මක්කම( Mecca)නගරය ඉලක්ක කිරීමත් සමඟ මැදපෙරදිග උණුසුම ඉහළට – සෞදියෙන් හූතිවරුන්ට දැඩි අනතුරු ඇඟවීමක්.

ඉස්ලාම් දහමේ පූජනීයම නගරය වන ම Mecca (මෙක්කා) නගරයට ආසන්න අහසේදී හූති කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීමත් සමඟ මුස්ලිම් ලෝකය තුළ දැඩි නොසන්සුන්තාවයක් සහ විරෝධයක් මතුව ඇති අතර, සෞදි බලධාරීන් පවසන්නේ මක්කම නගරයේ ආරක්‍ෂාව යනු කිසිසේත්ම උල්ලංඝනය කළ නොහැකි රතු රේඛාවක්” (Red Line) බවයි.

සෞදි ප්‍රමුඛ සන්ධාන බලකායේ ප්‍රකාශක තුර්කි අල්-මලිකි මහතා සඳහන් කළේ, පසුගිය දශකයක කාලය තුළ හූතිවරුන් මක්කම නගරය ඉලක්ක කළ පළමු අවස්ථාව මෙය වන බවයි. මෙම සතුරු ප්‍රයත්නය ලොව පුරා මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම් උද්දීපනය කිරීමේ අරමුණින් සිදුකළ හිතාමතා කළ ක්‍රියාවක් ලෙස ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය.

යේමනයේ ඉරාන ආධාර ලබන හූති කැරළිකරුවන් සෞදි අරාබියේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. තමන්ද ඉස්ලාම් දහමේ සෙයිඩි (Zaydi) ශියා අංශය අනුගමනය කරන සහ මක්කම පූජනීය නගරයක් ලෙස සලකන පිරිසක් බව ඔවුන් පෙන්වා දෙයි.

හූති හමුදා ප්‍රකාශක යහියා සාරී ප්‍රකාශ කළේ, තමන් ඉලක්ක කළේ පූජනීය ස්ථානවලින් බොහෝ ඈතින් පිහිටි සෞදි තෙල් පහසුකම් සහ හමුදා කඳවුරු පමණක් බවයි. “අපරාධකාරී සෞදි පාලනය විසින් මක්කම ඉලක්ක කිරීම සම්බන්ධයෙන් පතුරුවා හරිනු ලබන බොරු ප්‍රචාර කිසිවකුටත් රැවටිය නොහැකියි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලෝක මුස්ලිම් ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් දැඩි විරෝධතා එල්ල වී තිබේ:සාමාජික රටවල් 57 ක් නියෝජනය කරන මෙම සංවිධානය පවසා ඇත්තේ, මෙම ප්‍රහාර මඟින් පූජනීය ස්ථානවල සහ මස්ජිදවල පාරිශුද්ධත්වය උල්ලංඝනය කර ඇති අතර, නිර්දෝෂී පුරවැසියන් බිය වැද්දීමට උත්සාහ කර ඇති බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම ක්‍රියාව “ප්‍රතික්ෂේප කළ යුතු සහ අන්ත නින්දිත” (Dastardly and heinous) ක්‍රියාවක් ලෙස හෙළා දුටු අතර, සෞදි අරාබියේ ආරක්‍ෂාව වෙනුවෙන් සිය රටේ නොසැලෙන සහයෝගය යළිත් තහවුරු කළේය.

තුර්කි විදේශ අමාත්‍යාංශය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට පූර්ණ සහයෝගය පළ කරමින් කලාපීය උණුසුම තවත් වැඩිවන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියහ.

මෙම ගැටුම්කාරී වාතාවරණය හමුවේ මැදපෙරදිග තත්වය තවත් උග්‍ර වී තිබේ. හූති කැරළිකරුවන් මෑත දිනවලදී යමනයේ රතු මුහුදේ වෙරළ තීරයේ පිහිටි උපායමාර්ගික ප්‍රදේශ සහ නගර කිහිපයක පාලනය අත්පත් කරගෙන ඇති අතර, එය සෞදි තෙල් අපනයනයට බරපතල තර්ජනයක් වී ඇත.

සෞදි අරාබියේ ප්‍රධාන රතු මුහුදේ අපනයන පර්යන්තය වන යන්බු (Yanbu) වෙත මෑතකදී එල්ල වූ ප්‍රහාර හේතුවෙන් තෙල් ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. යුරෝපා රටවලට ලබාදෙන තෙල් සැපයුම්ද තාවකාලිකව සීමා කර ඇති අතර, නොවැම්බර් මැද භාගය වන තෙක් ඇතැම් පාරිභෝගිකයන්ට තෙල් සැපයුම අඩාල විය හැකි බව වෙළඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එමෙන්ම, ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වන නාවික ගමනාගමනය ඇණහිටීමත් සමඟ, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ යාම ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ හරහා ගෝලීය වශයෙන් ජනතාව ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතා දැක්වීමට යොමු වී සිටිති.

සෞදි අරාබිය සහ හූති සංවිධානය අතර පවතින මෙම සන්නද්ධ ගැටුම හුදෙක් යමනයට පමණක් සීමා නොවී, මුළු මැදපෙරදිග කලාපයේම ස්ථාවරත්වය සහ බලශක්ති ආරක්‍ෂාව දැඩි අනතුරකට ලක් කරමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today