කළු-සුදු

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. “නයිස්.. නයිස්..” කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට “උපකුලපති” කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.
“මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න … බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ..”
හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.
නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.
සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.
“ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න..”
කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.
සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න “නයිස්..නයිස්..!!” කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.
ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.
නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව “වගකීමක් නැහැ!” කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.
“ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!” දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. “ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!” කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. “එතකොට නයිස්?” හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.
“උපකුලපතිගෙන් අහලා බලමුද?” එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ.”මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා..” “හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ” එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.
“මොකා…නයිස්???” නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.
“නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි..”
“මම කාටවත් කෑම දෙන්නේ නැහැ… දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??” සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.
“ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ..”
එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.
සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.
“ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා.” අහක බලාගෙනම හෙමින් කිව්වා.
“කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්…දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!” ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.
ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා.
හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
තුන්වැනි දේශකයා

මීට අවුරුදු හත අටකට උඩදී දවසක දේශකයන් පස් දෙනෙක් ඇවිත් හරි බැරි ගැහී , කලාතුරකින් ලැබුණු අවස්ථාවක විනාඩි විස්සක දේශනයක් ඇෂ්ටි හැලෙන්නට දෙන්නම් කියා හිතමින් වේදිකාවේ වාඩි වී සිටියෝය. අවසාන අවුරුද්දේ ඉංජිනේරු ගැටයින් ගැටිස්සියන්ට රස්සා හොයා ගන්නට මග හසර කියලා දෙන ඉන්ඩස්ට්රියල් ඩේ එක අදය.
දේශනා ශාලාවෙන් එළියේ සැණකෙළි සිරියක් ගෙන තිබිණි. තැනෙක සිමෙන්ති කොම්පැනියක වෙළඳ කුටියකි. අන් තැනෙක ඉදිකිරීම් සමාගම්වල එකිනෙකා පරයන සේ හැඩ වැඩ ගැන්වූ කුටි පෙළකි. ඔය අතරේ ඉංජිනේරු අංශවල සිසුන්ගේ හපන්කම් පෙන්නන නිමවුම්ය. කිරි පැකට්, නූද්ලෙස්, බර්ගර්ස් ඈ මෙකී නොකී රස බොජුන් විකුණන අවන්හල්ම දෙකකි.
මේ අස්සෙම ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ දුව දුවා හතළිහක් පනහක් වූ කරදඬු උස වූ ඇට්ටර පහේ කෙල්ලන් කොල්ලන් පිරිසක් දේශනා ශාලාවකට ගාල් කර ගන්නට තරුණ කතිකාචාර්යවරියන් සමත් වෙද්දී එතුමියන්ලාගේ හොඳ පණ ගිහිල්ලාය.
අද මේ දේශක මහත්තුරුන්ට එන්න කියල අපි විශේෂයෙන් ආරාධනා කලේ ඔවුන් විවිද ක්ෂේත්ර වල කාලයක් තිස්සේ රස්සා කරලා අද ඉන්ඩස්ට්රි එක මොකක්ද කියල දන්නා නිසයි, මේ ප්‍රවීණ ඉංජිනේරුවන් පිරිස තමන් ඉගෙන ගත්තු හැටි ඒවා රස්සාවට යොදා ගත් හැටි දැන් ඔබ ඉදිරියේ රඟ දක්වා.. සමා වන්න දේශනා කර පෙන්වනු ඇත.
ට්රා න් ටිරින් ටිරින් ට්රානන් ටිරින් ටිරින්
පළමු දේශකතුමිය නැගී සිටියාය .
ඇය පටන් ගත්තේ පහේ සිස්සත්තයෙනි. මම සිස්සත්තේ හොඳට පාස් වුනා ඊට පස්සේ ලොකු ඉස්කෝලෙක. මුල ඉඳන්ම පිළිවෙලකට ඕනෑකමින් වැඩ කරපු නිසා මගේ පුංචි කාලේ ඉඳන් දුටුව හීනේ හැබෑ උනා. ඒ තමයි විස්ස විජ්ජලේට එන එක .ඒ ආවේ ඉංජිනේරුවෙක් වෙන්න. මම මෙහෙ ඇවිල්ලත් හොඳට වැඩ කළා . දෙන සටහන් දෙතුන් පාරක් කියවලා හැමදාම අතිරේක පොත්පත් බැලුවා. මම හොඳ පන්ති සමර්තයකුත් එක්ක තමයි පිටවුනේ.
මම වැඩ කරන තෙල් පිරිපහදුවේ ඕනෑම බ්රේක් ඩවුන් එකකදී මම මෙහෙදී ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරනවා. මම තුන්වෙනි අවුරුද්ද්දේ යාන්ත්රිරක ඉන්ජිනේරු විෂය සටහන් ඔක්කොම වැඩපොළට ගෙනිච්චා. ඇය උදාහරණ පෙන්වයි. මේ බලන්න මේවා යොදා ගත්තු තැන.
මේ දේශනය ඇසෙද්දී කොල්ලන් කෙල්ලන් හීන් දාඩිය දමාගෙන මලානික මුහුණින් බලා සිටියෝය. තුන් වැනි දේශකයාත් ළමුන් මෙන්ම විපිළිසර වී සිටියේය.ඔහුද තුන්වැනි අවුරුද්දේ හා හතරවැනි අවුරුද්දේ ඉගෙන ගත්තේ මොනවාදැයි කල්පනා කළේය, කල්පනා කළේය . එහෙත් ඔහුට හරියට මතක් වුනේම නැත.
දෙවන දේශක තුමාගේ දේශනයේදී අසා සිටි සියල්ලෝ සුසුම් හෙලන්නට පටන් ගත්තෝය.ඒ ඔහු විෂය ධාරාවේ සමහර කොටස් කට පාඩමින් කියද්දීය. අවුට් වෙලා අවුරුදු ගානකට පස්සේ මෙච්චර මතකයක්. ඔහුත් ඉගෙනුමේ ජය දද නංවන්නට පටන් ගෙන තිබුනේ පහේ සිස්සත්වයෙනි. ඉන් පසු හොඳින් ඉගෙනීම කර උගත් දෙයින් රටට වැඩක් කරමින් සිටියි. එක එක අවුරුද්ද වැඩ සැලසුම් කර ගත් හැටි.
ඉන්ජිනේරුවෙක් වෙන්නට පොඩි කාලේ ඉඳන්ම සැලසුම් සහගතව ආ ගමන ගැන ඔහු ඉතා සංයමයෙන් විස්තර කළේය. ඔහු කර තිබු ප්රස්චාත් උපාධි පවා අවුරුදු ගානකට කලින් සැලසුම් කර ගෙන හිතා හිටි හැටියටම සිද්ද වී ඇත.
මේ දෙදෙනාම අත ගැසූ හැම වැඩක්ම හිතුවාටත් වඩා සාර්ථක කර ගත වාසනාවන්තයෝය. අලුත් නිපැයුමක් කලත් එක පාරින් වැඩේ ගොඩ දමා ගෙන තිබිණි.
දෙවන දේශකයා පටන්ගත් බිස්නස් වැඩේද එසේමය. පටන් ගත් දවසේ පටන් සාර්ථක වුනු ඔහුගේ ව්යාපාරය එකදු කුඩා පසු බෑමකට හෝ ලක් වී නොතිබීම පුදුම සහගතය.
මේ දේශනා දෙක ඉවර වෙන විට බොහෝ දෙනෙකුගේ මුහුණු අඳුරින් බර වී තිබිණි. ඇයි දෙය්යනේ රස්සාවක් කරන්න මෙච්චර අමාරු. ගිය වාරේ උගන්නපු ඒවා මේ වාරේ මතක නැති අපට අනාගතයක් තියේද? වැඩි දෙනෙක් සිතුවෝය.
ඊළඟට තුන්වැනි දේශකයාගේ නම කියවෙන විට ඔහු තිගැස්සී බැලුවේය. ඒ වනවිට ඔහු කල්පනා කරමින් සිටියේ තමන්ව මොන එහෙකට මේ දේශනය කරන්නට එක්කාසු කර ගත්තාද කියලාය.
තුන්වන දේශකයා තම කෙටි දෙසුම පටන් ගනිද්දීම මෙතෙක් සැසියේ ගලාගෙන ආ ඒකතානමය සුගම රිද්මය අවුල් කළේය. කොටින්ම ඔහු ගම කෑවේය.
මුලින් කතා කළ දෙදෙනා කොපි කරමින් ඔහුත් කතාව පටන් ගත්තේ පහේ සිස්සත්තය ගැන කියමිනි.
‘මම පහේ සිස්සත්තේ නම් ෆේල් උනා’
එසැනින්ම මේ දේශකයා මෙතැනට නොගැලපෙන බව බොහෝ දෙනාගේ මුහුණුවල පල වූ අදහස විය. එක්කෝ මේ මනුස්සයා මේ වගක් නොකියා ඉන්නා තිබ්බා. තවත් කෙනෙක් හිතුවේය.
තුන්වන දේශකයා දිගටම කතාව කරගෙන ගියේය.
පහේ සිස්සත්තේ ෆේල් නිසා මම ටව්මේ ඉස්කෝලෙට ගත්තේ නෑ . මටවත් අපේ ගෙදර කිසිම කෙනෙකුට ඒකේ වගක් තිබ්බේ නෑ. හතේ පන්තියේදී මම තරග විබාගයකින් ලොකු ඉස්කෝලෙට ගියා.
සාපෙ හා උපේ මම අපේ අම්මාට කැවුම් උයන්න හිතෙන ගානට පාස් වුනා.
මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ ඉංජිනේරුවෙක් වෙන්න. අපේ ගෙදර කාගේවත් ඒ ගැන අදහසක් තිබ්බේ නෑ . මට අරක කරන්න මේක කරන්න කියල කරදරයක් තිබ්බෙත් නෑ .
මම මෙහෙ ඇවිල්ල පළමුවෙනි අවුරුද්ද යන්තම් පාස් වුනා. දෙවැනි අවුරුද්දේ වැඩ පහෙන් හතරක්ම ෆේල් . ඒත් තුන්වෙනි අවුරුද්දේ ඒ අවුරුද්දට අයිති වැඩ හයයි කලින් අවුරුද්දේ ඉතිරි වෙච්ච වැඩ හතරයි සේරම වැඩ දහයම පාස් උනා.
ඒ වැඩ දහයම පාස් වෙච්ච අවුරුද්දේ මම චිත්රපට සංගමේත්, කළා කවයේත්, තව ගොඩක් සමිති සමාගම් වැඩ අටෝරාසියකටත් කර ගැහුවා.
හතරවෙනි අවුරුද්දේ එක එක හේතු අහේතු හින්දා එච්චරම වැඩක් දාන්ට බැරි උනත් මම විබාගේ වැඩ ටික ඔක්කොම පාස් වෙලා එලියට ආවා.
ඉන් පස්සේ අවුරුදු දහයක් යනකම් මෙහෙ ඉගෙන ගත්ත කිසිම දෙයක් මට කෙලින්ම වුවමනා වුන් නෑ . පාඩම් කොටස් තෝරලා වෙන් කරලා කියන්න බැරි උනත් අවබෝදයක් හා ඉවක් ලැබිලා තිබ්බ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට තීරණය කරන්න.
සබාවේ සිටි කොල්ලන් කෙල්ලන්ගේ අඳුරු වී තිබුණු මුහුණුවලට එලිය වැටී තිබිණි. ඔවුන් දෑස් අයාගෙන මුව විවර කරගෙන තුන්වන දේශකයා දෙස බලා සිටියෝය.
මම හිතන්නේ මේ සරසවියේ ගත කරපු අවුරුදු හතරත් මම කරපු තවත් එක ට්‍රේනින් කෝස් එකක් විතරයි. ඒක ටිකක් කල් දික් උනාට ඒ මගේ ජීවිතේම නෙවෙයි.
ආ තව එකක්. මම අලුතින් සමාගම් හතරක් පටන් ගත්තා. ඒවායින් තුනක් බංකොලොත් උනා. එකක් හොඳට කරගෙන යනවා.
මට ඉස්සෙල්ල කතාකරපු දේශක තුමයි දේශක තුමියටයි මම ගරු කරනවා. ඔවුන් තමයි මේ රටේ සම්පත්. තමන් උගත් දැනුම ක්‍රමානුකුලව රටේ දියුණුවට යොදවනවා. අලුත් දැනුම හොයා ගෙන යනවා. ඔවුන් වාසනාවන්තයි.
ඒත් ඒ වගේ පිරිස ටික දෙනයි ඉන්නේ. වැඩි හරියක් අපි වගේ ලාබ අලාබ ජය පරාජය මාරු වෙවී ලබන උදවිය. මිනිස්සු හැලෙන්න පටන් ගන්නේ පහේ සිසත්තේ ඉඳන්. තව ටිකක් දහයේ විබාගෙන්. වැඩි කොටසක් උසස් පෙලින් හැලෙනවා. ඒත් මේ කවුරුත් ජීවිතෙන් හැලෙන්න ඕනි නෑ .
මට කියන්න තියෙන්නේ මගෙන් කිසි ආදර්ශයක් ගන්න එපා . ඕගොල්ලෝ කැමති විදිහකට වැඩ කරගෙන යන්න. මම මේ දේශනාවට කරපු ආරාධනාව බාර ගත්තේ මගේ සමාගමේ ඔබ තුමන්ලා හත් අට දෙනෙකුට රස්සා අබැර්තු තියෙනවා කියන්න.
මගෙන් උපදෙසක් ඕනිම නම් මම දෙන්නම්. මේ ඉන්ජිනේරු රස්සාව හරි නෑ කියල හිතුනොත් ඕනෑම වෙලාවක ඔබතුමන්ලා වෙන වැඩක් බලා ගන්න . ප්ර්ස්චාත් උපාදිය කලා වලින් කරන්න ආසා නම් කරන්න. තාම මෙහෙ අමාරුයි.. පිට රට පුලුවන් .
ජීවිතේ දවස් මාස අවුරුදු ඇවිත් යනවා. කාලය ගෙවෙනවා. ජීවත් වෙන්න තරම් ආදායමක් උපයා ගන්න පුළුවන් නම් පසු තැවෙන්න එපා. ආයිමත් වෙනස් වෙන්න නොගැලපෙන දේ අත අරින්න අලුතින් පටන් ගන්න වයස් සීමාවක් නෑ . තමන්ට තමන් නැති කර ගන්න එපා. එච්චරයි.
ඉන් පසු සබාව මදක් නිස්සබ්ද වූ අතර ප්‍රශ්ණ ඇසීමේ වාරයේදී කිසිවෙක් කිසිම දෙයක් තුන්වන දේශකයාගෙන් ඇසුවේ නැත. ඒ වෙනුවට ඒ දවස්වල කලා කවයේ වැඩද සරසවි රසකතා ගැනද කතා කරමින් රසවත් වුවෝය. හතරවන දේශකයාද පස් වන දේශකයාද ඉන් පසු සබාවේ කතා බහට ඉතාමත්ම සැහැල්ලුවෙන් සහබාගී උනේ රස කතා කියමිනි.
සැසි වාරයෙන් පසු මේ ගාම්බීර සබාව ගොන්පාර්ට් එකක් කර දැමු තුන් වන දේශකයා වට කරගත් අන්තිම අවුරුද්දේ සිස්ස සිස්යාවෝ කැකිරි පලමින් මොන මොනවාදෝ කියමින් සිටියහ.
විය යුතු පරිද්දෙන්ම තුන්වන දේශකයාට ඉන්පසු කවරදාකවත් කිසිම සරසවි දේශනයකට ආරාධනා ලැබුනේ නැත.
තිලකසිරි ඒකනායක – තිලකසිත බ්ලොග් අඩවියෙන්
http://thilakasitha.blogspot.com/ *අවසර ඇතිව උපුටා ගත්තකි .
සිගරැට් කොටය

අද හවස පහේ දුම්රියෙන් නැන්දම්මා ආපසු එන්නීය. සුභා සිය ඔරලෝසුව දෙස බැලුවාය. තවමත් හතර වූවා පමණි. දුම්රිය පැමිණීමට තව ටික වේලාවක් ඇත. අති ප්‍රබල හිස්බවක සුවිසල් මුහුදක් ඈ වටකර ගත්තේය. බලා හිඳීම හැර වෙන කරන්නට දෙයක් නැත.
මේසය මත වූ පොත් මත දෑත යැවූ ඇය ඉන් එක් පොතක් අතට ගත්තාය. කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු හා ඒවාට පිළියම් සඳහන් ඒ පොත ඉංගිරිසියෙන් ලියූ විශාල එකකි. පොතේ විවර වූ පිටුවෙහි වූයේ කෘතහස්ත බවින් යුතුව අඳිනු ලැබූ විචිත්‍ර විස්තරවලින් යුත් නිරුවත් කාන්තා රුවකි. ඒ රුව අවශ්‍යයෙන්ම වෛද්‍යමය අරමුණු සඳහා ඇඳුනකි!
පොත තදින් වසා දැමූ ඇය එය ආපසු මේසය මත තබා විවෘත සඳළුතලය මතට පිවිසුණාය. එසේ කොට නිසලව සිටියාය. සිය දාහය සෑම අහුමුල්ලකම පතුරුවා ලූ පීඩාකාරී අපරභාගය තවමත් පෘතුවිය අරක් ගෙන සිටියේය. තමාගේම හිස්බව බඳු උදාසීන ශුන්‍යත්වයක් නොව එය පාරභාෂක, තද හා බරැති ශුන්‍යත්වයක් යැයි ඇයට හැඟිණි.
‘රතු-දුඹුරු හැන්දෑව මෝරනු ඇත්තේ තව ටික වේලාවක් පමණි. ඉන්පසුව හාත්පස යළි අඳුර පැතිරෙනු ඇත.’ සිය දෙතොල මත මලානික සිනහවක් රඳවාගත් සුභා යළි කාමරයට ආවාය.
තවමත් හතර හමාර වූවා පමණි. සිය මෝටර් රිය පදවාගෙන දුම්රියපොළ වෙත යන වෛද්‍ය සුභා තමන්ටම දොස් පවරා ගත්තාය. ‘උඹ අසාමාන්‍ය විදියට සංවේදී වෙලා සුභා. උඹට ඉර පේන්නෙත් අඳුරු කැටියක් විදියටයි.’
එක්වරම ඇගේ කුස තද වූවාක් මෙන් දැනිණි. නැන්දම්මාගේ පැමිණීම වෙනුවෙන් ගෙදර සෑම දෙයක්ම හරි පිළිවෙළට හරිගස්සා තිබුණාද ? හැම කුඩා විස්තරයක් ගැනම අවධානය යොමු කර තිබුණාද ? චිත්‍රපටියක දිගහැරෙන සේයාපටය මෙන් ඇය සිය මනැසෙන් ගෙදර කාමරයෙන් කාමරයට සෙමෙන් ඇවිද්දාය. කිසිවක් අතපසු වී නැත. සෑම දෙයක්ම හරි පිළිවෙළට ඇත. ගෙදර සෑම මුල්ලක්ම ප්‍රවේසමෙන් පිරිසිදු කොට ඇත. ඒත් බැරිවෙලාවත්… ? ඇගේ වෛද්‍ය වෘත්තියත් සායනයේ වැඩත් කරණ කොට ගෙන වෙන දෙයක යෙදීමට ඇයට කාලය ඉතිරි වී නොතිබිණි. ඇයගේ නැන්දම්මා එය හොඳාකාරවම දැනගෙන සිටියාය. එතකොට අර සොරාගත් පෞද්ගලික මොහොතවල් ? ඒවා අමතක කළ යුතුය. ඒ ගැන නැන්දම්මා දැන නොගන්නා තරමට හොඳය.
එක්වරම ඇගේ උදරය පත්ලෙන් මතුවූ ශීතල වෙවුලුමක් ඇගේ උගුර තෙක් නැගී ආවේ යමක් මතක් වීමෙනි- පින්තූරය ! සුබෝධ්ගේ ඡායාරූපයේ දූලි පිස දමන්නට ඇයට අමතකව තිබිණි. පින්තූරයට පළඳවන මල් මාලයේ මල් පරවී එහි කිළිටි අළුපැහැති නූල සමගින් එය තවමත් පින්තූරය මත විය. අලුත් මල් මාලයක් දමන්නට ඇයට අමතකව ගොස් තිබිණි. මාමණ්ඩියගේ පින්තූරයද එසේම විය. නැන්දම්මා ගෙට ගොඩවූ වහාම පළමුවෙන්ම කරන්නේ ඒ පින්තූර ඇති තැනට යාමය.
වියළි මල්පෙතිවලින් සැරසුණු සුබෝධ්ගේ කලු සුදු පින්තූරයේ මුහුණ නොසෙල්වී සිනාසෙමින් සිටියේය. විසිකර දමනු ලැබූ කඩදාසි ගොඩක් මත දමා තිබූ ගිය අවුරුද්දේ දීවාලි සුබපැතුම් පතෙහි වූ ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ සිනහව මෙනි.
සුභා සුක්කානම තදින් අල්ලා ගත්තාය.
දුරකථනය පසෙක වූ අළු බඳුන- එය පිරිසිදු කර තිබුණාද ? බොහෝ විට, විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇය එතැන වාඩිවී දුම් උරමින් දුරකථනයෙන් කතා කළාය. ගෙදර අළු බඳුනක් ඇත්තේ කුමකටදැයි නැන්දම්මා ඇසුවොත් එවිට කරන්නේ කුමක්ද ? දෙවියනේ ! ආපසු හැරී ගෙදර යෑමට තරම් වෙලාවක් දැන් නැත. සිය රථය ගාල් කළ ඇය දුම්රියපොළ තුළට පිවිසුණාය.
දුම්රිය හරියටම වෙලාවට පැමිණියේය. මෝටර් රියට බඩු පටවනු ලැබිණි. රියැදුරු අසුනට ගොඩවූ සුභා මෝටර් රථය පණගැන්වූවාය. නැන්දම්මා ඇය පසෙකින් හිඳගත්තාය. තෙරපෙන ජන ගඟ මැදින්, නොනැවතී රියෙහි නලාව නාද කරමින්ද පාරේ සංඥා එළි ඉදිරිපිට තිරිංග තදකරමින්ද ඇය සෙමෙන් සෙමෙන් නිවෙස බලා රථය පැදවූවාය. රිය පැදවීමටද වාහන තදබදයටද අඟලෙන් අඟලට ඇදෙන පීඩාකාරී ගමනටද ඇය පුරුදු වී සිටි හෙයින් යාන්ත්‍රිකව මෙන් ඒ කටයුත්තෙහි නිරතවීමේ හැකියාව ඇය සතුවිය.
නැන්දම්මා කතා කරන්නට වූවාය. ඇය කතා කරත්ම තෘප්තිමත්බවේ ජීවයෙන් එළිය වූ ඇගේ මුහුණෙන් ගමනේ වෙහෙස පළා ගියේය. කුඩා සිදුවීම්ද පවුලේ ඕපාදූපද නැන්දම්මා වේගයෙන් හා තියුණු ලෙස කියවා ගෙන ගියේ සැමදාම කරන්නාක් පරිදිය. විස්තීර්ණ ඉන්දියානු පවුලේ පොදු කථාන්තරයට නොවැදගත් වූ සෑම විස්තරයක්ම එක්කරන ගෙතුම් කටු එකට ගැටෙන ටික් ටික් හඬ මෙනි. ප්‍රීතිය සමරන්නට හෝ ශෝකවන්නට නැන්දා, බෑනා, මස්සිනා, ආතම්මා ආදී දෙනෝදාහක් නෑදෑයෝ එකට එක් වූහ.
රිය ඉදිරියට ඇදී ගියේය. එය එසේ ඉදිරියට ඇදී යා යුතුව තිබූ හෙයිනි. අපරභාගයේ සුළඟ වැද විසිරී යන වියළි තුරුපත් පරිද්දෙන් නැන්දම්මාගේ වචන මෝටර් රථයේ ජනේලයෙන් එළියට විසිර ගියේය. සුභා සිටියේ නිහඬවය. ඇගේ සිතිවිලි නතර වී තිබුණේ දුරකථනය අසළ ඇති අළු බඳුන හා හාත්පස විසුළ සිගරැට් අළු අබියසය.
අවසානයේදී ඔවුහු නිවෙසට ළඟා වූහ. සේවකයෙකු කැඳවන්නට දෙවරක් නලාව හැඬවූ සුභා නැන්දම්මා රියෙන් බසින තුරුවත් නොසිට තරප්පු පෙළ නගිමින් උඩුමහලට දිව ගියාය. ඇය කෙලින්ම ගියේ දුරකථනය වෙතය. එහි අළු බඳුනක් නොවීය. මතකයක තරම ! එදා උදෑසන ඇය එය කබඩයට දැමූ බව ඇයට සිහිපත් විය.
උඩු මහලට නැගුණු නැන්දම්මා ඡායාරූප තිබූ තැනට ගියාය. දූවිලි අතරින් මාමණ්ඩියත් සුබෝධුත් සිනා නගමින් සිටියහ. සුභා මනාලියක වී යන්තම් මාස හතරක් ගත වූ තැන පිය පුතු දෙදෙන රිය අනතුරකින් මිය ගොස් සිටියහ.
නැවුම් ලා මල් පොහොට්ටු පිරි පළිඟු බඳුනක් බිම වැටී කුඩුපට්ටම් වී ගොස් තිබිණි. එවක් පටන්, කැඩී විසිරුණු සහස්‍ර සංඛ්‍යාත වීදුරු කැබලි මෙන් ජීවිතයේ සෑම ක්ෂණයක්ම වරකට එක බැගින් අහුලා ගෙන එකින් එක ඉවත දැමිය යුතු විය.
නැන්දම්මා ප්‍රවේසමෙන් ඡායාරූප පිස දමා ඒවා ඉදිරියේ දණ නවා සිය නළලින් බිම ස්පර්ශ කළාය. නැගී සිටි ඇය සුභා වෙත හැරී දොස්පැවරීමේ මඳ ස්වරයක් තැවරී තිබූ හඬින් කතා කළාය. “ මෙච්චර දූවිලි ගොඩක් එකතු වුණේ කොහොමද දරුවො ? හැමදාම අලුත් මල් තියලා පින්තූරවලට වඳින්න අමතක කළේ නෑ නේද ? ”
ලෙඩුන් බලන්නට යන්නට තිබුණා, ප්‍රතිකාර කරන රෝගියෙකුට අමාරු වුණා වැනි නිදහසට කාරණා කෙනෙකුට කිව හැකිය. එහෙත් සුභාගේ මුවට වචන ගලා ආවේ නැත. ඇය සෙමෙන් කාමරයෙන් එළියට ඇවිද ගියාය.
ඇය සඳළුතලයේ වැටට හේත්තු වූවාය. දැන් නැන්දම්මා නානවා ඇතැයි ඇයට සිතිණි. එක්වරම වලකාලිය නොහැකි ආශාවක් ඈ වෙලාගත්තේය. අතේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතර ඇති අවකාශය වෙව්ලීය.
ඇය ආපසු කාමරයට ගියාය. නැන්දම්මා නාන කාමරයේ දිගු වේලාවක් ගත කරනු ඇත. නොඉවසිලිමත් අතකින් සිගරැට් පැකට්ටුවක් ඇද ගත් ඕ ඉන් එකක් දල්වා ගෙන දැඩි ගිජුකමකින් යුතුව පළමු දුම් උගුරු කිහිපය ඇද්දාය. දෙවියනේ ! පැය ගණනක පිපාසය නිවිණි.
එක් දුම්වැටියක් අවසන් කළ ඇය එහි අගින්ම තව එකක් දල්වා ගත්තාය. නැන්දම්මා එළියට එන්නට ප්‍රථම මේ දුම්වැටියත් අවසන් කළ යුතුය. ඇය එතැන සිටගෙන ඉතා ගැඹුරින් හා තදින් දුම් ආඝ්‍රාණය කළාය.
එහෙත් තව කොපමණ කාලයක් මේ දේ කළ හැකිද ? මේ ක්‍රියාව තව කොපමණ කලක් නැන්දම්මාගෙන් සඟවා තබා ගන්නට හැකි වේද ? සායනයේදී ඇයට දුම්පානය කළ හැකිව තිබිණි. එහෙත් නැන්දම්මා දිනක එතැනටද එනු ඇත.
නාන කාමරයේ දොරෙහි අගුළ විවෘත වෙන හඬට ඕ සිය දැහැනින් මිදුණාය. දුම්වැටිය ඉවත විසි කළ ඇය ආපසු හැරී එබී බැලුවාය. නැත. නැන්දම්මා තවමත් පැමිණ නැත. දිගු හුස්මක් ගත් ඈ වේවැල් සෝපාව මත හිඳ ගත්තාය.
ජීවිතය. එය කෙතරම් තදින් කෙලවරක් නැතිව ඇදී තිබේද. තත්ත්පර ගෙවී යන්නේ කෙතරම් අනුකම්පා විරහිත ලෙසද. ලෝකයේ ඇති කිසිම බලවේගයකට ඒවා පසුපසට තල්ලු කර දමන්නට නොහැකිය. කාලය…
දැඩි විඩාවේ රැල්ලක් එක්වරම ඈ මතින් හමාගියේය. හරියට විශාල බරක් ඔසවාගෙන සැතපුම් ගණනාවක් ඇවිද්දාක් මෙනි. දැන් ඇයට අවශ්‍ය වූයේ සිය උදාසීන අතෙහි දෑඟිලි අතර රැඳි දුම්වැටියක් සමග හිඳගෙන සිටීම පමණකි.
“අද ක්ලිනික් එකට යන්නේ නැද්ද ?” නැන්දම්මාගේ කටහඬ ඈ සොයා ආවේය.
“ මං යනවා ” යි කී ඇය සිය අත්බෑගය වසා දැමුවාය. එහෙත් ඇය පුටුවේ ගැලී ගත් වනම හුන්නාය. සායනය ගැන සිතීමත් සිතට වදයකි.
ඇය එනතුරු එතැන බලා සිටින සැමකෙනෙකුගේම මුහුණු අඳුරුය. සමහරෙකුගේ මුහුණු සියලු අපේක්ෂාවලින් තොරය. ඔවුන් ගැන සිතීම ඒ අඳුරු රාජධානියට ඇතුළු වීමකි. ‘මට පාන් කෑල්ලක්වත් කන්න බෑ ඩොක්ටර්.’ ‘ඊයේ ඉඳලා අංශක සීයට උණ.’ ‘කකුලෙ ඉදිමුම් තවම බැහැලා නෑ.’ සමහර උගුරු සෙම්ගෙඩිවලින් වැසී ඇත. සමහර ගෙඩියක් කෙනෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය කරයි. කෙළවරක් නැති පැමිණිලිය. නොනවත්වා කෙරෙන කඹ ඇදිල්ලකි.
සුසුමක් හෙලූ ඈ නැගිට සිට කාමරයෙන් පිටවන්නට සූදානම් වන විටම නැන්දම්මා පැමිණියාය. තවමත් සුභා හිඳගෙන සිටිනු දුටු ඇය අනෙක් වේවැල් පුටුව ඇදගෙන හිඳගත්තාය.
“සුභා, මඟුල් ගෙදර හරි ෂෝක් එකට තිබුණා. හැමෝම හොඳට විනෝද වුණා. අනේ අපි — මං කොච්චර කාලෙකින්ද මඟුල් ගෙදරකට ගියේ ? ඔයාගේ මඟුල් ගෙදර — ඊට පස්සේ ඉතින්. ඔයා ආවෙ නෑ කියලා මාමාට හිතට අමාරුයි. මං එයාට පැහැදිලි කරලා දුන්නා. මං කිවුවා ඒ ළමයා දොස්තර කෙනෙක්. ලෙඩ්ඩු ගැන බලාගන්න තියෙනවා. මං කොහොමද ඒ ළමයට කියන්නේ තමන්ගේ රාජකාරිය අතෑරලා එන්න කියලා. මං කිවුවා. නැද්ද හොඳයි ? ”
දැන් ඊට උත්තරයක් දිය යුතුය. යමක් කිව යුතුව තිබේ. නැන්දම්මා උත්තරයක් බලාපොරොත්තුව සිටියාය. එය සිදුවිය යුත්තෙ ඒ ආකාරයටය. ගනුදෙනුවක් විදියටය. සංවාදයක් විදියටය. මෙවැනි ලෞකික වචන හුවමාරුවලින් තොර වූ විට ලෝකය ද්විමාන නිසල රුවක් බවට පත්වෙයි. මඳක් උස්වූ ස්වරයක ඡායා මාත්‍රයකින් සමන්විතව ඇගේ කටහඬ නැගිණි. “කොහොමද ඉන්දු මනමාලියක් විදියට ඇන්දම පෙනුණේ ? හොඳ ලස්සණට ඇඳලා හිටියද ? ”
“නැතුව දරුවො. ඒ ගොල්ලො මේ අර වේෂ නිරූපණ ශිල්පිනියක් ගෙන්නවලා තිබුණා මනමාලි හැඩ කරන්න. ඒ ගෑනු කෙනා රුපියල් සීයක් අය කරා. හැබැයි ඉන්දු හරියට බෝනික්කියක් වගේ පෙනුණෙ.”
නැන්දම්මා හරිබරි ගැහී හිඳගෙන දිගටම කතා කළාය. ‘දන්නවද සුභා, ඒක දැක්කම මට හිනහත් ගියා. මේ කාලෙ හැදෙන ගෑනු ළමයි හරියට බෝනික්කො වගේ. නිකම්ම බෝනික්කො වගේ. ආගම ධර්මය, යහපත් හිතිවිලි, විචාර බුද්ධිය මොකුත්ම නෑ.’
හැන්දෑව සිය සෙවණැල්ල මහපොළොව පුරා පතුරුවාලන සැටි සුභා ධ්‍යානයකට සමවැදුනාක් මෙන් නිහඬව බලා සිටියාය. අඳුරු වැටෙන සැටි ඇයට පෙනිණි.
“යමු. නැත්නම් ඔයාට වැඩට යන්න පරක්කු වෙනවා.” නැන්දම්මා කීවාය.
ඇය නැගී සිටියාය. පියගැටපෙළේ ඇන්ද තදින් අල්වා ගත් ඕ පඩිපෙළ බැසවුත් නිවෙසින් පිටවූවාය. මෝටර් රියේ ඇන්ජිම පණගැන්වූ ඇය මොහොතකට පසු එය ක්‍රියා විරහිත කළාය. අද සායනය වෙත ඇවිද යාමට ඇය තීරණය කළාය. සායනයට වූයේ කෙටි දුරකි. අනෙක රිය පැදවීමේ මනෝභාවයක් ඇය තුළ නොවීය.
රෝගීන් විශාල සංඛ්‍යාවක් තමා එනතුරු සායනයේ බලා සිටින බව ඇයට පෙනිණි. ඒ ඉන්නේ කවුරුන්දැයි එක් බැල්මකින් හසු කරගන්නට ඕ සමත් වූවාය. පෝලිමේ කෙළවරම හිඳගෙන සිටියේ පිළිවෙළට හැඳ පැළඳ සිටි මැදිවියේ මිනිසෙකි. ඔවුන්ගේ නෙත් මුණ ගැසිණි. ඔහුගේ දෙතොලග මනස්කාන්ත සිනාවක් ඇඳී ගියේය. “අපි සෑහෙන වෙලාවක් ඩොක්ටර් එනකම් බලාගෙන හිටියා.”
සුභා තිගැස්සී ගියාය. ඈ අපහසුතාවට පත්කළේ ඔහුගේ වචනවත් කටහඬවත් නොව ඒ සිනාවයි. ඇගේ ගත භීතියෙන් කිළිපොළා ගියේය. ඒ හරියටම ඒ මිනිසා ඇයගේ සියලු තොරතුරු ඇතුළාන්තයේ සිට පිටත දක්වා සෑම දෙයක්ම දැන සිටි පරිද්දෙනි; ඇයගේ මනස කියැවීමට සමත් වූවාක් මෙනි.
ඇය වේගයෙන් සිය දෙනෙත් ඉවත හැරවූවාය. සිය පුටුවේ ඍජුව හිඳගත් ඇය මඳක් හඬ වැඩිකොටද මඳක් තියුණු ලෙසද “ සමාවෙන්න, පොඩ්ඩක් පරක්කු වුණා” යැයි කීවාය.
රෝගීහු එකිනෙකා ඇය වෙත පැමිණියහ. සමහරෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන ලෙසට උපදෙස් ලැබිණි. සමහරෙකු එක්ස් කිරණ පරීක්ෂණ වෙත යොමු කෙරිණි. අනෙක් අයට ඇස්පිරින් පෙති පමණක් නියම කෙරිණි. ඒ හැම දෙයක්ම ඒකාකාරි විය. ඇයගේ හැකියාවන්, බුද්ධිය සහ විශ්වාසය වැඩිකරමින් පෝලිමේ කෙළවර සිටි මිනිසාගේ දෙනෙත ඇය වෙත යම් ආකාරයකින් ශක්තිය සම්ප්‍රේෂණය කරන්නාක් මෙන් පෙනිණි. එහෙත් නොරිස්සුමේ, වෙහෙසකාරීබවක සහ සෑම දෙයක්ම අතහැර දැමීමේ පාලනය කළ නොහැකි ආශාවක ප්‍රවාහයක් ඈ අභ්‍යන්තරයේ විය.
ඇය ඔහු දෙස බැලුවාය. ඔහුගේ සිනහව ඇය වේදනාවට පත් කළේය. රවුමට කැරකෙමින් සිය ගමන් මග දිගට ප්‍රීතියත් බියත් වපුරුවාලන, උත්සව දවස්වලට ළමුන් දල්වන බඹරචක්‍රයක් මෙන් ඒ සිනහව ඈ පසුපසින් පැමිණියේය.
රෝගීහු බොහෝ දෙනෙක් පිටත්ව ගොස් සිටියෝය. අන්තිමට ආවේ ඔහුගේ වාරයයි. දුම්වැටියක්. දුම්වැටියක් දල්වා ගැනීමේ ක්ෂණික ආසාවක් ඈ තුළ නැගී ආවේය. ඇය සිය අත්බෑගයෙන් දුම්වැටියක් ඉවතට ගත්තාය. මිනිසා වහා නැගිට සිය ලයිටරයෙන් එය දල්වාලීය.
“ස්තූතියි.”
ඉන් අනතුරුව ඔහු ඇය ඉදිරිපිට වූ පුටුවේ හිඳගත්තේය.
“ඊයේ ඉඳලා ලතිකාට සනීප නෑ. ඩොක්ටර්ට කරුණාකරලා මා එක්ක යන්න එන්න පුළුවන්ද? ”
ඔහුගේ සිත් අවුස්සනසුළු සිනහව මෙන්ම දැන් ඔහුගෙ කටහඬ ඈ තුළ බියක් ජනිත කළේය. ඉතා මෘදුව කතා කරනු ලැබූ ඔහුගේ වචන විශ්වසනීය ඇරයුමක් විය. ඒ වචනවලට යටින් වූයේ “ මං දන්නවා… මං හැමදේම දන්නවා… හැමදේම ” යන නොකියවුණු වදන්ය.
“ඔව්, යමු. තව දවසක් දෙකක් බලලා නැත්නම් ස්පෙෂලිස්ට් කෙනෙකුට කතා කරමු.” ඕ නැගී සිටිමින් කීවාය.
ඇයගේ කලු බෑගය අතට ගත් ඔහු සිය මෝටර් රථය වෙත ඇවිද ගොස් ඈ නගින තුරු එහි දොර විවර කරගෙන සිටියේය. මොහොතක පසුබෑමකින් අනතුරුව සුභා රථයේ ඉදිරිපස අසුනට ගොඩවූවාය. ප්‍රවේසමෙන් දොර වැසූ ඔහු රිය වටේ ගොස් ඇය පසෙක වූ රියැදුරු අසුනේ වාඩි විය.
ලතිකාට කියන තරමට ගුණයක් නොවුණද වෛද්‍යවරයෙකු නිවෙසට කැඳවීමට තරම් අමාරුවක් ඇයට නොවීය. එසේවතුදු සුභා ඔවුන්ගේ නිවෙසෙහි දීර්ඝ සන්ධ්‍යාවක් ගත කළාය. දිගුකාලයක් රෝගීව විසූ අවිවාහක කාන්තාවත් ඇයගේ අවිවාහක සොහොයුරාත් සන්ධ්‍යාව දීප්තිමත් කරලීමට සමත්වූහ. පහසුවෙන් ගලාගිය කතාබහ රසවිඳිමින් ඇය සොහොයුරා සහ සොහොයුරිය සමග වාඩිවී සිටියාය. නිවෙසේ බිත්තිවල වැදී නින්නාද වූ සරළ කතාබහ එයට ගෙදරක වාතාවරණය ලබාදුන්නේය. ඔහුගේ සිනහව කෙරෙහි වූ බිය දැන් අතුරුදන්ව ගොස් තිබිණි. කඩාහැලුණු සිනාකැන් සහ මිතුරු සමාගමය ඇය වටා දිලිසෙන කෝෂයක් වියා තිබුණේය.
“ඩොක්ටර්, නැවතිලා අපිත් එක්ක කෑම කාලා යන්න” ලතිකා අයැදියාය. කලබල වූ සුභා සිය අත් ඔරලෝසුව දෙස නෙත් හෙලුවාය. නවය හමාරයි ! නැන්දම්මා ඇය එනතුරු නිවෙසේ බලා සිටියි.
“නෑ. එපා ස්තූතියි- දැන් රෑ වුණා. වෙන වෙලාවක බලමු. ” කියමින් ඇය නැගී සිටියාය.
“මේ දේවල්වලට ඩොක්ටර්ගේ කැමැත්ත කොහොමද මන්දා. මා ගාව පිටරටින් ගෙනාපු සිගරැටුයි බීම ජාතියි කීපයක්ම තියෙනවා.” ඔහු කීවේය.
“ආහ්, නෑ! මම සිගරැට් බොන්නේ ඉඳලා හිටලා… ” යි මුමුණමින් කියූ ඇය දුරකතනය වෙත ගොස් සායනයට කතා කොට එය වසා දමන ලෙස සිය සහායකයාට පැවසුවාය. ඇයට තමා තැතිගෙන සිටින සෙයක්ද බියට පත්වී සිටින බවක් ද දැනිණි. කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඇය ඕනෑවට වඩා දිගු වේලාවක් සිනාකැන් සහ විහිළුවල ඇලී ගැලී සිට තිබිණි. තමා ජීවත්වන බව ඇයට දැනිණි. එහෙත් ජීවිතයේ හුදු ස්පර්ශයටද ජීවිතයට පෙරළා පැමිණීමටද ඇය බිය වූවාය.
ඔහු සිය මෝටර් රියෙන් ඇය නිවෙසට ඇරලවාලූයේය. ඇයගේ කලු බෑගය ඔසවා ගත් ඔහු එය උඩුමහලට රැගෙන යාමට ඉදිරිපත් විය. “එපා. ස්තූතියි” කියූ ඇය එය ඔහු වෙතින් සියතට ගත්තාය.
නොසෙල්වී ඇය දෙස බැලූ ඔහු සිය කටහඬ මෘදු ලෙස අවදි කළේය. “ අක්කාට අසනීපයි නම් මිසක ඩොක්ටර් අපේ ගෙදර ආපහු එන්නේ නැද්ද? අපිව බලලා යන්නවත් එන්නෙ නැද්ද? ඩොක්ටර් ආවායින් අපි හරියට සතුටු වුණා. පේනවනේ, අපි ඉන්නේ හරි තනිකමකින්. ”
ඇයට තවදුරටත් එතැන සිටගෙන සිටින්නට නොහැකි විය. “මං එන්නම්” යනුවෙන් නිල ස්වරයෙන් මිමිණූ ඇය ඉක්මනින් තරප්පු පෙළ නැංගාය.
ඇය දොරෙන් ඇතුළුවන විටම මිහිරි හඳුන්කූරු සුවඳ වලාවක් ඈ වෙලාගත්තේය. විසිත්ත කාමරයට ඇතුළු වූ ඈ දුටුවේ සුබෝධ්ගෙත් මාමණ්ඩියගෙත් ඡායාරූපවලට ඝනකම් මල්මාලා පළඳවා ඇති බවය. හඳුන්කූරු මිටියක් ඒවා ඉදිරිපිට දැල්විණි. දැඩි සුවඳින් වාතලය බරවී තිබිණ. භගවත් ගීතාව සජ්ජායනය කරමින් නැන්දම්මා ඡායාරූප ඉදිරිපිට බිම වාඩිවී සිටියාය.
හඬ නොනගා කාමරය හරහා ඇවිදගිය සුභා ඇයගේ කාමරයට ගොස් අත්බෑගයෙන් සිගරැට් පැකැට්ටුව ගෙන කබඩයට දැමුවාය. සිය අතුත් මුහුණත් සෝදාගත් ඇය විෂබීජ නාශක දියරවලින් මුව දොවා හැරියාය. ඇය නැවත විසිත්ත කාමරයට පැමිණෙන විට නැන්දම්මා සිය සජ්ජායනය අවසන් කොට පිඟන්වලට ආහාර බෙදමින් හුන්නාය.
“මට ලෙඩෙක් බලන්න යන්න වුණා. ඒ නිසා පරක්කු වුණා” යි කියූ ඇය කෑමට හිඳගත්තාය.
නැන්දම්මාගේ අත අවකාශයේ නැවතිණි. වහා නැගිට ගත් සුභා සුබෝධ්ගේ ඡායාරූපය ඉදිරියේ වැඳ වැටුණාය. සුබෝධ් ඇය දෙස සිනා නගමින් හුන්නේය- අලුත් මල්දම්වලින් රාමු වුණු, දුරක සිට නගන ජීවයෙන් තොර සිනාවක්.
ඔවුන් ආහාර ගන්නා අතර නැන්දම්මා නැවතත් කතාකරන්නට පටන් ගත්තාය. සුභාට ඇය කියන දෙය ඇසුණේ නැත. ඇයගේ සිතිවිලිත්, ඇයත් තවමත් හුන්නේ ලතිකාගේ නිවෙසේය. රැවුල බෑමෙන් පසු ගාන ආලේපවල සිහින් සුවඳ, මුදු සිනාකැන්. ‘පේනවනෙ, අපි ඉන්නෙ හරි තනිකමකින්’ යැයි කියූ ඔහුගේ වදන්, ඔහුගේ දෙනෙත….
“අපි ඉන්නේ හරි තනිකමකින් ” යන වචන නැවතත් ඇයට පැහැදිලිව ඇසිණි. ඇය බියපත්ව හිස නගා බැලුවාය. ඒ කතාකරමින් සිටියේ නැන්දම්මාය.
“මං ඔයාගේ මාමාට කිව්වා, ‘අපි ගැන කරදර වෙන්න එපා මල්ලි’ කියලා. ‘අපි තනියෙන් හිටියා කියලා මොකද වෙන්නෙ ? මායි මගේ සුභායි, අපි දෙන්නා ඉන්නෙ අනෙක් අයගෙන් හුඟක් ඈත.’ ”
සුභා අනුභව කළේ ඇයගේ පිඟාන දෙස බලාගත් වනමය. නැන්දම්මා දිගටම කතා කළාය.
“මාමා හරියට ඔයාට හොඳ කිව්වා දරුවෝ. ‘සුභා කියන්නේ ඇත්තටම දෙවඟනක්’ කියලා මාමා කිව්වා. ‘ ඒ ළමයගෙ ජීවිතේ හරියට සුවඳ හඳුන්කූරක් වගේ. ලෝකෙට සුවඳ පතුරුවන්න ඒක දැල්වෙනවා’ කියලා කිව්වා.”
එක්වරම නැන්දම්මාගේ කටහඬ නැවතිණි. සුභා ඇය දෙස බැලුවාය. නැන්දම්මා සිය දෙබැම හකුළුවාගෙන ඇයට ඉදිරියෙන් වූ බිත්ති මුල්ල දෙස බලාගත්වනම සිටියාය. ඉන් අනතුරුව නැගිට එතැනට ගිය ඇය බිම තිබී යමක් අහුලා ගත්තාය.
“සුභා, මේ මොකක්ද ? ” නැන්දම්මාගේ කටහඬ පුපුරා හැලිණි. හරියටම වියළි තදැති මහපොළොව මෙනි. අප කැමති වූවත් නැතත්, අව්වෙන් කරව ගිය නිසරු මහපොළොව ගැඹුරු දැති සහිත විවර ඔස්සේ පැලී යයි.
නැන්දම්මාගේ සිහින් වෙවුලන ඇඟිලි අතර සිරව තිබුණේ දැවී ගිය සිගරැට් කොටයකි.

Ila Arab Mehta
https://en.wikipedia.org/wiki/Ila_Arab_Mehta
(සීමා ෂර්මාගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)
පරිවර්තනය – රාජ්‍ය සම්මානලාභී පරිවර්තක නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් https://nilukakadurugamuwa.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි


