
ආර්ජන්ටිනාවේ පාපන්දු ලෝක කුසලානය දිනූ නායක ලයනල් මෙසී පසුගිදා නවදිල්ලි නුවරදී සිය සංචාරය අවසන් කළ අතර, ඔහු ඉන්දියාවට රැගෙන පැමිණි සංවිධායකයන් ඉන්දීය රුපියල් කෝටි 100ක පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 341ක පමණ) දූෂණයක් සිදු කොට ඇති බවට චෝදනා කරමින් එරට ආර්ථික බුද්ධි හා බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් සිං මහතා මේ චෝදනාව භාරදී ඇති අතර, මෙසීගේ දින තුනේ සංචාරයේදී වතුර බෝතලයේ සිට වංචා සහගත ක්‍රියාවන් සිදුවූ බව සඳහන් කර සිටී. නරඹන්නන් කෝපයට පත් වූයේ මෙසී දැකගැනීමට නොහැකි වීමේ කලකිරීමටත් වඩා, ක්‍රීඩාංගණයේදී වතුර බෝතලයක් ඉන්දීය රුපියල් 150කට (ශ්‍රී ලංකා රුපියල් 510කට) මිලදී ගැනීමේ සිට විවිධ අක්‍රමිකතා හේතුවෙන් බවයි. මෙසී පැයක් පමණ පිටියේ සිටිය යුතු වුවද, විනාඩි 22කදී ඉවතට යෑම සිදුවූ අතර, එය හිටපු මන්ත්‍රීවරයා ‘සොරකමක්’ ලෙස හැඳින්වීය.
මෙසී දැකගැනීමට අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී එක් අයකුගේ සාමාන්‍ය ටිකට්පතක මිල ඉන්දීය රුපියල් 5900ක් වූ අතර (ශ්‍රී ලංකා රුපියල් 20092ක්) වූ බව සඳහන් වේ.
මේ අතර, ලයනල් මෙසී දිල්ලි අගනුවරදී, ඉන්දීය අගමැති මෝදි මහතා හමුවීමට නියමිතව තිබූ අතර පසුව එය අවලංගු කරන ලදි.මතභේදයකට තුඩු දුන් කොල්කටා සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සංවිධායකවරයාට එරෙහිව නඩු දෙකක් ආරම්භ කර ඇති අතර, දැවැන්ත ජනකායක් කළමනාකරණය කිරීමේදී, මහජන සාමය උල්ලංඝනය කිරීමේදී සහ අනතුරේ හෙළීමේදී බරපතළ අඩුපාඩු සිදුවී ඇති බවට චෝදනා ඉදිරිපත් කරමින් දින 14ක පොලිස් අත්අඩංගුවට පත්කොට ඇත.
මේ අතර දහස් ගණනක් පාපන්දුලෝලීන් ක්‍රීඩාංගණයේදී ලයනල් මෙසී දැක බලා ගැනීමට නොහැකි වූවේ යැයි පවසමින් බැනර් ඉරා දමා, වතුර බෝතල් සහ පුටු විසිකර, පිටියට අලාභහානි කරමින් කෝපය පළ කළහ. රසිකයන් ඉන්දීය රුපියල් 3,800 සිට රුපියල් 11,800 දක්වා ටිකට්පත් සඳහා මුදල් ගෙවා ඇති අතර, බොහෝ දෙනෙක් අලුයම සිට ක්‍රීඩාංගණයේ පිටත පෝලිම් ගැසී සිටියහ.
මෙසී ක්‍රීඩාංගණයට පැමිණ පිටිය වටා ඇවිද ගිය නමුත් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රභූවරුන් සහ කලාකරුවන් වටවී ගමන් ගැනීමෙන් රසිකයන්ට ඔහුව දැක ගැනීමට නොහැකිවීමත් සමඟ නොසන්සුන් වී ඔවුහු කෑ ගැසීමට පටන් ගත්හ. මේ කලබලය මැද මෙසී වහාම ක්‍රීඩා පිටියෙන් ඉවත්වී හෝටලය බලා ගිය අතර, පසුව ප්‍රධාන සංවිධායකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. සංවිධායකයා විසින් නැවත ප්‍රවේශපත්‍ර මුදල් ලබාදීමට එකඟ වූ බව පොලීසිය සඳහන් කළේය.


