
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් (08) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනවල පැවැත්වෙන කිසිදු බාහිර රැස්වීමකට හෝ දේශපාලන රැස්වීමකට තමන් සහභාගී නොවන බවයි. මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවතින ඉන්ධන දීමනා ගැටලුව සහ මහජන දිනයන්හි නිලධාරීන් රැස්වීම්වලට කැඳවීම හේතුවෙන් මහජනතාවට සිදුවන දැඩි අපහසුතාවයයි.
ප්‍රාදේශීය ලේකම්වරුන් පෙන්වා දෙන්නේ සෑම සඳුදා දිනකම මහජන දිනය ක්‍රියාත්මක වන අතර, එදිනට විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ රැස්වීම් සංවිධානය කරන බවයි. මෙලෙස මහජන දිනයේදී නිලධාරීන් රැස්වීම් සඳහා කැඳවීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෛනික කටයුතු අඩාල වනවා පමණක් නොව, තම ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අසරණ වන බව සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව, මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති සඳුදා දිනවල නිලධාරීන් කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති අතර, එදිනට කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවට රජය විසින්ම උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, මෙම නියෝග උල්ලංඝනය කරමින් විවිධ ආයතන රැස්වීම් කැඳවීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට සිදු වූ බව එම සංගමය අවධාරණය කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති අනෙක් ප්‍රධාන කරුණ වන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ලබා දෙන ඉන්ධන දීමනාව වර්තමාන ඉන්ධන මිලට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීමයි. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අයවැය චක්‍රලේඛ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා 2026 මාර්තු මස 01 වැනිදා පැවති මිල ගණන්වලට යටත්ව සීමා කර තිබේ. වර්තමානය වන විට ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බැවින්, පවතින දීමනාව යටතේ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වී ඇත.
මේ හේතුවෙන් බොහෝ නිලධාරීන්ට තම පෞද්ගලික මුදල් වැය කරමින් රාජකාරි සඳහා ගමන් කිරීමට සිදුව ඇති බව එම සංගමය පවසයි. මින් ඉදිරියට වෙනත් ආයතනවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා අදාළ ආයතන මගින් ඉන්ධන දීමනාවක් ලබා නොදෙන්නේ නම්, එම ක්ෂේත්‍ර රාජකාරි සහ අධීක්ෂණ කටයුතුවලින් ඉවත් වීමට සිදුවන බවට ද ඔවුහු අනතුරු අඟවති.
මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් ලිඛිතව දැනුවත් කර තිබුණි. එහෙත් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු සාධනීය ප්‍රතිචාරයක් හෝ සහනයක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සාධාරණ විසඳුමක් ලැබෙන තුරු මින් ඉදිරියට පැවැත්වෙන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පිටත රැස්වීම්වලට මෙන්ම දේශපාලන සහභාගීත්වයෙන් පවත්වන රැස්වීම් සඳහා ද සහභාගී නොවීමට සංගමය ඒකමතිකව තීරණය කර ඇත. එදිනෙදා කොට්ඨාස මට්ටමින් සිදුවන රාජකාරිවලට අමතරව, විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මගින් කැඳවනු ලබන සම්බන්ධීකරණ සහ ප්‍රගති සමාලෝචන රැස්වීම් විශාල ප්‍රමාණයකට සහභාගී වීමට සිදුවීම නිලධාරීන්ට දැරිය නොහැකි පීඩනයක් වී තිබේ.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් යොමු කර ඇති ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජනතාවගේ සේවය තහවුරු කරන අතරම තම අයිතිවාසිකම් දිනා ගැනීමට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යන බව ප්‍රකාශ කර සිටියි.


