
ඕස්ට්‍රේලියාවට ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂා කිරීමට මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගේ තාක්‍ෂණික කමිටුවක් පත්කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම කමිටුවේ සම සභාපතිවරු ලෙස මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරු වන ඒ.එන්. හපුගල සහ එස්. එස්. මුදලිගේ යන අය ද, සෙසු සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍යංශයේ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ටී. අයි. ප්‍රේමරත්න, නීති කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර සහ තොරතුරු තාක්‍ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ඊ.ඩී.ශිරන්ත යන නිලධාරීන්ද පත්කර තිබේ.
ඊමේල් හරහා ලැබෙන වංචනික ගෙවීම් උපදෙස් අවදානම සහ ඕස්ට්‍රේලියාවට කළ ගෙවීමක් අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව සොයාබැලීමට මෙම කමිටුව පත්කර ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කර, හැකි ඉක්මණින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දැනුම්දී තිබේ.
මේ අතර සයිබර් හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙසේ සඳහන් කරයි.
‘මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇත.
2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබද හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කරනු ලැබිණි. ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කිරීම සිදුකරන ලදී. එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය සහාය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇත.
දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කෙරේ.
ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.’
මේ අතර ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක්ද “හැකර්වරුන්” අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිවී යැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.
ගිණුම් අංක වෙනස් වන බව දැනගත් පළමු මොහොතේම මහා භාණ්ඩාගාරය අදාල අංශවලට පැමිණිලි කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් එ් උත්සාහය වළක්වා ගත් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිලිබදව පරීක්ෂණ කරද්දී ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 25ක මුදලක් ඒ වනවිටත් හැකර්වරුන් අතට ගොස් ඇතැයි තොරතුරු අනාවරණයවූ බවද ප්‍රකාශ කළේය.
මීට අදාලව කරන ලද පැමිණිල්ලකින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර අැති බවත් මහා භාණ්ඩාගාරයද කමිටුවක් මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඔහු පැවසුවේය.
එම කමිටුව දෙන නිර්දේශ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් නිලධාරීන් අතින් යම් ගැටළුවක් සිදුවී ඇත්නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අනිල් ජයන්ත මහතා පැවසීය
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය සහ මහා භාණ්ඩාගාරය අතර තොරතුරු හුවමාරු කරගන්නේ අන්තර්ජාලය හරහා බවත් හැකරුන් පිරිසක් මේ ඊමේල් පණිවිඩ හැක්කර එම වංචාව කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාද මේ පරීක්ෂණ හැකි ඉක්මනින් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස්දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය


