සිරි­ලිය ගිණුමේ මුදල් අවභාවිතාවට අදාලව හිටපු ජනපති මහින්දගේ බිරිය ශිරන්ති රක්ෂිත බන්ධ­නා­ගාර ගතකෙරේ.

රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට සී.ටී. ස්කෑන­ර­යක් මිලදී ගැනී­මට යැයි කියා ජාතික ඉති­රි­කි­රීමේ බැංකු­වෙන් පරි­ත්‍යා­ග­යක් ලෙස ලබා­ගත් රුපි­යල් මිලි­යන 10ක මුද­ලක් සිරි­ලිය සවිය ගිණු­මට බැර­ක­ර­වා­ගෙන සාප­රාධි පරි­හ­ර­ණය කළ බවට චෝදනා ලැබ අල්ලස් කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ යන අය ලබන 13දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න මහ­ත්මිය පසුගිය (7) වැනිදා නියෝග කළාය.

මෙම සිද්ධි­යට සම්බන්ධ බවට අල්ලස් කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් එවක ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ සභා­ප­ති­ව­ර­යාව සිටි ප්‍රදීප් කාරි­ය­ව­සම් යන අය ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරී­මට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­ක­රුට විදෙස් ගමන් තහ­න­මක්ද පැන­වූ­වාය.

අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ යස්මදා ලොකු­නා­රං­ගොඩ මහ­ත්මිය මෙසේ පැව­සු­වාය.

“2015 වස­රේදී අල්ලස් කොමි­සම වෙත ලැබුණු ලිඛිත පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශන කට­යුතු ආරම්භ කරනු ලැබුවා.

විම­ර්ශ­නය ආරම්භ වූයේ මහ­ජන බැංකුවේ සුදු­වැල්ල ශාඛාවේ ‘සිරි­ලිය සවිය, කාල්ටන් බංග­ලාව, තංගල්ල‘ නමින් පව­ත්වා­ගෙන ගිය ගිණු­මක් සම්බ­න්ධ­වයි.

දූෂණ විරෝධි පනතේ 61 වැනි වග­න්තිය ප්‍රකා­රව 2026 පෙබ­ර­වාරි මාස­යේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව සහ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (FCID) ඒකා­බ­ද්ධව මෙම විම­ර්ශ­නය කළා. එහිදී කළ විම­ර්ශ­න­ව­ලට අනුව ජාතික ඉතිරි කිරීම් බැංකුව (NSB) මඟින් මෙම සිරි­ලිය සවිය ගිණු­මට රුපි­යල් මිලි­යන 10ක මුද­ලක් බැර කර ඇති බවට කරුණු අනා­ව­ර­ණය වුණා.

එව­කට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභා­පති වශ­යෙන් මෙම සිදු­වීමේ දෙවැනි සැක­කරු වන ප්‍රදීප් කාරි­ය­ව­සම් යන අය ඉඳලා තිය­නවා.

2010 වසරේ දෙවැනි සැක­කා­රිය විසින් එව­කට NSB සභා­පති ප්‍රදීප් කාරි­ය­ව­සම් වෙත ලිපි­යක් මඟින් ඉල්ලී­මක් කර තිබුණා. එම ලිපි­යෙහි සඳ­හන් වී ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ඉල්ලී­මක් මත රුපි­යල් මිලි­යන 141ක වටි­නා­ක­ම­කින් යුත් CT ස්කෑන් යන්ත්‍ර­යක් ලබා­දී­මට මුදල් සොයන බවයි.

ඒ අනුව 2011 වසරේ NSB බැංකුව මඟින් මිලි­යන 10ක මුදල සිරි­ලිය ගිණු­මට බැර කරනු ලබ­නවා.

NSB බැංකුව එවැනි මුද­ලක් යම්කිසි කට­යු­ත්තක් සඳහා බැර කිරීමේ කාර්ය සිදු වූවා­යින් පසු තමයි එම මුදල බැර කරන්නේ.

එහෙත් මෙම සිදු­වී­මට අනුව අදාළ මුදල 2011 වසරේදී කාර්ය කිරී­මට පෙර ගිණු­මට බැර කර තිබෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්ගේ ප්‍රකාශ මේ වන විට සට­හන් කරගෙන තිබෙ­නවා. එහිදී මෙම මුදල නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව සිරි­ලිය ගිණු­මට බැර වී ඇති බව තහ­වුරු වී තිබෙ­නවා. අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය ප්‍රකා­රව පළමු සැක­ක­රුට චෝදනා ගොනුු කර­නවා.

එම චෝද­නා­වට ආධාර අනු­බල ලබා­දීම සම්බ­න්ධ­යෙන් දෙවැනි සැක­කා­රි­යට චෝදනා ගොනු කර­නවා. සාක්ෂි මඟින් අනා­ව­ර­ණය වන කරුණු අනුව පළමු සැක­කරු පෙල­ඹ­වීම මඟින් මෙම මුදල් ගිණු­මට බැර කර­ගෙන තිබෙ­නවා.

මිලි­යන 10ට මුද­ලට අම­ත­රව පෞද්ග­ලික ආය­තන මෙන්ම රජයේ ආය­තන මඟින් මෙම සිරි­ලිය සවිය ගිණු­මට මුදල් බැර වී ඇති බවට විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය වෙනවා.

NSB බැංකුව මඟින් ලබා­ගත් මුදල් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් දෙවැනි සැක­කා­රි­යට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර­නවා. තවද ඒ සම්බ­න්ධ­යෙන් සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ සහ­ති­කය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­නවා.“

එම අව­ස්ථා­වේදී සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා විසින් ඉදි­රි­පත් කර ඇති සහ­ති­කය අල්ලස් කොමි­සම මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

“මෙම සිරි­ලිය සවිය ගිණු­මට විදේශ කට­යුතු අමා­ත්‍යං­ශය මඟින් රුපි­යල් ලක්ෂ 88ක මුද­ලක් බැර වී තිබෙ­නවා. තවත් පෞද්ග­ලික ආය­ත­න­යක් මඟින් රුපි­යල් මිලි­යන 22ක මුද­ලක් මෙම ගිණු­මට බැර වී තිබෙ­නවා.

NSB බැංකුව රජයේ දේප­ළක්. අප­රා­ධ­ය­කින් උත්පා­දිත දේ පිළි­බ­ඳව පන­තෙහි වගන්ති ප්‍රකා­රව මෙම ගිණු­මට අදා­ළව ලබා­ගත් දේපළ සම්බ­න්ධය තහ­නම් නියෝග සම්බ­න්ධ­යෙන් මේ වන විට විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබෙ­නවා. ටොරි­න්ටන් ප්‍රදේ­ශයේ පිහිටි නිවෙ­සක් මෙම මුදල් මඟින් ලබා­ගෙන ඇති බවට විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය වුණා. දෙවැනි සැක­කා­රිය මඟින් පළමු සැක­ක­රු ­හට ලබා දුන් ලිපියේ රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් කරන ලද හදිසි ඉල්ලී­ම­කට අනුව මිලි­යන 140ක වටි­නා­ක­මින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍ර­යක් ලබා­දී­මට කට­යුතු කරන බවත් එම යන්ත්‍රය ලබා ගැනීම සඳහා මුදල් සොය­මින් සිටින බවත් එහිදී NSB බැංකුවේ CSR යටතේ මුදල් දාය­ක­ත්ව­යක් ලබා­දී­මට හැකි­යා­වක් පව­තින බවත් සඳ­හන් වී තිබුණා.

පළමු සැක­කරු එව­කට NSB බැංකුවේ සාමාන්‍ය අධි­කාරි වෙත උප­දෙස් ලබා දෙමින් සඳ­හන් කර ඇත්තේ මේ සම්බ­න්ධ­යෙන් ශිරන්ති රාජ­පක්ෂ යන අය හා සම්බන්ධ වෙමින් සොයා බැලීම් කළ බවත් එහි වටි­නා­කම ලක්ෂ 140ක් නොව ලක්ෂ පන­හක් වන බවත්ය. මේ සඳහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රි­කා­වක් යොමු කරන ලෙස උප­දෙස් ලබා දී තිබෙ­නවා.

සිරි­ලිය ගිණු­මෙන් කාල්ටන් පෙර­පා­සල අලු­ත්වැ­ඩියා කට­යුතු කිරීම සහ වෙනත් වැඩ කට­යුතු සඳහා කිහිප වරක්ම මුදල් ගැනීම් සහ බැර­වීම් සිදු වී ඇති බවද විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙ­නවා.“

CSR ව්‍යාපෘ­ති­යක් සඳහා මුදල් ලබා­දී­මේදී අනු­ග­ම­නය කළ යුතු අලෙ­වි­ක­රණ උපා­ය­මාර්ග, බැංකු­වට ලැබෙන ප්‍රති­ලා­භය හෝ සැබෑ ලෙසම භාණ්ඩය මිලදී ගන්නේද යන්න පිළි­බඳ කිසිදු සොයා බැලී­මක් කර නොමැත. එකල පැවති දේශ­පා­ලන තත්ත්වය නිසා විරුද්ධ වීමට නොහැකි වූ බවත්, සභා­ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය මත පම­ණක් පද­නම්ව අනු­මැ­තිය ලබා දුන් බවත් අධ්‍යක්ෂ මණ්ඩ­ලය සහ සාමාන්‍ය අධි­කා­රිව­රයා ප්‍රකාශ කර ඇත. අදාළ මූලික අනු­මැ­තිය ලබා­ගෙන ඇත්තේ ‘කාල්ටන් සුව­දාන ව්‍යාපෘ­තිය‘ සඳහා වන අතර, එහිදී සිරි­ලිය සවිය සම්බ­න්ධ­යෙන් කිසිදු ඉල්ලී­මක් කර නොති­බිණි.

අනු­මැ­තිය ලැබු­ණද මාස කිහි­ප­යක් යන­තුරු චෙක්ප­තක් නිකුත් වී නොති­බිණි. 2011 මැයි 04 වැනිදා සභා­පති ප්‍රදීප් කාරි­ය­ව­සම්, නියෝජ්‍ය සාමාන්‍ය අධි­කාරි වෙත ලිපි­යක් යොමු කර­මින් ශිරන්ති රාජ­පක්ෂ තමන් අමතා ‘කාල්ටන් සුව­දාන‘ වෙනු­වට ‘සිරි­ලිය සවිය‘ ගිණු­මට මුදල් තැන්පත් කරන ලෙස දැන්වූ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව කාල්ටන් සුව­දාන නමට ලියා තිබූ චෙක්පත අව­ලංගු කර, සිරි­ලිය සවිය නමට රුපි­යල් මිලි­යන 10ක චෙක්ප­තක් නිකුත් කර තිබේ. මෙම මුදල 2011දී බැංකු­ගත කිරී­මෙන් පසුව, ප්‍රති­ලා­භි­යාගේ නම වෙනස් කළ බව අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට දැනුම් දී ඇත.

පළමු සැක­කරු වන ප්‍රදීප් කාරි­ය­ව­සම් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා මෙලෙස පවසා සිටි­යේය.

“ගරු ස්වාමීනි, පැමි­ණිල්ල විසින් ඔබ­තු­මි­යගේ ගරු අධි­ක­ර­ණ­යට මගේ සේවා­දා­ය­ක­යාට විරු­ද්ධව දූෂණ විරෝධි පැරණි පනතේ 70 වැනි වග­න්තිය යටතේ දූෂ­ණය කිරීමේ චෝද­නා­වක් තමයි ඉදි­රි­පත් කරලා තියෙන්නේ. මගේ උගත් මිතු­රිය කරුණු ඉදි­රි­පත් කිරී­මේදී පොදු දේපළ පනත යටතේ කරුණු ප්‍රකාශ කරන නිසා, සැක හැර ගැනීමේ කාර්ය සඳහා මම දක්වා සිටින්නේ පළමු සැක­කරු සම්බ­න්ධ­යෙන් එම තත්ත්වය එසේ නොවන බවයි. එම නිසා ඔබ­තු­මි­යගේ ගරු අධි­ක­ර­ණ­යට ඇප දීමේ බල­තල පව­ති­නවා. මෙම අධි­ක­ර­ණය නිර­න්ත­ර­යෙන්ම දූෂණ පනත යටතේ සිටින පුද්ග­ල­යන්ට නොතීසි මත පෙනී සිටින විට ඇප ප්‍රදා­නය කරනු ලබ­නවා. දැන් මෙම නඩු­වට අදාළ වරද සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලැබෙන්නේ 2015 අවු­රුද්දේ. අද වන විට ඊට අවු­රුදු 11ක් ගත වී තිබෙ­නවා. එම නිසා මම කියන්නේ ඔබ­තු­මි­යගේ ගරු අධි­ක­ර­ණ­යට මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මේදී ඇප පනතේ 14 වැනි වග­න්තිය තමයි අදාළ වන්නේ.

පොදු දේපළ පනත යටතේ සහ­තික ඉදි­රි­පත් කර තිබු­ණද, පොදු දේපළ පනත මෙයට අදාළ වන්නේ නෑ. මීට අදාළ වන්නේ ඇප පනතේ 14 වන වග­න්ති­යයි. ඇප පනතේ 14 වන වග­න්තිය යටතේ ඇප ලබා­දීමේ කාර­ණය සම්බ­න්ධ­යෙන් නිර්ණා­ය­ක­යන් හත­රක් තිබෙ­නවා ස්වාමීනි. පළමු එක තමයි, ඔහු පරී­ක්ෂ­ණ­යට හෝ නඩු විභා­ග­යට පෙනී සිටීම සඳහා අධි­ක­ර­ණය වෙත නොපැ­මි­ණිය හැකි බවට අධි­ක­ර­ණ­යට මත­ය­කට පැමි­ණිය හැකිද කියන කාර­ණය. දෙවැනි කරුණ නම්, විරු­ද්ධව ඇති සාක්ෂි­ක­රු­වන් කෙරෙහි හෝ සාක්ෂි­ව­ලට අහි­ත­කර ලෙස මැදි­හත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යා­කා­ර­යෙන් බාධා පැමි­ණ­විය හැකි බවට අධි­ක­ර­ණ­යට මත­ය­කට පැමි­ණිය හැකිද කියන කාර­ණය. තුන්වැනි කාර­ණය තමයි, ඇප මත සිටින විට තවත් වර­දක් කළ හැකි බවට යම් මත­ය­කට අධි­ක­ර­ණ­ය­කට පැමි­ණීමේ හැකි­යා­වක් තිබෙ­න­වාද කියන කාර­ණය. හත­ර­වැනි කරුණ නම්, කර ඇති වරදේ බර­ප­ත­ළ­කම නිසා මහ­ජන ප්‍රති­චා­රය මත මහ­ජන කැල­ඹී­මක් ඇති­වෙන්න පුළු­වන්ද කියන කාර­ණය.

දැන් මෙම නඩුව සම්බ­න්ධ­යෙන් 2015 වස­රේදී අල්ලස් කොමි­ස­මට තොර­තුරු ලැබී, අද තමයි මෙම විම­ර්ශ­නය අව­සා­න­යේදී පළමු සැක­කරු ගරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්නේ. දැන් මෙම අවු­රුදු 11ක කාලය තුළදී සැක­කරු විසින් සාක්ෂි­ක­රු­වන්ට හෝ සාක්ෂි­ව­ලට අහි­ත­කර බල­පෑ­මක් කළාය කියන කාර­ණය සම්බ­න්ධ­යෙන් ඔබ­තු­මි­යගේ ගරු අධි­ක­ර­ණ­යට නිග­ම­න­ය­කට පැමි­ණී­මට හේතු­වන කිසිදු කාර­ණ­යක් අල්ලස් කොමි­සම විසින් ඉදි­රි­පත් කර ඇති වාර්තාවේ සඳ­හන් කර නෑ. එවැනි කරු­ණක් මගේ උගත් මිතු­රිගේ දේශ­න­යේදී කිය­වු­ණෙත් නෑ.

දැන් ඇප පනතේ 14 වැනි වග­න්තිය යටතේ කරුණු හත­රක් තිබෙ­නවා. එම කරු­ණු­ව­ලින් එක කරු­ණක් ගැන­වත් මගේ උගත් මිතු­රිය මට විරු­ද්ධව ගෙනාවේ නෑ. මම අධි­ක­ර­ණ­යට ගෙන්නා ගන්න බැරි­වෙයි කියන කාර­ණය කිව්වේ නෑ. සාක්ෂි­ව­ලට බල­පෑම් කළාය කියන කාර­ණය කිව්වේ නෑ. සාක්ෂි වෙනස් කිරී­මට උත්සාහ කළාය කියන කාර­ණය කිව්වේ නෑ. ඇප මත සිටින විට තවත් වර­දක් කරනු ඇතැයි කියා කිව්වේ නෑ. එසේත් නැත්නම් අද වන විට මහ­ජන කැල­ඹී­මක් ඇප ලබා­දී­මෙන් සිදුවේ යැයි කියා කිව්වේ නෑ. මහ­ජන කැල­ඹී­මක් ඇති­වෙ­නවා නම් වෙන්න තිබුණේ 2015 වස­රේදී.

මෙම තැනැත්තා අවු­රුදු 64ක පමණ වය­ස්ගත පුද්ග­ල­යෙක්. ඔහු Sleep Apnea (ස්ලීප් ඇප්නියා) රෝග­යෙන් පෙළෙන තැනැ­ත්තෙක්. මෙම රෝගය සම්බ­න්ධ­යෙන් 2023 සිට ඔහු ප්‍රති­කාර ලබ­මින් සිටි­නවා. ඔහු මෙම රෝගී තත්ත්ව­යෙන් පසු­වන නිසා ශ්වසන යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැතුව නිදා­ගැ­නී­මට නොහැ­කියි. Sleep test එකක් කළ පසු පැය දෙකක් තුළ 17 වරක් ඇහැ­රුණු බව පැව­සෙ­නවා. ඔහු එසේ ඇහැ­රුණේ නැත්නම් මිය­ය­නවා, හුස්ම ගැනීම නතර වෙනවා.

එම නිසා ඔහු නිදා­ගැ­නී­මට එම යන්ත්‍රය පාවිච්චි කළ යුතුය. එමෙන්ම ඔහුගේ හිසෙහි ගෙඩි 3ක් පව­තින බව සඳ­හන් වෙනවා. ඒ සම්බ­න්ධ­යෙන් 2025 වසරේ වෛද්‍ය­ව­රයා හමුවී ලබා­ගත් වෛද්‍ය වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර සිටි­නවා. ඔහුට ලබා­දෙන ඖෂධ වර්ග රාශි­යක් පව­තින අතර, ඔහුට එම ඖෂධ තනි­යම ලබා­ගැ­නී­මට නොහැකි නිසා ඔහුගේ භාර්යාව විසින් ප්‍රති­කාර සහ ඖෂධ ලබා දෙන්නේ.

මෙම පනතේ ඉහත සඳ­හන් විධි­වි­ධා­න­ව­ලට පට­හැ­නිව කුමක් සඳ­හන් වුවද, ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වර­දක් කිරීම සම්බ­න්ධ­යෙන් සැක ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැ­ත්තකු නිසි අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් වූ විට, අධි­ක­ර­ණය විසින් එම තැනැත්තා ඇප මත මුදා­හැ­රීම ප්‍රති­ක්ෂේප කිරීම හෝ පොලිස් නිල­ධා­රි­යකු විසින් කරනු ලබන ඉල්ලී­මක් මත ඇප මත මුදා­හැ­රීම සඳහා බල­පාන කරුණු සැල­කි­ල්ලට ගත යුතුය. මෙහිදී ඔහුට ඇප දීමට විරුද්ධ විය යුතුයි කියන කාර­ණය පැමි­ණිල්ල විසින් කියා සිටියේ නෑ. ඇප නොදී සිටී­මට කිසිදු හේතු­වක් නෑ. ඇප දීම තමයි සාමාන්‍ය රීතිය. ඇප නොදී­මට නම් යම් විශේෂ හේතු­වක් තිබිය යුතුයි.

ඔබ­තු­මිය ඇප ප්‍රති­ක්ෂේප කරන්නේ නම්, ඒ සඳහා නිශ්චිත හේතු­වක් සඳ­හන් කළ යුතුයි. එම නිසා ඉතාම ගෞර­ව­යෙන් සහ බැගෑ­පත්ව ඉල්ලා සිටින්නේ, මෙම තීර­ණය අධ්‍යක්ෂ මණ්ඩ­ලය විසින් ගන්නා ලද තීර­ණ­යක් මත සිදු­වූ­වක් බවය. සාක්ෂි­ක­රු­වන්ට බාධා කිරී­මක් නෑ. ඇප මත සිටි­ය­හොත් අධි­ක­ර­ණ­යට ගෙන්නා­ගන්න බැරි කතා­වක් නෑ. එම නිසා මෙම කරුණු සලකා බලා, ඇප පනතේ විධි­වි­ධාන තුළ සුදුසු ඇප­යක් ලබාදී මුදා­හ­රින ලෙසට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉතාම ගෞර­ව­යෙන් සහ බැගෑ­පත්ව සැක­කරු වෙනු­වෙන් ඉල්ලා සිටි­නවා.“

ඉන් අන­තු­රුව දෙවැනි සැක­කා­රිය වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පවසා සිටි­යේය.

“ගරු අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් පව­සන්නේ, ‘සිරි­ලිය සවිය’ යනු ස්වේච්ඡා සමාජ සේවා සංවි­ධාන යටතේ නීත්‍යනු­කූ­ලව ලියා­ප­දිංචි වූ සංවි­ධා­න­යක්. මෙම සංවි­ධා­නය දීර්ඝ කාල­යක සිට විවිධ සමාජ සත්කාර කට­යු­තු­වල නිරත වෙමින්, රෝහල් සඳහා වෛද්‍ය උප­ක­රණ සහ රෝගීන්ට පහ­සු­කම් සපයා තිබෙ­නවා. එම සංවි­ධා­නයේ භාණ්ඩා­ගා­රි­ක­ව­රිය දෙවැනි සැක­කා­රිය නෙවෙයි.

ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිළිකා රෝගී දරු­වන් වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 160ක් පමණ වටිනා CT ස්කෑන් යන්ත්‍ර­යක් ලබා­දී­මට මෙම සංවි­ධා­නය කට­යුතු කළා. ඒ සඳහා ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ ප්‍රජා සත්කාර අර­මු­ද­ලින් රුපි­යල් මිලි­යන 10 ක් ඇතු­ළුව දේශීය හා විදේ­ශීය පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ආධාර ලැබුණා. 2014 අව­සා­නය වන විට රුපි­යල් මිලි­යන 48ක මුද­ලක් එකතු වී තිබූ අතර, එම මුදල් සියල්ල සුදු­වැල්ල ශාඛාවේ පව­තින නිල බැංකු ගිණුමේ කිසිදු අයථා පරි­හ­ර­ණ­ය­කින් තොරව අද­ටත් සුර­ක්ෂි­තව පව­ති­නවා.

යන්ත්‍ර­යට අවශ්‍ය මිලි­යන 160ක මුදල එකතු වෙමින් පව­තිද්දී, 2015 වසරේ සිදු වූ රජයේ වෙනස් වීමත් සමග දූෂණ විරෝධි ව්‍යාපා­ර­යෙන් කළ පැමි­ණි­ල්ල­කට අනුව මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ නියෝ­ග­ය­කින් මෙම ගිණුම තහ­නම් කරනු ලැබුවා. ඒ නිසා යන්ත්‍රය මිලදී ගැනී­මට තිබූ අව­ස්ථාව ඇන­හි­ටියා මිස මෙහි කිසිදු සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණ­යක් සිදු වී නැහැ. එකතු වූ මුදල් සත­ය­ක්වත් පෞද්ග­ලි­කව ලබා­ගෙන නැති අතර, එම මුදල් අද­ටත් බැංකුවේ සුර­ක්ෂි­තව පව­ති­නවා.

මෙතැ­නදී පොදු දේපළ පනත යටතේ වර­දක් කර නොමැති බැවින්, සාමාන්‍ය ඇප පනතේ ප්‍රති­පා­දන යටතේ ඇප ලබා­දෙන ලෙස ඉල්ලා සිටි­නවා. විශේ­ෂ­යෙන්ම අවු­රුදු 73ක් වය­සැති දෙවැනි සැක­කා­රිය වෙනු­වෙන් සුවි­ශේෂී සෞඛ්‍ය කරුණු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­නවා.

ඇය මෑත­කදී නව­ලෝක රෝහ­ලෙන් ඇසේ ශල්‍ය­ක­ර්ම­ය­කට භාජ­න වී ඇති අතර, බන්ධ­නා­ගාර පරි­ස­රයේ ඇති දූවිලි හා අශු­ද්ධතා නිසා පූර්ණ අන්ධ­භා­ව­යට පත්වීමේ දැඩි අව­දා­න­මක් පව­ති­නවා. ධම­නි­වල කොලෙ­ස්ට­රෝල් තැන්පත් වීම නිසා සහ හෘද­යා­බාධ ඇති­වීමේ දැඩි අව­දා­න­මක් පව­තින අතර, ප්‍රධාන රුධිර වාහිනී තුනෙ­හිම කොලෙ­ස්ට­රෝල් තැන්පත් වීමේ රෝගී තත්ත්ව­යක් පව­ති­නවා.

2021 MRI ස්කෑන් පරී­ක්ෂ­ණ­යට අනුව මොළය ආශ්‍රිත රෝගී තත්ත්ව­යක් පෙන්නුම් කර­නවා. කොඳු ඇට පෙළේ ආශ්‍රි­තව ස්නායු තෙර­පීමේ රෝගී තත්ත්ව­යක් පව­ති­නවා. හිස කැර­කැවී ඇද­වැ­ටීමේ රෝගී තත්ත්ව­යක් පව­ති­නවා.

මෙම කරුණු සුවි­ශේෂී කරුණු ලෙස සලකා ඇයට ඇප නියම කරන ලෙස ගෞර­ව­යෙන් ඉල්ලා සිටි­නවා.

දෙපා­ර්ශ්ව­යේම කරුණු සලකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය පළමු සැක­කරු ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරී­මට නියෝග කළ අතර විදෙස් ගමන් තහ­න­මක්ද පැන­වූ­වාය. තවද දෙවැනි සැක­කා­රිය ඇප මත මුදා හැරී­මට තරම් සාක්ෂි නොමැති බැවින් ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට නියෝග කළාය. දෙවැනි සැක­කා­රිය (08) වැනිදා දින­යේදී නව­ලෝක රෝහලේ අක්ෂි සාය­නය වෙත පෙ.ව.12.30 ට ඉදි­රි­පත් කරන ලෙසද බන්ධ­නා­ගාර අධි­කා­රි­යට නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේගම මහතා සඳහන් කළේ, අද දින බන්ධනාගාර රෝහලේදී විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් රාජපක්ෂ මහත්මියව පරීක්ෂාවට ලක් කර ඇති බවයි.එම වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, වැඩිදුර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව  (09) වැනිදා දින කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එසේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …