
මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල සංචිතයට තේරී පත්වීමත් සමඟ, ඔහු ලෝක කුසලාන තරගාවලි හයකට ක්‍රීඩා කරන ලොව පළමු ක්‍රීඩකයින් කිහිප දෙනා අතරට එක්වෙමින් නව වාර්තාවක් පිහිටුවීමට සූදානම් වේ. 41 හැවිරිදි මෙම සුපිරි ප්‍රහාරකයා දැනට ජාත්‍යන්තර පිටියේ වැඩිම තරග සංඛ්‍යාවකට (226) සහභාගී වී වැඩිම ගෝල සංඛ්‍යාවක් (143) රැස් කළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියයි. මීට පෙර ලෝක කුසලාන පහකට සහභාගී වී ඇති ක්‍රීඩකයින් හය දෙනාගෙන් එක් අයෙකු වන රොනාල්ඩෝ සමඟ ඔහුගේ දිගුකාලීන ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ද මෙවර සිය හයවන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතය.
2023 වසරේ සිට සෞදි අරාබියේ අල්-නස්ර් (Al-Nassr) කණ්ඩායම නියෝජනය කරන රොනාල්ඩෝ, සුදුසුකම් ලැබීමේ තරගයකදී රතු කාඩ්පතක් ලැබුවද, තහනමකට ලක් නොවී මූලික වටයේ සියලුම තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ඇත. පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනස් විසින් නම් කරන ලද මෙම සංචිතය ඉතා හැඟීම්බර එකක් වන්නේ එහි “ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ තවත් එක් අයෙකු” ලෙස හඳුන්වා දීම නිසාය. එම අතිරේක ක්‍රීඩකයා ලෙස සලකන්නේ පසුගිය වසරේ ජූලි මාසයේදී රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගිය හිටපු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ය. “ඔහු අපේ ශක්තිය සහ සතුටයි. ඩියෝගෝගේ සිහිනය වෙනුවෙන් සටන් කිරීම අප සැමගේ වගකීමක්” යැයි මාර්ටිනස් සඳහන් කළේය.
මෙම ප්‍රබල සංචිතයට මැන්චෙස්ටර් යුනයිටඩ් හි බෲනෝ ෆර්නෑන්ඩස් සහ මැන්චෙස්ටර් සිටි හි රූබන් ඩයස් සහ බර්නාඩෝ සිල්වා වැනි ප්රමුඛ ක්‍රීඩකයින් ඇතුළත් වේ. පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම නියෝජනය කරන විටින්යා, ජොආඕ නෙවෙස්, නූනෝ මෙන්ඩිස් සහ ගොන්කාලෝ රාමෝස් යන ක්‍රීඩකයින් ද මීට ඇතුළත් කර ඇත.
K කාණ්ඩයෙන් තරග වදින පෘතුගාලය සිය ලෝක කුසලාන මංගල තරගය ජූනි 17 වනදා හූස්ටන්හිදී කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයට (DR Congo) එරෙහිව ක්‍රීඩා කරනු ඇත. ඉන් අනතුරුව ඔවුන් උස්බෙකිස්තානය සහ කොලොම්බියාව සමඟ මියාමි හිදී තරග වැදීමට නියමිතය. ප්‍රධාන තරගාවලියට පෙර සූදානමක් ලෙස පෘතුගාලය චිලී සහ නයිජීරියාව සමඟ ජාත්‍යන්තර පුහුණු තරග දෙකකට සහභාගී වීමට ද සැලසුම් කර ඇත.


