
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට හිමි සම්මාන සඳහා තරගයට එක්ව සිටී.
ජාත්‍යන්තර පිටියේ දැක්වූ විශිෂ්ට දස්කම් මත ලෝක මලල ක්‍රීඩා සම්මාන උලෙළේදී පිරිනැමෙන වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් රුමේෂ් තරංග ඇතුළුව ක්‍රීඩකයන් 10 දෙනකු නිර්දේශ වී ඇති අතර, මේ සඳහා ආසියාවෙන් එක්ව ඇති එකම ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් තරංගය. මේ සම්මාන සඳහා නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද රුමේෂ් ඉතිහාසයට එක් වෙයි.මේ වසරේ එක් වූ තරග 14න් 13ක්ම ජය ගනිමින් දස්කම් දැක්වූ රුමේෂ් වර්ල්ඩ් අල්ටිමේට්, ඩයමන්ඩ් ලීග්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා උලෙළවලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ අතර, එය මෙවර තරග වාරයේ මෙතෙක් වාර්තාවූ ලොව ඉහළම දක්ෂතාව ද වෙයි.
රුමේෂ්ට අමතරව ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ලැන්ටිස් (රිටි පැනීම), අමෙරිකාවේ කෙනත් බෙඩ්නාරෙක් (කෙටි දුර මී. 100, 200) හා ජේකොබ් තාපර් (මී. 110 කඩුලු), බ්‍රසීලයේ ඇලිසන් ඩොස් සැන්ටෝස් (මී. 400 කඩුලු), මහා බ්‍රිතාන්‍යයේ ජොෂ් කර් (මැද දුර මී. 1500), බොට්ස්වානාහි කොලින් කෙබිනාට්ෂිපි (මී. 400), ස්ලොවේනියාවේ ක්‍රිස්ටින් චේහ් (මිටිය/ දුන්න විසි කිරීම), ඉතාලියේ ඇන්ඩි ඩයස් හනර්න්ඩස් (තුන්පිම්ම) සහ කෙන්යාවේ සබැස්ටියන් සාවේ (මැරතන්/ දිගු දුර) ද මේ සම්මානය සඳහා නිර්දේශ වී සිටිති. මේ ලැයිස්තුව මලල ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර මණ්ඩලයක් විසින් තෝරාගෙන ඇති අතර, අවසන් ජයග්‍රාහකයා තේරීම සඳහා ක්‍රම 4කින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදු කෙරේ.
ඉන් අවසන් තරගකරුවන් තිදෙනා ලබන මස 10 හෝ 11 දින ප්‍රකාශයට පත් කරන අතර, ලබන මස 29 වැනිදා ලෝක මලල ක්‍රීඩා සම්මාන උලෙළ මොනාකෝහිදී පැවැත්වීමට නියමිතය. වසරේ ක්‍රීඩිකාව සඳහා 10 දෙනකු තරගයට ඉදිරිපත්ව සිටිති.
මේ සඳහා ක්‍රීඩාලෝලීන්ට ඡන්දය ලබාදීමට අවස්ථාව හිමිව ඇති අතර, එය ලෝක මලල ක්‍රීඩා වෙබ් අඩවියට ඇතුළත් වීමෙන් සිදු කළ හැකිය. ඡන්දය ලබාදීම මේ මස 17 වැනිදායින් අවසන් වෙයි.


