හදවතේ සියුම් වේදනාවක්

මෙතැනට යන හැම විටෙකම
මගේ හද සතුටින් පිරී යයි
එතැනින් ඉවත්ව යන විට
හද සැනෙක රිදුමක් දෙවයි
ඉවත්ව යා නොහැකි බව හැඟෙයි
බැඳීමක් ඇත හඳුනා ගත නොහෙන
මේ පියකරු නිසසල භූමියට
යහළුවෙකු කීවේ
පෙර බවයකදී නුඹ දිවි ගෙවන්නට
ඇත මෙහි කියා
විශ්වාස නොකළද බව කතා ඔබ
ඔහු සමහර විට නිවැරදි ද මන්දා
මා පිය බිරිඳ පවසයි
සොබාවේ නිසල පියකරු බවට
අපේ හිත් බැඳී ඇත
හදවතද හිතද සීතලය නිසලය
අවට උණුසුම තිස් හතට නැගුනත්
අංශක සෙන්ටිග්‍රේඩ්
කොළඹ ගමයා
https://kolambagamaya.blogspot.com
අකමැතිම

පෙනේ නම් ඔබට මා දැන්
ඔබ කැමතිම රතු ගවුම ඇඳ
ඇවිද යන හැටි තවමත්
මල් ඉහුනු තණ බිම මැද
පාවහන් රහිතව,
ඔබ අකමැතිම විදිහට
පෙනේ නම් ඔබට මා දැන්
තවම සක්මනට යනහැටි
අප ගිය අතුරු මං වල
නවතිමින් ඉඳහිට
දොඩන්නට නාඳුනන කුක්කෙකුට,
ඔබ අකමැතිම විදිහට
පෙනේ නම් ඔබට මා දැන්
වැහි බීරමක් එනවිට
නොඉඳ උණුහුම් වී
ඔබ දුන් නිල් පොරෝනය මැද
තෙමෙන්නට යන හැටි
ඔබ අකමැතිම විදිහට
හෙල්මලී ගුණතිලක
https://hotchocolatedays.blogspot.com
කියුබිකල් ආදරය

කුකුළටත් කලින් ඇහැරිලා
තුනට හතරට නැමිලා
බස් එකේ තෙරපිච්ච මට
කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින්
ටීෂා…
“ගුඩ් මෝනින්”
කියුබිකල් එක මැදින්
තිබ්බේ නැත්නම් වීදුරුව
දෙනවා මං කිස් එකක්
රෝස් පවුඩර් උලපු, සුදුම සුදු මුණටම
ටීෂා..
එවනවා මං ෆ්ලයින් කිස් එකක්
දැන් පැලෙයි දෝ මන්දා…
කර කැපුණු හැඩ හැට්ටේ
වටොර හිර කළ ඩෙනිම
අතේ අයිෆෝනය, කරේ ඇට මාලය
ටීෂා…
හරි හැඩයි දැක්කහම
ඉංගිරිසි වක්කරන්
ලොක්කෝ ටික වටකරන්
හයි ෆයි කාර් වල හවසට ගමන් යන
ටීෂා..
“ සී යූ ටුමාරෝ”
නාඩියා නාඩිරත්න
https://naadiyaonline.blogspot.com
ප්‍රිය මහත්මයාණෙනි !!

බොහෝ කලකට පසුව
ඔබ අමතමි
එනමුදු ,
ඔබ සුවෙන්දැයි
නොඅසමි…
නොබෝ දිනකට පෙර
ඔබ එවූ ” එකම ” වදන
රහසේම කියවා
නොදුටුවා සේ
තවමත් සිටින බව
ඔබ දන්නා බව, මම ද දනිමි…
එහෙත්
මා එය නොදන්නා සේ
සිටින්නට වෙහෙසෙමි…
ඔබේ හමුවීම
සංසාර පුරුද්දක් යැයි
සිතා සැනසුණු හිතට
තරයේ තරවටු කරමි…
ඔය නෙතු මත්තේ
වෙලී පැටලී
“අනවසර ” හීන මැවූ
ම’හිත කුඩු පට්ටම්
වී ඇති බව පමණක්
ලියා තබමි…
ප්‍රිය මහත්මයාණෙනි !
“අත්හැරීමද ප්‍රේමයකි “
බොහෝ වර බොහෝ තැන
අසා ඇති හෙයින්
ඔබට අත් හැරෙන්නට
හෝ අත් හරින්නට
ඉඩ හසර සාදා දෙමි..
ඉතින් ,
මා සුවෙන් යැයි නොකියමි
ඔබ සුවෙන්දැයි නොඅසමි
” සමුගැනීම ” පමණක්
මෙලෙස දන්වමි…
සොඳුරු සඳවතී
https://kavisandalla.blogspot.com
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!

ගේට්ටු සේරම වහන්න, ඉබි යතුරු දාන්න
අත්තටු තියෙන්නේ ඉගිල්ලෙන්න
තාප්ප හදන්නේ තරණය කරන්න
බැල්කනි කෙලවරක එල්ලෙන්න
රපුන්සල් ඉපදුනේ කොණ්ඩෙ පහලට දාන්න
හාදු දියරක් පොවන මොහොතට
හුස්ම තදකරගෙන ඉන්න
මෙරු කැමති පහන් දැල්ලට බිලිවෙන්න
අන්තිම තත්පරෙත් දැල්වෙන්න
ආලෝකමත් මරණයක් පතන්න
මෙරුවෙක් වගේ වෙන්න
ඇඹලයො කැමති සීනි කන්දක කිමිදෙන්න
පැණි දියර පුරෝගෙන, ‘පටස්’ ගා පෙණහළු පුපුරවාගන්න
ඒ තරම් ‘රහ’ මරණයක් තව තියෙනවද?
පුළුවන්නම් ඇඹලයෙක් වෙන්න
අඩුම තරමෙ රෝමියෝ වෙන්න
හයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
ලයිට් නිමුවාම ‘ආදර පියාපත්’වලට පණදෙන්න
බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!
බස්සි (Yash) යශෝධා සම්මානි ප්‍රේමරත්න


