ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව  ව්‍යවස්ථාවක්.තේරීම් කමිටුවත් වෙනස් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට හා විනිවිදභාව‍යෙන් යුත් මූල්‍ය පාලනයක් ඇති කිරීමට නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ කොටස්කරුවන් වන්නේ පොදු මහජනතාව බැවින් ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන අදහස්වලට සංවේදී වන බව වික්‍රමරත්න මහතා පැවසීය. ජනාධිපතිතුමාගෙන් හෝ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් පරිවර්තන කමිටුවට කිසිදු බලපෑමක් නැති බවත්, පැවරී ඇති වගකීම් ස්වාධීනව ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ක්‍රිකට් පරිවර්තන කිරීමේදී කිසිවකුගේ කුලය, ජාතිය, ආගම හෝ පන්තිය වැනි දෙයට විශේෂත්වයක් නොදෙන බව ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. ක්‍රිකට් ආයතනය හැම රුපියලක්ම වැය කිරීමේදී පාසලේ සිටින දරුවාගේ ක්‍රිකට් ඉහළට ගැනීම, කාන්තා ක්‍රිකට් ඉදිරියට ගැනීම හා ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ පමණක් සැලකිල්ලට ගන්නා බවද පැවසීය.

ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් කිහිපදෙනකු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේය. පසුගිය කාලයේ සිදු කරන ලද මුදල් ගනුදෙනු පිළිබඳ සෙවීමට වෝහාරික විගණනයක් සිදු කරන බව ද ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපතිවරයා පැවසීය.

“මේ පරිවර්තන කමිටුවේ මුල් පෙළේ ක්‍රීඩකයන් සිටිනවා. නීතිඥයන්, පරිපාලනයට දක්ෂ අය සිටිනවා. ක්‍රිකට්වලට ඇඟිලි ගැසීමක් නෑ. ආණ්ඩුවෙන් ක්‍රිකට් ස්වාධීන කරලා තියෙනවා. ජනාධිපතිතුමාගෙන් හෝ ක්‍රීඩා ඇමැතිගෙන් මේ පරිවර්තන කමිටුවට බලපෑමක් නෑ. අපේ වැඩ ස්වාධීනව කරගෙන යන්න හැකියාව ලැබී තිබෙනවා. ක්‍රිකට් පිළිබඳ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට තිබෙනවා”යි වික්‍රමරත්න මහතා පැවසීය.

“ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ක්‍රිකට් ජයග්‍රහණ ගැන. අපට තියෙන වගකීම ඒ වෙනුවෙන් පසුබිම සකස් කිරීම. නව ව්‍යවස්ථාවක් ඇති කොට පාලන ක්‍රමය වෙනස් කරන්න සූදානම්. ව්‍යවස්ථාව වෙනස් කිරීම ආරම්භ කොට තියෙනවා. ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම කරනවා. මොකද ක්‍රිකට් අයිති මහජනතාවටයි. අපි එකවරම සැලසුම් ඉදිරිපත් නොකොට ඇහුම්කම්දීම වැදගත්. නීතිඥයන් කිහිප‍දෙනකු‍ගෙන් සමන්විත කමිටුවක් ව්‍යවස්ථාව හදන වැඩවලට පත්කොට ති‍බෙනවා. මේ සියල්ල පිළිබඳ අයිසීසීය දැනුවත් කොට තිබෙනවා” යැයි සභාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික සිදත් වෙත්තමුණි මහතා පැවසුවේ, පාසල් ක්‍රිකට් පිළිබඳ පූර්ණ අවධානයක් යොමු කරන බවයි. “19න් පහළ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. නිසි ප්‍රමිතියකින් යුත් ක්‍රිකට් පුහුණුකරුවන් බිහි කිරීම අවශ්‍යයි. රටවල් දෙක තුනක් සමඟ පුහුණු සැසි පැවැත්වීමට අදහස් කරනවා. ක්‍රිකට් වෙනසක් වෙනුවෙන් චිත්‍රසිරි කමිටු වාර්තාවක් තිබෙනවා. එය පදනම් කරගෙන අලුත් ව්‍යවස්ථාවක් හදලා මාස තුනක් හතරක් ඇතුළත පාර්ලි‍මේන්තුවට ගෙන ඒම බලා‍පොරොත්තුවයි” වෙත්තමුණි මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වරින් වර අතුරු කමිටු 11ක් පත් කර ඇති අතර, එයින් 10ක සිදත් වෙත්තමුණි මහතා සිටියේය. එහිදී ඔහුගේ අවධානය යොමු වූයේ පුහුණුකරුවන්ගේ, විනිසුරුවන්ගේ සහ තරග තීරකවරුන්ගේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහිය.

ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වූ රොෂාන් මහානාම හා කුමාර් සංගක්කාර යන මහත්වරු ඇතුළත්ව ඇති අතර, ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලැබී ඇතැයි ද පැවසිණි. මේ මාධ්‍ය හමුවට ඉරාන් වික්‍රමරත්න, සිදත් වෙත්තමුණි, ප්‍රකාෂ් සාෆ්ටර්, නීතිඥ ඩිනාල් පිලිප්ස් හා නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරු එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිදා පත් කළ අතර, එහි නව සභාපති ලෙස කපිල විජේගුණවර්ධන මහතා නම් කොට තිබේ. මෙතෙක් කටයුතු කළ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සාමාජිකයන්ගේ ධුර කාලය නිමාවට පත්වන අතර, නිර්දේශිත නව තේරීම් කමිටු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ යන මහත්වරු හා සහ වැනේෂා ද සිල්වා මහත්මිය කටයුතු කරති.

ක්‍රීඩා නීතියේ විධිවිධාන සහ අතිවිශේෂ ගැසට් රෙගුලාසි යටතේ ක්‍රීඩා ඇමැතිවරයා මේ පස් දෙනකුගෙන් යුත් කමිටුව ඊයේ සිට වලංගු වන පරිදි පත්කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කිරීමෙන් පසු ක්‍රිකට් ආයතනයේ සිදුවෙමින් පවතින ව්‍යූහාත්මක වෙනස්කම් මධ්‍යයේ මේ පියවර ගෙන ඇත.

61 හැවිරිදි කපිල විජේගුණවර්ධන මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් ක්‍රීඩාවට අවතීර­්ණවී සීසීසී පිලට ක්‍රීඩා කළ අතර, ටෙස්ට් තරග දෙකකදී හා එක්දින තරග 26කදී දකුණත් මඳ ‍වේග පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළේය. 2015 වසරේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් තාක්ෂණ උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *