
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව, වෛද්‍ය සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛ සහ පනත් කිහිපයක් බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (20 වැනිදා) තීන්දු කළේය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි. ඔහු සිය පෙත්සම මගින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
පෙත්සම්කරු අධිකරණය හමුවේ කියා සිටියේ ජෛව විද්‍යාත්මක පදනමකින් බැහැරව හුදෙක් වෛද්‍ය සැත්කම් මගින් පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවයි. විශේෂයෙන්ම, 2015 වසරේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ මගින් මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සැත්කමක් මගින් වෙනස් කර ගැනීමට ඉඩ දී තිබීම නීතියට පටහැනි බව ඔහු තවදුරටත් තර්ක කළේය. එවැනි පුද්ගලයන්ට රජය විසින් අලුතින් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බව ඔහුගේ ස්ථාවරය විය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව ප්‍රබල මූලික විරෝධතාවක් මතු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ අදාළ අයිතිවාසිකම් උල්ලංඝනය වී මාසයක් ඇතුළත වුවද, පෙත්සම්කරු 2015 වසරේ සිට නිකුත් කළ චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් 2026 වසරේදී මෙම නඩුව පවරා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම පෙත්සම කාලාවරෝධී (time-barred) බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේය.
අතරමැදි පෙත්සම්කාරියක වූ ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ද වැදගත් කරුණක් මතු කළේය. පෙත්සම්කරු විසින් 2024 අංක 37 දරණ කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත ද බල රහිත කරන ලෙස ඉල්ලා තිබුණි. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කර කථානායකවරයා අත්සන් තැබූ පනතක් රටේ නීතිය බවට පත්වන බවත්, එය බල රහිත කිරීමට නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත්ය. එවැනි ඉල්ලීමක් ජනතා පරමාධිපත්‍යයට පටහැනි බව ඔහු අවධාරණය කළේය.
කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තවත් නෛතික දෝෂයක් පෙන්වා දුන්නේය. එනම්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරිය නොහැකි අතර, එවැනි අවස්ථාවක නීතිපතිවරයා වගඋත්තරකරු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. පෙත්සම්කරු එම නෛතික ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බැවින් පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව ඔහුගේ තර්කය විය.
පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේ මෙම ක්‍රියාවලිය හරහා ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහතා කියා සිටියේ ලිංගික අනන්‍යතාවය වෙනස් කිරීමට ඉඩ සලසන මෙම චක්‍රලේඛ නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නීතිමය බලයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අතරමැදි පෙත්සම්කරුවන් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමට තීරණය කළේය. ඒ අනුව, අදාළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන ලදී.


