නගරය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ ගේ රෝමය බලන්නට ගියදා, අවුරුදු 300ක් පැරණි විසල් ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බසින දසුනක්

නීරෝ අධිරාජ්‍යයා රෝමයේ සිටි ඉතිහාසගත පාලකයෙක් . ඔහු වඩාත් ප්‍රකට වුනේ නගරය ගිනිගන්නා  අතරේත් වීණා වැයූ බව කියන ජනප්‍රවාදය නිසයි . ක්‍රිස්තු පුර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 286 දක්වා පුරා පැතිරුණු ඉපැරිණි සිෂ්ටාචාරයකට හිමිකම් කියන රෝමයේ එදා මිලියනයක තරම් ජනතාවක් විසු බව කියැවෙනවා .වර්තමානයේදී රෝමය ලෝකයේ ජනප්‍රිය සංචාරක නගර අතර ඉහල තැනක තිබෙන එකක් .

ගුවන් ටිකට් පත් සහ අනෙකුත් වියදම් අධික නිසා යුරෝපා සංචාරයන් තරමක් මිල අධික වුණත් කලින් වෙන්කරවා ගැනීමෙන් සහ අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගත්තොත් බර සැහැල්ලු කරගන්නට ක්‍රම හොයාගන්නට පුළුවන් . ඒ කොහොම වුණත් හරි හැටියට සංචාරය විදින්නට නම් දවසකට කලින් යන එක හොද වෙන්නෙ වෙලාවෙ වෙනසත් , ගමන් මහන්සියත් හින්ද පළමු දවසෙ කොහේවත් යන්නට බැරි හින්දයි .

ටොරොන්ටෝවෙන් පිටත් වෙලා පැය 9 ක පමණ ගුවන් ගමනකට පස්සෙ අපි රෝමයට ලගාවුනා. සංචාරයක මතකය තුලින් මින්පෙර ඔබ කැදවාගෙන ගිය පැරිස් සංචාර ලිපි 2 ක ඔබට මතක ඇති . අපි ආයෙමත් යුරෝපයේ . ඉදිරි අවුරුද්ද පුරා යුරෝපයේ තවත් රටවල් රැසක සංචාරක අත්දැකීම් විදින්නට ඔබට හැකිවේවි .

Catacombs

අතීතයේදී රෝම නගරයේ ඉතා විශාල පිරිසක් ජීවත්වූ ප්‍රදේශයක් වූ හෙයින් සුසාන භුමි සදහා විශාල ඉඩක් වෙන්කරන්නට වීම මහත් ගැටළුවක් වුණා . මේ වෙනුවෙන් ඔවුන් කල කාර්යය වුනේ පොලොව යට තට්ටු කිහිපයක් ලෙස සුවිසල් බිම් ගෙවල් තුල මෘත ශරීර තැන්පත් කිරීමයි.සාමාන්‍ය මිනිසුන්ගේ පටන් රෝමයේ අති උතුම් පාප් වහන්සේ දක්වා විවිධ තරාතිරමේ මිනිසුන් , ගැහැණුන් සහ ළමයින්ගේ සිරුරු මෙසේ තැන්පත් කල බව සදහන් .

පිරිසුදු කරන ලද එවන් පරිශ්‍ර කිහිපයක්ම මේ වනවිට සංචාරක ආකර්ෂණ ලෙස අද පවත්වාගෙන යන නිසා ඔබටත් ඒවායේ සංචාරයක යෙදෙන්නට පුළුවන් . අප දකින සාමාන්‍ය පොලොව මට්ටමේදී අලංකාර ගොඩනැගිලි සහ උද්‍යාන පරිශ්‍රයක් ලෙසින් පෙනෙන මේවා ඇතුලතට ගිය විටදී ඔබට අපුරු දේවල් රැසක් දකින්නට පුළුවන් . ඒ අතරින් අප සංචාරය සදහා යොදාගත්තේ Catacombs of St. Callixtus. එහි ඇතුලත සේයාරූ ගන්නට අවසර ලැබුනේ නැහැ .

ඒ ගුහා ඇතුලත තට්ටු 5 ක් පුරා වසර සිය ගණනක් තුල මිලියනයක් තරම් පිරිසක් මේ තුල මිහිදන් කර ඇති බව සදහන්. සාමාන්‍ය ජනතාව සදහා කුඩා ඉඩ සේම පාප් වහන්සේලා සදහා විශාල කුටිත් වෙන්කර තිබු බව දකින්නට පුළුවන් . මේ පරිශ්‍රයේ පාප් වහන්සේ වරු 16 දෙනෙක් මිහිදන් කල බව සදහන් . සමහර තැනක එකල බිත්තිවල තිබු බිතු සිතුවම් වල ශේෂවූ කොටස් දකින්නට පුළුවන් . ඒ වගේම මේවා ඇතුලතට මැනවින් වාතාශ්‍රය ලැබෙන සේ සකස් කර තිබුනා

රෝම නගර සංචාරය සදහා අප එකතුවුනේ දේශීය සංචාරක නියාමකවරියක් කරන විස්තර සහිත චාරිකාවට . නවාතැනේ ඉදල පොදු ප්‍රවාහන මාධ්‍යයෙන් ගිහින් Spanish Steps ළගින් පටන් ගත් ඒ චාරිකාව අවසන් වුනේ Colossium එක ළගින්.

Spanish Steps

ක්‍රිස්තු වර්ෂ 1723- 1726 කාලයේදී ඉදිවුණු පඩි 135 ක පඩිපෙලක් නිමවා තිබෙන්නේ 1587 ඉදිකර අවසන් කෙරුනේ ප්‍රංශ පල්ලියක් වන Trinita dei Monti වෙත යන්නයි .ප්‍රංශයේ 7 වන ලුවී රජු විසින් කල බව සදහන් . මෙයට මේ නම ලැබී තිබෙන්නේ ඒ චතුරශ්‍රයේ ස්පාඥ තානාපති කාර්යාලය තිබෙන හින්දයි . ඒ කොහොම වුනත් මෙතැන ෆොටෝ ගන්න නම් කියාපු තැනක් . අපි මෙතැනට එන්න පාවිච්චි කල Spagna මෙට්‍රෝ නැවතුම තියෙන්නෙ මේ ලගමයි . ඒ ළගම හරි ලස්සන වතුර මලකුත් තියෙනවා . Fontana della Barnini නමින් හැදින්වෙන එය තනා තිබෙන්නේ Pietro Bernini. ඉතිහාස කථාවල කියැවෙන විදිහට 1598 සිදුවූ Tibet ගගේ ගංවතුරකදී මෙතැනට බෝට්ටුවක් ගසාගෙන ඇවිත් තිබෙනවා . මේ වතුර මලේ නිදාන කථාව සිහිපත් කරනවා . අපි නියාමක වරියට කන්දෙනවා. 7 වන ලුවී රජුගේ ප්‍රතිමාවක් මේ අද්දරම තියෙනවා .

Pantheon

සියළු දෙවියන් වෙනුවෙන් කැපවුණු දෙවොල යන අරුතින් හැදින්වෙන මෙතැන ඔගස්ටස් අධිරාජ්‍යයා විසූ ක්‍රිස්තු වර්ෂ 14 දී ඉදිකර තිබෙන්නේ බව සදහන් .

වසරකට මිලියන 6 ක පමණ පිරිසක් නරබන මෙය ශාන්ත මේරි දේවස්ථානයක් ලෙස මේ වනවිට ක්‍රියාත්මක වන නිසා ඔබට මෙයට ඇතුල් වන්නට ලැබෙන්නේ ඔබ හොදින් ශරීරය ආවරණය කරගත් ඇදුම් ඇත්නම් විතරයි . අත් , කර , පා නිසි ලෙස නොවැසුණු ඇදුමින් ගියොත් ඔබට වෙන්නේ එළියට වෙලා ඉන්නයි .

සුවිසල් කුළුණු මත රැදුණු පෝටිකෝව දිගේ ඔබ ඇවිදගෙන යන්නේ Celta නමින් හැදින්වෙන Dome එකටයි. එතුල ඉතා අලංකාර චිත්‍ර වගේම අග්‍රගණ්‍ය ප්‍රතිමා රැසක් තිබෙනවා .

රෝමයට ගිහාම රෝමන්වරයෙකු විදිහට හැසිරෙන්න කියල තියෙන හින්ද සංචාරය ඇතුලත අපට ලැබුණු විරාමයේදී අපි නියම Gelato italiano ice cream රස බැලුවා. කැනඩාවේදී වගේ යුරෝපයේදී වැසිකිළි පහසුකම් නොමිලයේ නොලැබෙන හින්ද ඔබ යමක් මිලදී ගන්නා තැනකදී එම සේවා ලබාගැනීම ඔබට මුදල් හා කාලය ඉතිරි කර දේවි .

Pizza Novona

අපි සංචාරක නියාමක වරියගේ කොඩිය පසුපස යනවා . ඇගේ විස්තර කනේ ගහගෙන ඉන්න කුඩා ඉයර්ෆොනයෙන් ඉවරයක් නැතුව ඇහෙනවා . ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේදී Circus Agonalis විදිහට හැදින්වුණු විශේෂ හැඩයකින් යුක්ත මේ චතුරශ්‍රය අතීතයේදී 20000 කට එකවර රැස්වෙලා ක්‍රීඩා තරග නරබන්නට සකස් කල එකක් කියලයි කියන්නෙ. ඒ මැද තිබෙන Fountain of four rivers සේම Fountain Dei Quttro Flumi අතර බලන්න ගොඩක් දේ තිබෙනවා.

අපි කුඩා විදි දිගේ ඇවිදගෙන යනවා . ඉතාලි අනන්‍යතාවය අපට හොදින් පේනවා . අපේ ඊළග නැවතුම ලෝකයේ ජනප්‍රියම වතුර මල බලන්න . රෝමයට ගිහින් ඒක අත අරින්න පුලුවන්ද ? . ඒ විස්තරත් එක්ක ලබන මාසයේදී හමුවෙමු

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2021/04/blog-post_24.html

අවුරුදු 300ක් පැරණි විසල් ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බසින දසුනක්

කැනේඩියානු සංචාරයක මතකය

පැසිෆික් සාගරයේ ඉංග්‍රීසි බොක්කෙන්( English Bay ) සහ වැන්කුවර් වරායෙන් සම්පුර්ණයෙන්ම වටවුණු අක්කර 1001 ක බිම් කඩක් කැනඩාවේ තිබෙනවා . 1858 දී සිදුවූ ෆ්රේසර් නිම්නයේ රත්‍රන් සොයා යෑම ( Fraser Canyon Gold Rush) එක්ක ස්වදේශිකයින් සතුව තිබු මේ ඉඩම් බ්‍රිතානයන් සතුවුණා . 2014 දී ලෝකයේ හොදම උද්‍යානය කිරුළ හිමිකරගත් මේ උද්‍යානය බොහෝ ස්වභාවික ගස්වැල් ඇති තැනක් . මෙහි ඇති සමහර ගස් අඩි 250 ක් තරම් උසයි . නවාතැනෙන් උදෙන්ම පිටත්වෙලා අපි මේ ඇවිත් ඉන්නෙ ස්ටැන්ලි උද්‍යානයටයි .

වැන්කුවර් කියන නම හැදිල තියෙන්නේ 1792 දී මේ ප්‍රදේශය සොයාගත් දේශ ගවේෂක කපිතාන් George Vancouver සිහිවීම පිණිසයි . ඉතා සෞමය දේශගුණයක් තිබෙන වැන්කුවර් නගරය ලෝකයේ ජීවත්වීමට සුදුසු නගර අතරේ ඉහලින්ම තිබෙන නගරයක් .

ස්ටැන්ලි උද්‍යානය ( Stanley Park )

කැනඩාවේ හයවන ආණ්ඩුකාරවරයා වූ ස්ටැන්ලි ආදිපාද වරයා ( Lord Stanley) සිහිවීමට නම් කර ඇති මේ මහජන උද්‍යානයේ සමහර ගස් අවුරුදු 300 කට වඩා පැරණියි . මේ උද්‍යානය වටා තිබෙන කිලෝමීටර 8 ක් තරමේ Sea Wall හරිම ජනප්‍රිය තැනක් .
බොහෝ දෙනෙක් කුලියට ගත් බයිසිකලයක නැගී යන්නත් , මුහුදු හුළං සුවද විදිමින් පයින් ඇවිද යන්නත් මේ ඉසව්වට එනවා . බ්රෝක්ටන් තුඩුව ප්‍රදේශයේ ඇති Totem poles සුවිසල් ගස් යොදාගනිමින් කල කැටයම් ආදීවාසීන්ගේ කලා කුසලතාවය මැනැවින් විදහා දක්වනවා . ඔබට මතක නම් සංචාරයක මතකය ඔටාවා නගර සටහනේ ඉතිහාසකෞතුකාගාරයේ Great Hall තුල මෙවැනි කැටයම් දකින්නට ලැබුනා . පුරා දවසක්ම වුණත් ගත කරන්නට හැකි මෙහිදී අශ්ව කරත්තයක නැගී රවුමක් යන්නත් , කුඩා දුම්රියක රවුමක් යන්නත් පුළුවන් . ලෝකයේ ප්‍රකට මත්සයාගාරයක් වන Vancouver Aquarium තිබෙන්නේ මේ උද්‍යානයයේ එක පැත්තකයි

විද්‍යා ලෝකය ( Science World)

1977 දී Barbara Brink සතුව තිබූ ජංගම විද්‍යාගාරය භාවිතයෙන් 1982 දී ආරම්භ වුණු මෙය වඩාත් ජනප්‍රිය වුයේ 1986 දී පැවති එක්ස්පෝ 86 ප්‍රදර්ශනය වෙනුවෙන් එහි ඉදිකල සුවිසල් ගෝලාකාර ඉදිකිරීම නිසා .Bruno Freschi විසින් නිර්මාණය කල එහි ආසන 400 ක් ඇති විශාල Omnimax Theatre එකක් තිබෙනවා . වර්තමානයේ Telus world of science ලෙසින් නම් කෙරුණු මෙහි විශේෂයෙන්ම පාසැල් යන දු දරුවන්ට වැදගත් බොහෝ ප්‍රදර්ශණ කුටි සහ ක්‍රියාකාරකම් තිබෙනවා . එහි ඇති කැනඩාවෙන් ලොවට දායාද වුණු නිර්මාණ ඇතුලත් කුටිය අගනා එකක් .

Science World වල ඉදන් පොඩි දුරක් ඇවිද්දා ම යන්න පුළුවන් අපූරු උද්‍යානයක් තියෙනවා . නම කියන්න ටිකක් පැටලෙන එය දොස්තර සුන් යට් සෙන් චීන වත්ත නගරයක් මැද්දෙ තියෙන පුදුම තැනක් .

Dr. Sun Yat- Sen Classical Chinese Garden

1986 පැවති EXPO 86 ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකළ මෙය චීනයෙන් පිටතදී ඉදිකළ මෙවැනි පළමු උද්‍යානය වෙනවා . චීනයත් , බ්‍රිටිෂ් කොලොම්බියාවත් අතර ඇති සුහදතාවය වර්ධනය කරනු වස් වැන්කුවර් චීන නගර කොටසේ Carall වීදියේ අංක 578 දරණ තැන මෙය ඉදිකර තිබෙනවා Donald Vaughan සහ Joe Wai. පිටත උද්‍යානයත් Wang Zu Xin ඇතුලත උද්‍යානයත් නිර්මාණය කර තිබෙන්නේ චීන සම්ප්‍රදායික බව සිහි ගන්වමින් .

Canada Place

නැවක හැඩය ඇති මේ මධ්‍යස්ථානය තියෙන්නේ වැන්කුවර් වරාය අසබඩ . හවසකට ගිහින් ඉර බහින දර්ශනය බලන්න වටින තැනක් .
කැනඩාවේ තිබෙන විශාලතම සහ ස්වභාවික වරායක් වන වැන්කුවර් වරාය කැනඩාවේ සිදුවන නැව්ගත කිරීම් වලින් විශාල ප්‍රතිශතයකට දායක වෙනවා . හෙක්ටෙයාර 16000 ක ජල තලයක් , හෙක්ටෙයාර 1000 ක බිමක් සහ කිලෝමීටර 350 ක මුහුදු තීරයක් මීට අයත් . Sea Planes සහ Cruise ships සදහාත් මෙහි පහසුකම් සලසා තිබෙනවා . අපූරු අත්දැකීමක් එක්කර ගන්නට පුළුවන් Flyover Canada තියෙන්නෙත් මෙතැනයි .

වැන්කුවර් නගරයේදී යා හැකි තවත් තැන්

· වැන්කුවර් මත්ස්‍යාගාරය ( Vancouver Aquarium )
ග්රුස් කන්ද ( Grouse Mountain )
වැන්කුවර් කලාගාරය (Vancouver Art Gallery)
ග්‍රැන්විල් දූපත ( Granville Island )
වැන්කුවර් නාවික කෞතුකාගාරය ( Vancouver Maritime Museum)
නිටෝබේ ජපන් උද්‍යානය ( Nitobe Japanese Garden )

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න
https://ahasgawwenehalokaya.blogspot.com/2019/10/300.html

අනුරුද්ධ වැලිගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *