කැනඩාවේ කවි සිතුවිලි

අපට තව දුර යන්න තියෙනවා….

සිත්පාන අද්දරම විසිරෙන්න පිණි බිංදු 

තරු පිරී මග ලකුණු කියනවා 

අත් අල්ලගෙන එන්න , ප්‍රිය මිතුර එක්වෙන්න 

අපට තව දුර යන්න තියෙනවා 

මේ ගමන තව යන්න තියෙනවා 

සුසුදු සඳපාන මැද , නේක මල් උයන්වල 

මල් පිපී දිලි දිලී තියෙනවා 

කටුක රුදු කතර මැද එක්වෙලා ගියෝතින් 

සත්තමයි කෙම් බිමක් පෙනෙනවා 

ඒ ගමන යන්න දිරි ලැබෙනවා  

හරියටම දුක සැපත්, හමන මද නල වගෙයි 

කුණාටුත් විටෙක එය මවනවා 

අත් අල්ලගෙන එකට අත් නෑර හිටියොතින් 

ඇත්තමයි අපට ජය ලැබෙනවා 

සතුට , සැප අප වටා ඉන්නවා 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

හදවත වාවනු කොහොමෙයි

පෙරඹර දෙසින් එන්නේ නුඹගේ              සුවඳයි

දෙනෙතෙහි කෙවෙන කඳුළැලි බැරි බර   උසුලයි

හිමිසඳ බොහෝ දුරකයි හදවත            සසලයි

සැළලිහිනියන් නැත හද වාවනු      කොහොමෙයි

අත් පටලාන පියවර නැගු පටු                  දෙවට

කල් ගත උනත් මතකයි ලෙන්ගතු              හදට

මල් පිබිදිලා තිබුනත් තවමත්                   යසට

මින් පෙර ලෙසම සුවදක් නොදැනෙයි      මෙමට

සහසක් පැතුම් තෙරපන හදවත              පතුල

සතුටක් කොහිද හැඟුමන් මගෙ වෙයි       සසල

සුවඳක් විලස දැවටෙයි නිතරම               අසල

සුසුමක් ලෙසින් එවනෙමි සෙනෙහස         නිමල

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

Candlelight ABBA vs QUEEN

ඉටිපන්දම් එලියෙන් 

වයලීන තුනකට නායකව එක චෙලෝවකින් මහ හරඹයක

මවමින් මහා සංගීත අනුරාවක්.

ඉටිපන්දම් එළියේ පායවමින් පුර පෝ හඳක්

අපිත් සතියට දෙතුන් වර ඉටිපන්දමක් දල්වාගෙන,

නැත්නම් වෙසක් දවසේ

පහන්කූඩු නිවී යන මැදියම් රැයෙහි

අනුරාග හැගීම් සතපවාගෙන

හෙටක් ගැන සිතුවා මතකද?

නොදැන, යා යුතු ඉම් පෙදෙස්

ගොළු වුනෙමු සුදුමැලිව.

ඒත් ඔබ නික්මුණා

නන්නත්තාරව හෝ ඉටාගත් ගමන යන අතරමැද බිහිසුණු ක්ෂණයක.

මේ මියැසි මැදිරිය පිරී ඇත රසික දනගෙන්

එහෙත් මා අස අසුන හිස්ය.

ඒ යාබද අසුනට කවුරු හෝ එනු ඇත.

එහෙත්  කවුරුවත් නොඑනවා නම්

කෙතරම් සැනසුමක්ද?

ඒ පෙලන කාංසාව සමගවත් ගැවසෙන්නට ඇත්නම්.

ඒ අසුන මත මගේ හිස්වැසුම තබමි.

හැකිතාක් වෙර දරමි 

ප්‍රසංගය ඇරඹීමට පෙර 

ඔබ එන බව දනවන්නට අසුන පතනා වුනට. 

ඔබ නොඑන බව දන්නා නමුත්.

ප්‍රසංගය ඇරඹේවි.

මා නිරුත්තර වේවි.

අඳුරේම කවුරු හෝ පැමිණ අසුන් ගනීවි

හිස්වැසුම යලි පැළඳ ගමි.

සර මිහිර අතර ඔබ දකින්නට තැත් කරමි.

චන්ද්‍රරත්න බණ්ඩාර

ටොරොන්ටො  නගරය

බිදුණු සිත්..

රිදුනු තැන්..

අමුණ අමුනා..

මිහිදන් මළකද..

මතක වස්ත්‍රය..

සිතින් සිඹලා..

හුදකලා සද..

තරුත් නොමැතිව..

අහසේ නිදනා..

සිතින් පියඹා..

හෙමින් ඇහැරුනු..

සදත් මගේ ලග..

මදක් පවනින්..

කවිත් ඇහැරුනු..

සුදු අරලියා..

මා සිඹින සද ..

අද..

තවත් නොදොඩා..

යන්නම යන්නමි..

හිමියනි ..

කිසිත්..

නොදොඩා.

ඇයිද නුඹ..

මග වැරදුනු..

මට..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …