
ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා, එම සංගම් දෙකේ සිදුව ඇතැයි කියන දූෂණ, වංචා හා අක්රමිකතා විමර්ශනය කිරීමට පරිවර්තන කමිටු දෙකක් පත් කිරීමට ක්රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා කටයුතු යොදා ඇත. ඒ සමඟ අති විශේෂ ගැසට් පත්රයක් මඟින් මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය ද තාවකාලිකව අත්හිටුවා, එහි පරිපාලනය හා ඉදිරි ව්යවස්ථා සංශෝධන ක්රියාවලිය සම්පූර්ණ කිරීමට ක්රීඩා අමාත්යාංශ ලේකම්වරයාට බලය පවරා ඇත.
1973 අංක 25 දරන ක්රීඩා නීතිය යටතේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදන ප්රකාශයට පත්ව ඇති අතර, නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා තෙක් ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ කළමනාකරණය මෙම පරිවර්තන කමිටු දෙකට පවරා ඇත.
එම කමිටු දෙක මඟින් බැඩ්මින්ටන් සහ පාපැදි ක්රීඩාවේ වංචා, දූෂණ සහ අනෙකුත් අක්රමිකතා විමර්ශනය කිරීම, ක්රීඩා නීතියට සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම, නව ව්යවස්ථා යටතේ සුදුසුකම් ලත් සාමාජිකයන් ලියාපදිංචි කිරීම සහ ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කිරීම කළ යුතු අතර, ඒ සඳහා විශේෂ මහා සභා රැස්වීම් සහ වාර්ෂික මහා සභා පැවැත්වීම කළ යුතු බව ගැසට් නියෝගවල සඳහන් වේ.
බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ නව ව්යවස්ථා ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත එම සංගම් දෙකේ නිලවරණ පවත්වා නිලධාරීන් පත්කර ගැනීම අනිවාර්ය බව ගැසට් නියෝගවල දක්වා ඇත.
පස් දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා බැඩ්මින්ටන් පරිවර්තන කමිටුවේ සභාපතිත්වය එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතාට පවරා ඇති අතර, හිටපු බැඩ්මින්ටන් ක්රීඩක නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදේශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්රී ලාල් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයාගේ ධුර කාලය තුළ සිදු වූවා යැයි පවසන අක්රමිකතා සහ විෂමාචාර සම්බන්ධ චෝදනා මාලාවක් ඉදිරිපත් කරමින් ශ්රී ලංකා බැඩ්මින්ටන් විධායක කමිටුව විසින් ඔහුගේ තනතුර අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙම පරිවර්තන කමිටුව පත් කිරීම විශේෂත්වයකි.
පසුගිය වසරේ මැයි මාසයේ සිට වසර දෙකක කාලයක් සඳහා තේරී පත් වූ හිටපු සභාපතිවරයාට ශ්රී ලංකා බැඩ්මින්ටන් විධායක කමිටුව චෝදනා පත්රයක් භාරදී එම චෝදනා පත්රය නිකුත් කළ දින සිට සතියක් ඇතුළත සවිස්තරාත්මක ලිඛිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ යුතු බවට දැනුම්දී තිබිණි.
ශ්රී ලංකා පාපැදි සම්මේලන පරිවර්තන කමිටුවට සභාපති අනුර මහආරච්චිගේ මහතා ප්රමුඛ සාමාජිකයන් පස් දෙනෙකු නම්කොට ඇත. විශ්රාමික රියර් අද්මිරාල් චන්දන රත්නායක, ආර්. චන්ද්රසේකර, උපාලි රත්නායක සහ කුසලානි වික්රමරත්න යන මහත්ම මහත්මීහූ එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
එම කමිටුවේ වගකීම් අතරට සම්මේලනය තුළ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අනෙකුත් අක්රමිකතා විමර්ශනය කිරීම, නව ව්යවස්ථාවක් කෙටුම්පත් කිරීම, සුදුසුකම් ලත් සාමාජිකයන් ලියාපදිංචි කිරීම සහ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා අවශ්ය විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීම ඇතුළත් වේ.
පසුගිය වසරේ අගෝස්තු 21 වන දින ප්රකාශයට පත් කරන ලද අංක 2450/42 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පාපැදි සංගම් පරිපාලනය ක්රීඩා අධ්යක්ෂ පෙනරාල් යටතට පවරා තිබූ අතර, වහාම ක්රියාත්මක වන පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පියවර ගෙන ඇත. නව පරිවර්තන කමිටුව පාපැදි ව්යවස්ථාවක් සැකසිය යුතු අතර, ඒ යටතේ වාර්ෂික මහා සභා රැස්වීමකදී නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම කළ යුතු වේ.


