‘කාවන්තිස්ස’ ඇතාගේ මරණයෙන් පසු ඇතුන් ගැන වැඩි අවධානයක්.

සියඹලන්ගමුව ප්‍රදේශයේදී සිදු වූ ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වනඅලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරති.

මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කටයුතු කරනු ඇත.

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්‍ර හේතු, ප්‍රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවට පැවරේ.

මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද මෙම කමිටුවට බලය පැවරී ඇත.

ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළ සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා යෝජනාවක් කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය සූදානම් වෙයි.

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය(21) වැනිදා අදාළ යෝජනාවට අත්සන් තබා තිබේ.

රටේ ජාතික ස්වභාවික උරුමයක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කර ගැනීම, සිද්ධියට අදාළ සියලු පාර්ශ්වයන් සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න තහවුරු කර ගැනීම සහ ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මෙම යෝජනාවේ අරමුණ බව සඳහන් වේ.

මේ අතර කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලින්ට එල්ල වන තර්ජන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්‍යංශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ කාවන්තිස්ස හස්තියාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත පසුගිය (18) දින නිල වශයෙන් ඉල්ලීමක් සිදු කළ බවය.

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්‍රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙමගින් අවධාරණය කර ඇත.

මෙම සිදුවීමේ බරපතළකම සලකා බලා, අදාළ පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්‍යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් අදාළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විටත් වනඅලි ඇතුන් සහ වනසතුන්ට සිදු කරන හිරිහැර සහ ඝාතන පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් සහ වැටලීම් මෙන් ම නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද අදාළ පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …