
රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂ්ම ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කැනේඩියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් සමත් වී ඇත. මෙම වැටලීම පසුගිය 26 වැනිදා අලුයම සිදු කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ 27 හැවිරිදි වියේ පසුවන කැනේඩියානු ජාතික තරුණයෙකි. ඔහු වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට කටාර්හි දෝහා හරහා කටාර් ගුවන් සේවයට අයත් QR662 දරන ගුවන් යානයෙන් 26 වැනිදා අලුයම 2.30ට පමණ දිවයිනට පැමිණ තිබේ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුගේ ලියාපදිංචි ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුඹුරු පැහැති හෂීස් තහඩු 80ක් සොයා ගැනීමට හැකි වී ඇත. රේගු නිලධාරීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර ග්‍රෑම් 20,117ක් (කිලෝග්‍රෑම් 20.117ක්) වේ.
අත්අඩංගුවට ගත් මෙම හෂීස් තොගයේ ඇස්තමේන්තුගත වීථි වටිනාකම රුපියල් මිලියන 201.89ක් පමණ වන බව ගණන් බලා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කරන ලද අතර, ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දීමට කටයුතු කර තිබේ.


