දකුණු රතු මුහුදේ සුකාර් දූපත සහ අක්-මකාහි නගරය හූති පාලනයට – අමෙරිකානු හමුදාවලට ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක්

රොකට් ප්‍රහාර සහ ගොඩබිම් සන්නද්ධ භටයන් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් පසුව, දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් සුකාර් දූපතේ (Zuqar Island) පාලනය හූති කැරළිකරුවන් විසින් සම්පූර්ණයෙන් අත්පත් කරගෙන තිබේ. මෙම අල්ලා ගැනීමත් සමඟ රතු මුහුදු නාවික කලාපය තුළ සිය හමුදාමය සහ උපායමාර්ගික බලය තවදුරටත් තහවුරු කර ගැනීමට හූතිවරු සමත්ව ඇත.

ඊට අමතරව, රතු මුහුදේ පිහිටි ප්‍රධාන වෙරළබඩ නගරයක් වන අක්-මකාහි (Mocha) පාලනයද හූති කැරළිකරුවන් විසින් සම්පූර්ණයෙන් තම භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ ප්‍රධානතම නාවික සහ වෙළඳ මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට හූති බලකාය මෙම වර්ධනයන්ත් සමඟ තවදුරටත් ඉදිරියට ඇදී යමින් සිටී. යේමනයේ සමස්ත රතු මුහුදු වෙරළ තීරයේම පාලනය තමන් සතු කර ගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මේ අතර කලාපයේ තවදුරටත් රැඳී සිටින අමෙරිකානු හමුදා භටයන්ට ප්‍රමාද වීමට පෙර නිවසට ආපසු යන ලෙස ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති **ඊබ්‍රාහිම් අසීසි** X ගිණුමේ සටහනක් තබමින් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

ඉරාන නාවික හමුදාවට පර්සියානු බොක්කේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තනිවම කළමනාකරණය කිරීමට හැකියාව ඇති බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට තම උපකරණ ආරක්ෂා කරගෙන වහාම රටින් බැහැර වන ලෙස ඔහු උපදෙස් දී ඇත.

තමන්ගේ රටේ දේශසීමා ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසද ඔහු අමෙරිකානු හමුදාවට පවසා තිබේ.

මේ අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබී ප්‍රකාශ කර ඇත්තේ, බටහිර ආසියාවේ දිගුකාලීන හමුදා පැවැත්මක් පවත්වාගෙන යාමට අමෙරිකාවට කිසිදු හැකියාවක් නොමැති බවයි. කලාපයේ සිටින අමෙරිකානු හමුදා සාමාජිකයන්ගේ මානසික තත්ත්වය මෙන්ම ඔවුන් සතු ආයුධ සහ යුද නෞකා දැඩි පිරිහීමකට ලක්ව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් (නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත) පසුව ඉරානය සමග පවතින යුද ගැටුම වහාම අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඉරානයට තවදුරටත් අමෙරිකානු ආර්ථික පීඩනයට මුහුණ දීමට නොහැකි වනු ඇති බවත්, එළඹෙන මැතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ඉරානය විවිධ උත්සාහයන් වල නිරත වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today