
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන දර්ශනය සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය කේන්ද්‍ර කරගත් “J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත” විද්වත් සාකච්ඡාව පසුගිය (17)වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය (DSSPA Alumni Club) විසින් මෙම සම්මන්ත්‍රණය ප්‍රථම වරට සංවිධානය කරනු ලබයි.
මෙම විද්වත් කතිකාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස එකම වේදිකාවකට එක්වීම සිදුවිය.
එක්සත් ජාතික පක්ෂයේ මෑතකදී පැවති සංවත්සරයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවූ පසුබිමක් තුළ මෙම හමුවීම විශේෂ අවධානයකට ලක්ව තිබේ. එවැනි දේශපාලන පසුබිමක් පිළිබඳ කතා මැද, මෙම ජේ.ආර්. අනුස්මරණීය ගුණ සමරු සහ දේශපාලන සංවාදය සඳහා දෙපළම එකම මූලික පරිශ්‍රයකට රැස්වීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම වරට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ මෙන්ම, වර්තමාන ගෝලීය අර්බුද හමුවේ රාජ්‍යයක් ස්ථාවර කරගැනීමට ‘මැද මාවත’ උපයෝගී කරගන්නේ කෙසේද යන්න මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ පර්යේෂකයින් පිරිසක් ද සහභාගී වීය.


