කමිඳු පියවර 2කින් හා උදාර ස්ථාන 52කින් ඉහළට.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී යළිත් ස්ථාන 2කින් ඉහළට යෑමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ. ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන කමිඳු මේ වන විට 6 වැනි තැන අත්කරගෙන සිටී.

කොදෙව්වන්ට එරෙහිව දෙවැනි තරගයට පෙර 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා පහතට වැටුණු කමිඳු දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් (84) සහ දෙවැනි ඉනිමේ ලකුණු 44ක් රැස් කරමින් දස්කම් දැක්වීය.

ඔහුට ඉහළින් සිටි ඉන්දියාවේ ශුබ්මන් ගිල් (7) සහ නවසීලන්තයේ රචින් රවින්ද්‍ර (8) එක් ස්ථානයක් බැගින් පහතට වැටී ඇති අතර, කමිඳු යළිත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් තිබේ. දිනේෂ් චන්දිමාල් 10 වැනි තැනම රැඳී සිටින අතර, දෙවැනි තරගයේ පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් (188) වාර්තා කළ ආරම්භක පිතිකරු ළහිරු උදාර ස්ථාන 52ක් ඉදිරියට පැමිණෙමින් මුල් පිතිකරුවන් 100 අතරට එක්වීමට සමත්ව තිබීම කැපී පෙනෙයි. සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු මේ වන විට 85 වැනි තැන සිටී.

නායක ධනංජය ද සිල්වා (26) ස්ථාන 5ක්, කුසල් මෙන්ඩිස් (39) එක් ස්ථානයකින් පහත වැටී ඇති අතර, කොදෙව්වන් වෙනුවෙන් ලකුණු 180ක් රැස් කළ ජස්ටින් ග්‍රීව්ස් (49) ස්ථාන 14ක් ඉදිරියට ගොස් තිබේ. පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලදී ප්‍රභාත් ජයසූරිය (21) පසු කර යෑමට අසිත ප්‍රනාන්දු සමත්ව ඇත. ස්ථාන 2කින් ඉදිරියට ගිය ඔහු 20 වැනි තැන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today