ටොරොන්ටෝව කේන්ද්ර කර ගනිමින් වෙසෙන ශ්රී ලාංකික ප්රජාව වෙත විවිධ මාධ්යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා බහට ලක් නොවන පිරිසක් ඉන්නවා . සමහර වෙලාවට සංවිධායක භවතුන්ට ඔවුන් මතක් වෙන්නේ ඔවුන්ගේ වචනවලින් කියන විදිහට ” වැඩේ ඇදගෙන යන්නයි ” . අඩුම තරමින් ඔවුන්ට කන්න බොන්න යමක් ලැබුණාද කියා හොයා , බලන්නටවත් , ස්තූතියි කියා කියන්නට වචන ගලපා ගන්නටවත් ඔවුනට වැඩසටහන අවසානයේදී ඉස්පාසුවක් නැහැ . අප මේ ලිපි පෙල හරහා ඔවුන් ගැන ඔබ නොදත් තොරතුරු බෙදාගන්නට හිතුවා. අපේ වැඩේ සාර්ථක වෙන්නෙ ඔවුන්ගේ මහන්සියට ඔබේ පුංචි හිනාවකුත් එක්ක ඔබට දැනුනු අඩුපාඩු පෙන්නා දෙන එකින්. වෘත්තීය සන්නිවේදකයින් නොවන නමුත් ඔවුන් ඒ ප්රතිචාර වලින් ඔබට කරන මෙහෙවර වැඩි දියුණු කරගන්නවාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්න අපි හැමවිටම උත්සාහ කරනවා.


ඇය වෘත්තීයෙන් ගුරුවරියක්. ඊට අමතරව ඇය දක්ෂ ගායන ශිල්පිණියක්. ටොරොන්ටෝවේ ඉන්නා අයට නම් අදහා ගන්නටත් බැරි තරමේ වැඩ කන්දරාවක් කරන දිරිය කාන්තාවක්. ඒ වෙන කවුරුත් නොවේ අප ලඟම සිටින ඇය නමින් මංජුලා වික්රමරත්න. ඇගේ ළගින් ආශ්රය නොකරන කෙනෙකුට වුවත් ඇය , කාගේවත් හිත් නොරිද්දන, අනුන්ගේ ඕපාදුප කතාවලට කාලය නාස්ති නොකරන සිනහපිරි මුහුණෙන් කා එක්කත් කතා බහ කරන ආඩම්බරයක් නැති දයාබර සොහොයුරියක් . ඇය සමඟ කල කෙටි සංවාදයකින් මේ සටහන ලියැවෙනවා.
ඇගේ ජීවිතයේ ශ්රී ලංකාවේ දී ඇගේ තොරතුරු ගැන අප පසුගිය කලාපයෙන් කතාකලා. මේ දිගුවෙන් ඔබට ඒ තොරතුරු කියවන්න පුළුවන් .
https://srilancan.ca/2026/06/19/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a-%e0%b6%ba/
මංජුලා වික්රමරත්න මහත්මියගේ කැනඩා තොරතුරු දැනගන්න මේ දෙවන කොටසින් පුළුවන්


ඇයගේ ආදරණීය සැමියා, පුබුදු ගේ පවුලේ අය සැවොම මෙන් ගුරුවරු නිසා ඔහුගේත් කැමැත්ත තිබුණේ මංජුලා ද ගුරුවරියක්ව ඉදිරියට යනවාට. නමුත් ඇයගේ අභිප්රාය වුයේ ඇය ඉගෙන ගත් විෂයයන් වලින් ඉස්සරහට යන්න. කෙසේ වෙතත් ඇය අවසානයේදී ඇයත් තීරණය කලේ ගුරුවරියක්ම වෙන්න. ඇය ඒ සඳහා වැඩ ආරම්භ කර පළමුවෙන්ම Seneca Collage හී අධ්යාපන ඩිප්ලෝමාව පටන් ගෙන තිබුණා. එය නිම කිරීමෙන් අනතුරුව කිසිම නැවතීමකින් තොරව Ryerson විශ්ව විද්යාලයේ උපාධියට අදාල විෂයයන් සොයාගෙන Early Childhood Education (major) සහ English (minor) උපාධිය කර තිබුණා. ඒ එක්කම ඇය අයදුම් කලේ Durham ටීචර්ස් කොලේජ් එකට. අනතුරුව ඇය ගත් අභියෝගය නම් University of Buffalo හී පශ්චාත් උපාධිය (Master of Education) හදාරන්නට. ඒ අනුව ඇය අවුරුදු අටක් පමණ නොනවත්වාම ඉගෙන ගැනීමේ කටයුතු වල නිරත වී තිබුණා. ඔවුන්ගේ දෙටු පුත්, නිසල්ට අවුරුදු දෙක හමාරක් වනවිට ඇය නිවුන් දරුවන් ලෙස සෙනුල් සහ මල්මි බිහි කර තිබුණා. ඇය ECE ආරම්භ කලේ මේ නිවුන් දරුවන් මාස හයක වයසේදී. ඇයගේ අධ්යාපන කටයුතු නිම වන විට ඒ නිවුන් දරු දෙදෙනා හතරවන පන්තිය තෙක් පැමිණිලා. ඇයගේ අධ්යාපන කටයුතු නිමවෙනවාත් සමඟම ඇය ගුරුවරියක් ලෙස දොරට වඩින්නට ඇය ගොඩක් වාසනාවන්ත වෙලා තිබුණා. ඒ දුෂ්කර ගමනක නිමාව සටහන් කරමින් ඇයට සැනසුම් සුසුම් හෙළන්නට මෙයම අවස්ථාවක් වෙන්න ඇති. ඇයට මුලින්ම පත්වීම ලැබී තිබුණේ තාවකාලික ගිවිසුමක් මත. ඉන් පසු එතැනම තම රැකියාව ස්ථීර කර ගන්නට ඇය වාසනාවන්ත වී තිබුණා. දැනට අවුරුදු දහයක් පමණ ගුරු වෘත්තියේ යෙදෙන ඇය මුලින්ම පටන් ගත්තේ ඔන්ටාරියෝ හී birth to child යන වර්ගීකරණය යටතේයි. එහිදී ඇය පටන්ගත්තේ පොඩි ළමයින්ට සංගීතය සහ පොඩි පොඩි දේවල් උගන්වන්න. ඒ ආයතනය ඔන්ටාරියෝ ආණ්ඩුව යටතේ එහි අරමුදල් වල පවත්වාගෙන යන්නක්. එම ආයතනය දැන් හදුන්වනු ලබන්නේ Ontario Earlio ලෙස. ඇයගේ ඩිප්ලෝමාව සම්පූර්ණ වෙනවාත් සමඟයි ඇයව Earlio හී තනතුර ස්ථිර වෙන්නේ. ඇය උදේම Earlio එනවා. එතැනින් දෙකට වැඩ නිම කර යන්නේ Ryerson හී දේශනවලට. දේශන නිමකර ඇය තම නිවස බලා එන්නේ රාත්රි එකොළහට පමණ. ඇයට උපාධියේ කොටසක් ලෙස Daycare පලපුරුද්ද අවශ්යවන තිබුණු බැවින් උපාධිය කරන ගමන්ම සහ Earlio හී එකේ වැඩ කරන ගමන්ම Reaerve කෙනෙක් විදිහට ඇය දිවා සුරැකුම් ආයතනයේ ද සේවය කර තිබුණා.



දැන් ඇයගේ ජීවිතය සංකීර්ණයි. උදෙන්ම Earlio, ඊට පස්සේ daycare. එතැනින් university එකට. රෑ එකොළහ විතර වෙනකම් පාඩම් කරලා තමයි ඇය ගෙදර එන්නේ. ඇගේ අධ්යන කටයුතු වලදී ඇය විෂයයන් හතළිස් එකක් සමත්ව තිබුණා. ඒ කාලයේ ඔන්ටාරියෝ ආණ්ඩුව තීරණය කලා Kindergarten පුර්ණ කාලීන පන්ති බවට පත් කරන්න. ඒ අනුව ඔන්ටාරියෝ ආණ්ඩුව මුල් ළමාවිය අධ්යාපනඥවරයින් බඳවා ගන්නා බවට ප්රසිද්ධ කර තිබුණා. පශ්චාත් උපාධියට අදාල එක කොටසක් කරන්නට යෙදුනේ Buffalo විශ්ව විද්යාලයේ. ඉතින් ඇය ඊලඟ දුෂ්කර ක්රියාව පටන් ගත්තේ සඳුදා සිට සිකුරාදා දිනවල පාසැල් සේවය නිමකර සිකුරදා සවස Buffalo යන්න පිටත් වෙලා. ඇය එම පරිච්ඡේදයේදී ලැබු අත්දැකීම් ඇය විස්තර කලේ මෙලෙසින්… Buffalo විශ්ව විද්යාලයේ දේශන පැවැත්වුනේ උදේ අටේ සිට රාත්රි 8 වෙනතෙක්. දේශන නිමකර හෝටලයට ගිහින් තමයි පැවරුම් (assignments) කරන්නේ. ආයෙත් පහුවෙනිදා උදේ අටේ සිට හවස තුන වෙනකම් පන්ති වලට සහභාගී අවසන් වු පසු ආපසු දේශ සීමාව තරණය කරන්නට එන්නේ ලහි ලහියේ. ඒ එන්නෙත් ඊළඟ සතියට තවත් පැවරුම් දහයක් විතර කරන්න බලාගෙන. ඒ විදියට සෑහෙන අමාරුකම් මැද්දේ මාස 15ක් Buffalo ගිහිල්ලා ඉගෙන ගත්තා.ඒ අතරතුරේ ටොරොන්ටෝ මහා විහාරයේ දහම් පාසලෙත් උගන්නන්නට ඇය අමතක කළේ නැහැ. ඔන්ටාරියෝවේ ගුරුවරියක ලෙස කටයුතු කරන්නට අවශ්ය බලපත්රය ගන්න තව අමතර මොඩියුල හතරක් ගන්න වෙනවා කියලා ඇය දැනගත්තා. ඒ නිසා ඇය ඒවත් කරන්න අධිෂ්ඨාන කරගත්තා. ඒ මොඩියුල හතරම පැය පහමාරක විතර ලිඛිත පරීක්ෂණයක්. එක පරීක්ෂණයක් පැවැත්වුනේ Ryerson විශ්ව විද්යාලයේ. අනිත් එක මොඩුයල පරීක්ෂණය පැවැත්වුනේ මැක්මාස්ටර් විශ්ව විද්යාලයේ. අනිත් පරීක්ෂණ දෙක Durham වල තිබුණු බව ඇය පැවසුවාය. ඇය ඒ මොඩූයල හතරම එක වර සමත් වීම කෙතරම් අස්වැසිල්ලක්ද. ඇය හිතන්නේ කවුරු හරි කෙනෙක් ඇය දිහා බලලා ඇයට උදව් කල බව. ඒ තරමටම එයාට මහන්සියි. ඇය ඒ සියල්ලම ඉහල සාමාර්ථ ලබමින් සමත්ව තිබුණා. ඇයගේ උපාධි නිබන්ධනය පිටු හාරසියක පොතක්. ඒයත් සාර්ථකව නිම කල ඇය සියලු අභියෝගයන්ට මුහුණ දුන්නේ කෙසේදැයි කියවන ඔබට පුදුම හිතෙන්නත් පුළුවන් . ඒත් සාමාන්ය ජීවිතයේ සති අන්තවල ඇයත් ඇගේ සැමියාත් දරන වෙහෙස මහන්සිය දන්නා අයට එය අරුමයක් නොවෙයි. පශ්චාත් උපාධිය නිම කල ඇයව ඔන්ටාරියෝ හී ගුරුවරුන්ගේ තලයන් අතර A4 නම් ඉහලම තලයට පත්කර තිබුණා. ඒ තලයේ සිටිනා ගුරුවරුන් හරිම විශේෂයි. ඔවුන් ඔන්ටාරියෝවේ විශේෂිත ගුරුවරුන් ලෙස හඳුන්වන අතර ඇයද ඊට අදාල අධ්යාපන සුදුසුකම් සපුරා තිබු හෙයින් ඇයද ඒ සඳහා අයදුම් කර තිබුණා. අවුරුදු අටක් තුළ සම්පූර්ණ අධ්යාපන සුදුසුකම් ලබාගෙන තිබුණු ඇය දැන් දැන් ඒ ගැන ඉතාමත්ම සතුටු වෙනවා . ඒවා දුෂ්කර ජීවිතයක් ගත කර ලබාගත්ත ජයග්රහණය මිසක් ඉබේ පහලවූ දේවල් නොවෙයි ඒ නිසා ඇයට ලැබෙන ආත්ම තෘප්තිය සහ සතුට ගැන ඇයව දිරිය කාන්තාවක් ලෙස දකින අපට පේනවා. ඇයගේ මේ සාර්ථකත්වයේ කතාව ඇය මතක් කරන්නේ සතුටු කඳුළු කැටි කරගෙනයි. ඇය ආහාර ලබාගෙන තිබුණේ වාහනය පදවන ගමන් රතු එළියට නැවැත්වු තැන්වල. ඒ වගේම තමයි ඇය කල කැපවීම ඇය කරන සියළු කටයුතුවලදී අපි අත්විදින දෙයක්. ඇය තමන්ට කවුරුන් හෝ දුන් අවස්ථාව අගය කරන ගමන්ම එයට උපරිම සාධාරණයක් කරනවා. කෙනෙක් මේ රටට පැමිණීමට පෙර සිතන ආකාරය සහ ඇත්තටම අපි මෙහි හරියාකාරව පදිංචි වෙන්න දරණ මහන්සිය බොහෝම පරස්පරයි. ඒක සමාජ මාධ්යවල කරන සංදර්ශන තරම් සරල නැහැ . ඇය පැවසූවේ ද අපේ ඉදිරිය සනිටුහන් වන්නේ අපේම කැපකිරීම් මත බවයි. ඇයට අධ්යාපන කටයුතු අතර මඟ නවතන්න තිබූ තැන් බොහොමයි.



ඇය ටොරොන්ටෝ පන්සලට අනුබද්ධ වූ දහම් පාසලේද අවුරුදු දහ අටක කාලයක් ගුරුවරියක ලෙස සමාජ සේවයක් කරනවා . ඇය ටොරොන්ටෝ පන්සලට ගොස් තිබුනේ ලොකු පුතාව දහම් පාසලට ඇතුලත් කරන්නට. ඒ ගිය වෙලාවෙදී විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇයට දහම් පාසලේ ඉගැන්වීමට ආරාධනා කලේද ඇය ගුරුවරියක්ම නිසාවෙන්. අම්මා උගන්වන ගමන් දරුවාටත් ඉගෙන ගන්න දෙන්න කියලායි ඔහු ඇයට ඇරයුම් කර තිබුණේ. ඉතින් පංතියකුත් බාර දීලා දහම් පාසැලෙත් උගන්වන්න ඇයට වරම් ලැබී තිබුණා. ඇයගේ සහජ හැකියාවක් නිසා වෙන්න ඇති ඇයට ගුරුකම පිහිටලා තියන්නේ.

මෙහෙම දහම් පාසලේ උගන්වන අතරේ කලා කවය රූපවාහිනිය කරන ශාන්ති මහත්මිය ද දහම් පාසැලේ ගුරුවරියක් වශයෙන් සේවය කර තිබුණා. මීට කලින් ඔවුන් දෙදෙනාම එක පාසැලකත් සේවය කර තිබුණා. ඒ කාලෙදී මංජුලා වේදිකාවේ ගීත ගායනා කල නිසා රූපණ සමග සම්බන්ධවී සිටි දිනේෂ් පීරිස් මහත්මයා විසින් ඇයට ආරාධනයක් කරලා තිබුණා නිවේදන කටයුතු සඳහා එක්වන ලෙස. ඇය පොඩි කාලේ සිටම ඇයගේ දෙමාපියන් පරණ සිංහල සින්දු තැටි මඟින් වාදනය වන විට ගායනා කරනවා ඇය අහගෙන ඉඳලා තියෙනවා. ඇයගේ පියා සින්දු අහන ගයන නිසා පොඩි කාලේ සිටම ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ජෝතිපාල මහත්මයාලගේ ගීත ඇයගේ දෙසවනේ නිතරම රැව් දිදී තිබුණාලු. ඇයගේ දරුවන් සුනිල් ජයසිරි මහත්මයා වෙත සංගීතය පුහුණුවීම් කටයුතු සඳහා යන අතරතුරදී සුනිල් මහත්මයා ඉල්ලා තිබුණේ ගායනය අත් නොහැර දිගටම කරගෙන යන ලෙසයි. ඒ අතරේදී දිනේෂ් මහත්මයා මංජුලාගෙන් අසා තිබුණේ නිවේදන කටයුතු වලට සහය පල කරමින් රූපණ සමඟ සම්බන්ධ වන ලෙසයි. ඇය ඇත්තටම මීට කලින් නිවේදන කටයුතු සිදු කර නැහැ පාසැලකදී වත්. ඒ නිසා ඇයට තිබුණේ පුළුවන්ද බැරිද කියා හිතෙන අවිනිශ්චිත තත්ත්වයක්. එහිදී දිනේෂ් කියා සිටියේ ගීත ගායනයට ඔබ හපන් නම් අනිවාර්යෙන්ම නිවේදන කටයුතු කරන්නත් හැකියාවක් තිබිය යුතු බව. ඊටත් කලින් බන්දුල කුරුවිට ආරච්චි මහත්මයාගේ පැංචන්ගේ සාදය වැඩසටහනක් ඇයගේ නිවසේ පටිගත කර තිබුණා. ඒ පොඩි ළමයින්ගෙ දස්කම් නිසා බන්දුල මහත්තයා ඒ වැඩසටහන ඉදිරිපත් කරන ලෙස ආරාධනා කර තිබුනා . එම වැඩසටහන මංජුලාගේ ගෙදර දී කර තිබුණා. ඒ රූපණ ආරම්භ කල මුල් අවධියේදී. වීරා ෆොන්සේකාගේ රූපණ ගමනේ බන්දුල කුරුවිට ආරච්චි මහත්මයා එහි නියමුවා බව ඇය සඳහන් කලා. මංජුලා නම් ඒ කටකාරිය නිවේදන කටයුතුවලට යොමු වුණේ ඒ විදිහට . ඇය හිතනව එය ඇයගේ සහජ දක්ෂතාවයක් කියලා. ඇයට ලැබෙන අවංක ප්රතිචාරවලින් ඇයට තේරෙන්නේ ඒ සඳහා ඇගේ හැකියාවක් ඇති බව කියලා අපටත් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඇයගේ මුල් කාලයේ ඈ නිතරම හිතුවේ මේ ඇය කල නිවේදන කටයුතු හරියට කෙරෙන්න නැතුව ඇති කියලා. නමුත් ලැබෙන ප්රතිචාරවලින් ඇයට තේරිලා තිබුණේ ඇයට බාරදුන් කාර්යයට ඇය සාධාරණයක් ඉටු කල බවයි . බන්දුල කුරුවිට ආරච්චි, වීරා ෆොන්සේකා සහ සංජීව අබේරත්න මහත්වරුන්ගේ ගුරුහරුකම් මැද ඇයගේ නිවේදන චාරිකාව පටන් ගෙන තිබුණා. ඒත් සන්නිවේදිකාවක ලෙස එහි රැඳි සිටීමට නම් තමන් ඉදිරිපත් කරන දේ ගැන හොඳ දැනීමක් තියෙන්න ඕනේ ඒ වගේම ඒ සඳහා පෙර සූදානමකුත් අවශ්ය වෙනවා . නිවේදන කටයුතු වලට පුරුදු වෙන්න ඕන නිසා ඇය විවිධ දෙස් විදෙස් වැඩසටහන් බලන්න පටන්ගෙන තිබුණා. නිවේදනයක් ඉදිරිපත් කරන විට වචන නිරන්තරයෙන්ම ගලා ගෙන එන්න ඕන. නැත්නම් ඒ ඉදිරිපත් කිරීම අසාර්ථක වෙනවා. ඇය පවසා සිටියේ ඇයට හඳුන්වා දෙන්න තියෙන පුද්ගලයාව අපහසුතාවයට පත් නොකර එයාව පහසු කලාපයක තියාගෙන අමුත්තන්ව හඳුන්වා දෙන හැටි ඇය හොදින් නිරීක්ෂණය කරනවා . ඒ අනුව තමයි ඇය මායා දමයන්ති පෙරේරා මහත්මිය සමඟ පහසුවෙන්ම කතා බහක් ඉදිරිපත් කලේ . කැමරාවක් ඉස්සරහට යනකොට අපි වැඩිහිටියෙක්ද පොඩි ළමයෙක්ද කියලා අදාල නැහැ. කැමරාවක් ඉස්සරහ දී අපි ගොළු වෙන්න පුළුවන්, වචන පැටලෙන්න පුළුවන් කියන්නට බලාපොරොත්තු වූ දෙය අමතක වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා පෙර සූදානමක් සහිතව යනවා නම් එහෙම වෙන්නේ නෑ කියලා තමයි ඇය කියන්නෙ . නිවේදනය කියන එක ඇය ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි නමුත් පෙර වාසනාවකට සහ සහජ දක්ෂතාවයකට දෝ ඇයට එය සාර්ථක හසුරවා ගන්න විශාල පහසුවක් වෙලා තියෙනවා. පුබුදු ඇයගේ ගීත ගායන හැකියාව දැනගෙන තියෙන්නේ විවාහ වී අවුරුදු 14කට පස්සේ.



බලන , අහන අපට ඇයගේ ඒ වාග් විලාශය නිර්මලයි. නිරායාසයෙන්ම ගලා එන්නක්. අමාරුවෙන් සන්නිවේදනය නොකර පැහැදිලිව කියන්න ඕන දේ කෙලින් කියන සහ බර වචන පාවිච්චි නොකර අනිත් අයට තේරුම් යන ලෙස සන්නිවේදන කටයුතු කරන්න ඇය හරිම දක්ෂයි. ඇය ඉතාමත් ඉක්මනට වචන කියන කෙනෙක්. නමුත් සන්නිවේදන කටයුතු පටන් ගත්තට පස්සේ ඇය පුරුදු වෙලා තිබුණා ඉතාමත් සංයමයකින් ඒ වචන පාවිච්චි කරලා ඉදිරිපත් කරන්න. ඇය හිතනවා ඇගේ ගුරු වෘත්තිය ඉතාමත් ප්රයෝජන වෙන්න ඇති කියලා ඇයගේ සන්නිවේදන කටයුතුවලට. මොකද ඇය පාසැලේදීත් සිදු කරන්නේ ඉදිරිපත් කරන්නකු ලෙස ඕනෑම විෂයක් ගැන ළමයින්ට පැහැදිලි කරන එකනේ. ඒ නිසා ඇයට ඒ දක්ෂතාවයත් මේ සන්නිවේදන කටයුතු වලට උදව් වෙන්න ඇති කියලා හිතනවා. ඒ නිසාවෙන්මත් ඇයට චකිතයකින් තොරව කැමරාව ඉදිරියේ, සෙනඟ ඉදිරියේ සහ වේදිකාව මත තිගැස්මකින් තොරව කතා කරන්න හැකි වී තිබීම අරුමයක් නොවේ.
තමන් කොච්චර හොඳ නිවේදකයෙක් වුණත් අනිත් කෙනාගේ පහසුව ගැන හිතන එක ඉතාම වැදගත් කියලයි ඇය විශ්වාස කරන්නේ. තමන් නිවේදන කටයුතු කරන වෙලාවේදී සිනහමුසුව සිටීම අනිත් පාර්ශවයේ පීඩනය නැතිවෙන රහස කියලා ඇය පැවසුවේද සිනාමුසුවයි. වර්තමානයේ නිවේදන කටයුත්තක් සඳහා ආරාධනයක් ලැබී, ප්රසංගය හෝ වෙනත් කටයුත්තකදී වැඩේ අරගෙන අවසන් වෙලත් නිවේදන කටයුතු කල මිනිසුන් ගැන බලන්න නැති කාලයක් තිබෙන අවධිය ගැන ඇය දරණ අදහස කුමක්දැයි මම ඇයට ප්රශ්නයක් ඉදිරිපත් කලා. ඇයගේ පිලිතුර වුයේ ඇය කවදාවත් මුදලක් බලාපොරොත්තුවෙන් එවැනි වැඩ සඳහා සහභාගී වී නැති බවයි. සාමාන්යයෙන් වෘත්තීය අවස්ථාවක ඒ කියන්නේ උත්සව අවස්ථාවක නිවේදන කටයුත්තක් කරනවා නම් ඇය කිසිම දවසක මුදලක් බලාපොරොත්තු වෙලා තිබුණේ නැහැ. ඇයට නිවේදන ක්ෂේත්රයේ ප්රවීණයෝ කීප දෙනකුම උපදෙස් ලබා දී තිබුණේ මින් ඉදිරියට ඒ වගේ කටයුත්තක් බාරගන්නව නම් අදාල පාර්ශවය ඒ වැඩේ කරන්නේ ආදායමක් සහ ප්රතිලාභයක් බලාපොරොත්තුවෙන් නම් ආරාධිත අවස්ථාවේම මිලක් අය කරන ලෙසයි. ඒ වගේ තැනකදී නිවේදනයේ යෙදවූවන්ට ස්තුතිය දෙන්නවත් ඔවුන්ට ඉස්පාසුවක් නැහැ. එවැනි අවස්ථාවක ඔවුන්ගේ අවාසනාවකට ඒ සේවය අගය කරන්නේ නැත්නම් නිවේදකවරුන්ටත් සිද්ධ වෙන්නේ මිලක් අය කරලා සේවය ලබා දෙන්නයි. වෘත්තීය වටිනාකම තියාගන්න ඔවුන් එය ස්වේච්ඡාවෙන් කලාට ඇත්තටම සංනිවේදක කටයුත්ත කියන්නේ වෘත්තීමය වටිනාකමක් තියෙන දෙයක්. නිවේදනය කියන්නේ හැමෝටම කල හැකි කාර්යයක් නොවේ. නමුත් ඒ කරන දේ අගය කරන්නේ නැත්නම් මිලකට සේවය ලබාදෙන්න සිදුවේ. සමහර වෙලාවට ඒ වගේ කටයුත්තක් අවසානයේදී ප්රේක්ෂකයන් ඔවුන්ව අගය කරන වෙලාවල් නැතුවාම නොවේ. ඒ වෙලාවෙදි ඔවුන්ට දැනෙන සතුට නිසා තව තවත් ඒ වගේ වැඩසටහන් කරන්න හිතෙන බව ඇය පැවසුවාය. මිනිසුන්ගෙන් ලැබෙන ප්රතිචාරවලට වඩා සංවිධායක මණ්ඩලයෙන් ලැබෙන ප්රතිචාර බොහොම අඩුයි. එය තමයි මේ දකින්න තියෙන්නේ සමහර නිවේදකවරුන්ට වතුර වත් නැති අවස්ථාවල් තියෙනව. නමුත් ඇයට එවැනි අමිහිරි අවස්ථාවල් උදාවෙලා නැහැ. සංගීත සංදර්ශනවලට නිවේදන කටයුතු සඳහා කරන ආරාධනාවන් ලැබුණු විට ඇය තෝරා බේරා ගැනීමක් කරනවා. කිමද යත් එවැනි කාර්යයක් තනියම ඇදගෙන යන එක ටිකක් අමාරු වැඩක් නිසාවෙන්. එවැනි අවස්ථාවක දෙදෙනකුගේ සහයෝගීතාවය එතැනට අවශ්ය බව ඇය පැවසුවා. ඇයගේ නිවේදන ජීවිතයේදී ඇයට තවත් සහකාරයෙක් හෝ සහකාරියක් ලැබුණ අවස්ථාවන්ද නැතුවාම නොවේ. ඒ ලැබුණු සහකරුවන් මේ තාක් කල් ඇයට සහයෝගයක් ලබා දුන්න බවයි ඇය පවසන්නේ.





අවසාන වශයෙන් ඇයට මෙතෙක් දුර එන්නට වෘත්තීමය වශයෙන් හෝ බාහිර කටයුතු වලදී හෝ වචනයකින් හෝ උදව් උපකාර කල අයට ස්තූති කරන්නට ඇය අමතක කලේ නැහැ. ප්රථමයෙන්ම ඇය තනි දරුවෙක් ලෙස හෝ උස්මහත් කර හදාවඩාගත් දෙමව්පියන් මතක් කලා. ඇය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනාගේ ආභාෂය නිසාවෙන් ඇයගේ ගීත ගායන හැකියාව ඔප් නැංවෙන බව. ඇයගේ දරුවන්ටත් අදටත් සිංහල සින්දු, සිංහල අකුරු ලියවීම, කියවීම සහ පැහැදිලි උච්චාරණයකින් ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයගේ මව නිසා බව ඇය පැවසුවාය. ඇයට ලැබුණු ඒ පන්නරය ගැන ඇය දිවි හිමියෙන්ම ඇය ස්තූති කලා තම දෙමාපියන්ට විශේෂයෙන්ම ඇගේ මව්තුමිය. මංජුලා ඉතාම සංවේදී තරුණියක් වුණාට ඇය හරිම ශක්තිමත් සහ යකඩ ගැහැණියක්. ඇය දෙවෙනුව ස්තුතිවන්ත වුණේ ඇයගේ ස්වාමිපුරුෂයා පුබුදුට . ඔහු ඉතාමත් වගකීමක් සහිත රැකියාවක නිරත වෙන්නේ. ඔහු ඉංජිනේරුවරයෙක්. දැනට නිරතවන රැකියාව තුල කිසිම වැරැද්දක් වෙන්න බැහැ. ඒ මුල්යමය වශයෙන් ආයතනයට පාඩු සිදුවන නිසා. එවැනි වගකීමක් සහිත රැකියාවකදී ඇයට දුන්න සහයෝගය ගැන ඇය ඉතාමත් සතුටට පත් වන අතර ඔහුව ඉහලින්ම අගය කලා. ඇත්තටම දරු තිදෙනෙක්ට මැදිව මෙපමණ දුරක් ඉදිරියට එන්න හැකියාව ලැබීම ඔහුගේ සහයෝගය නිසා සිදුවූවක්. පුබුදු කවදාවත් මංජුලට බලපෑම් කර තිබුණේ නැහැ අධ්යාපන කටයුතුවලට. ගෙදර වැඩ බලාගෙන දරුවන් බලාගෙන ඉන්න කියලාවත් ඔහුකවදාවත් කියලා තිබුණේ නෑ. ඒ සහයෝගය නිසා තමයි ඇය අද මේ තත්ත්වයෙන් ඉන්නේ. ඒ අය නොමැතිනම් ඇයද අද මෙතන නොමැති බවයි ඇය පවසන්නේ.




ඊළඟට ඇය මතක් කලේ ඇගේ ගුරුවරුන් ඇතුලුව නීලා වික්රමසිංහ මැතිනිය. පුබුදුගේ සොහොයුරිය, ඇයගේ ආත්ම ශක්තිය ඉතාමත් ඉහළයි. ඔවුන් කැනඩාවට සංක්රමණය වීමෙන් පසූ ඉතාමත් ආදරෙන් රැක බලාගත් පුබුදුගෙ සොහොයුරිය. මේ අවස්ථාවේදී ඇයවත් සිහිපත් කරන්නට අමතක කලේ නැහැ. පුබුදුගේ අක්කා ඊශා ආරියරත්න. ඉන්පසු ඇය සිහිපත් කළේ කැනඩාවට පැමිණ ඇය අධ්යාපනය ලබන අවස්ථාවේදී ඇය ලඟ සිට උදව් උපකාර කල සියලුම ශ්රී ලාංකිකයන් නොවන අයට. ඇය සේවය කල සහ කරන පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇය ආදරයෙන් සිහිපත් කලා. අද මේ තරම් දුර එන්න අත හිත දී තිබෙන්නේ ඔවුන් බවයි සඳහන් කවේ. ඒ අතර කෙවින් මහත්තයා ඇය සිහිපත් කලේ ගෞරව පූර්වකව. ඔහු ප්රථමයෙන්ම ඇයව සම්මුඛ පරීක්ෂණ වලට පුරුදු පුහුණුවීම් කටයුතු කල හේතුවෙන්. ඈ ඊළඟට ස්තූති කරන්නේ ඇයගේ දරුවන්ට. ඇයට කියන්න ඕන උනේ කවද හරි අම්මට පුළුවන්නම් මේ තරම් කට්ටක් කාගෙන ඉදිරියට ගිහිල්ලා ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඇයි ඔයාලට බැරි කියන එක පෙන්නන්න ඕන නිසාවෙන්මයි. ඇය කැනඩාවේදී ඉතාමත් අපහසුතාවයෙන් වුණත් ශක්තිමත්ව අධ්යාපන කටයුතු කරගෙන ගියේ. විශේෂයෙන්ම ගීත ගායනය කරන්න පෙලඹුණේ දරුවන් නින්දා කියලා තමයි ඇය කියන්නේ. ඇය කියන්නේ තමන්ගෙ වැඩ දිගටම කරගෙන යන්න සහ කිසිම ප්රශ්නයක් නොකරපු දරුවන් තිදෙනෙක් තමයි ඇයට ඉන්නේ කියලායි. ඔවුන් තිදෙනාගේ අධ්යාපන කටයුතුවලට අමතරව ශ්රී ලාංකීය ප්රජාවන්ගේ ප්රසංග වලට සහභාගී වෙන්නත් ඔවුන් අමතක කරලා නැහැ. පන්සල්වල ස්වාමීන් වහන්සේලා ඉතාම ආදරයෙන් මතක් කල ඇය ඉන්පසුව ආදරයෙන් මතක් කලේ අපගේ රූපණ කණ්ඩායමයි . දිනේෂ්, වීරා, සංජීව, අනුග්රාහක රියාස් රවුෆ් මහත්මයා, අනුරුද්ධ, එරංග ඇතුලු සියලුම රූපණ කණ්ඩායම ඇයට දෙන සහයෝගය ඇය සිහිපත් කලේ ඉතාමත්ම සෙනෙහසින්.
සංවාද සටහන – කුමුදු රත්නවීර






ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.


