යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන්, හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු

ස්විස් සංචාරයක මතකය.

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් .

යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.  

Gotthard Road Tunnel

අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්‍ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා .

Interlaken 

අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ Lake Brienz අතරයි . ඒ අතර පරිසරය තවත් ලස්සන කරමින් Aare ගග ගලා යනවා . චිත්‍රවල, ෆොටෝ වල සිහින ලෝකයක තිබුණු දසුන් ඇස් ඉස්සරහ තියෙනකොට පුදුම සතුටක් දැනෙනවා .

අපි මේ ගමන ගියේ අගෝස්තුවේ වුණත් වැහි මන්දාරමත් එක්ක පරිසරය වෙනස් වෙලා අයිස් වැස්සක් මැද්දෙ හෝටලයට යන්නයි අපට සිද්ද වුනේ . ඒ නිසා  ස්විස්ටර්ලන්තයට යනකොට වැස්සට ශීතලට ගැලපෙන ඇදුම් ගෙනයන එක හොදයි . තරමක් දිගු රථ ධාවනයකට පස්සෙ තිබුණු ගමන් මහන්සියත් එක්ක ස්විස් විදිහට සැකසුණු රාත්‍රී ආහාර වේල අරගෙන ටිකක් කලියෙන් නිදාගන්න ගියේ පහුවදා උදේ යුරෝපයේ මුදුනට යන ගමන ගැන සිතමින්.

Grindelwald

උදේ කෑමෙන් පස්සෙ ඇවිදින දුරකින් තිබුණු දුම්රිය ස්ථානයට ගියේ ගමන පටන් ගන්න . යුරෝපයේ ප්‍රධාන නගර සම්බන්ධ කරන අධිවේගී දුම්රිය ළගාවන මේ ගමන පටන් ගන්න දුම්රිය ස්ථානය Interlaken. එතැනින් නිල් පාට දුම්රියෙන් අපි ගියේ Grindelwald ට . එතැනින් කහපාට දෙවැනි දුම්රිය Kleine Scheidegg. අවසානයේදී  රතු හැට්ටකාරී දුම්රිය අපව ගෙනගියේ යුරෝපයේ මුදුන  Jungfraujoch. ට  .මේ ලිපියේ ඉඩකඩ සීමාසහිත හින්ද පළමු දුම්රිය දෙක ගැන කථා නොකර තුන්වන රතු දුම්රිය ගැන කියන්නම් . ඒත් ලෝකයේ හොදම දුම්රිය සේවා සහිත රටක් වන ස්විස්ටර්ලන්තයේ ගෙවල්, ගොවිපොල, මල් වතු මැද්දෙන් යන කෝච්චි වල ඉදගෙන ඈත තියෙන ග්ලැසියර් කන්ද ටිකෙන් ටික ලං වෙනකොට දැනුණු හැගීම් ඔබට තේරුම් යන්නෙ මේ ගමන හැබැහින්ම ගියොත් තමයි .

1894-1924 කාලයේදී ඉදිවුණු Jungfrau railway line දුම්රිය මග තැනීමේ මූලිකයා වුනේ  Adolf Guyer Zeller. වසරකට මිලියනයකට වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා වසර පුරාම ක්‍රියාත්මක වන මෙය කිලෝමීටර 9.34 ක් දිගයි . මින් 80% ක තරම් දුරක් යන්නේ බිං ගෙවල් අතරින් . මේ මගේ දුම්රිය ස්ථාන 5 ක් තිබෙනවා . ඉහලින්ම තිබෙන තැන අඩි 11332 ක් උස Jungfraujoch

Adolf Guyer Zeller

අපි හිම කබා ඇදගෙන රතුපාට කෝච්චියට නැග්ගා. ඈතින් පෙනුණු ග්ලැසියරය දැන් ටිකෙන් ටික ලං වෙනවා . ඒත් එක්කම ඈත තියෙන ගෙවල් පුංචියට පේනකොට අපි ටිකෙන් ටික ඉහලට යන බව දැනෙනවා . අපි වැඩි දුරක් ගි යේ බිං ගෙවල් ඇතුලෙන් කිව්වොත් ඒකෙ වරදක් නැහැ . අඩි 10361 ක උසක තියෙන Eismeer දුම්රිය පොලේදී නිවේදනය කලේ දුම්රියෙන් බැහැල ගිහින් වටේට සකස් කර තිබෙන නැරබුම් කවුළු වලින් අවට සිරිය විදින්න කියලයි . ඒ වෙලාව පහලට යන දුම්රිය මාරු කරගන්න ඔවුන් පාවිච්චි කරනවා . සුවිසල් නැරබුම් කවුළු වලින් පෙනෙන දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි . ෆොටෝ කිහිපයක් ගත්ත අපි ඊලග නිවේදනයත් එක්ක ආපහු අපේ මැදිරියට ආවා.Jungfraujoch යුරෝපයේ මුදුන විදිහට හැදින්වෙන වසර පුරාම සංචාරකයින් යනෙන ස්විස් ඇල්ප්ස් කදු මුදුනේ තිබෙන යුනෙස්කෝ ලෝක උරුම පරිශ්‍රයක්.

 Eismeer

Sphinx observation Deck & Aletsch Glacier

Aletsch

අන්තර්ජාතික ග්ලැසියර පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙන Aletsch ග්ලැසියරය කිලෝමීටර 22 ක් දිග සුවිශාල එකක් . එහි අයිස් ඝනකම කිලෝමීටරයක් තරම් වන බවයි කියන්නෙ. ආරක්ෂක හේතු නිසා ඔබට මුළු ග්ලැසියරයේම යන්නට බැරි වුණත් විදුලි සෝපානයෙන් ඉහලට ගිහින් විශේෂයෙන්ම සකස් කල නැරබුම් අටල්ලේ ඉදන් එය නරබන්නත් , ග්ලැසියරයේ කොටසක ගුණ සුවද විදින්නත් , ලෝකයේ පිරිසිදුම ජලය විදිහට හැදින්වෙන ඉන් බිදක රහ බලන්නත් ඔබට පුළුවන් . ඔබ එතැන හිටියානම්  මේ ගමන මතක් වෙන්න ස්විස් කොඩිය යට ෆොටෝ ගන්න පොරකන පෝලිමට ඔබත් එකතු වෙනවාට කිසිම සැකයක් නැහැ .

Ice Palace

මේ කදු මුදුනේ තිබෙන අයිස් මාලිගාව තරම් අවධානයට යොමුවුණු තවත් තැනක් නැති තරම් . දැඩි ශීතල මැද්දෙ අයිස් උමගේ යන චාරිකාව වර්ණවත් කරන්නේ දෙපස තියෙන අයිස් කැටයම් සහ විවිධ නිරූපණ කුටි වලින්. අයිස් යුගයේ ඉදන් වර්තමානය දක්වා විවිධ දෑ නිරූපණය කෙරෙන අනු රූ රැසක් මේ තුල තියෙනවා . මේ ගමන යද්දී ඊට ගැලපෙන ඇදුම් පැළදුම් සහ සපත්තු ගෙනයන එක හොදයි

Alphine Sensation

අතීතයේදී මහත් ප්‍රාතිහාර්යයක් වූ අති දුෂ්කර මේ දුම්රිය මග ඉදිකිරීමේ කටයුතු වල යෙදුණු සේවකයින්ට කෙරෙන උපහාරයක් ලෙස ඉදිවුණු මීටර 250 ක් දිග මේ ආලින්දය බහුවිධ සම්ප්‍රේෂණ මාධ්‍යය භාවිතයෙන් දුම්රිය ඉතිහාසය දක්වනවා . මේ ආලින්දය මගින් Ice Palace එකත් Sphinx Hall. එකත් සම්බන්ධ කෙරෙනවා.

මේ පරිශ්‍රයේදී අංශක 360 සිනමා අත්දැකීමකින් ග්ලැසියර චාරිකාවක යෙදෙන්නත් පුළුවන්. කැනඩාවේදී අපට පුරුදු Lindt ස්විස් චොකලට් නිෂ්පාදන අත්දැකීමක් ගන්නත් පුළුවන් . අමතර ගෙවීමක් කරලා විනාඩි 45 ක් විතර පයින් ග්ලැසියරය දිගේ ගිහින් Monchsjochhutte  කදවුරු කුඩාරමට යන්නත් විවිධ හිම ක්‍රීඩාවල යෙදෙමින් Snow fun park එකේ කල්ගත කරන්නත් පුළුවන් .

මේ ගමන සදහාත් , ස්විස්ටර්ලන්තයේ වියදම් සදහාත් ඉහල මිලක් ගෙවන්නට වුනු හින්ද පසුම්බියට තරමක බරක් දැනුණත් ජීවිතයේ එක් වරක් ලබන්න පුළුවන් හොදම අත්දැකීමක් විදිහට මේ ගමන කාට වුණත් යන්න හොද එකක්.

සටහන – අනුරුද්ධ වැලිගමගේ

කැනේඩියානු සංචාරයක මතකය

හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු.

ටොරොන්ටෝවේ ඉන්න අපට පැය 2 කට අඩු කාලයකින් අවුරුද්දෙ ඕනෑම කාලයක බලන්න පුළුවන් ජනප්‍රිය තැනක් තියෙනවා . ලංකාවෙන් එන නෑදෑ හිතවත්තු කවුරු උනත් එක්කගෙන යන මෙතැන තියෙන දේවල් වලින් අපි දන්නෙ කොච්චර ටිකයිද ? ඒ ලෝකයේ තිබෙන දිය ඇලි අතරින් ජනප්‍රියම සහ ලස්සනම දිය ඇල්ල  ඇල්ල . ඉස්සර වෙලාම ඔබ පුදුම වේවි නයගරා ඇල්ල අවුරුදු 12500 ක් විතර පරණයි කිව්වාම . නයගරාවේ ඉතිහාසය අවුරු 18000 ක් පරණ අයිස් යුගය දක්වාම යනවා . කිලෝමීටර ගානක් ඝනකම අයිස් තට්ටු දියවෙලා හැදුණු Niagara Escarpment සංචාරයට කැමති අයට  දවසක සංචාරයන්ට වටිනා තැන් රැසක් ඉතිරි කර තිබෙනවා . එය පටන් ගන්නේ අපට කිට්ටු Milton නගරයේ ඉදන් . ඒ වගේම මුල්ම නයගරා ඇල්ල තිබිලා තියෙන්නෙ අද අපි දකින ඇල්ලට හැතැප්ම 6-7 ක් විතර පහලින් තියෙන Lewiston කියන ප්‍රදේශයේ . මුලින් කොටස් 5 ක් විදිහට තිබුණු ඇල්ල කාලයත් එක්ක මෙතැනට එනකොට එක කොටසක් බවට පත්වෙලා . ඒ අපි අද දකින  Horseshoe Falls. දැනටත් අවුරුද්දකට ඇල්ල මීටරයක් පස්සට යනවා . මේ යන විදිහට ඇල්ල පස්සට ගියොත් තවත් අවුරුදු 50000 කින් ඇල්ල හැතැප්ම 20 ක් ගියාම උසේ  වෙනසක් නැතුව ඇල්ල වෙනුවට නයගරා ගග විතරක් ඉතුරු වේවි.

ඇමෙරිකාව සහ කැනඩාව අතර දේශ සීමාවේ තියෙන නයගරා ඇල්ලේ සහ නයගරා ගගේ ජලය 1950 දී අත්සන් කෙරුණු ගිවිසුමක් යටතේ පාලනය වෙනවා . ඒ අනුව සංචාරකයින් වැඩි උදේ 8 සිට රාත්‍රී 10 දක්වා වැඩි වතුර ප්‍රමාණයකුත් අනෙක් කාලයට ඉන් අඩකුත් ලෙස ජලය මුදා හරින්නේ 1954 දී ඉදිකෙරුණු  International Control Dam නම් බැම්මක් මගින් . නයගරා ඇල්ල පහු කරලා ටික දුරක් ඉස්සරහට ගියාම ඔබට ඒ බැම්ම් බලන්න පුළුවන් . එමගින් ජල විදුලි බල නිෂ්පාදනය සහ අනෙකුත් කටයුතු සදහා ජලය කාර්යක්ෂම ලෙස යොදාගන්නවා . ඉන් වතුර එකතු කරන ජලාශය හැදින්වෙන්නේ  Chippawa – Grass Island pool නමින් .

Horseshoe Falls

ලෝකයේ දියඇලි වර්ගීකරණයේදී නයගරා ඇල්ල ඉලක්කම් අතරට එන්නේ නැහැ . එහෙත් ජනප්‍රියතාව අතින් සහ අශ්ව ලාඩමක් හැඩයේ අපූරු පිහිටීම නිසා මේ ඇල්ල ලෝකයේ බොහෝ දෙනා අතර පතල වෙලා තියෙන්නෙ ලස්සනම දිය ඇල්ල විදිහට . කැනඩාවට , ඇමෙරිකාවට සංචාරය පිණිස එන බොහෝ දෙනා අමතක නොකර මෙතැන බලන්න එන්නෙ ඒ නිසයි . අඩි 188 ක් උස අශ්ව ලාඩම් ඇල්ල විනාඩියකට කියුබික් අඩි මිලියන 6 ක දිය කදක් ඊරි විලේ ඉදන් ඔන්ටාරියෝ විලට දිය ගෙන යන නයගරා ගගට මුදාහරිනවා . ඇල්ලේ පලල අඩි 2200 ක් විතර වෙනවා . ශීත කාලයට ඇල්ල වටේම වගේම කොටස් අයිස් මිදිලා තිබ්බත් ඇල්ල මෑත කාලයේදී එය සම්පුර්ණයෙන්ම මිදිලා තියෙන්නේ 1848 මාර්තු 29 වෙනිදා විතරයි . 1985, 1902, 1906, 1911, 1932, 1936, 2014, සහ  2017 දී වාර්තාගත විදිහට මිදිලා තියෙනවා . ශීත කාලයේ ජනවාරි , පෙබරවාරි මාස වලදී ඇල්ලට ගියොත් ඔබට අමුතුම අත්දැකීමක් බලන්න පුළුවන් . මේ ළගම තියෙන ඇමෙරිකන් දිය ඇල්ල අඩි 110 ක් උසයි . අඩි 850 ක් පළලයි .විනාඩියකට ටොන් 50 ක් තරම් දියවුණු Rock Flour ලවණ මුදාහරින හින්ද නයගරා ඇල්ලේ වතුර කොලපාටට පේනවා .

Great Gorge & Whirpool

නයගරා අල්ලේ ඉදන් කිලෝමීටර් 5 විතර දකුණට ගියාම හම්බවෙන ලස්සන තැනක් තියෙනවා . දැඩි පර්වතයක් වන Great Gorge හින්ද නයගරා ගග එකපාරටම අංශක 90 කින් හැරෙන මෙතැන දිය පහර හරිම සැරයි . පර්වතයේ

හැපිලා ආපහු විසිවෙන වතුර හින්ද එතැන දැඩි කැලබීමක් තියෙනවා . ඒකෙ අපුරුව එතැන තියෙන නරබුම් අටල්ල සහ පැරණි Whirlpool Aero Car සංචාරයේදී දකින්න පුළුවන් . මේ අවට ප්‍රදේශයේ ජවය වැඩි කාට වුනත් යෙදෙන්න පුළුවන් ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් තියෙනවා .

·         White Water Walk

·         Whirlpool Adventure Course

·         Zipline to the Falls

 ඒ වගේම නොමිලේ  ගිම්හාන කාලෙට පරිසරයේ අසිරිය විදිමින් කෑම බීම ගන්නත් ,ඇවිදින්න  විවේක ගන්නත් පුළුවන් කදිම උද්‍යානයක් මෙතැන තියෙනවා . Niagara Glen කියන්නෙ මේ ඉසව්වේ තියෙන ඇවිදින මංපෙතක් .

Journey Behind the Falls

අවුරුදු 130 ක් පැරණි බිම්ගෙයක් තනා තිබෙන්නේ නයගරා ඇල්ල පසෙකින් තියෙන ගල් බිත්තිය හාරලා .ටිකක් තෙමුණට නයගර ඇල්ල ලගින්ම බලන්න පුළුවන් තැන මේකයි . කිලෝමීටර 65 ක වේගයෙන් වැටෙන සුවිසල් දිය කදක් මීදුම මැද්දෙන් පේන මේ අත්දැකීම ජීවිතයේ එක වතාවක් බලන්නට කදිම අත්දැකීමක් .

Hornblower Niagara Cruises

නයගරාවට එන හැමෝම වගේ යන මේ සංචාරය විශාල කැටමරන් බෝට්ටුවකින් ඇල්ල ගාවටම යන එකක් . අවුරුදු 100 ක තරම් කාලයක් තිස්සේ ඇමෙරිකානු සහ කැනඩා අන්තයෙන් මේ චාරිකා ක්‍රියාත්මක වෙනවා . 700 ක් තරම් විශාල පිරිසක් ගෙනයන යාත්‍රා 2 ක් සහ Jet cruise බෝට්ටුවක්  මෙහි සේවයට යොදවා තියෙන්නේ අප්‍රේල් මාසෙ ඉදන් නොවැම්බර් දක්වා කාලයේදී .Niagara’s Fury

නයගරාවේ ඉතිහාසය සොයායන අංශක 360 ක් සිව්මාන ( 4D) චිත්‍රපට මධ්‍යස්ථානයේදී ඔබට අයිස් යුගයේ ඉදන් මේ දක්වා ආ ගමන විදගන්න පුළුවන් . ඔබ ඇගලා ඉන්න වැහි කබාය තෙමෙනකොට ඔබට දැනෙන්නෙ ඔබ නයගරා ඇල්ල අතේ ගෑවෙන දුරින් ඉන්න බවක් .

පොදු ප්රවාහන සේවා

හැම අවුරුද්දකම ගිම්හානයේ ජුනි 22 ඉදන් සැප්තැම්බර් 3 වැනිදා වෙනකම් සෙනසුරාදා සහ ඉරිදා දවස්වල සහ නිවාඩු දවස්වලට විශේෂ දුම්රිය 3 ක් ටොරොන්ටෝ සහ නයගරා අතර ක්‍රියාත්මක වෙනවා . බයිසිකල් රැගෙන යන්නට පුළුවන් මැදිරි 3 ක් තියෙන ඒ දුම්රියෙන් ඔබට නයගරා යන්න පුළුවන් .

ඊට අමතරව නයගරා ආශ්‍රිත සියළුම සංචාරක ස්ථාන ආවරණය කෙරෙන පොදු ප්‍රවාහන බස් සේවය WEGO පාවිච්චිය වාහනය නවත්තන්න තැන් හොය හොයා ඉන්න අයටත් පහසුවක් වේවි .

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *