ඩොලර් මිලියන 2.5ට Hacker ලා විදලා නැතිලු.තැපෑලෙ ඩොලර් ලක්ෂ 6කුත් මිසිං ලු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස බැහැර කිරීමේ ගනුදෙනුවේදී, ශ්‍රී ලංකාව භාවිතා කරන ඊමේල් පද්ධතියට අදාළ සර්වර් පරීක්ෂා කිරීමේදී බාහිර පාර්ශවයක ප්‍රවේශයක් (Hacker) මෙතෙක් අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය (28) වැනිදා අධිකරණයට දැනුම් දුන්නා.මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස යම් පාර්ශවයකට බැහැර වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශනයේදී අදාළ වංචනික බැහැර කිරීම් සම්බන්ධයෙන් භාවිතා කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනය සමග සෘජුවම ගනුදෙනු කළ නිලධාරීන් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.එම නිලධාරීන් පස්දෙනාගෙන් බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද විස්තර ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමටද කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා  අවසර ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී බී වාර්තාවකින් කරුණු දැක්වීමක් සිදු කළා.

පහුගිය 2026.03.24 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබූ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා අධිකරණය ඉදිරියේදී කරුණු තහවුරු කළා.

ඒ සමගම මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් මහ බැංකුවේ රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් ණය මුදලට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වාරික ගෙවීමක් සිදුකිරීමේදි මෙම වංචනික මුදල් බැහැර කිරීම් සිදුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ඉන්ටර්පෝල් ආයතනය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මීට අමතරව මේ සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිතයෙක්, රජයේ රස පරීක්ෂකවරයාගේ නියෝජිතවරයෙක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයෙක් හරහා කමිටුවක් පත් කර විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේදී ඉල්ලීමක් සිදු කළා.එම ඉල්ලීමටද අධිකරණය අද අවසර ලබා දුන්නා.

විමර්ශන සඳහා මාසයක කාලයක් ලබා දුන් අධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ලබන ජූනි 03 වෙනිදා දක්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග කළා.

මේ අතර ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවා තිබෙනවා.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පවසන ආකාරයට, මුදල් අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (30) ලේකම්වරයාට කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

කමිටුව විසින් ඒකමතිකව මෙම තීරණය ගත් බවත්, ගැටලුවේ බරපතලකම කමිටුව විසින් සලකා බලා ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා  ප්‍රකාශ කලා.“අපි මෙය ජාතික ගැටළුවක් ලෙස සැලකිය යුතුයි. පක්ෂග්‍රාහී අදහස් සහිතව අපට මෙය විසඳා ගත නොහැකියි. පැහැදිලිවම ගැටලුවක් තිබෙනවා, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පූර්ණ බලය තිබෙනවා,” ඔහු සඳහන් කලා.

ස්ථාවර නියෝග යටතේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවා කාරණය පරීක්ෂා කිරීමට කමිටුවට බලය ඇති බව ඔහු තවදුරටත් කියා සිටීයා.

“භාණ්ඩාගාර ලේකම්වරයා කමිටුව හමුවට කැඳවිය යුතු බව මම තරයේ කියා සිටිනවා. සාකච්ඡාවෙන් පසු, සියලුම සාමාජිකයින් මෙම යෝජනාවට ඒකමතිකව එකඟ වුණා,” ඔහු ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපතිවරයා ද කැඳවා ඇති බවත්, සියලුම කමිටු සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙන බවත් ද හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා.කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින් සිටින අතරතුර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම සිදුවීම සම්බන්ධව අනාවරණය කළා.එහිදී අමාත්‍යවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බවයි.

ඒ අනුව මේ සම්බන්ධවද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

“ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *