ශ්‍රී ලංකාවට එක්දින පිටියේ සිවිවන තැන.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පිටියේ සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරටදී පැවති එක්දින තරගාවලිය ජය ගනිමින් ප්‍රසාද ලකුණු ඉහළ දමාගත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත ලකුණු 104ක් හිමිව ඇති අතර, පාකිස්තානය ද එම ලකුණු සංඛ්‍යාවම හිමිකර ගත්තත් ඔවුන්ට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.

මේ වසරේ පැවති ICC ශූරයන්ගේ කුසලානය දිනා ගැනීම හේතුවෙන් පෙරමුණ ගෙන සිටි ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 124 දක්වා වැඩි කර ගෙන ඇති අතර, එම තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්තය ඔස්ට්‍රේලියාව තෙවැනි තැනට දමමින් දෙවැනි තැනට පත්ව තිබේ. දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පිළිවෙළින් 6 වැනි ස්ථානයේ සිට 10 වැනි තැන දක්වා රැඳී සිටී. විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී පාකිස්තානය පහතට දමා එක් ස්ථානයක් ඉදිරියට යමින් 7 වැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසු වෙයි.

විස්සයි 20 දී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පිළිවෙළින් මුල් ස්ථාන 3 හිමිකර ගෙන සිටින අතර, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව ද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටී.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර, එංගලන්තය ස්ථාන 2ක් ඉදිරියට යමින් දෙවැනි තැනට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාව (3) සහ ඉන්දියාව (4) ස්ථානයක් බැගින් පහත දමමිනි. නවසීලන්තය (5) ද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *