
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය (10) වැනිදා වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු අද සවස පැවති බෙදීමේදී යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 153 දෙනෙක් ඡන්දය දුන් අතර විපක්ෂ මන්ත්‍රීවරු 49 දෙනෙක් පක්ෂව ඡන්දය දුන්හ.
මෙම යෝජනාව පසුගියදා සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය (10) වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ලදී.
බලශක්ති අංශයේ කළමනාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගොනුකර තිබිණි.
විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද යෝජනාව මාර්තු 19 වැනි දින කථානායකවරයාට භාරදෙන ලදී.
නොරොච්චෝලේ හි ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා තම මූලික රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වූ බව එහි සඳහන් විය.
තීරණාත්මක ජාතික බලශක්ති වත්කමක් අධීක්ෂණය කිරීමේදී එවැනි දැඩි නොසැලකිලිමත්කමක් අමාත්‍යාංශ වගකීමේ මූලික උල්ලංඝනයක් බව එහි තවදුරටත් සඳහන් විය.
ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී “දූෂණ ක්‍රියාවක්” සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය හමුවේ විධිමත් ලෙස චෝදනා ගොනුකර ඇති බව ද යෝජනාවේ සඳහන් විය.
මේ අතර 2009 සිට ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
අක්‍රමිකතා පිළිබඳ මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් විගණන වාර්තා සහ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් සැළකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය (11) වැනිදා උදෑසන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වසර ගණනාවක් පුරා ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ ආනයනය කිරීමේදී සිදුව ඇති බව කියන විෂමතා පෙන්වා දෙන පරීක්ෂණයක් සඳහා එමගින් ඉල්ලීමක් කර ඇත.
අදාළ කාල සීමාව තුළ ගල් අඟුරු ආනයනයට සම්බන්ධ ක්‍රියාපටිපාටි, අනුකූලතාව සහ විය හැකි විෂමාචාර පරීක්ෂා කිරීමට විමර්ශනය මගින් අපේක්ෂා කෙරේ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට පැවසුවේ 2009 සිට 2025/26 දක්වා කාලය තුළ ගල් අඟුරු ප්‍රසම්පාදනය විමර්ශනය කිරීම සඳහා රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඇතුළු සමගි ජන බලවේගයේ සාමාජිකයන් කිහිපදෙනකු පසුගිය (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයාට සමීප පුද්ගලයකුට ප්රතිලාභ සැලසීමේ අරමුණින් ටෙන්ඩර් ක්‍රියාවලියට බලපෑම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හඬ පටයක් මත පදනම්ව මෙම චෝදනාව ගොනුකර ඇති බව සජබ සාමාජිකයෝ පවසති.


