ඉරාන නාවිකයන්ගේ  සිරුරු බාරදෙන්න නියෝගයක්.ඇමති විඡිත ස්ථාවරයත් කියයි.

දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය (11 වැනිදා) පෙරවරුවේ නියෝග කර තිබේ.

ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

නවදිල්ලියේ පැවැති රයිසිනා සංවාද සංසදයේදී මේ සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරන බවය.

මේ අතර රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ඉරාන යුද නෞකාවක් වන IRIS Dena නෞකාව මුහුදුබත්වීමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය රටට නොයවන ලෙස එක්සත් ජනපදය කේබල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

ඉකුත් බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමන ලදි. 

ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් ගත කෙරුණි.

මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් දෙවෙනි නෞකාව වන ‘IRIS Bushehr යුද නෞකාව ද පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පසුගියදා පැමිණ තිබුණි.

ඒ තමන් ඇතුළු පිරිසට මෙරට සීමාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව නෞකාවේ ‍කාර්ය මණ්ඩ‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.

එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙනගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *