සඡබ මැයි රැලියට එන්න එඡාපය බෑ කියයි.

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයට පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර තිබෙනවා.

එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් හේතුවෙන් එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවයි.

මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බව ද ඇය විසින් සඳහන් කර තිබෙනවා.එබැවින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බවයි ලිපියේ දැනුම් දී තිබෙන්නේ.

එනමුත් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය කොළඹ දී සංවිධානය කරන මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනාවක් සිදුකර තිබුණා.සමගි ජන බලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධව ලිපියක් මගින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වෙත දන්වා යවා ති‍බුණා.

සමගි ජන බලවේග මැයි දින රැළිය මෙවර මැයි මස 01 දින මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරමින් යවා ඇති මෙම ලිපිය තුළින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර තිබෙන්නේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්,සුභවාදී රටක් නිර්මාණය කිරීමත්,යළිත් අප රට හමුවේ ගොඩනැගෙමින් ඇති අභියෝග වී තිබෙන බවත් එහිදී සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය රටේ පුරවැසි අයිතීන් වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු කාලය එලඹ ඇති බවයි.

ඒ අනුව මෙවර මැයි දින රැළිය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයටද මෙම මැයි දින රැළිය සඳහා ආරාධනා කිරීමට තීරණය කළ බවද අදාළ ලිපිය මගින් සමගි ජනබලවේග පක්ෂ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වෙත දන්වා යවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *