දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට.වේගවත්ම මිනිසා සහ ගැහැණිය ලංකාවෙන්.

ඉන්දියාවේ රංචිහිදී පසුගිය (26) වැනිදා නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.එහිදී තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්.

ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වුවා.රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්තා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට හැකි වුයේ නැහැ.මෙහිදී නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාවක් හිමි වුයේ නැහැ.තරගාවලියේදී බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 03ක්ද, මාලදිවයින ලෝකඩ පදක්කමක්ද දිනාගැනීම හැරෙන්න භූතානයට එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි විය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වුණා.සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි තරග වැදුණා.

මේ අතර ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.පසුගිය (26) වැනිදා පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් වුණා.ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්.

මේ අතර වසර 17කට පසුව මේ ශූර­තා­ව­ලි­යේදී රන් ත්‍රිත්ව­යක් දිනා ගැනී­මට ෆාතිමා යාමික් සමත් වූ අතර, චමෝද් යෝධ­සිංහ සහ මදු­ෂාණි හේරත් රන් පද­ක්කම් ද්විත්වය බැගින් දිනා ගත්තා.

මේ ක්‍රීඩා උලෙ­ළේදී දකුණු ආසි­යාවේ වේග­වත්ම මිනිසා සහ ගැහැ­නිය ශ්‍රී ලංකා­වෙන් බිහි වීම කැපී පෙනිණි. එහිදී චමෝද් යෝධ­සිංහ සහ ෆාතිමා සෆියා යාමික් එම අව­ස්ථාව සට­හන් කළේ මීටර් 100 ඉසව් ජය ගනි­මිනි. ඔවුන් එහිදී වාර්තා කළ කාලය නව තර­ගා­වලි වාර්තා බවට ද පත් විය.

චමෝද් 10.30කින් තර­ගය නිමා කර­මින් රන් පද­ක්කම දිනා ගත් අතර, එහි කාන්තා ඉසව්ව ජය ගැනී­මට යාමික් සමත් වූයේ තත්පර 11.53කින් තර­ගය අව­සන් කර­මිනි. එහි කාන්තා ඉසව්වේ රිදී පද­ක්කම දිනා ගැනී­මට අමාෂා ද සිල්වා (තත්. 11.72) සමත් වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *