දැකීම් මත පදනම්ව”. අනෝජා ඉතාම හැඟුම්බර වුවා.
මම මීළඟට ඇයගෙන් ඇසුවේ, ඇය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව, “සංගීතය පැත්තෙන් නම් මම ලබා ගත් ජයග්‍රහණයක් නැති තරම්, නමුත් මගේ ගුරු වෘත්තීය පැත්තෙන් නම් මම විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා කියලා කියන්න පුළුවන්. අප විදුහලෙන් ඉතා දක්ෂ දරුවන් විශාල සංඛ්‍යාවක් උසස් ලෙස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙල හැදෑරීමට ගොස් තියෙනවා”. ඇයගේ හඬ තෘප්තිමත්.
ඔබ මෙතරම් වේලාවක් මා සමඟ කතා කලේ ඔබගේ ලාංකික වෘත්තීය ජීවිතයට ඔබට කල කැපකිරීම් පිලිබඳව, ඔබගේ කලා ජීවිතය, වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය සමතුලිතව පවත්වා ගෙන යන ආකාරය සම්බන්ධව කෙටි විස්තරයක් කරන්න, “ලංකාවෙ ඉද්දි මම කලේ පාසැල කරගෙන යාම පමණයි. මගේ පාසැල තිබුනේ ගෙදර නිසා, දරුවන් දෙදෙනාත් බලාගෙන මට හැම දේම කරගන්න පුළුවන් උනා. අද මම Oakville රෝහලේ සේවය කරනවා. එතැනට මම හරිම කැමතියි. බොහෝවිට හුදෙකලාවී සිටිනා වයසක අය සමඟ කතා කිරීමේ අවස්ථාව මට එහිදී ලැබෙනවා. සමහර වෙලාවට, මම එයාලට ගීතයක් ගායනා කරලා සතුටු කරනවා. ඉන් මා ලබන්නේ උපරිම සතුටක්. මගේ සේවා කාලය පුරාම ඔළුවෙ දුවන්නෙ ගීත, මම හැම තිස්සෙම ඒවා මුමුණනවා. අද මගේ දරුවන් ලොකු නිසා මට එයාලගෙ සහයෝගයත් ලැබෙනවා. මට අමාරුම කාලෙ තමයි, ලංකාවෙදි දරුවො පුංචි කාලෙ එයාලත් එක්ක වැඩකරපු කාලය. මට ආඩම්බරයෙන් කියන්න තියෙන්නෙ, අම්මා කෙනෙක් වූ ගැහැණියකට දරුවන් වෙනුවෙන් මහා මේරු පර්වතය පෙරලීම උනත් මහා කජ්ජක් නෙවෙයි කියලා”, සියලුම මව්වරුන් වෙනුවෙන් ඇය ප්රබලව තම කටහඬ පෞරුෂය අවදි කළා.
මගේ ඊළඟ ප්රශ්නය වුයේ, ඇයි ඔබට හිතුනේ ගීත ප්‍රසංගයක් කිරීමට?
පුංචි ගමක ඉපිද, සංගීතය වෙනුවෙන් වැස්සකටවත් කලායතනයකට නොගිය මට කැනේඩියානු පොලොව ලබා දුන්නෙ ජීවයක්, අවස්ථාවක්. කැනඩාවට තිබෙන ආදරය පැවසීමට සත්‍ය වශයෙන්ම මට වචන නැහැ. කිසිදා නොදන්නා, කිසිදා මිතුරු කමක් නොතිබු කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයේ අය මට කල උපකාර දරා ගැනීමට බැරි තරම්. මා ගැයූ ගීතයකට Comment එකකින්, LIKE එකකින් දැක්වූ සහයෝගය තමයි, මාව ඉදිරියට තල්ලු කරනා බලවේගය. මට ඕන උනා ඔවුන්ට උපහාර ලෙස මෙම ප්‍රසංගය පැවැත්වීමට. නොමිලේ පැවැත්වීමට සැලසුම් කර තිබුනත් පැමිණෙන පුද්ගලයින් සංඛාව දැනගැනීම සඳහායි සුළු මුදලක් අය කිරීමට අපි තීරණය කලේ. මම කාලයක් තිස්සෙ ලැබෙන ආදායමෙන් සොච්චමක් ඉතිරි කරගත්තෙ මගේම ප්‍රසංගයක් පැවැත්වීමේ අරමුණින්. මම මේ ප්‍රසංගය කිරීමට හිතපු දවසේ සිටන් මට ලැබෙන සහයෝගය කියා නිම කරන්න බැහැ. ඒකම හිතට හරිම හය්යක්”, මා ඉදිරියේ ඇය සංවේදී වුවා.


ඔබගේ ජීවිතයේ පරමාදර්ශී චරිත අප පාඨකයින් සමඟ බෙදා ගන්න ඔබ කැමතිද?
“ඇත්තටම ඔව්. මට මෙතනට එන්න අතදුන් අය බොහෝයි, ගීත ලියාදුන් අය, සංගීතය සැපයු අය, මාව උනන්දු කරපු අය, සමාජ මාධ්‍යයේදී, වචනයක් හරි ලියලා හිත ධෛර්යය කරපු අය. මේ කියන හැමෝටම මගේ ගෞරවයත්, ප්රණාමයත් හිමි වෙනවා.
- මගේ සංගීත ගුරුවරිය වූ අයිරාංගනී වික්‍රමසිංහ-ඇය තමයි මගේ ගායනා හැකියාව මුලින්ම හඳුනාගත්තේ
- මානෙල් රාජපක්ෂ මොනරවිල-අද දිවිසැරිය නිමකර සිටිනා එතුමිය තමයි “Ecole” ජාත්‍යන්තර පාසැලෙහි විදුහල්පතිනිය. පාසැලක් පටන් ගැනීමට ඇවැසි මොන්ටිසෝරි අධ්‍යාපනය පිලිබඳ පුර්ණ අවබෝධය මා ඇයගෙන් ලබා ගත්තේ එහි සේවය කල අවුරුදු 12 දීයි.
- ජේෂ්ඨ නීතීඥ පී.බී.ගුණතිලක මහතා-මගේ සැමියාගේ පියා තමයි මට මගේම කියලා පෙර පාසැලක් හදන්න අඩිතාලම දැම්මේ. ඔහු මට මාමා කෙනෙක් නෙවෙයි, නැගිටින්න අත දුන් දයාබර පියෙක්
- ලාල් ගුණවර්ධන සොහොයුරා-කැනේඩියානු පොළොවේ මම මුලින්ම ගීතයක් ගැයුවෙ ලාල් නිසා, මට ලාල් මල්ලි හරිම වැදගත්.
- සුනිල් ජයසිරි සංගීතවේදියා-මගේ හැකියාව හඳුනාගෙන මාව ඔහුගේ සංගීත කණ්ඩායමටත් බඳවා ගත්තා. ඒ අවස්ථාව මට ලැබුණු විශාල වරප්‍රසාදයක්.
- ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය-මට මුණ ගැසුනේ 2020 දී, එතුමිය නිෂ්පාදනය කල ‘සවන’ විශ්ව කාන්තා සාහිත්‍ය’ වැඩ සටහනේ කවි ගායනා කිරීමේ අවස්ථාව මට ලැබුනා. මා කියනා කවි පංතිය අතට දීමටත් ප්‍රථම, ඇය එයට සම්බන්ධ මුළු වටපිටාවම පිළිබඳව මාව දැනුවත් කළා. ඒ කවිපෙලට සරිලන සේ මගේ මනස, මගේ හැගීම්, මගේ කටහඬ නිරූපණය සකස් කලා. ඊට අමතරව, කලාව ජීවිතයට සම්බන්ධ කරගත යුතු ආකාරය, ඒ වගේම කලාව සහ ජීවිතය සමබරව පවත්වා ගෙන යා යුතු ආකාරය, ගීත තෝරා ගත යුතු ආකාරය ගැනත් මා සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කරනවා. කොටින්ම කියනවා නම්, එතුමිය සමඟ ගත කල කාලය, විශ්ව විද්‍යාලයක සම්පුර්ණ පාඨමාලාවක් හැදෑරුවා වගේ කියලයි මට දැනෙන්නෙ.
- ඒත් එක්කම මා වැනි ආධුනික ගායිකාවකට ගී පදවැල් ලියා දුන් ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර, සම්මානනීය ගත්කරු චන්දුරත්න බන්ඩාර සහ වසන්ත කුමාර කොබවක වැනි ප්‍රවීන ගී පද රචකයින්ට මා හදවතින්ම ප්‍රණාමය පුද කරනවා. බණ්ඩාර සොහොයුරා ගී පද ලිවීමට අමතරව මගේ ප්‍රසංගය සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා
- ඒ වගේම සම්මානලාභී සංගීත නිර්මාපක නවරත්න ගමගේ මෙන්ම ප්‍රවීන සංගීතඥයින් වන දර්ශන වික්‍රමතුංග, ගිම්හාන කෝමංගොඩ, තරිඳු ජයතිලක වැනි කලාකරුවන් මගේ ගීතවලට සම්බන්ධ විම මා ලද භාග්‍යයක්
- රූපණ මාධ්‍ය අධ්යක්ෂ වීර ෆොන්සේකා-මගේ ගායන විකාශන කර මට ලබා දෙන විශාල ප්‍රසිද්ධිය පිළිබඳව ඔහුටත් මගේ ගෞරවය හිමි වෙනවා.
- අනුරුද්ධ වැලිගමගේ-එදා පටන් අද දක්වා අනුරුද්ධ වැලිගමගේ ලබාදෙන සහයෝගය මට ඉතා වැදගත්.
- මගේ ස්වාමියා-ඕනෑම මොහොතක, කිසිදු පැකිලීමකින් තොරව මාව ගී සංදර්ශනවලට කැඳවාගෙන යනවා. මම ප්‍රසංගයකදී, ගීතයක් ගායනා කිරීම ඔහුට විශාල සතුටක් මෙන්ම ආඩම්බරයක්. ඒ වගේම ඔහු තමයි මගේ නිර්දය විචාරකයා, ඒ අවංක විවේචනය මගේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යයි.
- මගේ දරුවන්-මගේ වැඩවලට උපකාරයක් ලෙස එයාලගෙ වැඩ එයාලා තනියම කර ගැනීම මට ලොකු සැනසිල්ලක්. එයාලා මාව ගීත ගායනයටත් නිතර උනන්දු කරනවා.
- මගේ දෙමාපියන්-සතුට, සෙනෙහස පිරුණු කැදැල්ලක මා ඇති දැඩි කළා වගේම යායුතු මඟ නිවැරදිව පෙන්වාදීම සහ ඔවුන් ලබා දුන් ජීවිතාබෝධය නිසයි මා අද මෙතන සිටින්නේ. මගේ ගමනට අඩිතාලම වූ ‘මොන්ටිසෝරි’ පාඨමාලාව’ මා හැදෑරුවේ අම්මාගේ බල කිරීමට. ඇය මගේ අනාගතය මෙතරම් දුර දැකීම මට අදටත් ඇදහීමට අපහසුයි.
මම කැමතියි මගේ අවසාන ප්රශ්නය ලෙස ඔබගෙන අහන්න, ඔබ කුඩා කාලයේදී කල යම් දෙයක් අද නැවත ගමට ගොස් කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා නම්, ඒ කුමක්දැයි කියලා අප පාඨකයින්ට කියන්න පුලුවන්ද?
“අපේ ගමේ තියෙනවා තලාතු ඔය කියලා ප්‍රසිද්ධ ඔයක්. කුඹුක් ගස් දෙපැත්තේ තියෙන එම ඔයේ වතුර නෑවම ඇඟට දැනෙන වෙනස හරිම පුදුමයි. මම පුංචි කාලේ නිතරම නාපු තැනක් තමයි ඒ ඔය. අනේ ඇත්තටම, ඒ ඔයේ ආයෙ සැරයක් නාන්න ඇත්නම්”, ඇත්තටම ඇය මොහොතකට දැරිවියක් වුවා.
අප කැනේඩියානු ශ්‍රී ලංකා සමාජය අනෝජා මකුලොළුව ගැන දැන සිටියේ ඇයගේ රමණීය කටහඬින් පමණයි. දාරක ප්‍රේමය හේතුවෙන් මවකගේ හදවත උපදිනා ප්‍රබල ශක්තිය මෙන්ම ගැහැණියකගේ නොසැලෙනා ගුණය මනාවට ඔප්පු කල ඇය එක දරුවකුගෙන් ආරම්භ කල මොන්ටිසෝරි පාසැලක් අද දරුවන් 500 ක් සහ ගුරුවරු 30කට වඩා වැඩි ගණනක් සිටිනා ජාත්‍යන්තර පාසැලක් දක්වා දියුණු කර තිබෙනවා. ඒත් එක්කම, බොහෝ කලාකරුවන්, තාරුණ්‍යයේදී අරඹන කලා දිවිය අපොස උසස් පෙළත් සමඟම නිමා කිරීමට ඇයට සිදු වුවත්, මැදි වියේදි එම පරිච්චේදයට නැවත පණ පෙවීමට අනෝජාව මකුලොළුව නම්වූ අප සොයුරිය “පොරොන්දුවූ දේශය” නම්වූ කැනඩාවේදී වෙර දරමින් සිටිනවා. අද ඇයගේම ස්වතන්ත්‍ර ගීත 15 කට උරුමකම් කියන අනෝජාවන්, ලබන මස, එනම් ඔක්තෝබර් 10 වෙනිදා “ප්‍රේමනීය ගී සැදෑව” ප්‍රසංගයෙන් හමුවන තෙක් කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජය බලා සිටිනවා නොඅනුමානයි.
කතාවක් තියෙනවනෙ, “ගැහැණියකගේ බලය ඇත්තේ ඇගේ ශාරීරික ශක්තිය තුළ නොව, තමා ගැන තමා තුළ ඇති නොසැලෙන විශ්වාසය සහ ලෝකය වෙනසක් ඇති කිරීමට ඇයට ඇති හැකියාව තුළ” කියලා. අනෝජා මකුලොළුව එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සනාථ කල ගැහැණියක්. ඇත්තටම, ඇයගේ ආකාර්ශනීය ශක්තිය, ධෛර්යය සෑම කාන්තාවකටම මහඟු ආදර්ශයක්.


අප ශ්‍රී ලාංකික කැනේඩියානු සමාජයට පහනක් වන අනෝජා මකුලොළුවගේ “ප්‍රේමනීය ගී සැදෑව” නම්වූ මෙම කුළුඳුල් ප්‍රසංගය පැවැත්වෙන්නේ 2026 ඔක්තෝබර් 10 වෙනිදා, රාත්‍රී 7.00 ට Mississauga හි Eden United Church පරිශ්‍රමයේදී. SriLancan ඩිජිටල් පුවත්පත අප ආදරණීය පාඨක සැමගෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රසංගයට සහභාගිවී එයට ඔබ සැමගේ පුර්ණ සහයෝගය දක්වන ලෙසටයි.
හෝරා දෙකකට ආසන්න කාලයක් අප SriLancan පුවත්පත වෙනුවෙන් මා සමඟ ගතකල කාලයට අනොජාට ස්තුති කරමින් ඇයගේ ගායනා ගමන සහ ඊට සමගාමීව යන පාසැල් ජීවිතයද සාර්ථක වේවා යැයි අප පුවත්පත වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් අපගේ දුරකථන සංවාදය මින් නිම කරමි.
සංවාද සටහන – අසෝකා ජයලත්
මේ දිගුවෙන් රූපණ ස්වර පිළිසදර වැඩසටහන බලන්න පුළුවන්
මේ යූ ටියුබ් දිගු වලින් ඇගේ ගී ඔබට රස විදින්න පුළුවන්


