වෛද්‍යවරිය දූෂණයකල සැකකරුට පොලිසියේදී වධහිංසා දීලා –  සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකු ලෙස සිටි පුද්ගලයෙකි. 

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට නොහැකි වූ බව වාර්තා වේ. 

දුරකථනය සෙවීමේ විමර්ශන අතරතුරු පසුගියදා සැකකරුගේ නිවසේ සිදුකල පරීක්ෂා කිරීමකදී පාත්තරයක් තුළ සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයාගෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත. 

අත්අඩංගුවට ගෙන සිටි හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34)  පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා, පසුගිය මාර්තු 13 වන දින අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.

සැකකරු ඉලුක්වැව නව නගරය, වී. තුන ඇළ පාර පදිංචිකරුවෙකි. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සැකකරු, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී. චන්ද්‍ර සහ පොලිස් සැරයන් රාජින් (48342) යන මහත්වරුන් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එම්.ඒ. ගුණතිලක මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු සිරුර නවා අපහසුතාවෙන් සිටින අයුරු නිරීක්ෂණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුට කෙළින් සිටගෙන සිටින ලෙස දැන්වීය. එම අවස්ථාවේ දී සැකකරු තමාට පොලිසියෙන් කෲර ලෙස පහර දී ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කළ බවත්, එම හේතුව නිසා තමන් අපහසුවෙන් සිටින බවත් මහේස්ත්‍රාත්වරයාට පැවසීය.

සැකකරුගේ ප්‍රකාශය සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු නැවත අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර, අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය රත්නායක මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, සැකකාරිය තම සහෝදරයාට නවාතැන් පහසුකම් සලසා දී ඇත්තේ ඔහු අපරාධයක් සිදු කර පැමිණ ඇති බව නොදැනගෙන බවයි. සැකකාරිය චේතනාන්විතව අපරාධයක සැකකරුවකුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය සලසා දී නොමැති බව පෙන්වා දෙමින්, ඇය ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා සෙනෙවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක දයා සහ සැරයන් රාජින් (48342) යන මහත්වරුන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *