කැනඩා-ඇමරිකා වෙළඳ යුද්ධය – කම්කරුවන්ට සිදුවී ඇති බලපෑම පිළිබඳ එක්සත් වානේ සේවක සංගමයේ (USW) දැඩිව අනතුරු ඇඟවයි.

කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින උණුසුම් වෙළඳ යුද්ධය හේතුවෙන් දෙරටේම සාමාන්‍ය කම්කරුවන් දැඩි ආර්ථික අර්බුදයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින බව උතුරු ඇමරිකාවේ විශාලම පෞද්ගලික අංශයේ කම්කරු සංගමය වන එක්සත් වානේ සේවක සංගමය (USW) දැඩි ලෙස අවධාරණය කරයි. මොන්ට්‍රියල් හි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම සංගමයේ ජාත්‍යන්තර සභාපතිනි රොක්සාන් බ්‍රවුන් (Roxanne Brown) පෙන්වා දුන්නේ, තමන් කිසිදු ලෙසකින් හෝ නිර්මාණය නොකළ ගැටුමක ආර්ථික පීඩනය අද වන විට කම්කරු ජනතාවට තනිවම උසුලා ගැනීමට සිදුවී ඇති බවයි.

කැනඩාව සහ ඇමරිකාව අතර පවතින අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා හේතුවෙන් එක් රටක කම්කරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු අනෙක් රටේ කම්කරුවන්ටද සෘජුවම බලපාන බව USW සංගමය පෙන්වා දෙයි.

පෙන්සිල්වේනියාවේ වානේ කම්කරුවෙකුට වෙළඳපල අස්ථාවරතා නිසා රැකියාව අහිමි වන විට, ඔන්ටාරියෝහි කම්කරුවන්ටද එහි වේදනාව දැනේ. එසේම, කියුබෙක්හි ඇලුමිනියම් කම්කරුවෙකු අවිනිශ්චිතතාවකට මුහුණ දෙන විට ඔයියෝ හි සේවකයෝද එය අත්විඳිති.එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින දැඩි ලෙස බද්ධ වූ නිෂ්පාදන සැපයුම් දාමය නිසා, එක් රටක රැකියා අවදානමට ලක්වීම සම්පූර්ණ උතුරු ඇමරිකානු ආර්ථිකය පුරාම රැල්ලක් ලෙස පැතිර යයි.

භාණ්ඩ මිල අඩු විදේශීය නිෂ්පාදනවලින් අන්තර්ජාතික වෙළඳපොළ යටපත් වී ඇති මෙවැනි පසුබිමක, කැනඩාව සහ ඇමරිකාව එකිනෙකා සමඟ ගැටෙනවාට වඩා එක්ව කටයුතු කිරීම වැදගත් බව බ්‍රවුන් පෙන්වා දෙයි. “කැනඩාව සහ ඇමරිකාව එකට වැඩ කරන විට, කම්කරුවෝ ජයග්‍රහණය කරති. නමුත් දෙරට එකිනෙකට විරුද්ධ වන විට, එහි බර උසුලන්නේ කම්කරුවන්ය”.

නවම වටයේ පැනවී ඇති සියයට 50 ක තීරුබදු (Tariffs) හේතුවෙන් ඉදිරියේදී කැනඩාව තුළ පමණක් රැකියා 90,000 ක් පමණ අහිමි වීමේ අවදානමක් පවතින බව කැල්ගරි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ට්‍රෙවර් ටොම්බේ (Trevor Tombe) අනාවරණය කරයි.

මෙම රැකියා අහිමිවීමෙන් තුනෙන් දෙකක්ම සෘජුවම තීරුබදු වලට ලක්වන අපනයන ක්ෂේත්‍ර වලින් සිදුවන අතර, ඉතිරි තුනෙන් එකක් එම අපනයනකරුවන්ට සහයෝගය දක්වන හෝ අමුද්‍රව්‍ය සපයන වෙනත් කර්මාන්ත වලින් වාර්තා වනු ඇත.

ආරම්භයේදී ව්‍යාපාරිකයන් පිරිවැය දරා ගැනීමට හෝ සේවකයන්ගේ වැඩ කරන පැය ගණන අඩු කිරීමට උත්සාහ කළද, කල්යත්ම සේවක කප්පාදුවලින් වැළකී සිටීම අසීරු වනු ඇත. සේවකයන් සෘජුවම සේවයෙන් පහකිරීමට අමතරව, ආර්ථික වාතාවරණය නිසා සමාගම් නව බඳවා ගැනීම් සීමා කිරීමද තවත් ගැටළුවකි.

රෝයල් බැංකුව (Royal Bank of Canada) සහ ආර්ථික විද්‍යාඥයින් ඇස්තමේන්තු කරන ආකාරයට, මෙම තීරුබදු අර්බුදය නිසා කැනඩාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.4 කින් පමණ හැකිලී යනු ඇත. මෙය සමස්තයක් ලෙස දැවැන්ත ආර්ථික  (Recession) ඇති කරන මට්ටමේ කම්පනයක් නොවුනද, ප්‍රතිපත්තිවල ඇති අනාවැකි කිව නොහැකි ස්වභාවය සහ අවිනිශ්චිතතාවය ඉතා බරපතල ගැටළුවක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

කැනඩා රජය විසින් පසුගිය මාර්තු මාසයේදී වානේ සහ දැව කර්මාන්තවල සේවකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 570 ක (වසර තුනක් සඳහා) වැඩපොළ තීරුබදු ප්‍රතිචාර වැඩසටහනක් (Workplace Tariff Response program) හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකයින් පෙන්වා දෙන්නේ රජයේ මෙම ආධාර අත්‍යවශ්‍ය වුවද, කම්කරුවන්ගේ දිගුකාලීන ආරක්ෂාව තහවුරු කිරීනම් දෙරටේම නායකයන් නැවත වරක් සාකච්ඡා මේසයට පැමිණ අර්ථවත් විසඳුමකට එළඹිය යුතු බවයි.

“මෙම අර්බුදය හදිසියේ උග්‍ර වීමට හෝ ඉක්මන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇත. එබැවින් වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ මෙම අවිනිශ්චිතතාවය දුරු කර ගැනීමටයි” යනුවෙන් මහාචාර්ය ටොම්බේ වැඩිදුරටත් සඳහන් කරයි. USW සංගමය අවධාරණය කරන්නේ දේශපාලන අරමුණුවලට වඩාකම්කරු ජනතාවගේ ජීවන තත්ත්වයන් සහ ආදායම් මට්ටම් ආරක්ෂා වන අයුරින් කඩිනම් වෙළඳ ප්‍රතිපත්ති සකස් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today